අපේ හීන හැබෑ කරගන්න අඩියක් පස්සට තියන්න වෙන වෙලාවලුත් තියෙනවා | සිළුමිණ

අපේ හීන හැබෑ කරගන්න අඩියක් පස්සට තියන්න වෙන වෙලාවලුත් තියෙනවා

සම්පූර්ණ නම

මිහිඳු කෝසල අර්ජුන හේවාමද්දුම

ගම් පළාත

කොළඹ කළුබෝවිල

උපන්දිනය

1973 නොවැම්බර් 18

සහෝදර සහෝදරියන්

මට සහෝදරියන් දෙන්නෙක් ඉන්නවා

අම්මා තාත්තා

අමර හේවාමද්දුම තාත්තගෙ නම. ඔහු රජයේ රැකියාවක් කළේ. අම්මා ගෞරව උපාධිධාරිනියක් වුණාට රැකියාවක් කළේ නෑ.

පාසල් ගියේ?

කොළඹ රාජකීය විද්‍යාලයට

පාසල් කාලය ගෙවෙන්නෙ කොහොමද?

මම ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණා. පසු කාලයේදී වූෂු කළා. විවිධ බාහිර වැඩ ගොඩක් කළා

මොනවද උසස් පෙළට කළේ?

ගණිත අංශයෙන් මම උසස් පෙළට පෙනී සිටියෙ. මට විශ්වවිද්‍යාලෙ යන්න ඇත්තටම උවමනාවක් තිබුණෙ නෑ.

උසස් පෙළෙන් පස්සෙ මොනවද කරන්න හිතන් හිටියෙ?

මට ඕන වුණේ හමුදාවට යන්නෙ. ඒකට අදාළ සේරම විභාගත් මම සමත් වුණා. යන්නම තමයි ලෑස්ති වුණේ.

ඒත් ඔබට හමුදා සේවා කාලයක් නැහැ නේද?

අම්මා ලෙඩ වුණා. අම්මා වෙනුවෙන් මම මගේ සිහිනය කැප කළා.

ඒ කියන්නෙ අම්මා කැමැති වුණේ නැද්ද හමුදාවට යනවට?

මටවත් මගේ අක්කලා දෙන්නවටත් අම්මවත් තාත්තවත් කිසිම නීතියක් දාලා තිබුණෙ නෑ. එයාලා අපිට ඕන දෙයක් තෝරා ගන්න නිදහස දීලා තිබුණා. ඒ වුණාට පුතකුට දැනෙනවා අම්මාගේ හදවත. අම්මට හෘදයාබාධයක් ආවා, මට දැනුණා ඒකට හේතුව වුණේ මම හමුදාවට යන්න හදපු එක කියලා.

උසස් පෙළ ප්‍රතිඵල මොනවද?

මට තිබුණෙ B-2 යි C-2.මම කල්පනා කළා මොකද්ද කළ යුත්තේ කියලා. මේක මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්. මම නිතරම පත්තර කියවනවා. වරලත් අලෙවිකරණ ආයතනය ලංකාවට හඳුන්වා දීමේ දැන්වීමක් ඩේලිනිව්ස් පත්තරේ පිටු දෙකක් පුරා පළවී තිබුණා. මම මේක මගේ තාත්තට කිව්වා. තාත්තා හරියට කැමැති වුණා. අන්තිමට මම අවුරුදු එකහමාරෙන් විභාගෙ ඉවර කළා.

වරලත් අලෙවිකරණය කරන කාලෙ වෙනත් විභාග මොනවත් කළේ නැද්ද?

මම විවෘත විශ්වවිද්‍යාලෙ පාඨමාලාවක් කළා. මට තේරුණා මේ විෂයයන් කරද්දි ගණකාධිකරණ විෂයයන් සම්බන්ධ දැනුමක් තියෙන එක වටිනවා කියලා. මම තාත්තගෙන් උදව් ඉල්ලුවා මේ විභාග කරන්න.

මේ විභාගවලට වැය වෙන පිරිවැය වැඩියි. අක්කලා දෙන්නෙකුත් ඉඳිද්දි ඔබට විතරක් වියදම් කරන එක ගැටලුවක් වුණේ නැද්ද?

තාත්තා රජයේ රැකියාවක් කළේ. ඇත්තටම අපි පොඩි කාලෙ සුඛෝපභෝගී ජීවිත ගත කළ අය නොවෙයි. ඒ වුණාට තාත්තා කිව්වා අපි කොහොම හරි කරන්නම් කියලා. මට CIMA පියවර හතරටම A සාමාර්ථ තිබුණා. එයාලා මට වියදම් කළේ ගෙදර තිබුණු රත්තරන් බඩු උකස් කරලා. අම්මා හිටියෙත් අසනීපෙන්. මම හිතුවා රැකියාවක් කරන්න ඕන කියලා.

මොකද්ද පළවැනි රැකියාව?

මම ගියේ NDB බැංකුවට, කළමනාකරණ පුහුණුවන්නෙක් විදියට. මට වාසියක් වුණා අලෙවිකරණය සහ ගණකාධිකරණය හදාරා තිබීම වගේම උසස් පෙළට ගණිතය හදාරා තිබීම. මට කුඩා ප්‍රමාණයේ විදුලි බලාගාර ගැන තමයි බලන්න තිබුණෙ. මට තිබුණෙ ඉංජිනේරු මහත්තයෙක් එක්ක ගිහින් ඒ ව්‍යාපෘති ගැන තක්සේරු කිරීම ඇතුළු වැඩ කොටස කරන්න. ඒකෙදිත් මාත් එක්ක ගිය ඉංජිනේරු මහත්තයා මට යනකම් එනකම් එයා දන්න සියලු දේ කිසිම ගුරු මුෂ්ටියක් නැතිව කියලා දුන්නා.

ගණකාධිකරණ විභාගවලදි ප්‍රායෝගික පුහුණුවක් සම්පූර්ණ කරන්න ඕනනෙ. ඔබ එය ඉටු කර ගත්තේ NDB බැංකුවෙන්ද?

ඔව්. ඒ වෙලාවෙදි CIMA සාමාජිකත්වය ගන්න මට ඕන කරන දේවල් NDB බැංකුවෙ කළමනාකාරීත්වය සම්පාදනය කරලා දුන්නා. මගේ මූලික රැකියා කටයුතුවලට අමතරව උපදේශනය පැත්තේ කටයුතු කරන්නත් මට අවස්ථා සම්පාදනය කරලා තිබුණා.

NDB බැංකුවේ කොච්චර කල් ඉන්නවද?

අවුරුදු එකහමාරක් විතර. හැම පහසුකමක් ම තිබුණත් මේක නෙවෙයි මගේ ජීවිතේ කියලා ටිකක් කල් යද්දි මට තේරෙන්න පටන් ගත්තා. එතකොට මම විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්. ලංකාවෙන් ඔබ්බට යන්න මට උවමනාව තිබුණා. මම අවදානමක් අරගන්න තීරණය කළා. එතනින් මම යුනිලිවර් සමාගමට බැඳුණා.

ආරාධනයක් ලැබුණද; නැත්නම් මොකද්ද බැඳුණු තනතුර?

නෑ. මම කැමැත්තෙන් ඉවත් වුණේ. අනික මම යුනිලිවර් එකට බැඳුණෙ කළමනාකරණ පුහුණුවන්නෙක් විදියට.

ඒ කියන්නේ ඔබ ඉස්සරහට යනවා වෙනුවට පස්සට අඩියක් තිබ්බා?

සමහර වෙලාවට අපේ හීන හැබෑ කරගන්න නම් අඩියක් පස්සට තියන්න වෙනවා. දුර පෙනෙද්දි අඩියක් පස්සට තියන එක එච්චර ලොකු දෙයක් විදියට තේරෙන්නෙ නෑ. මම විකුණුම් අංශයේ අවුරුදු එකහමාරක් හිටියා. මට හොඳ බොස්ලා දෙන්නෙක් හිටියා. එයාලා මට දුන්නා හොඳ ව්‍යාපෘතියක් එක්ක වැඩ කරන්න අවස්ථාවක්. අපි පොඩි සුපිරි වෙළෙඳ සැල් එකතු කරලා වෙනම ජාලයක් හැදුවා එයාලට වෙනම පහසුකම් සපයන්න. මම ඒකෙන් හොඳ පාරිභෝගික ජාලයක් නිර්මාණය කළා.

මේ අතරෙ ඉගෙන ගත්ත දේවල්වලින් ප්‍රයෝජනයක් ගන්න ඕන කියලා හිතුණෙ නැද්ද?

මම ඒ අතරෙ CIMA දේශන කරන්න පටන් ගත්තා. මට ඉගැන්වීමේ හැකියාවක් තිබුණා. මගේ ආයතනයෙනුත් මම කළ පුහුණු වැඩසටහන් සාර්ථක නිසා මාව ඒ දේවල්වලට යොමු කළා. හැබැයි මගේ සිහිනය අලෙවිකරණය. මෙහෙම ඉද්දි මගෙ ඊළඟ උසස්වීම ආසන්නයේ ඉද්දි මට අලෙවිකරණ අංශයේ අවස්ථාවක් ලැබුණා. ඒ වෙළෙඳ සන්නාම අංශයේ.

එතකොට අර ලැබෙන්න තිබුණු උසස්වීම?

ඒක මට ලැබුණෙ නෑ. මොකද මම අලෙවිකරණ අංශයට ගියාම කළමනාකාරීත්වය කිව්වා, ඔයා මේ අංශයට අලුත් කෙනෙක්, ඒනිසා මෙතන වැඩ පෙන්නුවට පස්සෙ තමයි උසස්වීම දෙන්න වෙන්නෙ කියලා. මම ලැබෙන්න තිබුණු උසස්වීම තියලා තමයි එතනට ආවෙ. මොකද මට තේරුණා මගේ ජාත්‍යන්තර තලයට යන්න තියෙන සිහින මාර්ගය තියෙන්නෙ අලෙවි අංශයේ කියලා. විකුණුම් අංශයේ ඒකට යන්න තියෙන අවස්ථා හරි අඩුයි. ඒ කාලෙ අපි විශ්වවිද්‍යාලෙ කළමනාකරණ පුහුණුවීම් සඳහා එක කණ්ඩායමක්මනෙ ගන්නෙ. අනික් අය තමන් හිටපු අංශවල ප්‍රධානීන් වෙද්දි මම අපේ කණ්ඩායමේ උසස්වීමක් නොලබපු එකම කෙනා වුණා. මම සන්නාම වෙනස් කරමින් වෙළෙඳ නාම හඳුන්වා දෙමින් වැඩ කරගෙන යද්දි අපේ ආයතනයේ ඉඳපු ඉන්දියානු ප්‍රධානියෙක් මගේ දක්ෂතා හඳුනා ගත්තා. 

කොතනින්ද, එහෙමත් නැත්නම් ඔබේ කුමන ක්‍රියාකාරකමක් දැකලද ඒ හැකියාව හඳුනා ගත්තේ?

ඔබට මතක ඇති සුනාමි ව්‍යසනය. ඒ වෙලේ මම නායකත්වය අරගෙන අපි කිිහිපදෙනෙක් එකතු වෙලා අනාථ වුණු අයට උදව් කරන්න ඉදිරිපත් වුණා. අපි තමයි පිසූ ආහාර මුලින් ම ඔවුන්ට ලබා දුන්නේ. ඊළඟට ආයතනික හා අපේ වැටුප් පරිත්‍යාග මුදල් එකතු කරලා එදිනෙදා අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය මලු ඔවුන්ට පැය 24ක කාලයක් ඇතුළත ලබා දුන්නා. අපි කළ දේ දැකලා අපේ මවු සමාගම අපට යුරෝ මිලියන 100ක පරිත්‍යාගයක් ලබා දුන්නා, මේ අසරණ අයට උදව් කරන්න. මගේ ජීවිතේ නායකයෙක් විදියට ලබපු විශාලතම පෙරළිය ඒක. සමහර විට නායකයෙක් බිහිවෙන්නේ කුමක් හෝ අර්බුදයක් පවතින අවස්ථාවක.

එහෙම එක දෙයක් මදි කෙනකුගේ කුසලතාවක් හඳුනා ගන්න. තව මොනවද ඔබට ලැබුණු අවස්ථා?

මට පුළුවන්කම තිබුණා හොඳට උගන්වන්න. මාව පිටරට යවලා පුහුණු කළ හැම අවස්ථාවක ම වගේ මම ලංකාවට ඇවිත් ඒ ඉගෙන ගත් සියල්ල නැවත අනික් අයට කියලා දුන්නා. ඒ නිසා මාව එවැනි පුහුණුවීම්වලට යවන්න කළමනාකාරීත්වය දෙපාරක් සිතුවෙ නෑ. දවසක් මම ඉන්දුනීසියාවෙ එහෙම පුහුණුවීමකට ගිහින් ඉද්දි මට මගේ ප්‍රධානියා කතා කරලා කිව්වා ඔයාට මාරු වෙන්න වෙනවා පුද්ගලික සනීපාරක්ෂක පැත්තට කියලා. එතකොට මම හිටියෙ රෙදි සේදුම් අංශයේ. ඒකෙදි මම මට පැවරුණු අංශයෙන් යුනිලිවර් සමාගම ලංකාවේ එක බවට පත් කළා. මම තමයි අපේ ආයතනයේ ප්‍රථම සමාජ මාධ්‍ය ප්‍රචාරණ වැඩසටහනක් කළේ. මම අලුත් නිෂ්පාදන හරහා අපේ ජනතාවගේ මුඛ සෞඛ්‍ය වගේම අනිකුත් සනීපාරක්ෂක සේවාත් වැඩිදියුණු කළා.

ඔබ වැඩ කරන්නෙ බහු ජාතික සමාගමක. ව්‍යාපාරික අරමුණු එක්ක නියමාකාර පුද්ගල සංවර්ධනයක් ඇති කරන්න අවශ්‍ය වටපිටාව ඔබ හදා ගන්නෙ කොහොමද?

ගොඩක් අය හිතන්නෙ බහුජාතික සමාගමක් කිව්වම මුදල් ඉපයීම විතරයි ප්‍රධාන කියලා. එහෙම නෑ. බහුජාතික සමාගම් විසින් තමයි රටේ ගුණාත්මකභාවය ඉහළට ගෙන යන්නෙ. සංසන්දනාත්මක වටිනාකමක් අපට ලැබෙන්නෙ. උදාහරණයක් විදියට දන්ත වෛද්‍ය සායන වගේ ඒවා අපි පුළුල් කළා. ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය ආයතනය එක්ක අපි එකතු වෙලා ලංකාව පුරා දැවැන්ත දන්ත සායන ක්‍රියාත්මක කළා. ගොඩක් අය කැමැති නෑ දත් ගැන බලන්න එන්න. අපි යෙදුවා ඒකට උපක්‍රමයක්. සද්ධන්තාගාරය කියලා කානිවල් එකක් වගේ පවත්වලා මිනිස්සු ගෙන්වා ගෙන ඒ අයගෙ දත් පරීක්ෂා කරලා අපි රටේ ජනතාවගෙ මුඛ සෞඛ්‍ය වෙනුවෙන් කැප වුණා.

ආයතන ප්‍රධානීන් මේ දේවල්වලට සහයෝගය දුන්නද?

මම මේ වැඩ කරන හැටි ආසියා හා අප්‍රිකානු මහාද්වීප භාරව හිටිය ප්‍රධානියා දැනගෙන එතුමාගේ දෙවැනියා එව්වා මේ වැඩ ගැන බලන්න. එතුමා ඒක බලලා තීරණය කරලා තිබුණා මාව එතුමාගේ කණ්ඩායමට ගන්න. පළවැනි පියවර විදියට එතුමා මට කිව්වා මේ කරපු ව්‍යාපෘතිය ගැන ලන්ඩන්වලට ඇවිත් ඉදිරිපත් කිරීමක් කරන්න කියලා. 2006-2007 වගේ කාලෙකදි මෙහෙම අවස්ථාවක් කෙනකුට ලැබෙන්නේ ඉතා කලාතුරකින්. මම පොඩ්ඩක් බයත් වුණා. ඒනිසා මම ඇහුවා මගේ ප්‍රධානියාටත් එන්න පුළුවන් ද කියලා. එයා කිව්වා නෑ ඔබ තමයි මේක හරියටම දන්නෙ, ඒනිසා ඔබම ආ යුතුයි කියලා. මම දවස් 5ක් විතර නැවතිලා මේ ව්‍යාපෘතිය ඉදිරිපත් කළා.

මේ සියලු පාරවල් කැපෙන්නේ ඔබේ කැපවීම සහ නව චින්තනය නිසා?

ඔව්. මට අවස්ථාත් ලැබුණා. මම වෙනස්වීම්වලට හෝ අභියෝගවලට බය වුණේ නෑ. හැමෝම යන පාරවල්වල ගිහින් වැඩක් නෑ. අලුත් පාරවල්වල යන්න ඕන. මම හැමදාම තෝරාගත්තෙ අලුත් පාරක්.

ලංකාවෙන් පිට වැඩ කරන්න යන්න තිබුණු ඔබේ හීනය හැබෑ වෙන්නෙ කොහොමද?

එයාලා තීරණය කරලා තිබුණා මට දැන් අවස්ථාව දෙන්න ඕන කියලා. පිටරට වැඩට යනකොට සම්මුඛ පරීක්ෂණ කිහිපයකට මුහුණ දෙන්න ඕන. ගොඩක් අය ඉන්දියාවට යන්න කැමැත්තක් දැක්වුවෙ නෑ. නමුත් මම කැමැති වුණා. මුළු ලෝකෙටම යන ව්‍යාපෘතියකට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එහිදී දකුණු ආසියාව වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘති දෙකකුත් පිලිපීනය බලාගන්නත් මට සිදු වුණා. ඒකෙන් පස්සෙ දකුණු ආසියාවේ කළමනාකාරීත්වය මගෙන් ඇහුවා සිංගප්පූරුවෙ අවස්ථාවක් තියෙනවා, යන්න කැමතිද කියලා. මම කැමති වුණා. සිංගප්පූරුවෙ අපි අවුරුදු දෙකහමාරක් හිටියා. මට ඒ කාලෙ සන්නාම වැඩිදියුණු කිරීම පිළිබඳ ගොඩක් ඉගෙන ගන්න ලැබුණා. මට ඒ කාලෙ ඕන වුණා ලංකාවට එන්න. මගේ දැනුම ලංකාවට දෙන්න ඕන වුණා

ලංකාවට එන්න අවස්ථාව ලැබුණද?

නැහැ. ඇත්තටම මට ඒ වෙලාවෙ අවස්ථාව ලැබුණෙ නෑ ලංකාවට එන්න. අපේ අධ්‍යක්ෂ මහත්මයෙක් මට දුන්නා හොඳ අවවාද දෙකක්. එක, කවදාවත් තමන්ට වඩා දැනුම අඩු කෙනකුට රැකියාවෙදි වාර්තා කරන්න එපා. ඒකෙන් ඔබට දියුණුවක් ලැබෙන්නෙ නෑ. දෙක, ලබාගත්ත දැනුමෙන් තව ඉදිරියට යෑම ගැන කල්පනා කරන්න. පස්සට යන්න හිතන්න එපා කියන එක. අපේ මානව සම්පත් අධ්‍යක්ෂවරයා කිව්ව කාරණයක් තමයි ලංකාව බබළවන්න ලංකාවට ම එන්න ඕන නෑ, ඊට ඉහළ තනතුරක් අරගෙන ලංකාව ගැන බලන්න කියලා. මම මේවා හිතට ගත්තා.

ඉතින් කොහේටද යන්නෙ?

ඒ වෙනකොට ඉහළ අධ්‍යක්ෂ මණ්ඩලයට යන්න සුදුසු 13 කණ්ඩායමේ එක් සාමාජිකයෙක් මම. මාස තුනක් ඇතුළත ලෝකයම බලාගන්න මගේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් කතා කරලා කිව්වා අප්‍රිකානු මහාද්වීපයේ තනතුරක් තියෙනවා, යන්න කැමතිද කියලා. මම එතකොට අප්‍රිකානු මහාද්වීපය ගැන මුකුත් දන්නෙ නෑ. හැබැයි යුනිලිවර් සමාගම විශේෂ අවධානයක් දැක්වූවා ඒ කාලෙ අප්‍රිකානු මහාද්වීපය ගැන. එයාලට ඕන වුණා විශේෂ දක්ෂතා තියෙන අය අප්‍රිකානු මහාද්වීපයට යවන්න. ඒවගේම එහේ ඉන්න අය පුහුණු කරන්න. මම කැමැති වුණා.

මේ අතරෙ ඔබට විශේෂ අවස්ථාවක් ලැබෙනවා?

යුනිලිවර් සමාගමෙන් කොටසක් ඔවුන් ලෝකයේ ලොකුම සමාගමකට විකුණන්න සූදානම් වුණා. මේකාලෙ එයාලා හෙව්වා ආසියාව, අප්‍රිකාව හා මැදපෙරදිග බලාගන්න පුළුවන් කෙනෙක්. ඒ වෙලාවෙ යුනිලිවර් සමාගම මාව පත් කළා ආසියාව, අප්‍රිකාව, මැදපෙරදිග, තුර්කි හා ඊශ්‍රායල් හි ප්‍රධාන අලෙවි නිලධාරී තනතුරට. ඒ තනතුර දෙනකොට මම දැනගෙන හිටියා දැන් මම යුනිලිවර් සමාගමෙන් ඉවත් වෙන්න වෙනවා කියලා. මගේ තියෙන ලොකුම හැකියාව තමයි වැටිලා තියෙන ව්‍යාපාර නැවත ලාභ ලබන තත්ත්වයට ගේන එක. අවුරුදු ගාණක් වැටුණු ව්‍යාපාරයක් අපි එකතු වෙලා මාස හයකින් ලාභ ලබන තත්ත්වයට ගෙනාවා. මම එතකොට පදිංචි වෙලා හිටියෙ තුර්කිවල. මට කිව්වා එන්න කියලා ඇම්ස්ටර්ඩෑම්වලට. අපහසු වුණත් මම එහි යන්න තීරණය කළා. තීරණ ගන්න බය වෙන්න ඕන නෑ.

මොනවද ඔබේ තනතුරු?

මම ආසියාව, අප්‍රිකාව, මැදපෙරදිග, ඔස්ට්‍රේලියාව හා ජපානය ආදී රටවල ප්‍රධාන අලෙවි නිලධාරී. ඊළඟට මම සන්නාම දෙකක ලෝකෙ ප්‍රධානියා හැටියටත්, ලෝකයේම ඩිජිටල් අංශයේ ප්‍රධානියා ලෙසත් කටයුුතු කරනවා. මේවට අමතරව CIMA වල බටහිර යුරෝපයේ සභාපති ලෙසත් මුළු යුරෝපයේ ම විධායක කාරක සභිකයෙක් ලෙසත් කටයුතු කරනවා. මම රැකියාවෙන් තෘප්තිමත් වෙන කෙනෙක්, ඒ වගේම ගොඩක් වැඩ කරන කෙනෙක්.

විවාහය සිද්ධ වෙන්නෙ කොයි කාලෙද? කවුද ඔබේ ජීවන සහකාරිය සහ දරුවන්

අපි විවාහ වෙන්නේ 1999දි. අවුරුදු 9ක ප්‍රේම සම්බන්ධයකින් පස්සෙ අපි විවාහ වුණේ. ඇගේ නම සුරේෂි වාසනා. මගේ දියුණුවේ රහස තමයි ඇය. අපිට දරුවන් දෙන්නෙක් ඉන්නවා. දුව එරන්දි අනුත්තරා. පුතා පවන් එරන්ද. අපේ දරුවො දෙන්නා රටවල් හයක පාසල් 6කට ගිහින් තියෙනවා.

පොත් කියවන්න කැමැතිද?

අනිවාර්යයෙන්. මම හැමදාම පිටු 20ක් වත් කියවනවා. ඉස්සර නම් නවකතාත් කියෙව්වා. දැන් නම් ගොඩක් වෙලාවට විෂයානුකූල පොත් කියවන්නෙ. විශේෂයෙන් චරිත කතා.

විවේකෙන් ඉන්න වෙලාවට මොනව කරන්නද කැමැති?

මම කැමතියි ඉතාම නිහඬ තැනක, පරිසරයේ කොටසක් වෙලා නිශ්ශබ්දව තනියෙන් ඉන්න.

මොකද්ද ඔබේ වෙනස?

අභියෝග අභියෝග විදියට නොදැකීම. රටකින් රටකට මාරු වෙන එක එළියෙන් ලස්සනට පෙනුණට ඇත්තටම සුන්දර නෑ. හැබැයි ඒ වෙලාවෙ ගන්න තිබුණු තීරණය ගන්න මම මැළි වුණේ නෑ. මිනිස්සු එක්ක සම්බන්ධ වෙන්න ඕන. එයාලා එක්ක සක්‍රිය ගනුදෙනුවක් තියා ගන්න ඕන. කොයිවෙලාවෙ කවුරු අපිට ඕන වෙයිද කියන එක කලින් කියන්න බෑ.

සේයාරූ- ගයාන් පුෂ්පික

Comments