පොත් පුවත් | සිළුමිණ

පොත් පුවත්

කාංචනා කුමාරිගේ ගිරි හිස ඉඳුවර

කෘතිය - ගිරි හිස ඉඳුවර

කර්තෘ -කාංචනා කුමාරි දොඩංගොඩ

මුද්‍රණය - ඇම්. ඩි ගුණසේන සහ පුද්ගලික සමාගම

මිල- රුපියල් 1500

විමසීම්- 077 577 7917

 

මීට ඉහත ‘ ඉතින් නික්ම යමි ‘, ‘ මකරන්ද දඩයම‘ වැනි පොත් ලියා ඇති කාංචනා කුමාරි දොඩංගොඩගේ අලුත්ම කෘතිය වන්නේ ‘ ගිරි හිස ඉඳුවරයි‘. ඇයගේ මෙම නවකතාවේ එන ගැහැනු හා පිරිමි චරිත රෞද්‍ර සමාජයේ ගොදුර බවට පත්වෙමින් තම ජිවිත විනාශ මුඛයට ඇද ගත්තෝ වෙති. කතුවරිය පවසන්නේ මඩ ගොහොරුවක් වැනි ඟද හමන මේ සමාජය තුළ හෘද සාක්ෂියට එකඟව වීර්යයෙන් හිස ඔසවාගෙන දිවි ගෙවන්නට තරම් උදාර වූ චරිතද ඇති බවයි. ඇය ඔවුන් දකින්නේ ගලින් සැදුණු මහ කන්දක් මුදුනෙහි පිපිණු මහනෙල් මල් ලෙසය. ඇය ඔවුන් හඳුන්වන්නේ ගිරි හිස ඉඳුවර ලෙසය. කංචනා කුමාරි දොඩංගොඩ වෘත්තියෙන් ඉංග්‍රීසි ගුරුවරියක වන අතර අනූව දශකයේ මුල් භාගයේ සිටම පුවත්පත්, සඟරා ආදියට සිය නිර්මාණ ඉදිරිපත් කර ඇති අතර, මෙය ඇයගේ තුන්වැනි නවකතාවයි.

 


කැලණි මිතුරු කවි සරණිය

 

කෘතිය - කැලණි මිතුරු කවි සරණිය

- කැලණි සරසවි ආදි විද්‍යාර්ථීන් 1981-1985

සංස්කරණය - ධනපාල ගොඩගේ, සුදත් ගාමිණී බණ්ඩාර, උපුල් රංජිත් හේවාවිතානගමගේ, චම්පිකා චාන්දනී කරුණාදාස, ප්‍රසාදිකා වික්‍රමසිංහ

ප්‍රකාශනය -ෆාස්ට් පබ්ලිෂින්( ප්‍රයිවට්) ලිමිටඩ්

මිල - රු 500

විමසීම් - 011 269 4230

 

කැලණි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ කලා විෂය ධාරාව හැදෑරූ 1984 හා 1985 විද්‍යාර්ථින් විසින් සකස් කළ කවි එකතුවකි. මේ වන විට විශ්‍රාම සුවයෙන් නිවෙස්වලට වී පසුවන එම කණ්ඩායමේ සාමාජිකයින්ගේ සිතට නැඟුණු සිතිවිලි කවිවලට හරහා ඊට වටිනාකමක් ලබාදීම මෙම ග්‍රන්ථයේ අරමුණයි. කණ්ඩායමෙන් ලබාදුන් කවි එකතුව ප්‍රවීණ ගීත රචකයින්ට යොමුකර ඒවායින් තෝරාගත් කවි එකතුවකින් මෙම ග්‍රන්ථය සකස් වී ඇත. මේ සඳහා 49 දෙනෙකු සිය කවි නිර්මාණ ලබා දි ඇති අතර එයින් තෝරාගත් කාව්‍ය නිර්මාණ 61 ක් මේ ග්‍රන්ථයේ ඇතුළත් කර ඇත. කවි සංකල්පනා ඉදිරිපත් කළ සමූහයටම ගෞරවයක් වශයෙන් මීට ‘ කැලණි මිතුරු කවි සරණිය ‘ නමින් නම් කර ඇති අතර අලංකාර පිටකවරය නිර්මාණය කළේ ජගත් වීරවර්ධනය.

 


 

ඇදුරුතුමාගේ අවසන් පාඩම දොරට වැඩුම 20 දා

නාලිනී ජයරත්න විසින් සිංහලට පරිවර්තිත මිච් ඇල්බොම්ගේ සම්මානිත කෘතිය 'ඇදුරුතුමාගේ අවසන් පාඩම' එළිදැක්වීම අගෝස්තු 20 වැනිදා ඉරිදා සවස 3.00ට කොළඹ සරණ පාරේ නාරද බෞද්ධ ධර්මායතනයේදී (කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලාව අසල) පැවැත්වේ.

නාරද බෞද්ධ මධ්‍යස්ථානාධිපති තලල්ලේ චන්දකිත්ති හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහා‍නායක තිරිකුණාමලේ ආනන්ද මාහිමිපාණන් ද දේශනයක් පවත්වති.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහ ශල්‍ය වෛද්‍ය පුලතිස් සිරිවර්ධන මහත්වරුන් ද සභාව ඇමතීමට නියමිතයි.

 


‘වස්සානයට පසු’ රත්න ශ්‍රී විජේසිංහ අභිනන්දන සාහිත්‍ය විචාර තරගාවලිය

lඉන්දික සංජීව විතාන-හොරණ

ප්‍රවීණ ගී පද රචක රත්න ශ්‍රී විජේසිංහයන්ගේ අඩසියවසක සාහිත පෙළහර වෙනුවෙන් සාහිත්‍ය විචාර තරගාවලියක් පැවැත්වීමට කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ කළුතර දිස්ත්‍රික් ලේඛක සංවිධානය කටයුතු කරනු ලබයි.

විවෘත සහ පාසල් යන තරග අංශ දෙක යටතේ කළුතර දිස්ත්‍රික්කය තුළ ස්ථිර පදිංචි අයට මෙම තරගයට සහභාගි විය හැකිය.

විවෘත අංශය යටතේ වයස අවු 18 වැඩි තරගකරුවන්ට ඉදිරිපත් විය හැකි අතර ‘ගීත රචකයකු ලෙස රත්න ශ්‍රි විජේසිංහයන් පළකළ සමාජ දැක්මෙහි විශේෂතා’ මැයෙන් වචන 2000 කට නොවැඩි විචාරයක් ඉදිරිපත් කළ යුතුය. පාසල් අංශය යටතේ 10 සිට 13 දක්වා ශ්‍රේණිවල ඉගෙනුම ලබන තරගකරුවන් ඉදිරිපත් විය හැකි අතර ‘රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සමස්ත කාව්‍ය නිර්මාණාවලිය තුළින් මතුවන සමාජ විචාරයෙහි ඇති වැදගත්කම’ මැයෙන් වචන 2000කට නොවැඩි විචාරයක් ඉදිරිපත් කළ යුතුය.

වාසනා බේකර්ස් පුද් සමාගමේ අනුග්‍රහයෙන් ත්‍යාග පිරිනමනු ඇත. වැඩි විස්තර 0719008921 දුරකතන අංකයෙන් විමසිය හැකිය..

 

 

Comments