
විල්සන් ගුණරත්න මේ රටේ ඉන්න විද්වත් රංගන ශිල්පියෙක්. තමන්ගේ විෂය පථය ගැන විද්‍යාත්මක හැදෑරීමක් කළ විශිෂ්ටයන් අතළොස්ස අතරින් කෙනෙක්. හෝටල් කළමනාකරණ ක්ෂේත්‍රයේ වෘත්තිකයෙක් ලෙස කටයුතු කරමින් සිටි අවධියක දැනුම්වත් භාවයකින් යුතුව රංග කලාවට පිවිසි විල්සන් ගුණරත්න මේ වනවිටත් පුද්ගල හැකියා සංවර්ධනය හා කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මේ වනවිට සිරස රූපවහිනී නාළිකාවේ විකාශයවන “කියා දෙන්නම් ආදරේ තරම්“ ටෙලි වෘතාන්තයෙන් යළිත් විල්සන් ගුණරත්න අප අතරට එනවා.
මේ ජ්‍යෙෂ්ඨ කලාකරුවා සමඟ සංවාදය ඇරඹෙන්නේ ඔහු මේ රටේ ප්‍රහසන කලාව ඔස්සේ ආකල්පමය නිද්‍රාවක වැටී සිටි ප්‍රේක්ෂකයන්ගේ බුද්ධිය ආමන්ත්‍රණය කළ විශිෂ්ටයෙක් බවට වූ ගෞරවනීය හැඟීමත් සහිතවයි.
ඔහු සංවාදයට ප්‍රවේශ වෙන්නෙ කලාවට මං පෙත් විවර වූ ආකාරය ගැන අතීත මතක අතරින්.
"මගේ සහෝදරයා විසින් තිර රචනය කරපු චිත්‍රපටයකදී ප්‍රවීණ රංගන ශිල්පී ටෝනි රණසිංහයන් මට මුණගැහෙනවා. ඒ වනවිට මම හෝටල් කළමනාකරණ ක්ෂේත්‍රයේ ප්‍රධාන තනතුරක කටයුතු කරමින් හිටියේ. ඒ හමුවීමෙන් පසු මා සේවය කළ හෝටල් පරිශ්‍රය එම චිත්‍රපටයේ දර්ශන තලයකට ඔවුන් විසින් යොදා ගත්තා. එදා තමයි මගෙයි ටෝනිගෙයි මිත්‍රත්වය ආරම්භ වෙන්නෙ. මට රඟපෑමට එක් වෙන්න කියලා ආරාධනා කළේ ටෝනි. “
එහෙත් රැකියාව නිසා කාර්ය බහුලවන විල්සන් ගුණරත්න ඒ අවස්ථාවේදි ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. ඉන් අනතුරුව නාට්‍යවේදී බන්දුල විතානගේ අධ්‍යක්ෂණය කරන මහා කවි ශේක්ෂ්පියර්ගේ "වැනිසියේ වෙළෙන්දා"පරිවර්තන නාට්‍ය කෘතියේ ආදිපාදවරයාගේ චරිතයට ටොනි රණසිංහයන් විල්සන්ව යෝජනා කරනවා. විල්සන් ගුණරත්න රංගවේදියාගේ ජීවිතය හැරවුම් ලක්ෂ්‍යය ඒ නාට්‍ය නිර්මාණයයි. ඔහු ඒ ගැන සිහි කරන්නේ මේ ආකාරයට.
‘වැනීසීයේ වෙළෙන්දා‘ මගෙ පළමු නිර්මාණ අත්දැකීම. ටෝනි තමයි එහි ප්‍රධාන චරිතය කළේ. මේ වෙලාවේ ගෞරවයෙන් මගේ මිත්‍රයන් දෙදෙනාම මතක් කරනවා. ටෝනි රණසිංහයන් සහ බන්දුල විතානගේ. ‘සකල ජන‘, ‘මුහුණු දෙකක්‘ ආදී ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය ගණනාවක මට රඟපාන්නට ඉඩකඩ ලැබෙන්නෙ ඉන් අනතුරුව.“
විල්සන් ගුණරත්න සිනමාවට ප්‍රවේශ වෙන්නේ ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘කොටි වලිගය‘ චිත්‍රපටයෙන්. අනතුරුව ඔහු රූපවාහිනි ටෙලි නාට්‍ය අතර ‘නෝනාවරුනි මහත්වරුනි‘ , ‘සත්පුර වැසියෝ‘ වැනි බොහෝ ටෙලි නාට්‍යවල රංගනයෙන් දායක වෙනවා. ඒත් ඔහු වඩාත් සහෘදයන් අතට යන්නෙ ප්‍රහසන නළුවෙක් විදිහට.
“ඔබ ප්‍රහසන නළුවෙක් වෙන්න හිතුවේ ඇයි?. “අප ඔහුගෙන් විමසුවා. ඔහු දෙන්නේ අතිශය සංවේදී පිළිතුරක්.
"කුඩා කාලයේම. මගේ පියා මිය යනවා. මගේ මව මට විශාල ශක්තියක් එතනදී. කුඩාකල පාසලට යනකොට ඇය මට එකවර පැන්සල් දෙකක් දෙනවා. එක පැන්සලක් මට අකුරු ලියන්නත්. ඒ වගේම අනෙක් පැන්සල නැති බැරි ළමයකුට දෙන්න ඇය මට කියලා දෙනවා. ඒ නිසා පුංචි කාලේ ඉඳන් මිනිසුන්ට උදව් කරන පුරුද්ද වගේම පොඩි මිනිස්සුන්ගේ දුක වේදනාව තේරුම් ගන්න හැකියාවක් මට ලැබුණා.
මගේ රැකියාවට අනුව දවසට ඇඳුම් තුනක් මාරු කරන්න මට සිදු වෙනවා. ඒ පහසුකම මට තිබුණා. බොත්තමක් එබූ සැණෙන් අවශ්‍ය කරන කෑම බීම ලැබෙනවා. මේ ජීවන රටාව මගේ අම්මා දැනගෙන හිටියා. මගේ මව තමයි මට කිව්වෙ මේ ජීවිතයට එහා තව ලෝකයක් තියෙනවා ඔයා ඒක දකින්න ඕනෑ කියලා.
ඇය තමයි මාව රැගෙන යන්නේ අසරණව රෝගීව තනිව සිටින මිනිස්සු ඉන්න තැන්වලට. මිනිසුන් තුළ තිබුණ ආතතිය වේදනාව මම එතනදී දැකලා තියෙනවා. මිනිසුන්ගේ ඒ කඩා වැටුණු ජීවිතවලට සුවපත් භාවයක් දෙන්න කෙනකුට හැකියාවක් තියෙනවා නම් ඒක මොන තරම් වටිනවද කියලා මට හිතුණා. මිනිසුන්ට මුවඟට සිනාවක් ගේන්න පුළුවන්ද යන කාරණය මගේ මනසට ඇතුළු වෙන්නේ එදා.
ප්‍රහසන කලාව අතිශය සියුම් භාව නිරූපණයක්. ඔබ ඒ කලාව ප්‍රගුණ කරන්න යම් හැදෑරීමක් කළා ද? අප විමසුවේ ඔහුගේ රංගනය තුළ තිබෙන විශිෂ්ට වෘත්තීයමය ලක්ෂණ නිසා.
“ ඔව්... නවදිල්ලි නුවර නොයිදා විශ්වවිද්‍යාලයට අනුබද්ධ IFT ආයතනයෙන් හාස්‍යෝත්පාදක රංගනය පිළිබඳ විද්‍යාත්මකව හැදෑරීමක මා නියැළුණා. ඒ හැදෑරීමට අදාළ මගේ පර්යේෂණය වුණේ හාස්‍යෝත්පාදක රංගනය මඟින් කොහොමද මිනිසුන්ට වඩාත් ළංවන්නේ යන කාරණාව.
මවිසින්ම අධ්‍යක්ෂණය කළ ‘චරිත හතක්‘ සහ ‘චරිත අටක්‘ හාස්‍යෝත්පාදක දේශපාලන ප්‍රහසන නාට්‍ය ඒ හැදෑරීමේ ප්‍රතිඵලයක්. ඒ නාට්‍ය නිර්මාණ වසර විස්සක් පුරා ප්‍රේක්ෂකයන් අතරට අරගෙන යන්න මට හැකි වුණා. මොනෑෂ් විශ්ව විද්‍යාලයේ මෙම නාට්‍ය දර්ශන ගත කළා. ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමාණික විද්වතුන් ඒ දර්ශනය නරඹා මට හොඳ ප්‍රතිචාර දැක්වූවා."
ප්‍රහසනය ඔබ දකින්නේ කොහොමද? අප ඔහුව විමසුවේ ඒ අත්දැකීම ඔහුගේ වචනවලින්ම පැහැදිලි කරගන්න.
"ප්‍රහසනය බිහිවෙන්නේ මානව වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන්. හාස්‍යය මඟින් මිනිසා උත්තේජනයක් ලබනවා. එය මානසිකව ලබන අනුභූතියක්. මිනිසුන් ආතතියෙන් මිදුණාම එය සමාජ සංවර්ධනයටත් ඉවහල් වෙනවා. එය තුන්වෙනුව බලපාන්නේ කායික නිරෝගී භාවයට. එය සෘජුවම අපේ ජීවිතයට බලපානවා. ඉන් අපට පේනවා හාස්‍යෝත්පාදක රංගනය මිනිසුන්ගේ ජීවිතවලට කරන පැහැදිලි බලපෑම. ඒත් මේ කලාව සම්බන්ධව අපට ප්‍රමාණවත් අවබෝධයක් නෑ. ඒ නිසාම දොන් සිරිසේන, ප්‍රෙඩී සිල්වා, ඇනස්ලි ඩයස්, බර්ටි ගුණතිලක, සැමුවෙල් රුද්‍රිගූ, ආදී ප්‍රහසනයේ ප්‍රවීණයන්ට හොඳ ඇගයීමක් ලබා දෙන්න අපිට හැකියාවක් නැති වුණා."
අපේ රටේ ප්‍රහසන කලාව පිළිබඳ සෑහීමට පත්වෙන්න පුළුවන්ද කියලා මේ කතාබහ අතරතුර අහලා බැලුවා.
"මගේ ප්‍රහසන න්‍යායන් ගොඬනගන්න දේශපාලනය කියන මාතෘකාව මම තෝර ගත්තා. දේශපාලකයින් තමයි හොඳටම ප්‍රහසන කරන්නේ. අපිට රංගනයට අවශ්‍ය කරන සියලුම අමුද්‍රව්‍ය ඔවුන් සපයනවා. ඒක හැම රටකටම පොදුයි. මම වේදිකාවට ගෙනාපු ප්‍රහසන තුළ මිනිස්සු හිනා වුණා වගේම ඇතැම් වෙලාවට මිනිස්සු අඬලත් තිබෙනවා.
මගේ නාට්‍යයක එක්තරා දෙබසක් මට මතක් වෙනවා. දේශපාලනඥයාගෙන් අහනවා ඔබතුමා ඇයි අපිව රවට්ටන්නේ කියලා. දේශපාලනඥයා පෙරළා අහනවා ඇයි උඹලා මට රැවටෙන්නේ කියලා. මේකට මිනිස්සු හිනා වෙනවා. මොහොතකට ඒ හිනාව ප්‍රශ්නාර්ථයක් බවට පත්ව ප්‍රේක්ෂකයා නිහඬ වෙනවා. මිනිසුන් හිතන්න පෙලඹෙනවා. ඉන්න තැනින් ඉදිරියට එන්න කලා නිර්මාණවලින් ඔවුන්ට කතා කරන්න පුළුවන් ."
අවසාන වශයෙන් ඔහු අපට කියන්නේ සිතා බැලිය යුතු කතාවක්.
මගේ වෘත්තියත් එක්ක මට ලොකයේ බොහෝ රටවලට සංචාරය කරන්න සිද්ධ වුණා. ලෝකය දැක්කා. මම දැන් වියපත් මනුෂ්‍යයෙක්. අපේ ළමා කාලයේ පටන් තවමත් අපි සංවර්ධනය වෙමින් පවතින රටක්. අපි කතා කරන්නේ අපේ නොදියුණුකම ගැන. එත් අපි සියවස් ගාණකට පෙර චිරන්තන ලෝකයේ දියුණුව සිටි ජාතියක්.
අපිට අයිතියක් තිබෙනවා හෘද සාක්ෂියට අනුව මේ රට නිවැරදි දිශානතියකට යනවා දකින්න. අපේ මිනිස්සු ඉන්නෙ තද නින්දක. ඒ නින්දෙන් මිනිස්සුන්ව අපි ඇහැරවන්න ඕන. කලාකරුවෙක් විදිහට මම ඒ වෙනුවෙන් මගෙ කලාව භාවිත කරනවා.
ඡායාරූපය - දයාන් විතාරණ