ජීවත්වීමේ අදක්ෂ ක්‍රමය අවබෝධ කර ගන්නා අයුරු | සිළුමිණ

ජීවත්වීමේ අදක්ෂ ක්‍රමය අවබෝධ කර ගන්නා අයුරු

‘කාර්යබහුල ලෝකයක දිවි ගෙවන මනස නිරතුරුවම ව්‍යාකූලය. එම ව්‍යාකූල බවින් මිදී සිත පහසුවෙන් දියුණු කර ගැනීමට භාවනාව උපකාරී වුව ද ආචාර්ය ඇසුරකින් තොරව භාවනාව නිසි ලෙසින් වැඩිය නොහැකිය. ලෝකයේ භාවනාවට අවධානය යොමු කරන බොහෝ දෙනා ථෙරවාදී නිකායන්ගේ භාවනානුයෝගීත්වය මහත් සේ අගය කරති. ඒ අතරෙන් ගුරුවරයකු සේ භාවනාව පහසුවෙන් වැඩීමට උපයෝගී කර ගත හැකි කෘතියක් ලෙස ලොව පිළිගැනෙන්නේ ආචාර්ය හේනේපොල ගුණරතන මහ නාහිමි විසින් රචිත Mindfulness In plain English (සතිමත් බව වැඩීම) කෘතියයි. එම කෘතිය භාෂා 32කට පරිවර්තනය වී ඇති අතර, අ‍ෙමරිකාව තුළ පමණක් මුද්‍රිත පිටපත් ලක්ෂ 100ක් ඉක්මවා අලෙවි වී ඇත. උන්වහන්සේගේ සතිමත් බව වැඩීමේ ලිපි පෙළ සතිපතා කොටස් වශයෙන් සිළුමිණෙහි පළ වන අතර, මේ එහි විසිහතර වැනි කොටසයි.

න්ධනවලින් මිදීමට ගැඹුරින් මුල් බැස තිබෙන සිතිවිලි රටාවන් සඳහා දීර්ඝ කාලයක් නිරන්තරයෙන් සිහිය පවත්වා ගැනීමට අවශ්‍ය බව අපි සාකච්ඡා කළෙමු.

භාවනාවේ වැදගත්ම අංගය සිහියයි. වගාකර ගැනීමට ඔබ උත්සාහ දරන මූලිකම දෙය එයයි. එබැවින් බාධාවන්ට එරෙහිව සටන් කිරීමට කිසිම හේතුවක් නැත. තීරණාත්මක දෙය වන්නේ සිදුවන දෙය ගැන සිහියෙන් සිටීම මිස සිදුවන දෙය පාලනය කිරීම නොවේ. සිත එකඟ කිරීම ආයුධයක් පමණි. පූර්ණ දැනීම හා සසඳන විට එය දෙවන ස්ථානය හිමිකර ගනී. සිහිය පැත්තෙන් බලන කල බාධාවන් කියා දෙයක් නැත. සිතෙහි නැඟෙන සෑම දෙයක්ම සිහිය පිහිටුවා ගැනීමේ අවස්ථාවක් ලෙස දකිනු ලැබේ. හුස්ම ගැනීම අප විසින් පනවාගත් කේන්ද්‍රයක් වන අතර එය අපගේ අවධානයේ ප්‍රධාන අරමුණ ලෙස භාවිතා කෙරේ. බාධාවන් ද්විතීය අරමුණ ලෙස පාවිච්චි කෙරේ. හුස්ම මෙන් ම ඒවා ද යථාර්ථයේ ම අංගයන් වෙයි. සිහිය පිහිටුවා ගැනීමට යොදා ගන්නා අරමුණු කුමක්ද යන්න එතරම් වැදගත් නොවේ. හුස්ම කෙරෙහි හෝ බාධාවන් කෙරෙහි හෝ සිහියෙන් සිටීම ඔබට කළ හැකියි. ඔබගේ මනස නිසල බව හා එය සමාධිගතව ඇති බව හෝ වැනෙන සිත හා සී සී කඩ විසිරී ඇති බව ගැන ඔබට සිහියෙන් සිටීමට පුළුවන. ඒ සියල්ල එළැඹි සිහියෙන් සිටීමයි. හුදෙක්ම එවන් දැනීම පවත්වා ගත්විට සිත ඒකාග්‍ර වීම ද නිතැතින් ම සිදු වෙයි. 

බාධාවකින් තොරව සදහටම හුස්ම වෙත සිත තබා ගැනීම භාවනාවේ අරමුණ නොවේ. එය පමණක් නිශ්ඵල අරමුණකි. භාවනාවේ අභිප්‍රාය පූර්ණ වශයෙන් නිශ්ඵල වූ හා ශාන්ත වූ සිතක් ඇතිකර ගැනීම නොවේ. ඉතා සුන්දර මානසික ස්වභාවයක් වුව ද එය පමණක්ම විමුක්තියට මඟ හෙළි නොකරයි. අඛණ්ඩව සිහිය පවත්වා ගැනීම භාවනාවේ අරමුණ ය. සත්‍යාවබෝධය පහළ වන්නේ එළැඹි සිහිය තුළින්ම පමණ ය.

සෑම ප්‍රමාණයකින්, හැඩයකින් හා රසයකින් යුත් බාධාවන් මතුවෙයි. බෞද්ධ ධර්මයට අනුව ඒවා කාණ්ඩවලට ගොනු කර ඇත. එක් කාණ්ඩයක් බාධාවන් (නීවරණ) යනුවෙන් හැඳින්වේ. භාවනාවෙහි අංගයන් වන සිහියට හා චිත්ත සමාධියට අකුල් හෙළන බැවින් එලෙස හැඳින්වේ. එම වචනය ගැන අනතුරු ඇඟවීමක් කළ යුතුය. එය ඍණාත්මක අර්ථයක් ගෙන දෙයි. බාධක යනු මුලින් උපුටා දැමිය යුතු මානසික තත්ත්වයන් ය. ඒවා හෙළා දැකීම හෝ යටපත් කිරීම හෝ මඟ හැරීම කළ යුතු යයි අපි මින් අදහස් නොකරමු.

උදාහරණයක් ලෙස තණ්හාව ගනිමු. අඛණ්ඩව සිතේ පවතින කුමන ආකාරයේ හෝ තණ්හාවක් දීර්ඝ කාලයක් සිතේ රැඳීමෙන් වැළකීම අපගේ ආරක්ෂාව වෙයි. ඒවා බැඳීම් හා දුකට හේතුවන බැවිනි. සිතෙහි හටගන්නා විට ම එම සිතිවිලි විසිකර දැමීම අප මින් අදහස් නොකරමු. එය රඳවා ගැනීමට ද අපට වුවමනාවක් නැත. අපි එයට පැමිණීමට ඉඩදී පිටව යෑමට ද ඉඩප්‍රස්ථාව සලසා දෙමු. සිතෙහි ඇති තණ්හාව පූර්ණ අවධානයෙන් නිරීක්ෂණය කරන විට එය ගැන විනිශ්චයක් කරන්නේ නැත. පසෙකට වී එය මතුවන ආකාරය දෙස බලා සිටිමු. පටන් ගැනීමේ සිට අවසානය දක්වා දිවෙන මුළු ක්‍රියාවලිය ම මෙලෙස නිරීක්ෂණය කරමු. කිසිම අයුරකින් උදව්වක්, අකුල් හෙළීමක් හෝ මැදිහත්වීමක් නොකරමු. එයට අවැසි කාලයක් රැඳී සිටිනු ඇත. ඒ අතර අපට හැකි පමණ එ් පිළිබඳව ඉගෙන ගනිමු. තණ්හාව සිදුකරන දෙය අපි විමර්ශනය කරමු. එය අපට කරදර කරන ආකාරය හා අන් අයට බර පටවන ආකාරය අපි දකිමු. සදහටම නොනිවුණු ආශාවකින් හා නිරන්තර අසංතෘප්තියකින් අපව තබාගන්නා අයුරු අපි දැක ගනිමු. මෙම අත්දැකීම තුළින් තණ්හාව, ජීවත්වීමේ අදක්ෂ ක්‍රමයක් බව අපි වටහා ගනිමු. මෙම වටහා ගැනීම න්‍යායාත්මක දෙයක් නොවේ.

සෑම අකුල් හෙළීමක් සමඟ ම මෙලෙස ගනුදෙනු කළ හැකිවන අතර ඒවා එකින් එක විමසා බලමු.

ආශාව : කාමච්ඡන්ද

භාවනා පුහුණුවේදී ලබන සුන්දර අත්දැකීමක් හේතුවෙන් ඔබගේ අවධානය ඉවත ගියා යැයි සිතමු. එය සාඩම්බර සිතිවිල්ලක් හෝ රසවත් මනඃකල්පිතයක් හෝ විය හැකිය. එය මාන්නක්කාර (අතිමානීය) සිතිවිල්ලක් වීමට ද පුළුවන. ආදර හැඟීමක් හෝ භාවනා අත්දැකීමෙන් ඇතිවන කායික ආනන්දජනක දැනීමක් වීමට ද ඉඩ ඇත. එය කුමක් වුවද, එයින් ජනිතවන්නේ ආශාව පිළිබඳ හැගීමකි. ඔබ සිතූ දෙය ලබා ගැනීමට තිබෙන ආශාව හෝ එම අත්දැකීම දිගු කාලයක් විඳීමේ ආශාවයි. ස්වභාවය කුමක් වුවද, ආශාවක් සමඟ ගනුදෙනු කළයුතු ආකාරය පහත දැක්වේ. නැඟෙන විටම එම දැනීම සනිටුහන් කර ගන්න. ඒ සමඟම නැඟ එන ආශාව යන මානසික ස්වභාවය වෙනම දෙයක් බව සනිටුහන් කර ගන්න. එම ආශාවේ නියම ස්වරූපය හෝ මට්ටම දැකගන්න. එය කොපමණ කාලයක් පවතියි ද හා අවසානයේදී එය ඉවත් වී යෑම සනිටුහන් කර ගන්න. ඉන්පසුව නැවත අවධානය හුස්ම වෙත යොමු කරන්න.

ද්වේශය : ව්‍යාපාද

ඍණාත්මක අත්දැකීමක් ඔබගේ සමාධියට බාධා කළා යයි සිතමු. එය ඔබට වද දෙන සිත් කරදරයක් හෝ බියක් හෝ විය හැකිය. එය වේදනාවකි. වරදකාරී හැඟීමක් හෝ මානසික පීඩනයක් හෝ වීමට ද ඉඩ ඇත. නියම හරය කුමක් වුවද එය මඟ හැරීම, විරෝධය දැක්වීම මඟින් ඔබ එය ප්‍රතික්ෂේප කිරීමට හෝ යටපත් කිරීමට වෙර දරන බව ඔබ දැක ගනියි. මෙහිදී ද කලින් ආකාරයට ම එය සමඟ ගනුදෙනු කළ යුතුයි. සංවේදනය හෝ සිතිවිල්ල හට ගන්නවා දකින්න. එය සමඟ පහළ වන ප්‍රතික්ෂේප කිරීම දකින්න. සංවේදනයේ තරාතිරම දැක ගන්න. එය කොපමණ වේලාවක් රැඳී තිබේද හා එය පහව යන අන්දම දෙස බලන්න. පසුව, ඔබගේ හුස්ම වෙත හැරී එන්න. 

අලස බව : ථිනමිද්ධ

නිදිකිරා වැටීමේ සිට සම්පූර්ණ අලස බව දක්වා දිවෙන විවිධ වර්ගයේ හා මට්ටමේ අලස බව ඇති විය හැකියි. අප මෙහිදී කථා කරන්නේ මානසික ස්වභාවයන් ගැන මිස ශාරීරික ස්වභාවයක් පිළිබඳව නොවේ. නිදිමත හෝ ශාරීරික වෙහෙස මීට ඉඳුරාම වෙනස්වන අතර, බෞද්ධ දර්ශනයට අනුව එය ශාරීරික ස්වභාවයක් ලෙස වර්ගීකරණය කරයි. අමිහිරි කරුණු මඟහැරීම සඳහා සිත භාවිතා කරන ඥානවන්ත ක්‍රමයක් වන මානසික අලස බව, ද්වේශය සමඟ සමීපව බැඳී ඇත. අලස බව, සංවේදීතාවය හා දැනීමේ සියුම් බව මොට කිරීමකි. මානසික යන්ත්‍රණය වසා දැමීමකි. නිදා සිටිනවා මෙන් හඟවන මෙය, ආරූඪ කර ගත් මෝඩ බවකි. මෙය පැවතීම සිහිය පිහිටුවා ගැනීමට ඍජුව ම විරුද්ධ බැවින් මෙය හසුරුවා ගැනීම දුෂ්කර කටයුත්තකි. අලස බව ඍජුවම සිහියෙන් සිටීමේ ප්‍රතිවිරුද්ධ ස්වභාවයයි. කෙසේ වෙතත් මෙම බාධාව සඳහා පිළියම ද, එළැඹි සිහිය ඇති කර ගැනීමයි. ගනුදෙනු කිරීම ද එසේමයි. අලස බව ඇතිවන විට එහි ස්වභාවය, තරාතිරම සනිටුහන් කරන්න. එය ඇතිවන වේලාවත්, කොපමණ කාලයක් එය රැඳී තිබුණා ද හා එය ඉවත්ව ගියේ කුමන වේලාවේ ද යන්න දැක ගන්න. මෙහිදී එකම විශේෂත්වය වන්නේ, මෙම සංසිද්ධිය කල්වේලා ඇතිව අල්ලා ගැනීමයි. එය පිළිසිඳ ගන්නා මොහොතේ ම දැක ගෙන, සිහිය නොමසුරුව ගැල්වීම කළ යුතුව ඇත. අලසකම, එයට ඉඩ දුන් විට ඔබගේ එළැඹි සිහිය ඉක්මවා ශීඝ්‍රයෙන් වර්ධනය වනු ඇත. එය ජයගත් විට ප්‍රතිඵලය වන්නේ ගිලෙන මනස හෝ නින්ද ඇතිවීමයි.

කැලඹීම : උද්ධච්ච කුක්කුච්ච

කලබලකාරී බව හා කනස්සල්ල මානසික නොසන්සුන්තාව ප්‍රකාශවීමකි. එක අරමුණක තැන්පත් නොවන මනස දසත විහිදී යයි. එකම ගැටලුව සම්බන්ධව නැවත නැවතත් සිතා බලනු ඇත. මෙහිදී පවා චංචල බව ප්‍රබල අංගයක් වනු ඇත. නිරතුරුවම ඔබමොබ දුවන මනස තැන්පත්වීම ප්‍රතික්ෂේප කරයි. මෙවන් ස්වභාවයක් සඳහා පිළියම ද මූලික ක්‍රියා පිළිවෙත මය. නොසන්සුන්තාවය, එක්තරා හැගීමක් විඥානයට (උඩුසිතට) මුදා හරියි. රසයක් හෝ දැනීමක් ලෙස ඔබ එයට අර්ථ දක්වනු ඇත. කුමන නමකින් හැඳින්වූවද මෙම චංචල හැඟීම් හඳුනාගත හැකි ලක්ෂණයක් ලෙස සහතිකවම පවතියි. එය සොයාගන්න. දුටුවිට එය කොතරම් ප්‍රමාණයකින් පවතියි ද බලන්න. එහි මතුවීම සනිටුහන් කරගන්න. කොපමණ වේලාවක් එය පවතී ද හා එය ඉවත්ව යන වේලාව දැක ගන්න. පසුව, ඔබගේ අවධානය, හුස්ම වෙත ආපසු රැගෙන එන්න.

සැකය : විචිකිච්ඡා

විඥානය තුළ සුවිශේෂී වූ හැඟීමක් සැකයට අයත් වේ. පාලි පාඨ ග්‍රන්ථවල එය කදිමට විස්තර කර ඇත. කාන්තාරයක ඇද වැටෙමින් ගමන්කර, සලකුණු නොකළ මංසන්ධියකට අවතීර්ණ වූ මිනිසෙකුට ඇතිවන හැඟීමට එය සමානය. කුමන මාර්ගයේ යා යුතුද? එය නිශ්චිතව දැන ගැනීමට ක්‍රමයක් නැත. එම නිසා ඔහු එම මංසන්ධියේ නැවතී දෙගිඩියාවෙන් යුතුව සිටියි. භාවනාවේදී සාමාන්‍යයෙන් අභ්‍යන්තර දෙබසක් ලෙස මෙවැනි ප්‍රශ්නකිරීම් ඔබ අත්විඳිනු ඇත. "මෙලෙස වාඩි වී මම මේ කුමක් කරම් ද? මෙයින් මට සිදුවන ප්‍රයෝජනයක් තිබේ ද? ඇත්ත වශයෙන් නම් මෙය යහපත් දෙයකි. පොතේ එසේ සඳහන්ව ඇත. නැහැ.

(යටිසිතේ හටගන්නා මානසික තත්ත්වයන් අල්ලාගැනීමට කළ යුත්තේ කුමක්ද යන්න මීළඟ කලාපයෙන් විමසා බලමු)

Comments