වරා­පි­ටිය පාසලට පිට්ට­නි­යක් අකැ­පද? | සිළුමිණ

වරා­පි­ටිය පාසලට පිට්ට­නි­යක් අකැ­පද?

රාපිටිය කනිෂ්ඨ විද්‍යාලය පිහිටා ඇත්තේ බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. කළුතර අධ්‍යාපන කලාපය තුළය. කුඩා පාසලක්වූ එයට ක්‍රීඩා පිටියක් නැත. ප්‍රදේශයේ මහජන නියෝජිතයා වූ ළමා, වනිතා කටයුතු, ප්‍රාථමික හා පෙර පාසල් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත විදුහලට ක්‍රීඩා පිටියක් සකස් කරදීමට පෙරමුණ ගත්තේය. ඔහු යෝජනා කළේ විදුහලට යාබද කැලෑබද ඉඩමෙන් අක්කර 1 1/2ක් 2ක් ක්‍රීඩා පිටිය සඳහා ලබා ගැනීමටය. බේරුවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ද මෙම ඉඩම අත්පත් කර ගැනීම සම්මතවී තිබුණි.

 

එහෙත් ඊට පසු සිදුවීම් රාශියක් සිදුවූ අතර ගැටලුව කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම දක්වාම පැමිණියේය.

කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්නගේ ප්‍රධානත්වයෙන් කළුතර දිසා ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවක් අවස්ථාවේ රාජ්‍ය ‍අමාත්‍ය පියල් නිශාන්ත මෙම ගැටලුව කරළියට ගෙන ආවේය.

“වරාපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ සිසු සිසුවියන්ටත් අවට ග්‍රාම නිලධාරි වසම් 10ක තරුණයන්ටත් ක්‍රීඩා කිරීමට පිට්ටනියක් නැහැ. ඊට යාබදව ඇත්තේ තනිකරම කැල‍ැවෙන් වැසුණු අක්කර 26ක ඉඩමක්. ක්‍රීඩාපිටිය සඳහා ඉල්ලනුයේ ඉන් අක්කර 1 1/2ක් හෝ 2ක් පමණයි. බේරුවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු‍වේදී මෙම ඉඩම් කොටස පවරා ගැනීම සම්මත වුණා. ඒ රජයේ තක්සේරුවට වටිනාකම ගෙවලයි.

එසේ තිබියදී පාසැලේ ඉඩමට යාබදව ඇති පාසලේ ඉඩමත් අල්ලලා පාසැලේ ගේට්ටුවත් වහලා කම්බි ගහලා තියෙනවා. දැන් ඒ ඉඩමේ කනුත් කපාගෙන යනවා. රජයේ නිලධාරීන් මේ ඉඩම සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැටලු සහගතයි. මට ඒ ගැන සෑහීමට පත්වෙන්න බැහැ. වසර හතළිහකට වැඩි කාලයක් මේ ඉඩම කැලැවෙන් වැසී ගොස් තිබුණා.”

මෙහිදී බේරුවල සහකාර ප්‍රාදේශීය ලේකම් යු.කේ.සී. දිල්හානි ප්‍රකාශ කළේ මෙවැනි අදහසකි.

‘අත්හැර දමා තිබූ මෙම කුඹුරු ඉඩම සංවර්ධනය කිරීම සඳහා ගොවි ජන‍සේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් ලිපියක් ඔවුන් ඉදිරිපත් කර තිබෙනවා. මාර්ගය ඒ අයට අයත් බවට පිඹුරු පතක් ඉදිරිපත් කර තිබෙනවා.”

මෙහිදී වරාය හා නිවාස කටයුතු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මේ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේය.

විෂය සාකච්ජා කළ කළු­තර දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමිටු රැස්වීම පැවැ­ත්වුණු අයුරු

“ඉඩම වගා කිරීමට අනුමැතිය ලබා ඇත්තේ බේරුවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවෙන් අත්සන් කර ගැනීම සඳහා වූ යෝජනාව සම්මත කර ගත් පසුවයි. දැන් පාසල් ඉඩමෙත් කම්බි ගහල තියෙනව. මෙම ඉඩම ක්‍රීඩාංගණය සඳහා පවරා ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කරන්න.”

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පැස්කුවෙල් මෙහිදී කියා සිටියේ පාසල් ඉඩමේ වගාවට ඉඩ දිය නොහැකි බවයි.

වරාපිටිය විද්‍යාලයේ ගේට්ටුව වසා කම්බි ගැසීමේ තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වූ කළුතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ප්‍රියානි මුදලිගේ කීවේ මෙවැන්නකි.

“මෙම විදුහලේ සිසුනට පාසැලට යාමට හා ඒමට ගේට්ටුවක් තිබෙනවා. ඒ නිසා මෙම ගැටලුව විස‍ඳෙන තුරු එම ගේට්ටුව අරින්න එපා කියල මම විදුහල්පතිතුමාට කියල තියෙනවා.”

කළුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මෙහිදී කියා සිටියේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම්මතවූ පමණින් ක්‍රීඩාංගණයකට ඉඩමක් පවරා ගැනීමට නොහැකි බවයි.

මෙහිදී අදහස් දක්වමින් බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සිරිසෝම ලොකුවිතාන මෙසේ කීය.

“පාසලකට ක්‍රීඩාංගණයක් සඳහා ඉඩමක් පවරා ගැනීමේදී යම් ක්‍රමවේදයක් තිබෙනවා. ඒ අනුව ඉඩම අත්පත් කර ගැනීමේ යෝජනාවක් සකස් කර එවන ලෙස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඒ ගැන කටයුතු කළ යුතුයි.”

ක්‍රීඩා පිටියක් සඳහා ඉල්ලන ඉඩම් කොටස් අයිතිකරුවන් වන්නේ දැනට පානදුර ප්‍රදේශයේ පදිංචි ඉනෝකා ප්‍රනාන්දු සහ දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි චමිත් කැල්ලපතයි.

චමිත් කැල්ලපත ඕස්ට්‍රේලියාවේ සිට අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“මෙම ඉඩම අක්කර 26ක් නොව අක්කර 3 රූඩි 3 පර්චස් 31ක ඉඩමක්. මෙහි අයිතිය ඇත්තේ මට සහ මගේ ඥාති සොයුරියකටයි. පරම්පරාවෙන් අපට ලැබී ඇති මෙහි වී වගා කිරීම නවතා ඇත්තේ කරදිය ගැලීම නිසයි.

ඒ නිසා කෘෂිකර්මය සඳහා වෙන්වූ මෙම ඉඩමේ වෙනත් වගාවන් කිරීම සඳහා ගොවිජන ‍සංවර්ධන දෙපාර්තමේන්තුවේ කළුතර කාර්යාලය මඟින් අවසර ලබාදී තිබෙනවා. 2019 - 09 - 10 දින අපහට එම අවසරය ලැබී ඇත්තේ කාබනික එළවළු වගාවකටයි. ඒ අනුව සකස් කළ පාංශු විශ්ලේෂණ වාර්තා අනුව මෙහි වගා ව්‍යාපෘතියක් සඳහා අප මුදල් ආයෝජනය කර තිබෙනවා. ඇලි සහ වැටි (සෝජාන් ක්‍රමය) මෙහි වගා සඳහා උපයෝගි කර ගන්නා ලෙස කළුතර උපදේශන මහත්වරුන් උපදෙස් ලබාදී තිබෙනවා.

2021 වසරේ පෙබරවාරි මස අප කළුතර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට යොමු කළ ‘ආන්තික කුඹුරුවල තිරසාර කාබනික එළවළු වගාව’ නැමැති අපගේ ව්‍යාපෘති වාර්තාවට 2021/03/03 දින දෙවන වගා අනුමැතිය ද ලැබී තිබෙනවා. රැකියා අවස්ථා මෙන්ම වස විසෙන් තොර කාබනික එළවළු වෙළෙඳපොළට හඳුන්වාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. මෙය ස්වභාවික තෙත් බිම් සංරක්ෂිත කලාපයක්. ජලය රැඳවුම් ප්‍රදේශයක්. ක්‍රීඩා පිටියක් සඳහා පස් පිරවුවහොත් ප්‍රදේශය ජලයෙන් යටවී යා හැකියි. එසේම අප පාසල් ගේට්ටුව වසා කම්බි ගහල නැහැ. ප්‍රවේශ මාර්ගයක් වෙන් කරගෙන විතරයි.

එසේ නම් මෙම ඉඩමේ ඉදිරි ඉරණම කෙසේ විය හැකිද? මේ ගැන කඩිනම් විසඳුමක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.

 

Comments