රටම හොල්ලන ගම්පහ පයිලට් පොඩ්ඩාගේ පුනරුත්පත්ති කතාව | සිළුමිණ

රටම හොල්ලන ගම්පහ පයිලට් පොඩ්ඩාගේ පුනරුත්පත්ති කතාව

පාසල් යායුතු වුවද තවමත් පාසලක් නොලැබුණු කළිඳු හා සිය සොහොයුරු සදෙව් නිවසේ සෙල්ලම් කරමින්

- මගේ අම්මා ෆෙඩෑලියා බෙලා කර්ස්. වයිෆ් මේරි ජේන්...
- වසර දෙකහමාරක් යනකම් බහ තේරුවේ නැහැ. You are not my mother කියලා මුලින්ම ඉංග්‍රීසියෙන් කිව්වා
- ගිය ආත්මයේ හිටියේ ඇට්ලන්ටාවලලු නගරයේ සිප් කෝඩ් (Zip Codes) 70577, 70655 මතකයෙන් කියයි

This is not my country.You are not my mother.I am an American. My mother Fedaliya Bela Kers. Wife Mary Janet..”

“මම හිටියේ USAවල නිව්යෝක් සිටි එකේ. මගේ නම බිලි කර්ස් (Biliy Kers).”

“එහේ මම ෆයිටර් ජෙට් පයිලට් (fighter jet pilot ) කෙනෙක්. මට වෝ ෂිප් එකක් තිබුණා. මුහුදේ තමයි මේ ෆයිටර් ජෙට්වල රනර් වේ (ධාවන පථය) එක තියෙන්නේ.”

“අපි ජෙට් එක ටේක් ඕෆ් ( ගුවන් ගත කිරීම ) කරනවා බැටල්වලට ( battle -සටන) යන්න. බැටල් එක ඉවර වුණාම අපි ඒවා මුහුදේ ලෑන්ඩ් කරනවා....” 

ඒ තවමත් වයස අවුරුදු අටක පුංචි පොඩිත්තකුගේ අදහාගත නොහැකි කතාය. ඔහු ගම්පහ උඩුගම්පොළ පදිංචි අබේසේකර මුදියාන්සේලාගේ කළිඳු තිනාල් විජේවර්ධනය. අවුරුදු තුනේ බහතෝරන වයසේ සිට මේ පොඩිත්තා තොර තෝංචියක් නැතුව අපේ රටට ආගන්තුක වූ අරුම පුදුම කතා කියවන්නට විය. විටක ඇමෙරිකාවේ ජීවත් වූ බිලි කර්ස් නම් ගුවන් නියමුවකු ගැන කියවයි. ඔහුගේ බිහිසුණු ගුවන් අනතුර ගැන කියයි. තවත් විටක ඇමෙරිකාව තමන්ගේ රට බවත් එහි යායුතු බවත් පවසයි. ඉල්ලන්නේද ඇමෙරිකාවට උරුම කෑම බීමය. කතා කරන්නේද ඇමෙරිකාවට හුරු ‌ෙශෙලියකින් යුත් ඉංග්‍රීසි භාෂාව පමණි. ගමේ මවුපියන්ට දාව ඉපදුණ ද කළිදුගේ මවු භාෂාව ඉංග්‍රීසි විය. ඔහුගේ ජීවිතයම ගුවනේය. නැතිනම් ගුවන් යානාය. එංජිමේ සිට රෝද දක්වාවූ ගුවන් යානයේ වගතුග කියන්නේ දක්ෂ ගුවන් ඉංජිනේරුවකු මෙන්ය.

මේ සුවිශේෂි හැකියා ඇති දරුවා අපට හමුවන්නේ ගම්පහ උඩුගම්පොළ දීය. පුංචි කළිඳු පවසන්නේ වසර ගණනාවකට පෙර ඇමෙරිකාවේ ජීවත්ව මියගිය ජෙට් ගුවන් නියමුවකුගේ නැවත ඉපදීමේ පුනරුත්පත්ති කතාව ය. ප්‍රකාශ කරන දෙයින් පමණක් නොව දරුවා ගැන හොඳින් නිරීක්ෂණය කරන්නකුට ඔහු තුළින් දිස්වන්නේ අපට නුහුරු විදේශිකයකුගේ හුරු පුරුදුය. පෙර ආත්ම භවයෙන් උරුම වූ ඇමෙරිකානු ඉංග්‍රීසියට හුරු ඉංග්‍රීසි කථනය ව්‍යක්තව හසුරුවන කළිඳුට තවමත් වසර 8 කි. දැන් දැන් සිංහල බස යම් තරමකින් ඉගෙන ගත්ත ද කතා කරන හතරෙන් තුනක්ම නුහුරු උච්ඡාරණයෙන් යුතු ඉංග්‍රීසිය. එහෙයින් කළිඳු පවසන මේ පුනරුත්පත්ති කතාවේ බොහෝ වදන් ඔහුගේම භාෂා හුරුවෙන් අප කියන්නට උත්සාහ කරන්නේ මේ යළි ඉපිද ඇත්තේ ඇමරිකාවේ ජෙට් ගුවන් නියමුවකුව සිටියදී ගුවන් අනතුරකින් මියගිය බිලි කර්ස්ම ද යන්න කියවන ඔබටත් අවබෝධ වන්නටය.

“මගේ අම්මා ෆෙඩෑලියා බෙලා කර්ස්. අම්මා හරීම හොඳයි. මම අම්මට තමයි ආදරෙයි....”

“තාත්තා ටෙඩ් කර්ස්. අපිට තිබුණේ පොඩි ගෙයක්. මට අක්කා කෙනෙක් හිටියා. එයාගේ නම ඩෙලෝරස්.”

“අම්මා මම ආස කරන ෆ්රුට්ස් ( පලතුරු ) වලින් කෑම හදලා දෙනවා. මම එහේ ආස, පයිනැපල්වලට. අම්මයි තාත්තායි ස්ටෝර් (කඩයට) ගිහිනුයි මේවා ගේන්නේ. මට වාහනයක් තිබුණා. එ්ක ගෝල්ඩ් කලර් එකක්. තාත්තා සමහර වෙලාවට මට පොත් ගෙනත් දුන්නා.

“වෙලාවකට තාත්තා මට බටර් ගෙනත් දෙනවා. තාත්තා වැඩ කරන්නේ බටර් ෆැක්ටරි එකකනේ. එයා එතන බොස්. ඒ ෆැක්ටරි එක තිබුණේ ගේ ගාව නෙමෙයි. ඒත් තිබුණ තැන දැන් මතක නැහැ.........” කළිඳු සිය පුනරුත්පත්ති කතාව දිග හරින්නේ විටින් විටය. සමහර විට එදා කියූ සමහරක් කරුණු දැන් මතකයෙන් ගිලිහී හමාරය.

“එහෙනම් පුතාගේ ගෙදර බටර් ගොඩාක් ඇතිනේ...?” මම විමසමි. 

“නෑ ...නෑ...අපිට ඕන වුණොත් අපි සල්ලි දීලා ගන්නවා. සමහර දවසට ගෙදර බටර් තිබුණේ නැතිනම් තාත්තා වැඩ ඇරිලා එනකොට බටර් ගේනවා. දවසක් තාත්තා වැඩ ඇරිලා එනකොට චොකලට් තුනක් ගෙනවා. දෙකක් අක්කටයි මටයි දුන්නා. පස්සේ ඉතුරු එක අක්කට හොරෙන් මට කන්න දුන්නා..” කළිඳු කියන්නේ පිනා ගිය සතුටිනි.

“පුතේ ඔයාට ඇමෙරිකාවේ හිටපු පළාත මතකද? " මම විමසූ විට ඔහු යළිත් මතකය පිරික්සන්නට විය. එහෙත් ඔහු ජීවත් වූයේ එක්සත් ජනපදයේ කොහේද, යුද්ධය තිබුණේ කවදාදැයි දැන් ඔහුට මතක නැත.

කළිඳුගේ මව නිශානි හිග්ගොඩය. ඇය සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි සිසුවියකි. ඔරියන්ට් ඉන්ෂුවරන්ස් මෝටර් ක්ලේම්ස් දෙපාර්තමේන්තුවේ සේවය කරන ඇය ජීවන ගමනට තනිවම උර දෙන්නියකි. කළිඳුගේ පියා ඔවුන්ගෙන් වෙන්ව ගොසිනි. කළිඳුගේ පුංචි මල්ලි සදෙව් තිනාල් විජේවර්ධනට තවමත් අවුරුදු 5 කි. අයියා මෙන්ම මල්ලි ද ඉංග්‍රීසි බස හැසිරවීමට අති දක්ෂයෝය.

“අවුරුදු තුනහමාර වෙද්දි පුතා ලෝක සිතියමෙන් එයා ඇමෙරිකාවේ ජීවත් වූ ස්ථානය පෙන්නුවා. පෙන්වපු විදියට ඒ ස්ථානය ඇට්ලන්ටාවල. එයා මතකයෙන්ම එයාලගේ නගරයේ සිප් කෝඩ්( Zip Codes) එක 70577 සහ 70655 කියලා කිව්වා. පුතා අවුරුදු තුනහමාරේ සිට ලෝක සිතියමෙන් ජීවත් වූ ස්ථානය පෙන්වන කොට අපි ගූගල් හරහා ඒ ස්ථානය පිරික්සුවා. පුතා පෙන්වපු ඒ ස්ථානය අදටත් ඇමෙරිකාවට අයත් ගුවන් හමුදා බේස් කෑම්ප් තියෙන පළාතක් . ඒ පළාතේ ෆෙඩෑලියා යන නම සුලබ නමක්.. ඒ නිසා මෙයා කියන ඒ වගේ පවුලක් සිටින බවට අපි විශ්්වාස කළා....” ඒ කළිඳුගේ මව නිශානිය.

කළිඳු තිනාල් විජේවර්ධන ඉපිද ඇත්තේ 2014 සැප්තැම්බර් 16 වැනි දිනය. වසර දෙකහාමාරක් යන තෙක් මේ දරුවා අන් දරුවන් මෙන් බහතෝරද්දී ‘අම්මා‘ කියා හෝ කතා කර තිබුණේ නැත. සියලු දේ ඇඟිල්ල දිගුකර නිහඬ බසින් පැවැසුවා මිස වසර දෙකහමාරක් ගිය ද වචනයක් හෝ පිට කළේ නැත. විටක ඔහු මවගේ සමීපය ප්‍රතික්ෂේප කළේය. සියලු වෙනස්කම් මේ මවට මහත් වූ ගැටලුවක් විය.

“මේ දරුවට පෙර මට ලැබෙන්න හිටිය දරුවෝ හතරක්ම නැතිවුණා. පස්වැනියට තමයි, කළිඳු පුතා ලැබුණේ. මාස දෙකක් යනකම් දරුවකු ලැබෙන්න ඉන්න බව දැනගෙන හිටියේ නැහැ. දරුවා ලැබිලා අවුරුදු දෙකහමාරක් යනකම් පුතා කිසිම වචනයක් කතා කළේ නැහැ. මගේ කිරි බිව්වේ නැහැ. මට කිට්ටු වුණේ නැහැ. හරිම වෙනස් ප්‍රතිචාර දැක්වුවා. එයා ඇඟිල්ලෙන් එයාට ඕන දේ පෙන්නුවා. වෛද්‍යවරයකුට පෙන්වීමට හිටියත් මගේ තාත්තා කිව්වා අපි මේ දරුවට භාෂාව වෙනස් කරලා කතා කරමු කියලා. තාත්තා එහෙම කිව්වේ මෙයාගේ හැසිරීමේ අපිට නුහුරු බටහිර රටාවක් පෙන්නුම් කළ නිසා. අපේ ගෙදර ඉංග්‍රීසියෙන් කතා කරන්නේ නැහැ. ඒත් අපි දරුවත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න උත්සාහ ගත්තා. දරුවා ඒකට ප්‍රතිචාර දක්වන බව අපිට පෙනෙන්නට ගත්තා.....”

“මේ වෙනකොට දරුවට වයස අවුරුදු තුනක් විතර ඇති. එදා හොඳටම වැස්ස දවසක්. මෙයා එක පාරටම "You are not my mother" ( ඔයා මගේ අම්මා නෙමෙයි.) කිව්වා. දරුවා මුලින්ම කැඩි කැඩි කිව්ව මුල්ම වචන ටිකයි ඒක. දරුවා කතා කළ එක ගැන සතුටු වුණත් මගේ පපුවට අණිනවා වගේ දැනුණා. එදා මට ගොඩාක් දුක හිතුණා. එදා සිට ටික ටික කතා කරන්න ගත්තත් ඒ සියල්ල ඉංග්‍රීසියෙන්ම විතරයි. එයා ඉංග්‍රීසි වචන ශබ්ද කරන්නේ අපේ ඉංග්‍රීසි වගේ නෙමේ. ඉන් පස්සේ ටිකෙන් ටික ඇමෙරිකාවේ ජීවත් වුණු බෙලි කර්ස්, එයාගේ අම්මා තාත්තා වගේම මරණය වගේ ගොඩාත් දේවල් කියන්න ගත්තා....” 

“මම ෆ්ලයිට් ෆ්ලයි කළේ ඕෂන් එකේ.” ගේ පුරා දුවමින් දරුවා වරෙක කියයි. සමහරක් වචන අපට නුහුරුය.

“ඔය කියන්නේ ෆයිටර් ජෙට් ලෑන්ඩ් කළේ මුහුදේ රනර් වේ කියලයි” මව අපට පැහැදිලි කර දෙන්නීය.

“අම්මේ ෆෝන් එක දෙන්නකෝ ඒක පෙන්නන්න......” කළිඳු මවගේ දුරකතනය ලබාගෙන අපිට පෙන්වීමට උත්සහ කරන්නේ ඇමෙරිකානු යුද ජෙට් යානාය.

“මේ රනර් වේ එක. ඒ රනර් වේ ගොඩාක් ලොකුයි. ජෙට් කිහිපයක් එකපාර ලෑන්ඩ් කරන්න පුළුවන්. බැට්ල් ( සටන )ඉවර වුණාම මම ඒක ලෑන්ඩ් කරන්නේ එතන. නමුත් පොඩ්ඩක් ටර්බියුලන්ස් (අහස කැලඹිලි සහිත බව) ...ආ මේ තියෙන්නේ මම ගිය ෆයිටර් ජෙට්ස්...” කළිඳු පිනාගිය සතුටකින් පෙන්වන්නේ චූටි මල්ලියා ද හවුල් කර ගනිමිනි.

“මම ටෆ් බැටල් එකට ගියා. එතන මගේ ටීම් එකක් තිබුණා. මගේ බොස් (ගුවන් හමුදාපතිවරයා) ගෝර්ඩන් ෆින්කල් හෙයිමර්. මගේ ෆයිටර් ජෙට් අංකය නම් මතක නැහැ. දැන් ගොඩක් කාලයක්නේ....” කළිඳුගේ මතකයෙන් සමහරක් දේ දැන් අමතක වී ඇති බව මව පවසන්නීය. එහෙත් මේ පුංචි මොළයට තේරෙන්නේ සිදුවීම් අතර කාලය වැඩි හෙයින් තමන්ට ඒ දේ අමතක වී ඇති බවකි.

කළිඳු උපන් දා සිට බත්, මාළු පිණි, හොඳි ව්‍යංජන කෑමට කැමති නැත. ඔහු ඉල්ලන්නේ බටහිරට හුරු කෑම පමණි. එය එකක් සමඟ වුවද ප්‍රමාණවත්ය. තනි ජීවන සටනකට උර දෙන මේ මවට දරුවා ඉල්ලන සියල්ල ලබා දෙන්නට නොහැකිය.

“දරුවා බත් කන්නේ නැහැ. කන දේ කන්නේ හැන්දෙන් ගෑරුප්පුවෙන් විතරයි. එයා ඉල්ලන්නේ අපි කවදාවත් අහලා නැති කෑම. දවසක් මගෙන් ගෝගන්සෝලා චීස් ( Gorgonzola chees)ඉල්ලුවා. පස්සේ මම ගූගල් චෙක් කළා. මේක ඇමරිකන් චීස් වර්ගයක්. ......”

ගේ පුරා දුවයන කළිඳු මවගෙන් සෝඩා ඉල්ලයි. “ඔය සෝඩා කියන්නේ ඇමෙරිකාවේ බීමවලට කියන පොදු නමක්.....” කළිඳුගේ අපිට නුපුරුදු වදන් මව පැහැදිලි කර දෙන්නීය.

කළිඳු අසන අපිව පුදුමයට පත්කරමින් ගුවන් යානා ගැන අපූරුවට විස්තර කරන්නට විය. අහසේ ගුවන් යානාවක් යන විට එන්ජිමේ සිට රෝද දක්වා වූ සියල්ල විස්තර කරන්නට කළිඳුට අපූරු පෙර බවයේ මතකයන් තවමත් සිහිපත්ය. 

“මෙහෙ ෆයිටර් ජෙට්ස් එනවා. හැබැයි පොඩ්ඩ පොඩ්ඩ. ඩී සී 8, සෙස්නා, ඇන්ටනෝෆ් ,බොයිං 747 දැන් මේවා යූස් කරන්නේ නැහැ.” කළිඳු පවසන්නේ ගුවන් යානා ගැන හසළ දැනුම ඇත්තකු විලසිනි.

“පුතාට මතකද එදා වුණ දේ....?” මම විමසුවෙමි.

“මම බැටල් එකට ගියාම වන් හෝ ටූ තවුසන් ඩොලර්ස් ( ඩොලර් 1000-2000 ක්) ලැබෙනවා. මම ඒ සල්ලිවලින් කාර් එකක් ගත්තා. ගෝල්ඩ් පාට. ඒකට ඩොලර් පන්සීයක් ගියා. අම්මට තාත්තට කාර් තිබුණා. තාත්තට තිබුණේ වයිට් කාර් එකක්. මට සල්ලි තිබුණේ නැහැනේ. ඒ නිසා මම අනිත් අයගේ ෆයිටර් ජෙට් තමයි බැටල්වලට බරෝ (ණයට ගත්තා) කළේ. බැටල්වලට ( යුද්ධයට ) ගියාට පස්සෙයි, මට සල්ලි ලැබෙන්නේ. එතකොට මම ෆ්ලේම් ටැටූ (flame tattoo - ගිනි පච්ච) එකක් ගත්තා.....” දරුවාගේ මතකය අලුත් වන්නේ තැනින් තැනය. ඒ සියල්ලට නිහඬව සවන් දුන්නා මිස හාරා ඇවිස්සූයේ නැත.

“මම මැරි කරලා හිටියේ මේරි ජේන්ව. එයා ලස්සනයි. අපේ ගෙදර හිටියේ. දවසක් එයත් එක්ක පාටි එකකට ගියා. ඒත් එදා එයාර් ෆෝස් එකේ කමාන්ඩර් දුන් එපොයින්මන්ට් එක අමතක වුණා. මම ඉක්මනට මේරි ජේන්ව කාර් එකට යවලා වෙලාවට එතෙන්ට ගියා. වෙලාවට ගිය නිසා බොස්ගේ මූණ හොඳයි....” පුංචි කළිඳු පෙර බවයේ විවාහ අත්දැකීම් අපූරුවට පවසන්නේය.

පුංචි කළිඳුට අනුව ඔහුගේ මරණය සිදුව ඇත්තේ තමන්ගේ ප්‍රහාරක ජෙට් යානාවට වැදුණු මිසයිලයක් හේතුවෙන් බව ඔහු පවසන්නේය. යුද්ධය සඳහා තම යානය ගුවන් ගත වූ මොහොතේ සිට ඔහු මියගොස් සිය ආත්මය නැවත මවු කුසක පිළිසිඳ ගත් ආකාරය පිළිබඳව කළිඳු පවසන දේ කෙනකු මවිතයට පත් නොවන්නේ නම් එය පුදුමයකි. බුදු දහමේ සිද්ධාන්තයන් සමඟ එය අපූරුවට ගැළපෙන්නෙකි. නමුත් කළිඳු පෙර ආත්මයේ මරණයට මුහුණ දුන්නේ කුමන සටනක් නිසාවෙන්ද යන්න ඔහුගේ සිහියට නැඟෙන්නේ නැත.

“මට ජෙට් හතරක් තිබුණා. එකක් ගොඩාක් කූල්. දෙවැනි එක කූල්. තුන්වැනි එක “not so cool” හතරවැන්න “Bad”. බෑඩ් ජෙට් එක අරගෙනයි එදා උදෙන්ම මම ගියේ. එදා ෆයටර් ජෙට් එකේ ගියේ මම විතරයි. යන්න කලින් මට ජෙට් එක චෙක් කරලා අරන් යන්න බැරි වුණා. මම ඒක අරගෙන කිලෝ මීටර් 9000ක් දුර බැටල්වලට ගියා. මේ ජෙට් හරිම ෆාස්ට්නේ. හවස් වෙන කොට මම බැටල් එක පටන් ගත්තා. මම මිසෙල් (මිසයිල) ගැහුවා. ගන්ස් ගැහුවා. නමුත් කවුරු හරි කෙනෙක් මට මිසෙල් එකකින් ෂූට් කළා. මම ට්‍රයි කළා, ඒකෙන් බේරෙන්න. මේ වෙලාවේ මගේ ජෙට් එකේ ලෝඩ් කරපු ගන්ස්, මිසෙල්ස් පිපිරුණා. එතකොට මම මැරුණා. දැන් ජෙට් එක ගින්දරත් එකක් බිමට පාත්වෙනවා මට දැනුණා. මගේ මුහුණ පිපිරෙනවා මට දැණුනා. මම කෑගැහුවා. මගේ ස්කෙලිටන් එක (ඇටසැකිල්ල) රෙස්කියු ටීම් (ගලවා ගැනීමේ මෙහෙයුම්) දවස් දෙකකට පස්සේ හොයා ගත්තා. මාව ගෙදර ගෙනිච්චේ පහුවැනිදා. අම්මලා අඬනවා මම උඩ ඉඳන් බලාගෙන හිටියා. මට එතකොට එන්න බැහැනේ. මාස හතරක් අම්මලා ඇඬුවා. එයාලා අඬලා නැවතුණාට පස්සෙයි මට සැහැල්ලුවක් දැණුනේ. පස්සේ මම එළියට එනකොට ලොකු... හුළඟක් ආවා. ඒත් මට මෙහාට එන්න ඕන වුණේ නැහැ. ඒත් ඒ සුළඟට මාව ගහගෙන ආවා.”

“කොහොමද පුතා ඇමෙරිකාවේ ඉඳන් මෙහාට ආවේ.....?” මම විමසන්නට වූයේ දරුවාගේ අදහස දැනුම පිරික්සීමටය.

“ඇයි ඉතින් මම රිබර්ත් වුණානේ......” පොඩිත්තා පවසන්නේ අපගේ දැනුම ද පරයමිනි.

පියා වෙන් වූ මේ පවුලේ මවගේ හා දරු දෙදෙනාගේ තනි නොතනිය දුරු කරන්නේ සීයා හා ආච්චීය. සීයා එච්. ජී. ඒ .ඩබ්ලිව් කුලසිංහය. ආච්චි මුදුන්කොටුවගේ කාන්තිය.

“දරුවා කියන විදියට මේරි ජේන්ව බැඳලා වැඩිකල් ඉන්න ලැබිලා නැහැ. මෙයා කියන දේවලින් අපි තේරුම් ගත්තේ බැඳලා වැඩි කලක් යන්න කලින් මැරිලා. අවුරුදු 32-35 වයසකදී තමයි මෙයා මැරිලා තියෙන්නේ. දරුවගේ චතුර ඉංග්‍රීසි භාෂාවත් එක්ක අපිට හැරෙන්නවත් බැහැ. සමහර වචන අපි දන්නේ නැහැ. දරුවෝ දෙන්නට සිංහල බැරි නිසා යැව්වේ යක්කල රෝයල් ඉන්ස්ටිටියුට් එකට. මුලින්ම රෝයල් ඉන්ස්ටිටියුට් එකට ගියහම ප්‍රින්සිපල් ඉංග්‍රීසියෙන් පුතාට කිව්වා, ඔයා හොඳට ඉගෙන ගන්න. එතකොට ඔයාට ඇමෙරිකාවට යන්න පුඵවන් කියා. මෙයා එතකොට අහනවා ඇයි ඉගෙන නොගත්තොත් අපිව පන්නා දමයි ද කියලා. විදුහල්පතිනියත් පුදුම වුණා, මෙයාගේ මතකයට හා ඉංග්‍රීසි දැනුමට. අපි බුද්ධාගම වුණත් දරුවා අදහන්නේ ජේසුස් වහන්සේ. ඒත් දැන් දරුවෝ දෙන්නා පාසල් යවන්න විදියක් නැතුව මාස හතරක් ගෙදර” පුනරුත්පත්තිය පැවැසීම කෙසේ වෙතත් ඉංග්‍රීසි භාෂාව අති දක්ෂව හසුරුවන, ගුවන් යානා පිළිබඳ විශේෂ දැනුමක් උපතින්ම උරුම වූ මේ පාසල් යායුතු වයසේ දරු දෙදෙනාගේ අනාගතය තවමත් අවිනිශ්චිතය. මේ මවට පාසල් වියදම් දරා ගැනීමට නොහැකිය. ලංකාවේ හොඳම පාසලක් උරුම විය යුතු මේ හපනුන්ට දැන් යන්නට පාසලක් නොමැති වීම කනගාටුදායක තත්ත්වයකි.

“සීයා තාත්තේ එයාර් ටිකට් එකක් ගත්තොත් ඇමෙරිකාවට යන්න පුළුවන්ද....” පුංචි පැටියාට බලාපොරොත්තු ගොන්නකි. ඔහු විටක සිය සීයාගෙන් විමසන්නේ එකම ආසාව වූ ඇමෙරිකාවට යාමටය. කලින් මවුපියන් දකින්නටය. නමුත් ඒ ආපේක්ෂාව මුදුන් පමුණුවා ගන්නට අධ්‍යාපනය ඇවැසි බව මේ නොදරුවෝ දන්නේ නැත.

පියාගෙන් වෙන් වූ මේ මව දරුවන් සමඟ ගෙනි යන්නේ තනි දුෂ්කර සටනකි. මුලින් යක්කල රෝයල් ඉන්ස්ටිටියුට් විදුහලට ගිය දරුවන්ට තාවකාලිකව අද පාසල් ගමන අහවර වී ඇත්තේ පාසල් ගාස්තු ගෙවීමට මවට නොහැකි වීම නිසාවෙනි. පාසලේ දෙක වසරේ සිටිය යුතු කළිඳුට හා පෙර පාසලේ වූ මල්ලි සදෙව්ට තමන්ගේ ඉංග්‍රීසි දැනුමට සරිලන හොඳ පාසලක් ලබාගැනීම මවගේ එකම අපේක්ෂාවය. පාසලක් නොමැති මේ දරුවෝ දවස පුරාම කෙළි සෙල්ලමින් ගේ පුරා දිව යන්නේ එහි බරපතළක් නොදැනය.

“මගේ දරුවෝ දෙන්නට වාරයකට පාසල් ගාස්තුවලට රුපියල් අනූදාහක් වියදම් ගියා. තාත්තා නැතිව මගේ රස්සාවෙන් දරුවන්ගේ මේ වියදම් කරන්න විදියක් නැතිවුණ නිසා වෙනත් පාසලකට යැවීමේ අදහසින් දරුවෝ ඉවත් කර ගත්තා. තවමත් දරුවෝ දෙන්නා ගෙදර. පාසලක් නැහැ. දරුවන් දෙන්නටම සිංහල භාෂාව ගැන එතරම් දැනීමක් නැහැ. ඉංග්‍රීසි භාෂාව පමණයි හොඳින්ම කතා කරන්නේ. කළිඳු පුතාට ගුවන් යානා පිළිබඳ පුදුම දැනුමක් තියෙන්නේ. මට දරුවෝ දෙන්නා වෙනුවෙන් ඉංග්‍රිසි භාෂාවෙන් අධ්‍යාපනය ලබාදෙන්න හොඳ පාසලක් ලබා දෙන්න...” මේ මව අධ්‍යාපන බලධාරීන්ගෙන් හෝ සහනයක් ලබාදිය හැකි පෞද්ගලික පාසල් ප්‍රධානීන්ගෙන් ආයාචනා කරන්නීය.

“මල්ලියි මායි ස්කූල් ගියේ නැහැ. ස්කූල් එකකට යන්න ආසයි. ස්කුල් ගිහින් ඉගෙන ගත්තොත්නේ මට ඇමෙරිකා යන්න පුළුවන්.....” පුංචි කළිඳු පවසන්නේ ඒ ඔහුගේ එකම ආසාව නිසාය. ඒ පුංචි හදවතට දැනෙන දෑ කියන්නට අපිට වචන නැත. කළිඳු අම්මාත් මල්ලිත් සමඟ තවමත් ජීවත් වන්නේ මහ ගෙදරය. පෙර ආත්ම භවයේ මෙන්ම ලස්සන ගෙයක් දොරක්, යාන වාහනයක් ගැනීම කළිඳුගේ බලාපොරොත්තුව සිහිනයක් නොවන්නට ඉඩක් ඇත්තේ ඊට කවුරුන් හෝ දායක වුවහොත් පමණි. මේ දරු දෙදෙනාගේ හැකියාවන් පරික්ෂා කර හෝ එවැනි අවස්ථාවක් ලබා දෙන්නට හැකිනම්, යම් උපකාරයක් කිරීමට හැකිනම් ඊට සම්බන්ධ වීමට අප ඔබට ඇරයුම් කරන්නේ ඒ නිසා ය.

කළිඳුගේ සීයා වන එච්. ජී. ආනන්ද කුලසිංහගේ දුරකතන අංකය 071 656 7228 වේ. බැංකු ගිණු‍ෙම් තොරතුරු මෙසේය.

එම් කාන්ති, 1003 7882 5424 ජාතික ඉතිරි කිරීමේ බැංකුව - ගම්පහ.

ඡායාරුප - දුෂ්මන්ත මායාදුන්න

Comments