කතුන්ට සහනය සමඟ අතහිත දෙන ලංකාවේ පෑඩ් මෑන්ගේ ‘නාරි’ කෙරුවාව | සිළුමිණ

කතුන්ට සහනය සමඟ අතහිත දෙන ලංකාවේ පෑඩ් මෑන්ගේ ‘නාරි’ කෙරුවාව

ගාල්ලේ ඉපිද, ගාල්ලේ හැදී වැඩී රිචඩ් පතිරණ විද්‍යාලයෙන් අකුරු කළ, පරිගණක ඉංජිනේරුවරයකු වන තනූජ චන්ද්‍රසේකරට දැන් තවත් නමක් පටබැඳී තිබේ.

ඒ ලංකාවේ 'පෑඩ් මෑන්' නැතිනම්, 'බනානා මෑන්' යනුවෙනි. මේ දෙකෙන් කොයික කීවත්, තනූජට ප්‍රශ්නයක් නැත.

නවෝත්පාදන හඹා යන තරුණයකු ලෙස, ඔහු සොයාගත් දෑ රටට අභිමානයකි. හොඳ ව්‍යවසායක අවස්ථා උත්පාදනය කරන ව්‍යාපාර ලෙස, සංවර්ධනය කළ හැකි මේ සංකල්ප, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මහත් උත්තේජනයක් සපයයි. 

එසේම, Go Eco හෙවත් 'හැමදේම සොබා දහමට අනුකූලව...' යන සංකල්පයට ලොවම ගමන් කරමින් සිටින මොහොතක තනුජ ද හැකි පමණින් ඒ මෙහෙවර ඉටු කරන්නට වෙහෙසෙයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයකු ලෙස මේ වන විට සම්මාන ගණනාවකට පාත්‍ර වී සිටින ඔහු ඉන් ලද උත්තේජනය සමඟ තවත් බොහෝ දුර ගමනක් යන්නට සැරසෙයි.

මේ ඔහුගේ කතාවයි.

" මම මුලින්ම බයෝ ෆැබ්රික් නිෂ්පාදනය කළේ ගහල, ජපන් ජබර සහ නියඳවලින්. ඊට පස්සේ නෙළුම් දණ්ඩේ කෙඳිවලින් හදන ලෝටස් සිල්ක්, රෙදි නිර්මාණය කළා. ඊට පස්සේ තමයි කෙසෙල් කෙඳිවලින් සැනිටරි නැප්කින් හෙවත් සනීපාරක්ෂක තුවා හැදුවේ. ඒ අතරේ කෙසෙල් කෙඳිවලින් ම face mask එකක් සහ ආහාර ඇසුරුම් නිෂ්පාදනයත් කළා. අපි දැනට ඒ කෙසෙල් කෙඳි ඇසුරුම් කොළඹ සහ තිස්සමහාරාමයේ අලෙවි කරනවා. මේවා අපි හදන්නේ 'වස්ත්‍ර සිලෝන් ඉනොවේෂන් සෙන්ටර්' කියන මගේම ආයතනය තුළයි.

ඇත්තටම මේ හැබෑ වෙමින් තිබෙන්නේ, මගේ අවුරුදු ගාණක හීනයක්. මගේ මේ හැම නවෝත්පාදනයක් සඳහාම බුද්ධිමය දේපළ පනත යටතේ අවශ්‍ය සහතිකකරණ ලබා ගෙන තිබෙනවා.

තව අවුරුදු පහක් ඇතුළත, 'බනානා සැනිටරි නැප්කින්' නිෂ්පාදනය මහා පරිමාණයෙන් සිදු කිරීම සඳහා, ආයතන කිහිපයක්ම රට පුරා ස්ථාපිත කිරිමට කටයුතු සලසමින් සිටිනවා. මොකද, අපට ලෙහෙසියෙන් හොයා ගන්න පුළුවන් ඉවතලන කෙසෙල් කඳන් තමයි මේ සඳහා භාවිත කරන මූලිකම අමුද්‍රව්‍යය වන්නේ. කෙසෙල් කඳන් පටි ලෙස ඉරාගෙන, එයින් කෙඳි සහ පුළුන් වෙන් කරගෙන, අවශ්‍ය මූලික ම අමුද්‍රව්‍යය සකසා ගන්නවා.

එයට අදාළ මැෂින් නිර්මාණය කළෙත් මම මයි. ඒ සඳහා ලංකා ජර්මානු කාර්මික ආයතනයේ එම ශිල්පය හැදෑරූ තරුණයන් දෙදෙනෙක් මම සම්බන්ධ කරගත්තා.

දළ වශයෙන් මාසයකට කෙසෙල් කඳන් මෙට්‍රික් ටොන් 18කට ආසන්න ප්‍රමාණයක් අපේ රටේ වලවේ ගං මිටියාවත ආශ්‍රිතව සහ යාපනය ඇතුළු පළාත් කිහිපයකින් ම අපද්‍රව්‍ය විදියට ඉවත දමනවා. එම කෙසෙල් කඳන් ප්‍රමාණය ප්‍රයෝජනයට ගෙන තමයි, මේ සැනිටරි නැප්කින් එක මහා පරිමාණයෙන් ව්‍යාප්ත කිරීමට අප බලාපොරොත්තු වෙන්නේ.

මම සාර්ථක ව්‍යවසායකයන්ගේ අත්දැකීම් පිළිබඳ වීඩියෝ නිතර බලන කෙනෙක්. ඒ තුළ තමයි මම මේ නවෝත්පාදන සිතුවිලි බොහොමයක් හඹා යන්නේ. ලෝකයේ මිල අධිකම සහ සුව පහසු බයෝ ෆැබ්රික් ගැන උනන්දුවක් ඇති වෙන්නෙත් ඔය දැනුම්වත් බවෙන් අනතුරුවයි. මම බයෝ ෆැබ්රික් ඉතිහාසය හැදෑරුවා. පර්යේෂණ කෙරුවා. ඒ ඔස්සේ ගිය විට මට දැනගන්න ලැබුණා, අතීතයේ මේ දුර්ලභ රෙදි වර්ගය ලංකාවේ හදා තිබෙන බව. මට තිබෙන සීමිත උපකරණ කිහිපයක් භාවිත කර අත්හදා බැලුවා. ඒ කියන්නේ පිහියකින් කෙසෙල් පටි කපලා, හැන්දකින් හූරලා, ඇණ ගැසූ ලෑල්ලකින් කෙඳි වෙන් කරගෙන ඉතාම ප්‍රාථමික විදියට තමයි, මේ වැඩේ ආරම්භ කළේ.

ඒ කාලේ මම රෙදි ගැන මොකුත්ම දන්නේ නැහැ. රෙද්දක තිබිය යුතු ගුණාංග මොනවා ද, මොන වගේ තත්ත්ව පර්යේෂණයන් කළ යුතු ද, ඒ සඳහා තිබෙන ආයතන මොනවා ද, මේ හැම දෙයක්ම මම හැදෑරුවා. ප්‍රායෝගිකව මුහුණ දෙමින් අත්හදා බැලුවා.

මගේ මේ පර්යේෂණවලදී මහාචාර්ය වසන්ත ලියනගේ මහත්මයා මට එතුමාගේ නිවෙසේ තිබෙන රසායනාගාරය ලබා දුන්නා. ඒ තමයි මගේ උත්සාහයට ලැබුණු පළමු තල්ලුව. දෙවනුව මට අවස්ථාව ලැබුණා, දකුණු පළාත් කර්මාන්ත සංවර්ධන ආයතන යටතේ තිබෙන රුහුණු රන් සළු ආයතනයේ පහසුකම් ලබා ගන්න. ඒ අයට කියලා තමයි මම ඒ අවශ්‍ය කෙඳි තම්බා ගැනීමේ කටයුතු, හෑන්ඩ්ලූම් කිරීම් සහ රසායනාගාර පරීක්ෂණ ආදී සියල්ල කරගත්තේ. දැන් මේ සියලු පහසුකම් මගේ innovation center එකේ තිබෙනවා. එය තිබෙන්නේ තිස්සමහාරාමයේ අක්කර හතරහමාරක භූමියක. කර්මාන්තශාලාව තිබෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බඳගිරිය ප්‍රදේශයේ.

ඇත්තටම මම සැනිටරි නැප්කින් හදන වැඩේට අත ගැහුවේ, බිස්නස් එකකටක් වඩා ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් විදියට.

මොකද, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ලංකාවේ ලක්ෂ 57ක ප්‍රමාණයක් කාන්තාවන් සහ ගෑනු ළමයින් සිටින නමුත්, තවම සනිපාරක්ෂක තුවා භාවිත කරන්නේ ඉන් ලක්ෂ 19ක් විතරයි.

ඒ වගේම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ දත්තවලට අනුව, පාසල් දැරියන් 37%කට ආසන්න ප්‍රමාණයක් මේ කාලය තුළ පාසල් ඒම අඩු වනවා. හේතුව අධික මිලක් ගෙවා බොහෝ පවුල්වල ගැහැනු දරුවන්ට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමේ හැකියාවක් නැහැ.

මම ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ ස්වේච්ඡා නිලධාරියකු ලෙස අවුරුදු දහතුනක් තිස්සේ වැඩ කරනවා. එහිදී මම ප්‍රථමාධාර පිළිබඳ දේශන පවත්වනවා. එතැනදි තමයි, තුවාල වුණාම ලේ නවත්වා ගන්න පුළුවන් පෑඩ් එකක් නිර්මාණය කරන්න ඕනේ කියන අදහස ආවේ. මම ඒක හැදුවා. 

ඔය කාලෙමයි මට period poverty කියන වචනය ඇහෙන්න ගන්නේ. ලංකාවේ ඔසප් දරිද්‍රතාව හෙවත් පීරියඩ් පවර්ටි එක ලෝකයෙන්ම දෙවැනි තැන කියලා ඇහෙද්දී තමයි මට හිතෙන්නේ, තුවාලවලට දමන පෑඩ් එක වෙනුවට, එය ටිකක් වැඩි දියුණු කර සැනිටරි නැප්කින් හදන්න ඕනේ කියලා.

ඒ වෙනකොටත් මම හදා තිබුණු 'Wound pulp' එක ටිකක් දියුණු කරන්න විතරයි තිබුණේ. හැබැයි මට වැදගත් වුණේ, 100% කෙසෙල් කෙඳිවලින් පමණක්ම, මේ කියන සැනිටරි නැප්කින් එක නිර්මාණය කිරීම.

කොහොම වුණත්, ලංකාවේ period poverty හෙවත් ඔසප් දුබලතාව කියන කාරණය මොන තරම් බරපතළ තැනක තිබෙනවාද කියලා මම දැනගත්තේ මේ හැදෑරීම්වලින් පස්සේ. ඇත්තටම මට ඕනේ වුණා ඒ පිළිබඳ සමාජ මතය විමසන්න. ඒ සඳහා මම ඔන්ලයින් පර්යේෂණයක් කළා.

ඒ අනුව දැනට තිබෙන කෘත්‍රිම සැනිටරි නැප්කින්වල ඇති බලපෑම පිළිබඳ මම විශාල අවබෝධයක් ලබා ගත්තා. උරා ගැනීමේ හැකියාව, චර්ම රෝග ඇතිවීමේ ප්‍රවණතාව, වැනි බරපතළ කාරණා රැසක් එහිදි මම හඳුනා ගත්තා. මට ඕනේ වුණේ ඒ සියලු අඩුපාඩු සහ දුර්වලතාවලින් තොර සැනිටරි නැප්කින් එකක් හදන්න. මේ සාර්ථක වෙමින් පවතින්නේ, ඒ උත්සාහය. තව මාස හතර පහකින් 100%ක් පරිසර හිතකාමී ආකාරයට නිපදවූ බනානා සැනිටරි නැප්කින්, රුපියල් 198ට වෙළෙඳපොළට එනවා.

මේ සාමාන්‍ය සැනිටරි නැප්කින් නිෂ්පාදනය වන්නේ කෙසෙල් කඳෙන්ම ගන්නා cellulose තාක්ෂණය උපයෝගී කරගෙනයි. වැඩිපුර රුධිරය වහනය වන අයට ගැළපෙන පරිදි වැඩි උරා ගැනීමේ ශක්තියක් සහිත හයිඩ්‍රොජෙල් තාක්ෂණය භාවිත කර තිබෙනවා.

මේ දෙවර්ගයම, 100%ක් කෙසෙල් කෙඳිවලින්ම නිෂ්පාදනය කරන තැනට සාර්ථක කර ගැනීම සඳහා මට අවුරුදු හයකට ආසන්න කාලයක් ගියා.

මට දැන් කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් මගේ වැඩේට උනන්දුවක් දක්වන බොහොම ජව සම්පන්න තරුණ පිරිසක්.

කෙසෙල් කඳ කියන්නේ මිනිස්සු ඉවතලන ද්‍රව්‍යයක්. ඒ නිසා සොයාගන්න අපහසු අමුද්‍රව්‍යයක් නෙවෙයි. කෙසෙල් කඳන් සියල්ල යන්ත්‍රවලින් කැබලි කර කෙඳි වෙන් කර ගැනීමයි මෙහි මූලික පියවර. ඒ සඳහා අඩු ආදායම්ලාභී පවුල් දහයක් තෝරාගෙන ඊට අවශ්‍ය යන්ත්‍ර ලබා දී තිබෙනවා. ඔවුන් වියළා දෙන කෙසෙල් කෙඳි සතියකට ටොන් එකක් සෑම පවුලකින් ම මම මිලදී ගන්නවා. එයින් ඔවුන්ට ස්වයං රැකියාවක් උත්පාදනය වී තිබෙනවා.

මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය ලෙසයි 'නාරි' සැනිටරි නැප්කින් එක, බොහොම ගෞරවයෙන් මේ රටේ කාන්තා පරපුරට පිදෙන්නේ. නැප්කින් දහයක පැකට්ටුවක් රුපියල් 190කට ලබා දෙන්නේ.

අපේ කර්මාන්ත ශාලාව මේ දිනවල නවීන ලෙස සකස් කරමින් යනවා.

විශේෂයෙන් වෙළෙඳ කලාපවල ඉන්න සොයුරියන් රතු කලාපයක් ලෙස සලකා, මෙම නිෂ්පාදනයේ ප්‍රමුඛතාව ලබා දෙන්නේ ඔවුන්ට. ඒ අය තමයි, මේ කාරණාවේ දී වැඩිපුරම පීඩාවට පත්වන කොට්ඨාසය. ඊළඟට පාසල් දැරියන්.

කර්මාන්ත අමාත්‍යාංශයේ තිලකා ජයසුන්දර මහත්මිය අඩු පොලියක් යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලබාදෙන ණය මුදලක් මට ලබා ගන්න කටයුතු සලසා දී තිබෙනවා. එයා මට විශාල ශක්තියක්.

මගේ මේ උත්සාහය පිටුපස ඉන්නේ ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ දී මට මුණගැහුණු ගුරුවරු දෙන්නෙක්.

පළවෙනි කෙනා බී.යූ.බී. වීරසිංහ ගුරුතුමා. අනෙක් කෙනා මහාචාර්ය ලුතිනන් කර්නල් වසන්ත ලියනගේ. එතුමන්ලා අදටත් මගේ මේ නවෝත්පාදන හඹා යෑමේ උනන්දුවට උදවු කරන ගුරුවරු දෙන්නෙක්. මම බලාපොරොත්තු වෙන්නේ කෙසෙල් කෙන්දෙන් කරන මේ සැනිටරි නැප්කින් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කර, දේශීය වශයෙන් රට පුරා බෙදාහැරීමට යි..."

ඡායාරූපය-දුෂ්මන්ත මායාදුන්නේ

Comments