අවුරුද්දක් තිස්සේ විපක්ෂය මොකද කළේ? | සිළුමිණ

අවුරුද්දක් තිස්සේ විපක්ෂය මොකද කළේ?

1922 දී වී. අයි. ලෙනින් විසින් එක්සත් සමාජවාදී සමූහාණ්ඩුව බිහි කිරීමෙන් පසු මාක්ස්වාදයට ලොකු තැනක් හිමි විය. මේ සන්දර්භය තුළ ලෝකයේ රටවල් ගණනාවක්ම විවිධ මාක්ස්වාදී මොඩලයන් අත්හදා බැලීමට පටන් ගත්තේය. කාල් මාක්ස්ගේ මූලික මාක්ස්වාදී ප්‍රතිපත්තිවලට අනුව භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය යන නිෂ්පාදන සාධක සියල්ල ජනතාවට අයත් විය යුතුය. මේ න්‍යාය අත්හදා බැලීම සඳහා තැත් කළ රටවල් ගණනාවක්ම මුලින් සාර්ථකවී පසුව අසාර්ථක විය. එයට හේතු වූයේ ජනතා පරමාධිපත්‍ය යටතේ තිබිය යුතු බවට මාක්ස් විසින් යෝජනා කෙරුණු මූලික නිෂ්පාදන සාධක ඉතා කෙටි කලක් තුළදී නිලධාරීන් විසින් අයිති කරගනු ලැබීමය.

මාක්ස්වාදය පරිහරණය කළ කොමියුනිස්ට් රටවල තිබුණේ ආණ්ඩු පක්ෂයක් පමණි. ඒ රටවල විපක්ෂයක් තිබුණේ නැත. එවැනි රටවල විපක්ෂය නිකන්ම දියවී ගියේය. සමහර තැන්වල විපක්ෂය තහනම් කරන ලදි. තවත් තැනකදී විපක්ෂය සමූල ඝාතනය විය. මෙය කොමියුනිස්ට් පාලකයාට ලොකු පහසුවක් ගෙන දුන්නකි. ජනාධිපතිවරණයට පාලකයා ඉදිරිපත්වූ අතර ජනතාව අතට ලැබෙන ඡන්ද පත්‍රිකාවෙහි කොටු දෙකක් විය. දැනට සිටින පාලකයා තවදුරටත් බලයේ සිටිනු දැකීමට කැමති ඡන්දදායකයන් පළමු වැනි කොටුවෙහි කතිරයක් ගැසිය යුතු අතර ඔහුට අකමැති අය දෙවැනි කොටුවෙහි කතිරයක් ගැසිය යුතු විය. කතිරය මොකක් වුවද සිටින පාලකයා හැමදාමත් ජයග්‍රහණය කරනු දක්නා ලදී. අලුත් නායකයෙක් රටට පහළ වූයේ සිටින ජනාධිපති මියගිය විට පමණි. සෝවියට් දේශය තුළ මේ තත්ත්වය දිගටම තිබිණ. එය බිඳ වැටෙන්නේ 1991 දී එක්සත් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසුය.

ඉරාකයේ සදාම් හුසේන් සහ ලිබියාවේ ගඩාෆි තමන් කොමියුනිස්ට් පාලන ක්‍රමයක් අනුගමනය කරන බව කියමින් දශක ගණනාවක්ම රටේ නායකත්වය දැරූහ. අවසානයේදී මේ දෙදෙනාම ඉතා ක්‍රෑර ලෙස මරා දමන ලදි. විපක්ෂයක් නැතිව ඒක පාක්ෂිකව රට පාලනය කිරීමේ ලිබියානු චූන් එක සහ ඉරාක චූන් එක එතැනින් අවසන් වෙයි.

එක්සත් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව බිහි වීමෙන් පසු ලෝකය දේශපාලන වශයෙන් දෙකට බෙදිණි. ඉන් පළමුවැන්න සමාජවාදය වූ අතර දෙවැන්න ධනවාදය විය. ඊට අමතරව එක්සත් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවට සහය දෙන රටවල් කණ්ඩායමක් ද ධනවාදයේ නායකයා ලෙස සැලකුණු ඇ‍ෙමරිකාවට සහාය දෙන රටවල් කණ්ඩායමක් වෙනම ද බිහි විය. මේ අනුව යුද්ධයක් පවතින සෑම තැනකම ධනවාදය සහ සමාජවාදය එකට හැප්පිණි. මේ අතර ධනවාදය යන වචනයේ තිබූ කිසියම් ගොරහැඩිභාවයක් නිසා හෝ වෙනත් හේතුවක් මත ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයෙන් ධනවාදය වසා දමනු ලැබීය. එතැන් පටන් ධනවාදයේ දේශපාලන මුහුණුවර ලෙස ප්‍රජාතන්ත්‍රවාදය සලකන ලදි.

ප්‍රජාතන්ත්‍රවාදය තුළ පාර්ලිමේන්තුවක් තිබෙන අතර එම පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යනුවෙන් පාර්ශ්ව දෙකක් තිබේ. එය සමාජවාදය වැනි කටුක පාලන ක්‍රමයක් නොව වඩාත් නම්‍යශීලි පාලන ක්‍රමයක් විය. දෙවැනි ලෝක යුද සමයේ එක්සත් රාජධානියේ අගමැතිව සිටි නෙවිල් චැම්බර්ලේන් Neville Chamberlain කියන පරිදි විපක්ෂයක අරමුණ විය යුත්තේ තිබෙන ආණ්ඩුව පෙරළීම නොව පෙර­‍ෙළන ආණ්ඩුවට මුක්කුවක් ගසා එය පවත්වා ගෙන යන අතර එම ආණ්ඩුව නිවැරදි පැත්තට දමා ගැනීමය. නෙවිල් චෙම්බර්ලේන්ගෙන් පසු බලයට පත්වූ වින්ස්ටන් චර්චිල් කියූ පරිදි හොඳ විපක්ෂයක් තිබෙන සෑම රටකටම හොඳ ආණ්ඩුවක් තිබේ. චර්චිල් යනු දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර් පැරදවීම සඳහා නායකත්වය දුන් අගමැතිවරයාය. ආණ්ඩුවක් පෙරළීම යනු නීච පූර්වාදර්ශයක් බව චර්චිල් හැමදාමත් කීවේය. ආණ්ඩු පෙරළීම වූකලී එක්තරා දේශපාලන විලාසිතාවකි.

මේ විලාසිතාව තුළදී රටේ ආර්ථිකයට කෙළවෙන අතර මහජනතාව නන්නත්තාර වෙයි. මේ බිහිසුණු අත්දැකීමට මුහුණ දුන් රටවල් ලැයිස්තුවක් අප සතුව ඇතත් ඒ ගැන සාකච්ඡා කිරීම අන්දවසකට කල් තබනු ලැබේ. මේ අතර තවත් වැදගත් කාරණයක් කියමු. ප්‍රජාතන්ත්‍රවාදය තුළදී බලවත් විය යුත්තේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය නමැති සංරචක තුන පමණි. මේ තුනම දුර්වලවල අවස්ථාවලදී හටගන්නා රික්තයෙන් ත්‍රිවිධ හමුදාව ද වෙනත් සන්නද්ධ කණ්ඩායම් ද බලවත් වීමට පටන් ගනී. මෙසේ වූ විට හටගත හැකි භයානක ඵලවිපාක මේ මොහොතේදී අප්‍රිකා මහාද්වීපයේ නයිජර් රාජ්‍යය භුක්ති විඳිමින් සිටී. එහි ඇතිවූ හමුදා කුමන්ත්‍රණය නිසා අප්‍රිකාවට සහාය පළ කරන රටවල් දෙකට බෙදී සිටින අතර සමහරවිට එය තවත් දීර්ඝකාලීන යුද්ධයකට මඟපාදනවා ඇත.

මේ අතර අප විසින් සාකච්ඡා කරනු ලැබිය යුතු තවත් වැදගත් කාරණයක් තිබේ. එනම් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ ඇති විපක්ෂයේ හැසිරීම කෙසේද යන කාරණයයි. 1948 න් පසු මේ රටේ බිහි වූ හැම පාර්ලිමේන්තු විපක්ෂයකම අරමුණ වූයේ තිබෙන ආණ්ඩුවට කෙළ වෙනු දැකීමය. තිබෙන ආණ්ඩුව පෙරළා රට සියතට ගෙන පාලනය කිරීම සඳහා සුදුසු න්‍යාය පත්‍රයක් තමන් අත තිබුණත් නැතත් මේ රටේ විපක්ෂය හැමවිටම ආණ්ඩු පෙරළීමේ සූදුවට මුල්තැන දුන්නේය.

ගිය අවුරුද්දේ පැවති අරගලයෙන් පසු අලුත් ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහයන් පත්වූ අතර එමඟින් අරගලකරුවන්ගේ එක් අරමුණක් ඉටු විය. එනම් හිටපු ජනපති ගෝඨාභය ඉල්ලා අස්විය යුතු බවට අරගලකරුවන් තුළ තිබූ මතය සඵල වීමය. අරගලකරුවන්ගේ ඊළඟ ඉල්ලීම වූයේ තිබෙන ආණ්ඩුව වෙනුවට අලුත් ආණ්ඩුවක් බලය ලබාගත යුතු බවය. ඒ මොහොතේදී අලුත් ආණ්ඩුවක් සඳහා ඡන්ද පැවැත්වීමට තබා පාන් කාලක් කා ප්ලේන් ටී එකක් බීමට තරම්වත් වත්කමක් ශ්‍රී ලංකාවට තිබුණේ නැත. ඒ නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ට සිදුවූයේ තිබුණු ආණ්ඩුවේ හොඳම පිරිස ලෙස සැලකිය හැකි පිරිස තෝරාගෙන match එක ගැසීමය.

මේ අනුව රනිල් වික්‍රමසිංහ නායකයා වන්නේ ඒවන විටත් තෝරාගෙන තිබූ කණ්ඩායමකය. අලුත් ආණ්ඩුව පත්වීමේදී එය කඩාකප්පල් කිරීමට පාර්ලිමේන්තු විපක්ෂය බොහෝ උත්සාහ දැරීය. මහින්ද රාජපක්ෂ අගමැතිකම අත්හළ අවස්ථාවේදී එම තනතුර භාර ගැනීමට විරුද්ධ පක්ෂයේ කිසි­‍ෙවක් ඉදිරිපත් වුණේ නැත. හැමෝම ඒ වගකීම මඟහරිද්දී රනිල් වික්‍රමසිංහ රටේ අගමැති වී පසුව ජනාධිපති ලෙස දිව්රුම් දුන්නේය. රනිල් දිව්රුම් දුන් මොහොත මේ රටේ ආර්ථිකය තුළ තිබූ භයානකම මොහොතකි. විදෙස් ණය වාරික ගෙවා ගැනීමට නොහැකිව ශ්‍රී ලංකාව අසාධුලේඛනගත වී සිටි අතර අපට ණය දීමට කිසිදු රටක් හෝ ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් කැමති වුණේ නැත. ගෝඨාභයගේ ආණ්ඩුව ඉල්ලා අස්වීමට පෙර ඉන්දියාව පමණක් ඩොලර් බිලියන තුනක ද්‍රව්‍යමය ණයක් ලබා දුන්නේය. ඉන්දියාව යනු අපේ අසල්වැසියාය. ගන්නා ණය නොගෙවුවොත් බලහත්කාරයෙන් දේපළ පවරාගෙන ඒවා විකුණා ණය අයකර ගැනීමට බැංකුව දන්නේ යම් සේද ණය ආපසු අයකර ගැනීමේ දේශපාලන ක්‍රමවේදය ඉන්දියාව දැන සිටියේය.

රනිල් වික්‍රමසිංහ රට භාර ගන්නා විට මේ රට පෝලිම්වලින් පිරී ඉතිරී ගොස් තිබිණ. එය 1970 සමගි පෙරමුණු ආණ්ඩු කාලයේ තිබූ පෝලිම් මෙන් සිය ගුණයක් විශාල පෝලිම්ය. මුල්ම පෝලිම තෙල් පෝලිමයි. මිනිස්සු දවස් හතර පහ තෙල් පෝලිම්වල ලැග තෙල් ලබාගත නොහැකිව ආපසු ගියහ. ඇතැම් තැනක පෙට්‍රල් ලීටරය රුපියල් 500 දක්වා ඉහළ ගියේය. ඩීසල් නැත්තටම නැති විය. පෝලිම්වලදී මිනිස්සු ගහ මරා ගත්හ. තෙල් සම්බන්ධයෙන් හටගත් ආරවුලක් මත එක ෂෙඩ් එකක් අසලදී සිදු වූ පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගියේය.

ගෝඨාභයගේ ආණ්ඩුව කඩාකප්පල් වීමට බලපෑ සියලු සාධක සමඟම රට භාරගැනීමට රනිල් වික්‍රමසිංහට සිදු විය.

රුපියල් එක්දහස් ගණනක් වූ ගෑස් සිලින්ඩරය කළු කඩයෙන් රුපියල් පන්දහසට ලබා ගැනීමට හැකි විය. මේ නිසා රට පුරා තිබූ හෝටල්වලින් 80% ක් පමණ තාවකාලිකව වැසීගොස් මිනිස්සු එදා වේල සොයා ගැනීමට නොහැකිව ළතවීමට පටන් ගත්හ. ගෑස් පෝලිම සහ තෙල් පෝලිම ජයගැනීමට රනිල් වික්‍රමසිංහයන්ට හැකි වෙතැයි විපක්ෂය කිසිසේත්ම කල්පනා කළේ නැත. එහෙත් රනිල් වික්‍රමසිංහ බලයට පත්වී මාසයක් තුළ තෙල් සහ ගෑස් ප්‍රශ්නය විසඳිණි.

ගෝඨාභය පාලනය අවසාන යුගයේදී ලයිට් කැපිල්ල ද ඉතා සැරටම සිදු විය. ඇතැම් දිනක පැය 12 ටත් වඩා ලයිට් කපන ලදි. මේ නිසා රටේ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම අඩාළ විය. ශීතාගාරවල තිබූ මස් මාංස සහ සකස් කළ ආහාර ටොන් ගණන් වළ දමන ලදි. රනිල් වික්‍රමසිංහ බලයට පැමිණ මාසයක් තුළ ලයිට් කැපිල්ල සම්පූර්ණයෙන්ම නවත්වන ලදි. විපක්ෂය කල්පනා කළේ අලුත් ජනාධිපති වැඩේ සම්පූර්ණයෙන්ම අනන බවය.

තිබෙන ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ගත යුතු බව මේ අතර යෝජනා විය.

මේ යෝජනාව ගෝඨාභයගේ ආණ්ඩුව පැවති කාලයේ සිටම තිබුණු නමුත් රට ණය වාරික ගෙවාගත නොහැකිව අසාධු ලේඛනගත වීමත් සමඟම අහෝසි විය. එහෙත් ජනාධිපති වූ පසු රනිල් වික්‍රමසිංහයන් IMF සංවිධානය සමඟ සාකච්ඡා කර සාර්ථක ලෙස ණය ලබා ගත්තේය. මෙවිට IMF සංවිධානය අප ගිල දැමීමට සූදානම් වන බව විපක්ෂය කීවේය. එය IMF සංවිධානය විසින් රටට ණය ලබා දීම නිසා විපක්ෂයේ ඇතැමුන් තුළ හටගත් කුහක ආතල් එකේ කොටසකි. මේ වනවිට රට යථා තත්ත්වයට පත්වී තිබේ.

එහෙත් විපක්ෂය හැමවිටම කතා කරන්නේ ඊළඟ මොහොතේ ආණ්ඩුව කඩාවැටී රට නන්නත්තාර වන ලෙසටය. මේ දුෂ්කර අවස්ථාවේදී විපක්ෂයේ සහයෝගය ආණ්ඩුවට ලැබෙනවා නම් රට යළි ගොඩදැමීම ඉතා පහසු වනු ඇත. එහෙත් මේ රටේ විපක්ෂයට ඇත්තේ අමුතු මානසිකත්වයකි. තම පණ නැසුණත් එමඟින් අනෙකාට කෙළවෙන්නේ නම් එය දකිනු කැමති අය මෙහි වෙසෙති.

මීට අවුරුද්දකට පෙර රනිල් වික්‍රමසිංහයන් ජනාධිපති ලෙස දිව්රුම් දෙන විට මේ රට හිස් පිඟානකි. අද එය ක්‍රමයෙන් සවිබල බත් පිඟානක් බවට පත්වෙමින් පවතී. පිඟාන බිඳ දැමුවොත් බත් බෙදාගැනීමට බඳුනක් නැත.

අනුර සොලමන්ස්

Comments