
චාමර ජනරාජ් පීරිස් බොහෝ දෙනා හඳුනා ගන්නේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු වශයෙනි. කලක් මාධ්‍යවේදියකු ලෙස ද කටයුතු කළ ඔහු ලේක්හවුස් ආයතනයට ද සම්බන්ධව සිටි අයෙකි. 'අයාල්', 'යාය 4', 'පියවි', 'ඇසිඩ්' , 'බටහිර අහස' වැනි වෙනස් ඉසව් කරා ප්‍රේක්ෂකයන් රැගෙන යාමට සමත් වූ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ චාමර ස්වකීය නිර්මාණ දිවියේ නවමු පියවර ලෙස චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිස තිබේ. මේ සංවාද සටහන ඔහුගේ කුළුඳුල් සිනමා පිවිසුම වන 'උතුරු සුළඟ' නිර්මාණ ප්‍රවේශය නිමිත කරගෙනය.
තම සිනමා පිවිසුමට ඉඩ හසර විවරවන ආකාරය පිළිබඳ අතීත මතක ගොනු අතරින් කතාවට මුල පිරීමට අපි ඔහුට ඇරයුම් කළෙමු.
“ මුලින්ම මම ටෙලි නාට්‍යකරුවෙක්. එය සිද්ධ වෙන්නෙ මෙහෙම. මාධ්‍යවේදියෙක් ලෙස වැඩ කරන කාලේ ටෙලි නාට්‍යයක් කරන අදහසින් පිටපතක් ලියාගෙන ලංකාවේ ප්‍රකට අධ්‍යක්ෂවරයෙක් ළඟට ගියාම ඔහු එය ප්‍රතික්ෂේප කරනවා. ඔහු මට අවවාදයක් දෙනවා නොදන්න දේ නොකරන ලෙස. මට මුලින්ම ටෙලි නාට්‍යයක් කරන්න හිතුණේ ඉන් පස්සෙ. යාළුවො ටිකක් එකතු කරගෙන පළමු ටෙලිනාට්‍ය නිර්මාණය කරන්න පෙලඹුණා. ඒ අවධියේදි කැමරාව සහ කැමරා කෝණ ගැන මම අවබෝධයක් ලබාගත්තෙ පොත් පත් සහ ස්වයං අධ්‍යයනය තුළින්.
අධ්‍යක්ෂණයට පිවිසෙන්න ආසාවක් ඇති වුණේ බූඩි කීර්තිසේනගෙ නිර්මාණ නැරඹීමෙන්. ඉතින් මම අන්තිමට චිත්‍රපටයකුත් කළා. “
සිය කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණ අත්දැකීම සම්බන්ධව චාමරට ඇත්තේ පුළුල් කියැවීමකි.
"ලංකේය සිනමා කර්මාන්තයේ මෙතෙක් ආපු සියලු අධ්‍යක්ෂවරු ස්වයං අධ්‍යයනය තුළින්මයි ඔවුන් අද සිටින තැන්වලට ඇවිත් ඉන්නේ. සිනමාව කියන්නෙ එහෙම කාටවත් කියල දෙන්න පුළුවන් දේකුත් නෙවෙයි. තමන් තුළ යම් හැකියාවක් තියෙන්න ඕන."
“නළු නිළියන් බිහි කරන්න ඕනෑ තරම් පන්ති සහ පුහුණු වැඩමුළු තියෙනවා. එත් ස්ක්‍රීන් ටෙස්ට් එකකට ගිහින් බලපු ගමන් තේරෙනව අප ඉදිරියේ ඉන්න කෙනාට අප බලාපොරොත්තුවන හැකියාව තියෙනවද නැද්ද කියලා. සංගීතය, නර්තනය, නාට්‍ය, චිත්‍ර හෝ මාධ්‍යය වැනි කලාංග ඉගැන්වීමෙන් පමණක් කෙනක් එහි ප්‍රායෝගික වෙන්න බෑ. තමන්ටම අනන්‍ය යම් සහජයක් තියෙන්න ඕන. ඒ විශේෂත්වය තමන් තුළින්ම සොයා ගන්නා කෙනාට පැවැත්මක් තියෙනවා වගේම තරගයකුත් නැහැ.“
නිර්මාණයක් යනුම නව රස ජනනයකි. ඒ තුළ 'උතුරු සුළඟ' චිත්‍රපටය විශේෂ වන කාරණය පිළිබඳ චාමර කියන්නේ මෙවැන්නකි.
“මේ චිත්‍රපටය අඩක් වාණිජ හා අඩක් කලාත්මක යැයි කියන්න පුළුවන්. මට ඕන වුණා පළමු චිත්‍රපට නිර්මාණයෙන් හැමෝටම දැනෙන යමක් කරන්න. ලංකාවේ ජීවත්වෙන අයට එදිනෙදා ජීවන අරගලය එක්ක චිත්‍රපටයක ප්‍රශ්න ඔළුවට දාගන්න බැහැ. එනිසා නිර්මාණයක් තුළින් සැහැල්ලුවක් දැනෙන හැඟීමක් ලබා දෙන්නයි මට අවශ්‍ය වුණේ. මේ සිනමා පිටපතේ කතා පසුබිම සැකසෙන්නේ ඒ අවබෝධය මත. “
“අපේ පාසල් අවධිය ගෙවුණේ යුද්දෙත් එක්ක. ඒ කාලෙ මගෙ යාළුවො ගොඩක් යුද්ධ කරන්න හමුදාවට බැඳුණා. සමහරු අතුරුදන් වුණා. ඒ අතුරුදන් වුණ කෙනෙක් ආපහු ආවොත් මොන වගේ හැඟීමක් දැනෙයිද. ඒ ගැන හිතලයි මම මේ පිටපත ලිව්වේ.“ඔහු කියන්නේය.
මාධ්‍යවේදියෙක් ලෙස සිය වෘත්තීය දිවි සැරිය අරඹන චාමර ජනරාජ් පීරිස් අනතුරුව ටෙලිනාට්‍යකරණයේ නිරත වන්නේය. කුලුඳුල් සිනමාපටය අධ්‍යක්ෂණය කරන අවස්ථවේ දී ටෙලි නාට්‍යකරණයේ සහ චිත්‍රපටකරණයේ වෙනස් අත්දැකීම ඔහුට දැනුණ ආකාරයට විමසීමට කල්පනා කළෙමු.
“හැමෝම කියන්නෙ ටෙලි නාට්‍යයක් වගේ නෙවෙයි චිත්‍රපටයක් කිරීම මහා දැවැන්ත කර්තව්‍යක් ලෙසයි. හැබැයි කලාව ඇතුළේ අප කරන්නේ පෝය නාට්‍යයක් ද චිත්‍රපටයක් ද,ටෙලි නාට්‍යයක් ද යන්න වෙනසක් නැහැ. “එය ඔහුගේ කෙටි පිළිතුරය.
ඔහු දෘශ්‍ය මාධ්‍ය ක්ෂේත්‍රය සජීවී කරන කාර්මික ශිල්පීන් ගැන ද සිය අත්දැකීම අප සමඟ බෙදා ගත්තේය.
“මං නිර්මාණය කළ ටෙලි නාට්‍යය එකොළහේ වැඩ කළේ විවිධ කාර්මික ශිල්පීන්. ලංකාවේ බොහෝ කාර්මික ශිල්පීන් සමඟ කටයුතු කළ කෙනෙක් ලෙස මම තේරුම් ගත් දෙයක් තමයි අපේ කාර්මික ශිල්පීන් වෘතියභාවය තුළ උසස් මට්ටමක සිටින වග. ටෙලි නාට්‍යය හෝ චිත්‍රපට තුළ තාක්ෂණ ශිල්පීන් නිසාම ඇතැම් නළුවෝ මතුවෙනවා මං දැකල තියෙනවා.“
චාමරගේ සිනමා කෘතියේ ප්‍රධාන නළුවා එරංග ජීවන්තය. චාමර හා එරංග අතර ඇති මේ බැඳීම
ක්ෂේත්‍රය තුළත් විශේෂයෙන් කතා බහට ලක් වන්නේය. චාමර, එංරග ජීවන්ත සිය කුලුඳුල් සිනමා කෘතියටත් තෝරාගැනීම පිළිබඳ කියන්නේ මෙවැනි කතාවකි.
“මම නළුවන්ට චරිත ලියන කෙනෙක් නෙවෙයි. චරිතවලට ගැළපෙන ශිල්පීන්ව තමයි නිර්මාණ සඳහා සම්බන්ධ කරගන්නෙ. ඔහුව මම යොදා ගත්තේ ටෙලි නාට්‍යය හතරකට පමණයි. අධ්‍යක්ෂවරුන් තමන්ගෙ නිර්මාණයකට යොදා ගන්නෙ ලොකු පරාසයක් ඇතුළෙ විහිදෙන රංගන ශිල්පීන්ව. එරංග කියන්නේ මුඩුක්කුවක ජීවත් වෙන චරිතෙකට වගේම කොළඹ හත නවීන පන්නයේ චරිතෙකටත් ගැළපෙන පෙනුමක් තිබෙන නළුවෙක්. "
චාමර සිය සිනමා කෘතියට ලැබෙන ප්‍රතිචාර සම්බන්ධව සිටින්නේ තෘප්තියෙනි. ජයන්ත චන්ද්‍රසිරි, බුඩී කීර්තිසේන, සංජීව පුෂ්පකුමාර වැනි ශිල්පීන් ඔහුට දක්වා ඇති ධනාත්මක ප්‍රතිචාර සමබන්ධව චාමර මැදහත්ව කතා කරන්නේය. යළිත් චිත්‍රපටයක් කිරීමේ අභිලාෂයෙන් පසුවන චාමර මේ ලෝකයේ පවතින වසංගත ස්වරූප අනාගත සිනමාව සම්බන්ධ නිශ්චිත තීන්දු සපයන බව පවසන්නේය. අවසාන වශයෙන් අපි චාමර ජනරාජ් පීරිස් විමසුවෙමු. “ඔබේ මඟ එන්න අපේක්ෂාවෙන් සිටින තරුණ නිර්මාණකරුවන්ට ඔබ දෙන පණිවිඩය කුමක් ද?“
" අධ්‍යක්ෂවරයෙක් වෙන්න ඕන නම් හිතෙන දේ කරන්න. තමන්ට අවශ්‍ය කැමරා කෝණයට පිළිගත් නමක් තියෙන්නම ඕන නැහැ. හැබැයි ඒ වෙනස්කම තුළ යමක් තියෙන්න ඕන. ඒ තුළයි තමන්ගේ අනන්‍යතාව ගොඩනැඟෙන්නෙ.“