එය දෙව­රක් දිනා ගැනීම ආශි­ර්වා­ද­යක් | සිළුමිණ

එය දෙව­රක් දිනා ගැනීම ආශි­ර්වා­ද­යක්

සුපිරි කොලි­වුඩ් නළු ධනුෂ් 
 
 

ඔබ ඊළඟට මා වෙනුවෙන් ලියන චරිතය කුමක්දැයි දැනගන්නා තුරු මට ඉවසිල්ලක් නැහැ

 
 

කොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු ධනුෂ් මේ දිනවල පසුවන්නේ මහත් සතුටින්. ඒ, සිය රංගන ජීවිතයේ බොහෝ ජයග්‍රහණ හිමි කරගනිමින් සිටින නිසා. පසුගිය දා ඔහු ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන ප්‍රදානයේ දීත් හොඳම නළුවා ලෙස සම්මාන දිනා ගැනීමට සමත් වුණා. ධනුෂ් ට මෙම සම්මානය හිමි වුණේ ‘අසුරන්’ නමැති දෙමළ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්. වෙට්රි මාරන් නමැති ප්‍රකට අධ්‍යක්‍ෂවරයා විසින් අධ්‍යක්‍ෂණය කළ ‘අසුරන්’ හොඳම දෙමළ චිත්‍රපටය හැටියටත් එහි දී සම්මාන හිමි කරගත්තා.

ඉතා වේගවත් සිනමාපටයක් වන මෙහි ධනුෂ් රඟපාන්නේ සිවසාමි නමැති තිදරු පියකු ගේ චරිතයක්. චිත්‍රපටයට පසුබිම් වන්නේ දකුණු ඉන්දියානු ගමක ඉඩම් හිමි කුලීනයන් ගෙන් කුලහීන, දිළිඳු ජනතාවට එල්ල වන දැවැන්ත පීඩනය පිළිබඳ කතාවක්. සිවසාමි සතු ඉඩමක් අයිති කරගැනීමට එහි බලවත් ව්‍යාපාරිකයකු උත්සාහ කරන අතර සිවසාමි සහ පවුලේ අය ඊට එකඟ වන්නේ නැහැ. මේ දෙපිරිස අතර ඇතිවන ගැටුම් හේතුවෙන් එක් අවස්ථාවක සිවසාමි ගේ වැඩිමල් පුතා ඉතා කෲර ආකාරයෙන් ඝාතනයට ලක් වෙනවා. ඊට පළිගැනීමක් වශයෙන් සිවසාමි ගේ දෙවැනි පුත් චිදම්බරන් අර ව්‍යාපාරික කුලීනයා මරා දමනවා. චිත්‍රපටය විකාශනය වන්නේ කුල භේදය සහ ඉඩම් අල්ලා ගැනීම පසුබිම් කරගෙන ඇති වන පළිගැනීම් ඇතුළු ප්‍රචණ්ඩ සිදුවීම් පෙළක් ඇසුරෙනු යි. සිවසාමි ලෙස මෙහි ධනුෂ් ඉතා සාර්ථක රංගනයක නිරත වන අතර එය වයස අවුරුදු විසිගණන්වල සිට හතළින් ගණන් පමණ වනතෙක් දිවෙන චරිතයක්. විටෙක ඉතා දරුණු චරිතයක් ලෙසත්, තවත් විටෙක බෙහෙවින් සන්සුන් චරිතයක් ලෙසත් ඔහු ප්‍රේක්‍ෂකයන් ට කලකට අමතක නොවන රංගනයක් ඉදිරිපත් කරනවා.

ධනුෂ් හොඳම නළුවා ලෙස ජාතික සිනමා සම්මාන හිමි කරගත් පළමු අවස්ථාව මෙය නොවෙයි. මෙයට පෙර 2010 වසරේ ද ඔහු මෙම සම්මානය දිනාගත් අතර ඒ ‘ආදුකලම්’ නමැති චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන්. මෙවර සම්මානය ඔහුට හිමිව ඇති බව නිවේදනය කරද්දී ධනුෂ් ඉන්දියාවේ සිටියේ නැහැ. මේ දිනවල ඔහු සිය පළමු හොලිවුඩ් චිත්‍රපටයේ රඟපෑම සඳහා අමෙරිකාවට ගොස් සිටිනවා. මෙම සිනමාපටයේ රඟපෑමට ලැබීමත් ඔහු හිමි කරගත් තවත් සුවිසල් ජයග්‍රහණයක්. එහි ධනුෂ් සමඟ ප්‍රධාන චරිත රඟපාන්නේ හොලිවුඩයේ ඉතා ජනප්‍රිය සහ කීර්තිමත් නළුවන් දෙදෙනකු වන රයන් ගොස්ලින් සහ ක්‍රිස් එවන්ස්. ඔයැ ඨර්හ ඵ්බ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරනු ලබන්නේ ආදායම් වාර්තා පිහිටු වූ චිත්‍රපට නිර්මාණය කළ රූසෝ සොහොයුරන් විසින් වීමත් විශේෂත්වයක්.

කෙසේ හෝ වේවා, තමාට ජාතික සිනමා සම්මානය හිමිව ඇති බව දැනගත් අවස්ථාවේ එයින් මහත් සතුටට පත් ධනුෂ් ඇමරිකාවේ සිට සිය ට්විටර් පිටුවෙහි සටහනක් යොදා තිබුණා. ‘මම උදේ නැගිට්ට ගමන්ම අහන්න ලැබුණේ ‘අසුරන්‘ චිත්‍රපටය වෙනුවෙන් මට ජාතික සම්මානය හිමි වී ඇති බවයි. හොඳම නළුවා ලෙස එක වරක් හෝ ජාතික සම්මානය දිනාගන්නට ලැබීම නළුවකුට හීනයක්. එසේ තිබිය දී දෙවරක්ම එම සම්මානය හිමි කරගන්නට ලැබීම මහත් ආශීර්වාදයක් හැටියටයි මම සලකන්නේ. මෙච්චර දුරක් එන්න ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ.’ මේ අතර තම මවට සහ පියාටත්, ගුරුවරයාට සහ සොහොයුරාටත් ඔහු ස්තුතිය පළ කර තිබුණා. ‘අසුරන්’ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළ වෙට්රි මාරන් ට ද විශේෂ ස්තුතියක් පුද කිරීමට ධනුෂ් අමතක කර තිබුණේ නැහැ. ඔහු වෙට්රි මාරන් හඳුන්වා තිබුණේ මිතුරකු මෙන්ම සහෝදරයකු ද හැටියටයි. වෙට්රි මාරන් ඔහු ගේ චිත්‍රපට හතරක් සඳහා ම ධනුෂ් රංගනයෙන් දායක කරගෙන තිබීමෙන් පෙනෙන්නේ ඔවුන් දෙදෙනා අතර අපූරු සුසංයෝගයක් ඇති බවයි. ‘ඔබ ඊළඟට මා වෙනුවෙන් ලියන චරිතය කුමක්දැයි දැනගන්නා තුරු මට ඉවසිල්ලක් නැහැ’ යනුවෙන් ද ධනුෂ් සඳහන් කර තිබුණා.

මේ වනවිට 37 වැනි වියෙහි පසුවන ධනුෂ් මුලින් ම සිනමාවට එක් වූයේ 2002 වසරේ යි. ඒ, චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වූ ඔහු ගේ පියා කස්තුරි රාජා විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ‘තුල්ලුවාදෝ ඉලමායි’ චිත්‍රපටයෙන්. ධනුෂ් ගේ සැබෑ නම වූයේ වෙන්කටේෂ් ප්‍රභූ කස්තුරි රාජා. ඔහු මුල් කාලයේ රංගනයට එක්වීම සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් නොදැක් වූ බවත්, ඒ සඳහා ඔහු උනන්දු කර ඇත්තේ ඔහුගේ සහෝදරයා වූ සෙල්වරාගවන් බවත් පැවසෙනවා. සෙල්වරාගවන් ද චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්. ධනුෂ් විවාහ වී සිටින්නේ සුපිරි නළු රජිනිකාන්ත් ගේ බාල දියණිය වන අයිශ්වර්යා සමඟ යි. ඔවුන් දැන් පුතුන් දෙදෙනකුගේ මවුපියන්.

 

Comments