ගුරු මාරු | සිළුමිණ

ගුරු මාරු

න්ගොල්ල ඇළේ සිලි සිලි නාදය නොබිඳී ඇසේ. පන්මල් පිපෙන කාලයට මුළු පළාත පුරාම සුවඳේ බැරිය. ඇල්ලියැද්ද හතර ඇදපු නිවසේ පිරිමි දරුවෝ හතරකි. මද්දුමයා හැර අනෙක් හැමෝම ඉස්කෝලේ කට්ටිපැන්නා මිස උගත්තේ නැත. මද්දුමයා ජ්‍යෙෂ්ඨ පාඨශාලා විභාගෙන් සමත්ව ගුරුවරයෙකු වූයේ පනස් ගණන්වලදීය. කවුරුත් ඔහු ඇමතුවේ සුසිරිපාල ඉස්කෝලේ මහත්තයා නමිනි.

උසට සරිලන තරමක් මහත සිරුරක් ඇති සුසිරිපාල රැවුල කපා කොණ්ඩය පැත්තකට බෙදා හිටියේය. ඔහු ප්‍රියමනාපය. නිතරම මුහුණේ හීන් සිනාවක් වෙයි. ඔහුගේ මුල්ම පත්වීම මහපතන කණිෂ්ඨ විද්‍යාලයට ය. හුළුග‍ඟෙන් එගොඩව පයින් සැතපුම් දෙකක් පමණ යන හේ ඇන්ඳේ සුදු සරම හා ජාතික බැනියමයි. නිවසේ සිට පාසලට හරියට ම සැතපුම් පහක් පමණ දුරය. ඔහුට පමණක් නොව ගමේ කාටත් පයින් ගමන් ඉතා හුරුය.

"අන්න අලුත් මහත්තයා එනවෝ"

ජයතු මුළු පාසලටම ඇහෙන්න කෑ ගැසුවේය. පාසලට තිබුණේ එකම ගොඩනැඟිල්ලකි. පස්වෙනි කැලෑසිය දක්වා පන්ති පහකි. ලොකු ඉස්කෝලේ මහත්තයා ඉදිරියට ආවේ ජයතුගේ කෑ ගැසීමටය.

"අපේ අලුත් මහත්තයා වෙන්න ඇති. ඊයේ තමා ලියුම ආවේ."

"ඔව් මම සුසිරිපාල"

"එන්න පැමිණීම අත්සන් කරලා අපි රැස්වීමට යමු."

මහපතන ඉස්කෝලේ අලුත් මහත්තයා එක්ක ගුරු මණ්ඩලය පහකි. ගුරුවරියන් තිදෙනාගෙන් තවමත් පැමිණ ඇත්තේ එක් ගුරු මාතාවකි.

"ජයතු සීනුව ගහන්න." ලොකු ඉස්කෝලේ මහතා කීවේය. ජයතු බලා සිටියේ ඒ නියමය ලැබෙන තෙක්ය. පාසල ඉදිරිපිට පුංචි බිම් තීරුවේ ළමෝ දෙපේළියකට රැස්වූහ.

"හොඳයි දරුවනේ දැන් බෞද්ධ අය පන්සිල් ගමු. අනෙක් අය ආගම් සිහි කරන්න."

"ආයුබෝවන් දරුවනේ." ළමෝ ප්‍රතිචාර දැක්වූහ.

"අද අපේ පාසලට ඉතාම වැදගත් දවසක්. අපේ ගුරු මණ්ඩලයට අලුත් මහත්තයෙක් ඇවිත් ඉන්නවා. එතුමාට ආයුබෝවන් කියමු."

"ආයුබෝවන්" කඳු යාය පුරා පැතිරෙන තරමට දරුවෝ ආයුබෝවන් කීහ.

"අපට භාෂාව හා සාහිත්‍යයට ගුරුවරයෙක් හිටියේ නැහැනේ. එතුමා හැමදාම එන්නේ පයින් හැතැප්ම පහක් විතර. ඒ නිසා හැමෝම හැමදාම ඇවිත් හොඳට ඉගෙන ගන්න ඕනෑ. දැන් එතුමා ඔයාලට කතා කරයි."

"දරුවනේ මේ මගේ පළමු පත්වීම. මම එන්නේ අල්ලපු ගමේ ඉඳලා. මේ පාසල කුඩා උනත්, හුඟක් දරුවෝ නැතත් ගමේ දුප්පත් අම්මලාගේ තාත්තලාගේ දරුවෝ. මමත් මහන්සියෙන් ඉගෙන ගත්ත කෙනෙක්. ඒ නිසා ඔය හැමෝටම පුළුවන් මහන්සිවෙලා, උනන්දුවෙන් ඉගෙන ගන්න. අපිට තියෙන්නේ උගන්වන්න. ඔයාලට තියෙන්නේ ඉගෙනගන්න. අපි එහෙම කරමු."

ළමෝ පන්තිවලට ගියහ. සුසිරිපාල ඉස්කෝලේ මහත්තයා හැමදාම මුලින් එන ගුරුවරයාය. අම්මා උදේටත් දවල්ටත් කෑම පාර්සල් කර දෙයි. තේ බෝතලය අමතක නොවේ. ගඟ හරහා යන්න කලින් කඩමණ්ඩියේදී සිගරැට්ටුවක් බොන්නේ වුවද කිසිදා පාසල තුළ දුම් බිව්වේ නැත. සුසිරිපාල ඉස්කෝලේ මහතා දරුවන් සමඟ මිදුල පිරිසිදු කරවයි. පන්ති කාමර අතුගායි. මේස පුටු පිළියෙල කරයි. දරුවෝ ඊට ඉතා කැමැති වෙති. ගඟෙන් එගොඩ වෙන කොටම ඔහුගේ ගමන් මල්ල ගන්න දරුවෙක්, දෙන්නෙක් වලි කති. හැමදාම කුඩේ අමතක නොකරයි. බොහෝවිට නොකල් වැසි වහී. කුඩය ඔහුගේ ගමන් සගයාය. සුසිරිපාල මහත්තයා තවම නිවාඩුවක් ගෙන නැත. විවේක කාලයේදී ගුරු මණ්ඩලය සමඟ තේ බොයි. කෑම කයි. පාසල ඇරී දවල් කෑමද කයි. පාසලේදිත්, ඉන් බැහැරවත් ඔහුට පිළිගැනීමක් තිබේ.

සුසිරිපාල ඉස්කෝලේ මහත්තයාට දෙවැනි වාරයත් සමඟ ලැබුණේ ස්ථාන මාරුවකි. ඒ කොලනිය පාසලට ය. ලොකු ඉස්කෝලේ මහත්තයා පුදුම විය. ඒ බව දැනගත් දරුවෝ මුහුණු එල්ලා ගත්හ. ජයතු දුවගෙන ආවේය.

"අලුත් මහත්තයා යන්න එපා."

"යන්න වෙනවා පුතේ."

කොලනිය ඉස්කෝලේ අලුත් එකකි. ළමයි තිහක්වත් නැත. මහපතනට වඩා අසීරු පාසලකි. හිටියේ එක් ගුරුවරයෙකි. ගලබොඩවත්තේ ඉඳල එන එම ගුරුවරයා හැමදාම ප්‍රමාදය. ළමයින් ඕනෑ විදිහට ඔහේ හැසිරෙති. සුසිරිපාල මහතා උදේම එයි. ඔහු මහපතන පාසලේ මෙන්ම පිළිවෙලට වැඩ කරයි. පන්ති දෙක තුනක ළමයි එකට දමා ඔහු උසිගන්වයි. කොලනිය ඉස්කෝලේ හිටියේ එක වාරයකි. යළිත් ස්ථාන මාරුවකි.

"ඔබ උඩගලදෙබොක්ක පාසලට ස්ථාන මාරු කරනු ලැබේ. වැඩ භාරගෙන සේවයට වාර්තා කරන්න."

සුසිරිපාල ඉස්කෝලේ මහත්තයාගේ ගමේ හිටියේ එකම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. ඔහු රත්නපානය. සුසිරිපාල මහත්තයා රත්නපාලට අලුත් මාරුව ගැන කීවේය. "මම හෙට උඩගලදෙබොක්කට යනවා. මාරුවක්."‍

"ඒ කොහෙද"

"මහියංගණය පැත්තේ. හසලක තමා තැපැල්."

"මමත් ආසයි බලන්න යන්න." රතනපාල කැමැති විය.

"හැබැයි පුතේ මම යන්නේ රංගලට ගිහිල්ලා බෝමුරේ හරහා කැලෑ පාරෙන්. සෑහෙන දුරයි."

"කමක් නැහැ. මම නිවාඩු නිසා තාත්තලාට කියල එන්නම්. බත් මුලකුත් බැඳගන්නද?"

"හැබැයි මම සතියක්ම ඉඳලා සිකුරාදා එන්නේ. එනකොට හසලක පාරෙන් එමු."

ලකේගල මානයට එද්දි හොඳටම රෑ බෝවී තිබිණි. තවදුරටත් යා නොහැකි නිසා ගල්තලාවක නතර වෙන්න සුසිරිපාල මහත්තයා ගිනිගොඩක් සකස් කළේය. කොළ අත්තක් කඩා ගහක එල්ලූ සුසිරිපාල මහත්තයා රතනපාලගෙන් ඇසුවේ,

"මහන්සිද? මගෙ ළඟ පොල් බෝතලයක් තියෙනවා. බොනවද?"

අඬන්න හිටි මිනිහගෙ ඇහැට ඇන්නා වගේ රත්නපාල සිනාසුණේය. "හ්ම්"

ගමන් මහන්සියත්, පොල් බෝතලයත් බත් මුලයි එක්ක සප්පායම් වී දෙදෙනාම ගල්තලාවේ නින්දට වැටුණේ සුළු වේලාවකිනි. පහුවදා ලකේගල දුටු රත්නපාල මීමුරේට ලඟ ඇතැයි කීවේය. එල්ලූ අත්තේ බලෙන් දෝ පාර සොයාගත හැකි විය. මද්දහනට පෙර උඩගලදෙබොක්ක පාසල ඔවුහු සොයා ගත්හ. පාසල හිස්ය. ළමයෙක් හෝ ගුරුවරයෙක් දක්නට නැත. පාසලේ වේදිකාව පසක කුඩා කාමරයකි. පුටු වෙනුවට බංකු කීපයක් පාසල තුළ තිබිණි. පාසලට ගුරුවරයෙකු ආ බව දැනගත් ආධුනික ගුරුවරයා දුවගෙන ආවේය. සුසිරිපාල මහතා ඔහු ඇමැතුවේය.

"අද ඉස්කෝලේ නැද්ද?"

"ළමයි හය හත් දෙනයි ආවේ. ඉතින් ගෙවල්වලට යැව්වා."

"මම අලුත් ගුරුවරයා."

"මෙහේ ඉන්නේ මම විතරයි." ආධුනික ගුරුවරයා කීවේය.

"අපේ ගමේ ගෙවල් විසිදෙකයි. දවල්ට හැමෝම හේන් කොටනවා. ළමයි එන්නේ ඕනෑවට එපාවට. අපි හෙට ඉඳලා ළමයි එවනවා." අම්මා කෙනෙක් කීවාය. ඇය චීත්තයක් ඇඳ උඩට තුවායක් පටලවාගෙන හිටියාය. අපි කෑම ටිකක් හදල දෙන්නම්. මහත්තයා හැමදාම ඉන්නවානේ."

කෑමට පෙර රා කළයක් සමඟ රන්කිරා පාසල පිටුපසට ගියේය.

"කිතුල් රා" අපූරුයි. කුරක්කන් තලප එක්ක දඩමස් රත්නපාලට අල්ලා ගියේය. සතිය ගෙවී ගියේ පුදුම වේගයෙනි. සුසිරිපාල මහත්තයා උගන්වයි. රත්නපාල හේන්වලට වදී. මුළු ගමටම එකම වැසිකිළියකි. එය ඇත්තේ පාසලේය. සිකුරාදා 10.00ට පාසල වැසූ සුසිරිපාල මහත්තයා යළි සඳුදා එන බවත් ගම්මුන්ට දැන්වූහ.

"මම ළමයින්ට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් උගන්වනවා පුතේ."

"මම රේඩියෝ එකක් හොයල දෙන්නම්." රතනපාල කීවේය.

"මම උඩගලදෙබොක්කෙන් යන්නේ නැහැ මාරු කළත්." සුසිරිපාල මහත්තයා කීවේ හසලකින් බසයට නඟිමිනි.

පියදාස රණසිංහ

Comments