භවගමන නිම කරන තුරු එක්ව යා හැකි ආදරයක් ලැබීම වාසනාවක් | සිළුමිණ

භවගමන නිම කරන තුරු එක්ව යා හැකි ආදරයක් ලැබීම වාසනාවක්

 

 

ආදරය වනාහී විවිධාකාර වූ අරුත් දිය හැකි හැඟීමකි. ඇතැමුන්ට එය මී බිඳුවක් සේ මිහිරි වන අතර තවත් සමහරුන්ගේ ජීවිතවල කටුක කර්කෂ අත්දැකීමක් බවට පත්වෙයි. හිමි වුව ද අහිමි වුව ද ආදරය මිහිරි හැඟීමක් ලෙස විඳින්නට හැකි නම් විරහව වේදනාවකට එහා ගිය රසයක් කැන්දයි. එකට බැඳුණු අතැඟිලි කිසිදිනෙක කිසිදු හේතුවකට ගිලිහෙන්නට ඉඩ නොදී ජීවිත කාලය පුරා නොව, සංසාරය පුරා රැගෙන යන්නට සැබෑ ආදරවන්තයෝ පෙරුම් පුරති. ආදරයට අරුත් දෙන්නට හැකි ආදරය පිරුණු සිතක් රැගෙන අද හද බැඳි ගීයට එකතු වන්නේ හැම මුවකම සිනහවක් රඳවන්නට හැකි ප්‍රතිභාවක් රැගත් සොඳුරු රංගන ශිල්පිනී සුසිලා කෝට්ටගේ ය.

 

විවාහ බැම්මක බැඳෙන තරම්ම වේගයෙන් ඒ බැමි බිඳෙන හැටි වර්තමාන සමාජයේ බොහෝ තැන්වලින් දක්නට ලැබෙනවා. එය කිසි විටෙකත් සතුටුදායක ප්‍රවණතාවක් ලෙස මට දකින්න හැකියාවක් නැහැ. විවාහ ජීවිතයට ඇතුළත් වන මොහොතක, එසේත් නැතිනම් ආදර සම්බන්ධතාවක් ආරම්භ කරන මොහොතක ඕනෑම කෙනකුගේ සිත තුළ ඇතිවන හැඟීම ජීවිත කාලය පුරා නොවෙයි සදාකාලිකවම ඒ බැඳීම එකට ගමන් කළ යුතුයි.

" සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු.." ගීතය බොහෝ දෙනාගේ මුවින් වරක් හෝ මිමිනෙන්නට ඉඩ තිබෙන්නේ ඒ ගීතය ආදරයෙහි සදාතනික බව ඉඟි කරන නිසා.

මට මේ ගීතය විශේෂ වන්න හේතු කිහිපයක් තියෙනවා. වසර ගණනාවකට පෙර ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනය වූ සත්සර රංගන නම් ගීතයක අරුත මුහු වූ ටෙලි නාට්‍යයෙහි මේ ගීතය රැගත් කතාංගයේ බිරියක ගේ චරිතය නිරූපණය කරන්න මට අවස්ථාව හිමි වුණා. එම චරිත ස්වභාවය අනුව මම සැමියා නිසා අප්‍රමාණ දුක් විඳින, පසුව උමතු රෝගියකු වී සැමියා අතින්ම මියයන දුක්බර පතිනියක් වුණා. ගීතයත් සමඟ බැඳුණු අනෙත් අත්දැකීම් මට පමණක් සාපේක්ෂ නොවන මුළු මහත් සමාජයටම අදාළවන කතාන්දර.

අතීතයේ විවාහය නමැති බැම්මෙන් බැදුණු පසු විවිධාකාර වූ හැලහැප්පීම් රාශියක් මැද වුවත් ජීවිත කාලය පුරා ඒ බැඳීම් එකට ගමන් කළා. නමුත් අද වන විට ඒ බැදීම් බොහොම සුළුකොට තකන්නට සමාජය හුරු වී තිබෙනවා. ඒ වගේ බැඳීම්වලට අඩු තක්සේරුවක් හිමිවන යුගයක මේ ගීතය ඇතුළේ කියවෙන වචනවල අරුතට, ඒ වටිනාකමට සීමාවක් නැහැ.

"ජීවන මං පෙත මලින් සැදී ගිය යුගයක නොව ඔබ හමු වුයේ....

කටු කොහොලින් පිරි කලල් දියේ මා තනිව මියෙද්දිය හමු වුයේ... "

මගේ ජීවිතයේ කුඩා කාලෙ පවුලක් තුළ තිබෙන බැඳීම ගැන අත්දැකීම් විඳින්නමට ඉඩකඩ හිමි වුණේ නැත්තේ මගේ උපතේදීම මට අම්මා අහිමි වූ නිසා. මවුපියන් පවුල වෙනුවෙන් එක බැඳීමක සිට කටයුතු කරන විදිය මගේ පවුල තුළින් මට දකින්නට ලැබුණේ නැහැ. ඉතින් ජීවිතයේ බොහෝ තැන් සතුටු දායක වුණේ නැහැ. බොහොම දුක් කරදර මැද ඉදිරියට පැමිණි ගමනක අතරමග මගේ අත අල්ලා ගත් මගේ ආදරය තුළින් මං මේ ගී පද දකිනවා. මම නොවිඳී පවුලක් තුළ අත්දැකීම් සියල්ලම මට විඳින්නට ලැබුණේ මගේ ආදරණීය සැමියා නිසා. ඔහු තුළින් මම මගේ ෙමවුපියන් සහෝදරයන් සියල්ලන්ම දුටුවා. ඒ ආදරයෙන් මගේ ජීවිතය පරිපූර්ණ වූ බවක් මට දැනුණා. එදා දුක මැද ජීවත් වූ මට අද තව මුහුණක හිනාවක් රඳවන්නට පුළුවන් තරමට මාව සවිමත් කරන්නට ඒ ආදරේට පුළුවන්.

අප කිසිවෙක් සර්ව සම්පූර්ණ මිනිස්සු නොවෙයි. සෑම පවුලක් තුළම විවිධ දේවල් නිසා විවිධාකාරයේ ගැටලු මතු වෙනවා. නමුත් ඒවා එකට එකතුවී විසඳා ගනිමින් ඉදිරියට යාමයි සැබෑ ආදරයක ස්වභාවය විය යුත්තේ. විවාහ ජීවිත බිඳ වැටීම් පිළිබඳ විවිධාකාර වූ මතිමතාන්තර ඉදිරිපත් වුවත් බැඳීමක් බිඳ වැටෙන්නට පෙර එය රඳවා ගන්න අප සෑම කෙනෙක්ම උත්සාහයක් නොදරන බව පවසන්නට බැහැ. ආදරයක් සාංසාරික වන්නේ, එය භවයෙන් භවයට ගමන් කළ යුතු යන හැඟීම ඇති වන්නේ, එය ඉතා තදින් එකිනෙකා කෙරෙහි බැඳී පවතින්නේ අපේ සිතුවිලිවලට ඉතා හොඳින් ගළපා ගන්නට හැකි කෙනෙක් තෝරා ගත්තොත් පමණයි.

"සංසිඳුවා සිත පහන් කරන්නෙමි මේ පෙම කුලුඳුල් පෙමය සිතා....

එන්නෙමි පසුපස සංසාරේ කැපවෙමි ඔබ සිතු ගැනම සිතා..."

ආදරයක් කුලුඳුල් ප්‍රේමය ද එසේත් නැතිනම් ජීවිතයේ පසු කාලයේ දී මුණ ගැසෙන ප්‍රේමයක් ද යන්න වැදගත් වන්නේ නැහැ. එය ජීවිතය පුරා ශක්තිමත්ව රැඳෙන්නට හැකි, සිත සනසන, දුකසැප ඉවසන බැඳීමක් වීමයි වැදගත්. සර්ව සම්පූර්ණ තැන් සොයන්නේ නැතුව අඩුපාඩු ඉවසමින් අනෙකාට ගරු කරමින් ජීවත් වන්නට හැකි වන ඕනෑම තැනෙක ආදරය බිඳී නොගොස් රැඳී තියෙනවා.

දවසක ගත වාරු නැති වන තුරුත් ඉන්පසුව භවගමන නිමා කර කරන තුරුත් එකටම යමු කියන්නට හැකි ආදරයක් ලැබීම වාසනාවක්...

 

Comments