වෘත්තීය නළුවෙක් වෙන්න හිතුවේ රංගනය හදාරද්දී | සිළුමිණ

වෘත්තීය නළුවෙක් වෙන්න හිතුවේ රංගනය හදාරද්දී

රංගනයේ ගැඹුර දන්න  අලුත් පරම්පරාවේ දක්ෂයන්  ටෙලි නාට්‍යවලදී  මුණගැහෙන්නේ නෑ...

 - ගිහාන් ප්‍රනාන්දු

 

ගිහාන් ප්‍රනාන්දු යනු ලාංකේය වේදිකාවට ආලෝකයක් එක් කළ රංගන පෞරුෂයක් සහිත වෘත්තීය රංගන ශිල්පියෙක්. ඔහු පුංචි තිරය හරහා ජනතාවගේ අසීමිත ආදරය දිනා ගත් දක්ෂ චරිතාංග නළුවෙක්. ගිහාන් ප්‍රනාන්දු නම් වූ සමඟ කෙරෙන කතා බහකට ඉඩ මෙතැන් සිට විවර වෙනවා.

 

රංගන ශිල්පියෙක් විදිහට මේ ආ ගමන් මඟ ගැන ආපහු හැරී බැලුවොත් දැන් මොකද හිතෙන්නේ ?

පාසල් කාලයේ තමයි වැඩේ පටන් ගන්නේ. නමුත් මේ වෘත්තියෙන් ඉදිරියට යන්න ඕනේ කියලා අදහසක් ඇති වුණේ රංගනය පිළිබඳ හදාරන්න ගනිද්දී .

රංගන ශිල්පියෙක් විදියට ඉදිරියට යනවා නම් ඒ පිළිබඳ හැදෑරීමක් කරන්න ඕන කියලා මට ඒ කාලෙම අවබෝධ වුණා. මම විෂය ඉගෙන ගත්තා. කැමැති විෂයක් ඉගෙන ගන්න ඒ වෘත්තියක් විදිහට ඉදිරියට කරගෙන යන්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. දැනට අවුරුදු තිහක් මං කැමති විෂය හදාරමින් එය රැකියාව විදිහට කරනවා. ඒ ආපු ගමන ගැන මං අද සතුටුයි. බලාපොරොත්තු වුණු තැනට මගේ වෘත්තීය ඇතුළේ මම ඇවිත් තියෙනවා. ආපසු හැරී බැලුවොත් මං දැන් ඉන්න තැන ගැන පෞද්ගලිකව මට සතුටුයි.

 

ලංකාවේ කලාව තුළ වෘත්තීමය පසුබිමක් නිර්මාණය නොවුණු පසුබිමක ඔබ රැකියාවෙන් ඉවත් වී පූර්ණකාලීනව කලා ක්ෂේත්‍රයට එන්න තීරණට කළේ ඇයි?

මම රැකියාව කළේ විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයෙක් විදිහට. ඉන් ඉවත් වෙන්න තීන්දු කළේ පූර්ණ කාලීනව කලාව තුළ නියැළෙන්න. මං ඒ තීරණය ගත්තත් මට තවත් කෙනකුට මට කියන්න බැහැ ඒ දේ කරන්න කියලා.

එකවරම පූර්ණ කාලිනව රංගන ශිල්පියෙක් විදිහට එන එක ලෙහෙසි දෙයක් නෙවෙයි. මම රැකියාව කරන ගමන් නාට්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරමින් තමයි හිටියෙ. වේදිකාව ටෙලි නාට්‍ය කලාව පමණක් රංගන ක්ෂේත්‍රයේ මගෙ විෂයයන් වුණේ නෑ. මා දැන්වීම්කරණය ට එකතු වුණා. හඬකැවීම් ශිල්පියෙක් ලෙස කටයුතු කළා. විවෘත අවකාශ තුළ නිර්මාණකරණයේ යෙදුණා. එළිමහන් ප්‍රසංග වගේ මගේ හැකියා හරහා නිර්මාණයවන අවකාශවලට යොමු වෙන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා මට විශ්වාසයක් තිබුණා රංගනය වෘත්තියක් විදිහට තෝර­ාගැනීම එක අභියෝගයක් නොවන බවට.

 

ඔබ ඉතාම කාර්යබහුල රංගන ශිල්පියෙක්. ඔබ ඔබව කළමනාකරණය කරගන්නේ කොහොම ද?

මම එකවර වෘත්තීන් දෙකක් කරනවා. කලාකරුවෙක් විදිහට රංගන ශිල්පියෙක් විදිහට කටයුතු කරනවා. ඒ අතර ඒ රංගන ශිල්පියාව මෙහෙයවන කළමනාකරුවා විදිහටත් වැඩ කරනවා. රඟපානවා වගේම රංගන ශිල්පියකුගේ කාලය කළමනාකරණය කිරීම ඉතාමත් වගකීම් සහගත වැඩක්. මේ කාර්ය සමබරව පවත්වා ගැනීමයි අනිවාර්යෙන්ම කරන්න ඕන.

අවුරුදු 25ක් විතර මම වේදිකාවේ සක්‍රිය වැඩ කරනවා. හැම සති අන්තෙකම වගේ ලංකාව පුරාම වේදිකා නාට්‍යයක රංගනයේ යෙදෙන්න සිද්ධ වෙනවා. ඒ නාට්‍ය ගත්තත් විවිධ පරාසයන්හි' නාට්‍යය. සිහින හොරු අරන්', 'බල්ලොත් එක්ක බෑ', 'බෝම්බයක් ඉතුරුයි, වගේ නිර්මාණ දර්ශන වාර ගණනාවක් ප්‍රදර්ශනය කළා. ඒ අතර ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ රංගන ශිල්පියෙක් විදිහට කාලය කළමනාකරණය කරගෙන වැඩ කරනවා.

 

වේදිකා නාට්‍ය කලාව වෙනුවෙන් කැපවුණු රංගන ශිල්පියෙක් විදිහට අලුත් පරම්පරාවට ඔබේ අත්දැකීම් වැදගත් වේවි ?

ටෙලි නාට්‍ය නළුවෙක් කියන කාරණාව ව්‍යාපාරික පසුබිමකයි ගොඩනැඟෙන්නේ. උදාහරණයක් ගත්තොත් ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් විදිහට කෙරෙන රඟපෑම නිසා අපේ ශරීරයේ පරිපථය තමයි ගෙවීමකට ලක් වන්නේ. ඒ කියන්නේ බැටරිය බහිනවා.

වේදිකාව කියන්නෙ ඊට හාත්පසින්ම වෙනස් තැනක්. එනිසා අනිවාර්යයෙන්ම මම අවුරුද්දකට එක් වේදිකා නාට්‍යයකට හෝ සම්බන්ධ වෙනවා. වේදිකා නාට්‍යයක පුහුණු වෙන්න ගත කරන මාස හයක කාලය මම නැවතත් යාවත්කාලීන වන කාලයක්. ඒ පරිකල්පනය , අභ්‍යාසයෙන් අපේ බැටරිය නැවත ආරෝපණය කරගන්න පුළුවන්.

ලෝකයේ විශිෂ්ට රංගන ශිල්පීන් මේ අභ්‍යාසයේ යෙදෙනවා. අපිට වේදිකාවෙන් ලැබෙන පිටිවහල වචනයෙන් විස්තර කරන්න අමාරුයි. වේදිකා නාට්‍ය බොහොමයක් සඳහා මට ආරාධනා ලැබුණත් හොඳ තෝරාගැනීමක් කරලා නාට්‍යකට එකතු වෙන්නයි මම නිතරම කටයුතු කරන්නෙ.

 

ගිහාන් ප්‍රනාන්දු වගේ නළුවන් අලුත් පරම්පරාවේ අපට මුණගැහෙන්නෙ ඉතාමත් අඩුවෙන් ?

ඩිජිටල් තාක්ෂණයත් එක්ක මිනිසුන් සමාජ මාධ්‍ය වගේ platform තෝරගන්නවා. ඒ වගේම ඔවුන් හුදෙකලා වෙනවා. සමාජයේ පුද්ගලයන් එකිනෙකා අතර පෞද්ගලික සම්බන්ධතා සීමාවෙලා. බෙදා හදා ගැනීම් නෑ. රූපවාහිනී නාළිකා හරහා බිහිවෙන රංගන ශිල්පීන්ට රංගනය හදාරන්නවත් කලාව පිළිබඳ පුළුල් දෘෂ්ටි කෝණයකින් බලන්නවත් ඉඩකඩක් නෑ. බොහෝ විට අද ඉන්නේ අවුරුදු කුමාරයෙක්, අවුරුදු කුමාරියක්, එහෙමත් නැතිනම් රියැලිටි සංගීත වැඩසටහනක සින්දු කියන්න ආව කෙනෙක්. ඔවුන්ගේ විලාසිතාවම වෙනත් තැනක තියෙන්නේ. ඇතැම් අය ගායික ගායිකාවන් වෙන්න ඉන්න අය. අහම්බෙන් ඔවුන්ව නාළිකාවලින් නළු නිළියන් බවට පත් කරනවා. ඒ පරම්පරාව මේ කලාව ඉගෙන ගන්න රංගනය ප්‍රගුණ කරන්න උත්සාහ කරන්නෙ නෑ.

වේදිකාවෙ කට්ට කාලා කෙටි නාට්‍යය කරලා ඉස්සරහට එන්න උත්සාහ කරන පිරිසකුත් ඉන්නවා. නමුත් ටෙලි නාට්‍යයක දී අපිට ඔවුන් මුණ ගැහෙන්නෙ නෑ. අපිට ටෙලි නාට්‍යවලදී හම්බ වෙන්නේ ජංගම දුරකථනයක් ඔබමින් ඉන්න වෙනස්ම චරිත. ඔවුන් මේ මාධ්‍ය හඳුනගන්න බව පේන්නෙම නෑ. ඉතින් මොකද කරන්නෙ.?

 

ටෙලි නාට්‍ය මාධ්‍ය තුළ ඔබව ඇගයීමකට ලක් නොවීම ඔබට කෙසේ වෙතත් ප්‍රේක්ෂකයන්ට ප්‍රශ්නයක් ?

ලංකාවේ ටෙලි නාට්‍ය සම්මාන උලෙළ රංගන ශිල්පීන් දෙස බලන විදි තියෙනවා. ලංකාවේ ජනප්‍රියම නළුවා නිළිය තෝරන එක කාටවත් රහසක් නෙවෙයි. ජනප්‍රිය වෙන්න නම් මනාප දාගන්න ඕනා. හරියට රූපවාහිනී රියැලිටි වැඩසටහනක් වගේ. මං හිතන්නේ නෑ. ඒ දේවල්වලින් ජීවිතයට ලොකු වෙනසක් වෙයි කියලා. මම සම්මාන උලෙළවල්වලට සහභාගී වෙන්නේ නැති තරම්. මට ඒ දවසටත් සමහරවිට වැඩ කරන්න තියෙනවා. මට හැකියාවක් දක්ෂතාවක් ජනප්‍රියත්වයක් තියෙන නිසානෙ වැඩ වලට මා තෝරගන්නෙ. ඒ නිසා නිර්මාණකරුවන් අතර ජනතාව අතර මා දිගටම රැඳී ඉඳීවි.

 

Comments