සකල ගුරු නව­ත්වන්න හැදු­වත් ප්‍රේක්ෂ­කයෝ කැමති නෑ | සිළුමිණ

සකල ගුරු නව­ත්වන්න හැදු­වත් ප්‍රේක්ෂ­කයෝ කැමති නෑ

 

‘ගං දෑල නිසලයි‘, ‘සති පූජා‘, ‘මුතු කුඩ‘, ‘කුසුමාසන දේවි‘, ‘ආදරණීය පූර්ණිමා‘ආදී ටෙලි නාට්‍ය ගණනාවක් අධ්‍යක්ෂණය කළ ටිකිරි රත්නායකගේ අලුත්ම නිර්මාණය ‘සකල ගුරු‘ . කොටස් 200ක් විකාශය කළ නාට්‍යයෙ දෙවන අදියර දැන් පටන් අරන්. ටිකිරි රත්නායක අප සමඟ මේ පුංචි කතාබහක නිරතවෙන්නේ ‘සකල ගුරු‘ නාට්‍යයේ තිරෙන් පිටුපස අත්දැකීම් අප සමඟ බෙදා ගන්න.

 

ටිකිරි කතාව පටන් ගත්තේ ටෙලි නාට්‍යයේ පසුබිම පිළිබඳ කතා කරමින්. “ජාතික රූපවාහිනියේ සකල ගුරු විකාශනය වුණේ... හිතුවටත් වඩා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. මුල් කොටස් දෙසීයට පසු අපි නාට්‍යය නවත්තන්න තීරණය කරලා තිබුණේ. නමුත් මේ නාට්‍යය අපිට නවත්තන්නට නොහැකි තරමට ප්‍රතිචාර ලැබුණා. ඒ නිසා නැවතත් ජනතාව අතරට මේ නාට්‍ය රැගෙන එන්න අප කටයුතු කළා.

ටිකිරි රත්නායක ටෙලිනාට්‍ය විසි පහකටත් අධික ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ පළපුරුදු නිර්මාණකරුවෙක්. නමුත් කුතුහලයකින් යුතු ප්‍රහසනාත්මක ලක්ෂණ ගැබ් ‘සකල ගුරු‘ නාට්‍යය ඔහුගේ වෙනත් නාට්‍යවලින් වෙනස්. ඔහු ඒ ගැන කියන්නේ මෙහෙම කතාවක්.

"ඇත්තටම වෙනස් කතාවක්. චින්තක පීරිස් විසින් මේ කතාව තිර රචනයට නඟන්නේ. තිර රචනය අධ්‍යනය කළාම එහි වෙනසක් මම දැක්කා. අපි බොහෝ විට දකින්නේ ඉන්දියානු සහ කොරියානු ආභාසය කැටිවුණු නාගරික කතා තේමා ගොනු කර ගත්ත ටෙලි නාට්‍යය මාදිලියක්. නමුත් අපේ රටේ අනන්‍යතාවෙන් යුතු නිර්මාණ බලන්න තවමත් ප්‍රේක්ෂකයන් සූදානමින් ඉන්නවා. අපේ රටේ බහුතරයක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වුණු මිනිසුන් දැනට ජීවත් වන්නේ නාගරික පරිසරයක. එසේ හැඩ ගැහුනත් ඔවුන් බහුතරය කැමති ගමේ ජීවන පැවැත්මට. මේ නාට්‍යයේ ගොඩනැඟෙන නාටකීය චරිත අපේ සමාජයේ ජීවත් වන චරිත.“

‘සකල ගුරු‘ නිර්මාණයේ නළු නිළි පිරිස ක්ෂේත්‍රයේ ප්‍රවීණ සහ නව පරපුරේ දක්ෂතා ප්‍රකට කළ රංගන ශිල්පීන් ශිල්පිනියන් කොටසක සංකලනයක්. ඒ නිසාම මේ නිර්මාණය ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගන්නට වඩාත් ආකර්ෂණීය නිර්මාණයක් බවට පත්වනවා නේද? අප ඔහුව විමසුවා.

" ඔව්. ඒකත් ප්‍රබල කාරණාවක්. ඒ වගේම මේ ටෙලි නාට්‍යය විශේෂත්වය තමයි සමාජයේ යථාර්ථය යටි පෙළකින් දිව යන ගමන් හුදු හාස්‍යෝත්පාදක කතා කලාවෙන් බැහැර වෙලා ප්‍රේක්ෂකයාට හිතන්න යමක් නිර්මාණය තුළින් ගොඩනඟන එක. ඒ නිසාම මේ වැඩේ සාර්ථක කරගන්න ප්‍රවීණතම නළු නිළි පිරිසක් යොදාගන්නට පරිශ්‍රමයක් දැරුවා. ගිරිරාජ් කෞෂල්‍ය, මිහිර සිරිතිලක, චමිලා පීරිස්, සුසිලා කෝට්ටගේ, නෙතලි නානායක්කාර, ඇතුළු විශාල නළු නිළි සංඛ්‍යාවක් මේ නිර්මාණයට දායක වෙනවා."

‘සකල ගුරු‘ ටෙලි නාට්‍ය නිර්මාණය කරන්න යොදා ගන්නා දර්ශන තලය එහි අනන්‍යතාව මතුකරන කදිම හරස්කඩක්. ඒ ගැනත් ටිකිරිගෙන් විමසුවා.

"කුරුණෑගල ගලගෙදර සහ මාවතගම අතර වෑඋඩ කියන සුන්දර ගම්මානය තමයි මෙම ටෙලි නාට්‍යය රූගත කරන්නේ. වෑ උඩ සිට කිලෝමීටර් පහකටත් එහා දුරක පුස්සැල්ල කියලා ගමක මේ දර්ශන තලය අපි හොයාගන්නේ. මේ තිර පිටපත බැලුවම මට ඔළුවට ආවේ "මල්ගුඩි දවසේ" වගේ මනඃකල්පිත ගම්මානයක්. ඒ අතරෙ මම වෙනම ගමක් හොයාගෙන ගියා. කතා ප්‍රවෘත්තිය වඩාත් තීව්‍ර කර මතු කරන්න අවශ්‍යම පසුතලය තෝර ගත්ත කියල මම හිතනවා."

ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ගේ බොහෝ නාට්‍යවල අපි දකින්නේ එකම නළු නිළි පිරිසක්. අධ්‍යක්ෂවරයෙක් විදිහට ටෙලි නාට්‍ය ගණනාවක් නිර්මාණය කරනකොට එකම නළු නිළි පිරිසක් එක්ක වැඩ කරන්න උත්සහ කරනවද කියන ප්‍රශ්නයත් අපි ඇහුවා.

"මගේ නිර්මාණ පිටපතේ සිට තේමාව අතින් එකිනෙකට වෙනස්. ඒ නිසාම එකම නළු නිළි පිරිසක් එක්ක වැඩ කරනවා කියලා මට කියන්න ඉඩකඩක් නැහැ. විශේෂයෙන්ම තිර රචනයේ දී ගොඩනැඟෙන චරිතය නාට්‍ය තුළ ඉටු කර ගන්නයි මම නිතරම උත්සාහ කරන්නේ. එතැනදී චරිතයට සාධාරණය කරන්න පුළුවන් කවුද කියන කාරණයයි මම ප්‍රධාන වශයෙන්ම සලකලා බලන්නේ. මගේ ටෙලි නාට්‍යය සියල්ලම නිරීක්ෂණය කරල බැලුවොත් එය වැටහේවි.

ඔබ ටෙලිනාට්‍ය 25ක් පමණ නිර්මාණය කරපු අධ්‍යක්ෂවරයෙක්. ඒ සියලු නිර්මාණ ප්‍රධානම නාළිකාවල විකාශනය කරන්න තරම් සුදුසුකම් ලැබූ නිර්මාණකරුවෙක්. මේ කටයුත්ත පහසු කටයුත්තක් ද? අප විමසුවාම ටිකිරි මෙහෙම කිව්වා.

" මගේ එක් නිර්මාණයක වැඩ කටයුතු අවසන් කරලයි මම අනිත් නිර්මාණයට අත තියන්නේ. ඒ වගේම මගේ නිර්මාණ නිරන්තරයෙන්ම නාළිකාවන් විසින් මිලදී ගන්න කටයුතු කළා. මම නිතරම උත්සාහ කරන්නේ කරන වැඩේ හරියට ඉවරයක් දකින්න.“

මා 1993 පේරාදෙණිය සරසවියෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධියක් ලබාගෙන පිට වෙනවා. රජයේ රැකියාවක් ලබාගන්න අවස්ථාව තිබෙද්දී මට අවශ්‍ය වෙන්නේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට එන්න.

ඒ යුගය වනවිට ප්‍රධාන වශයෙන් රාජ්‍ය රූපවාහිනී නාළිකා දෙක සහ එක් පෞද්ගලික රූපවාහිනී නාළිකාවක් ක්‍රියාත්මක වුණා. මගේ පළවෙනි ටෙලිනාට්‍ය නිර්මාණය විකාශනය කර ගන්න කිසියම් අභියෝගාත්මක කාලයක් මට ඉන්න වුණා. මම අධ්‍යක්ෂණය කරපු මුල්ම ටෙලි නාට්‍යය "හිම කුණාටුව". පසුව ජාතික රූපවාහිනියේ එය විකාශනය කළා. ඒ දවස්වල ටෙලි නාට්‍ය කොටස් දහයක් හෝ පහළොවක් අතර නිර්මාණය වන්නක්. අවුරුද්දක් දෙකක් ඉඳලා තමයි තවත් නිර්මාණයක් කරන්නේ.

ටිකිරි දීර්ඝ ටෙලි නාට්‍ය ගණනාවක්ම නිර්මාණය කළ නිර්මාණකරුවෙක්. ‘මුතුකුඩ‘ ටෙලි නාට්‍ය ඔහු අතින් නිර්මාණය වන ඓතිහාසික තේමාවක් ගත් දීර්ඝ ටෙලි නාට්‍යයක්. කේ බී හේරත් රචනා කරපු මේ ටෙලි නාට්‍යය කොටස් 350ක් නිර්මාණය කරන්නට ඔහුට හැකි වුණා. ඉතිහාසය ගැන සිදුවුණ මේ සාකච්ඡාව නිර්මාණයක් බවට පත් කරගන්නට හැකි වන්නේ දෙරණ නාළිකාව නිසා. එය මගේ ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක්. එය ප්‍රේක්ෂකයන් අතරට ගිය නාට්‍යයක්. මගේ නිර්මාණ ජීවිතයට ශක්තියක් වෙමින් ටෙලිනාට්‍යවල නිෂ්පාදිකාව බවට පත්වෙමින් මගේ ළඟින් ඉන්න සාමා රත්නායක මගේ බිරියටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන.

 

Comments