කටාර් වැලිකතරේ ක්‍රිකට් තරු හදන ලංකාවේ මෙලනි | සිළුමිණ

කටාර් වැලිකතරේ ක්‍රිකට් තරු හදන ලංකාවේ මෙලනි

එව­කට අබු­ඩා­බියේ ක්‍රිකට් පුහු­ණු­කා­රි­නිය ලෙස කට­යුතු කර­මින්

වර්තමානය වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට වැඩි අවධානයක් යොමු වුව ද මීට දශක කිහිපයකට පෙර පැවැතියේ එවැනි තත්ත්වයක් නොවේ. විශේෂයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට එවකට වැඩි වටිනාකමක් ලැබුණේම නැත. කාලයත් සමඟ එම තත්ත්වය වෙනස් වී තිබේ. අද වන විට චමරි අතපත්තු ගැන නොදන්නා කෙනකු නැත. ඇය දෙස් විදෙස් කාන්තා ක්‍රිකට් පිටියේ පළමු ක්‍රීඩිකාවන් අතර ද සිටී. ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට එවැනි ජනප්‍රියත්වයක් ලැබී තිබුණ ද ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් පුහුණුකාරිනියන් ගැන කතාබහ කෙරෙන්නේම නැත.

මෙලනි හිරෝෂි අබේසිංහ මැදපෙරදිග කටාර් දේශයේ ජාතික කාන්තා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස පත්වන්නේ එවැනි පසුබිමකදීය. 

එංගලන්ත සහ වේල්සයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් පුහුණු පාඨමාලාවේ දෙවැනි මට්ටම සම්පූර්ණ කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙසත්, විදෙස් රටක ජාතික කාන්තා කණ්ඩායමක පුහුණුකාරිනිය ලෙස පත් වූ පළමු ශ්‍රී ලාංකික පුහුණුකාරිනිය ලෙසත් ඉතිහාසයට එක්වූ මෙලනි හිරෝෂී කටාර් දේශයේ සිට ‘සිළුමිණ‘ සමඟ කතාබහට එක්වූයේ මෙසේය.

‘ඒක සිද්ධ වුණේ පසුගිය මාර්තුවේදි. මට කටාර් දේශයේ ජාතික කාන්තා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස කටයුතු කරන්න ලැබුණු අවස්ථාව මම සතුටින් භාරගත්තා. ජාතික කාන්තා පිලේ වගේම සංවර්ධන සංචිතය, පාසල් ක්‍රීඩිකාවන් පුහුණුකිරීමත් මට කටාර් ඇවිත් මුලින්ම කරන්න තිබුණු දුෂ්කර කටයුත්ත වුණා.‘ එසේ කියමින් ඇය කතාබහට එක්වූවාය.

‘දැනට මාස 6ක් වෙනවා. ලොකු ප්‍රගතියක් පෙනෙන්න තියෙනවා. ඇත්තටම මම එන්න කලින් කටාර්වල ජාතික කාන්තා පිලට පුහුණුකාරිනියක් හිටියේ නෑ. පුහුණුකරුවන්ගේ සේවය තමයි එයාලා වරින් වර ලබාගෙන තිබුණේ. ඒ අනුව කටාර් දේශයේ ජාතික කාන්තා පිලට නිත්‍ය වශයෙන් පත්වුණු පළමු පුහුණුකාරිනිය ලෙස මට විශාල වැඩ කොටසක් කරන්න තිබුණා. දැනට සතියකට දවස් පහක් එක දිගට පුහුණුවීම් කරගෙන යනවා. ළමයි සෑහෙන්න උනන්දුවෙන් පුහුණුවීම්වලට එන බව පෙනෙන්න තියෙනවා. මුලදී තිබුණාට වඩා දැන් ලොකු දියුණුවක් එයාලා අත්කරගෙන ඉන්නවා. පහුගිය ජූනි මාසයේ අපි කටාර් අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් තරගාවලියකුත් සාර්ථකව අවසන් කළා. ඒකෙනුත් දක්ෂතා ඇති ළමයි කිහිප දෙනෙක් ජාතික සංචිතයට ඇතුළත් කරගන්න හැකිවුණා. අවුරුදු 19න් පහළ, අවුරුදු 15න් පහළ වගේ සංචිතවලට දැන් අලුත් ළමයි ගොඩක් එකතුවෙලා ඉන්නවා.‘ මෙලනි කීවේය.

කටාර් දේශයේ ජාතික සංචිතයේ වැඩිපුරම සිටින්නේ පාකිස්තාන ජාතික ක්‍රීඩිකාවන් බව ද ඇය පැවසීය.

‘ඒ හැරුණම ඉන්දීය ජාතික ළමයිනුත් ඉන්නවා. ශ්‍රී ලාංකික ළමයි දෙන්නෙකුත් දැනට ජාතික සංචිතයේ ඉන්නවා.‘ මෙලනී කීවාය.

කටාර් ජාතික කාන්තා ක්‍රිකට් සංචිතයේ සිටින ක්‍රීඩිකාවන් අතර අවුරුදු 12 වයසේ පසුවන ක්‍රීඩිකාවන් දෙදෙනකු ද සිටින බව ඇය සඳහන් කළාය. ඉන් එක් ක්‍රීඩිකාවක ඉන්දීය ජාතික වන අතර, අනෙක් ක්‍රීඩිකාව ශ්‍රී ලාංකිකයෙකි.

‘ලිහාරා අබේසේකර කියලා ලංකාවේ ළමයෙක් ඉන්නවා. එයාටත් අවුරුදු 12යි. වමතින් දඟපන්දු යවන ක්‍රීඩිකාවක්. ඒ හැරුණම රොෂේල් ක්වීන් කියලා. ඇය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක්. කාලයක් කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරලා තියෙනවා. එයා මේ රටේ ප්‍රබල ක්‍රීඩිකාවක්.‘

ලබන 31 වැනිදා මැලේසියාවේදී ආරම්භ වන අයිසීසී කාන්තා විස්සයි20 ලෝක කුසලානය සඳහා ආසියාවෙන් සුදුස්සන් තේරීමට නියමිත සුදුසුකම් ලැබීමේ තරගාවලියට ද කටාර් කාන්තා පිල මෙලනිගේ පුහුණුකාරීත්වය යටතේ සහභාගි වීමට නියමිතය. රටවල් 11ක් තරග වදින මේ තරගාවලියට කටාර් පිල එක්වන්නේ ද පළමුවරටය. 

දකුණත් පිතිකාරිනියක ලෙසත්, දකුණත් පිට දඟ පන්දු යවන්නියක ලෙසත් වසර 2000 සිට අවුරුදු 6ක් ජාතික කණ්ඩායම නියෝජනය කළ මෙලනි හිරෝෂී අබේසිංහ එම කාලය ඇතුළත ජාත්‍යන්තර එක්දින තරග 31කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 4ක් රැස් කර ඇති අතර, මංගල එක්දින තරගයට ක්‍රීඩා කළේ 2000 වසරේ නවසීලන්තයේ පැවති 7 වැනි කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේදීය. ශ්‍රී ලංකා පිල රසාංජලී ද අල්විස්ගේ නායකත්වයෙන් එක්වූ එම තරගාවලියේදී එංගලන්ත පිලට එරෙහිව ලකුණු 52ක් සහ අයර්ලන්තයට එරෙහිව ලකුණු 57ක් රැස් කරමින් කැපී පෙනෙන දස්කම් පෑ පිතිකාරිනියකි. ශ්‍රී ලංකා කාන්තා පිලට ඊළඟ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට මෙලනිගේ එම දස්කම් ද හේතුවක් විය.

‘අපිට ඒ කාලේ ලොකු අත්දැකීම් තිබ්බේ නෑ. ඇත්තටම ගයි ද අල්විස් සර්ට ස්තුති කරන්න ඕනා. ඒ වගේම සුසිල ද සිල්වා විජේරත්න සර්ට. ඒ දෙන්නාගේ පුහුණු ක්‍රමවේදය අපිව ශක්තිමත් චරිත බවට පත් කළා. අපි ක්‍රිකට් අත්දැකීම්වලින්, දැනුමෙන් අඩු මට්ටමකයි හිටියේ. ඒ වගේම තරුණ වියේදීම අපිට ඒ වගේ තරගාවලියකට ක්‍රීඩා කරන්න හැකි වුණා. ඒක වෙනම අත්දැකීමක්.‘ මෙලනි කීවාය.

එවකට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ හිටපු කඩුලු රකින ක්‍රීඩක ගයි ද අල්විස්ගේ කාලසීමාව මෙරට කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇති කළ කාලවකවානුවකි.

‘පුහුණුවීම්වලදී වගේම ශාරීරික අභ්‍යාසවලදී අපිට ඒ කාලයේ ලොකු පහසුකම් තිබ්බේ නෑ. ඒත් ගයි ද අල්විස් සර් අපිව ගොඩාක් ශක්තිමත් කළා. ශක්තිමත් විදිහට මානසිකත්වය හැදුවා. පිරිමි ළමයින් විදිහටමයි අපිටත් පුහුණුවීම් කළේ. ඒක නිසා තමයි අපිට ලෝක කුසලානයේදී තරග පරාජය වුණත් සාර්ථකව දස්කම් දක්වන්න අවස්ථාව උදාවුණේ. අද අපි ක්‍රිකට් අතින් යම්කිසි තැනක ඉන්නවානම් ඒ එයාලා අපිට දුන්නු පුහුණුවීම්වලින් ලැබුණු ආභාසය නිසයි. ඒක තමයි ආරම්භය. අපි හරි ආදරය කළා ක්‍රීඩාවට. උගන්නපු විදිහටයි මානසිකව හා ශාරීරිකව දුන්නු එකටයි. තාම අපි උඩ ඉන්නවා. රැඳිලා ඉන්නවා. අනික ග්වේන් හේරත් මහත්මිය. කාන්තා ක්‍රිකට්වල එයා දැවැන්ත චරිතයක්. ග්වේන් හේරත් මහත්මිය අපිට දුන්නු උපදෙස් හා මඟපෙන්වීම් කියලා ඉවර කරන්න බැරි තරම්. ඇත්තටම මගේ ජීවිතයේ ග්වේන් හේරත් මහත්මිය එක වීරවරියක්. ඊළඟට අම්මා. ග්වේන් හේරත් මහත්මිය අපිට හොඳ පසුබිමක් හැදුවේ නැතිනම් අපි අද මෙතැන නෑ. අපිට එයාගෙන් ගොඩාක් දේවල් තිබ්බා ඉගෙන ගන්න. එයා කතාබහ කරන විදිහ. හැසිරෙන විදිහ. ඒ වගේම මුණවීර කියලා තව මිස් කෙනෙක් හිටියා. දීප්ති කියලා මිස් කෙනෙක් හිටියා එයා තමයි මූල්‍ය කටයුතු පාලනය කළේ. එයාලා අපිට මාපියන් වගේ. අපි පුහුණුවීම්වලට ආවත් හරි සැහැල්ලුවෙන් හිටියේ. එයාලා අපිව පරිස්සම් කළා හරියට අම්මලා වගේ.‘ මෙලනි එසේ කියන්නේ හද පිරි ගෞරවයෙන් යුතුවය. 

බම්බලපිටිය සාන්ත පාවුලු බාලිකා විදුහලෙන් අධ්‍යාපනය ලැබූ මෙලනි හිරෝෂි ක්‍රිකට් ක්‍රීඩාවට එක්වූයේ එවකට කොළඹ නගර සභාව සතුව තිබු නොමෑඩ්ස් ක්‍රීඩා සමාජය තුළිනි.

ජාතික කණ්ඩායමට එක්වීමේ අවස්ථාව උදා කළ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට ඇය එක් වූයේ ඉන් පසුවය.

‘අපේ පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව නොතිබුණාට අපි යාළුවෝ එකතු වෙලා විවේක කාලයේ ක්‍රිකට් ක්‍රීඩා කළා. ගෙදරදිත් අසල්වැසි ළමයි එක්ක ක්‍රිකට් සෙල්ලම් කළා. මම සෙල්ලම් කරනවා දැකලා අපේ ගෙවල් ළඟ හිටපු දෙමළ පවුලක කුලසිංහම් කියලා කොළඹ නගර සභාවේ වැඩ කරපු මහත්මයෙක් තමයි මාව නොමෑඩ්ස් ක්‍රීඩා සමාජයට එක්ක ගෙන ගිහින් ලියාපදිංචි කළේ. මගේ මුල්ම පුහුණුකරු වුණේ ජයලත් අපෝන්සු සර්. ඊට පස්සේ තමයි 1999 දී කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට බැඳුණේ. කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට මාව හඳුන්වලා දුන්නේ එවකට ශ්‍රී ලංකා ජාතික පිලට ක්‍රීඩා කළ වැනේසා බෝවන් (වැනේසා ද සිල්වා) ඇය ජාතික පිලේ හිටපු නායිකාවක්. මට ජාතික කණ්ඩායමට එක්වෙන්න අවස්ථාව ලැබුණේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය තුළිනුයි. ජාතික මට්ටම දක්වා යන්න මට රැන්මෝ මාටිනන්ස් සර්ගෙන් ලොකු දායකත්වයක් ලැබුණා. එයා මට පුහුණු කරලත් තියෙනවා. කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ එවකට කළමනාකාරීත්වයේ හිටපු කේ. මතිවානන් මහත්මයාට මම ගොඩක් ගෞරව කරනවා. ඔවුන් මට සෑහෙන්න දිරියක් දුන්නා. ඒ වගේම මතිවානන් සර් කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ මාව රඳවා ගන්න මට ගෙවීමකුත් කළා.‘ එම ක්‍රීඩා සමාජයේ ගෙවීමක් සිදු කරමින් රඳවා ගත් පළමු ක්‍රීඩිකාව බවට මෙලනි පත්වූයේ එලෙසිනි.

නවසීලන්තයේ පැවැති ලෝක කුසලාන තරගාවලියෙන් පසු තවත් වසර කිහිපයක් ජාතික පිලට ක්‍රීඩා කළ මෙලනි ශිෂ්‍යත්වයක් ලබා එංගලන්තයේ පදිංචියට ගියේ ඉන් පසුවය.

‘එංගලන්තයෙන් ලැබුණු ශිෂ්‍යත්වය පුහුණු පාඨමාලාවක්. එංගලන්ත හා වේල්සයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ දෙවැනි මට්ටමේ ක්‍රිකට් පුහුණු පාඨමාලාව. එංගලන්තයේ ඩරම් ප්‍රාන්තයේ නිව් කාසල් කොලීජියේද මම පුහුණු පාඨමාලාව සම්පූර්ණ කළා.‘ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් එවැනි පාඨමාලාවක් සම්පූර්ණ කළ පළමු අවස්ථාව ඉතිහාසයට එක් වූයේ එලෙසටය. නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජයට එක් වූ මෙලනි පුරා වසර 5ක් එම කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස කටයුතු කළාය.

‘නාවික හමුදාවෙන් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට රැකියා දුන්නා. යුද හා ගුවන් හමුදාවත් ඒ විදිහට ක්‍රිකට් ක්‍රීඩිකාවන් බඳවා ගත්තා. ඒ අවුරුදු පහේදිම අපි ‘ඒ’ කාණ්ඩයේ කාන්තා ක්‍රීඩා සමාජ ශුරතාව දිනාගත්තා. ඒ වගේම ආරක්ෂක සේවා තරගාවලියෙත් ශූරියෝ වුණා.‘ ඇය පැවැසීය.

නාවික හමුදාවට බැඳී වසර පහක් ගතවෙද්දී අබුඩාබි ක්‍රිකට් සංගමයෙන් ලද ඇරියුමක් මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගිය මෙලනිට වසර තුනක කාලසීමාවක් එහි ගත කරමින් කනිෂ්ඨ ක්‍රීඩකයන් මෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ද පුහුණු කිරීමට අවස්ථාව ලැබී තිබූ අතර, අබුඩාබි කාන්තා පළමු ලීග් තරගාවලියේදී කාන්තා කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස සේවය කිරීමට ද අවස්ථාව ලැබී තිබිණි.

‘ඒ ලීග් එකෙත් අපි තමයි චැම්පියන්ස් වුණේ. මම අබුඩාබි කණ්ඩායම එක්ක අවුරුදු 3ක් වැඩ කළා. ඊට පස්සේ පෞද්ගලික අවශ්‍යතාවක් මත ආපහු ලංකාවට ආවා. ඒ ආවට පස්සේ යුද හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබුණා.‘ මෙලනි සඳහන් කළාය.

‘කටාර් යන්න කලින් මම අවුරුදු 3ක් යුද හමුදා කාන්තා පිලේ පුහුණුකාරිනිය විදිහට වැඩ කළා. ඇත්තටම ඒ වෙද්දී මුළු ලෝකෙම කොවිඩ් දරුණු තත්ත්වයකයි තිබ්බේ. ඒත් කිසිම අඩුපාඩුවක් නොකර ඔවුන් මට සියලු පහසුකම් ලබා දුන්නා. ඒ ගැන ස්තුතිවන්ත විය යුතුයි.‘ ඇය කීවාය.

එදා මෙදා තුර කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගතිය සම්බන්ධව අදහස් පළ කළ මෙලනි කියා සිටියේ මෙරට ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තරය ජයගැනීමට දොරටු රැසක් විවෘත වී ඇති බවය. 

‘කාන්තා ක්‍රිකට් දැන් ගොඩාක් ජනප්‍රියයි. සමාජ මාධ්‍යවල පවා. තාක්ෂණයත් එක්කනේ දැන් යන්නේ. ක්‍රීඩිකාවන්ට ගොඩාක් විවෘත වෙලා තියෙනවා ලෝකෙට පෙන්නන්න. ඒක තමයි ලෝකුම වෙනස. තව තව අවස්ථාවන් එනවා. ඉගෙන ගන්න. රටවලට ගියාම එයාලට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා හැකියාවන් වර්ධනය කරගන්න වගේ. ඉදිරියට එන ළමයි මේ අවස්ථාවන් ලබා ගන්නවා වගේම ඉගෙන ගන්න පුළුවන් හැම පැත්තෙන්ම ඉගෙන ගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. අපේ ක්‍රීඩිකාවන් දැන් ජාත්‍යන්තර මට්ටමේ ඉන්නවා. හැබැයි චමරි අතපත්තුට තමයි ගොඩාක් අවස්ථාවන් ලැබෙන්නේ. අනිත් අයටත් පුළුවන් ඒ වගේ අවස්ථාවන් ලබාගන්න. ඒක තියෙන්නේ ළමයින්ගේ අතේ. එයාලා ඉලක්ක තියාගන්න ඕනා.එයාලා දැනගන්න ඕනා කොහොමද එතැනට යන්නේ කියලා. මොකද චමරි අතපත්තු කියන්නේ අපිට ලැබුණු ඇසට් එකක්. එයාට පවර් එක තියෙනවා. එයාට ටෙක්නික් එක තියෙනවා. එයාට ටැලන්ට් එක තියෙනවා. එයාට ස්කිල් එක තියෙනවා. මුළු පැකේජ් එකම තියෙනවා. අනිත් අයට ජානමය වශයෙන් පවර් එක නැතිවුණාට හැකියාව තියෙනවානේ. ඉතින් ඒ ළමයි බලන්න ඕනා හැකියාවත් එක්ක කොහොමද ජාත්‍යන්තරයට යන්න පාර හදාගන්නේ කියලා. ඒ මානසිකත්වය හදාගත්තානම් අනිවාර්යයෙන්ම විදෙස් ලීග් සෙල්ලම් කරලා මීට වඩා දියුණු වෙන්න එයාලට පුළුවන් කියලයි මම විශ්වාස කරන්නේ.‘ මෙලනි මෙරට ජාතික තලයේ ක්‍රීඩිකාවන් පිළිබඳ දරන්නේ සුබවාදී ආකල්පයකි.

මෙලනිට අනාගත බලාපොරොත්තු රැසක් නැත. මේ මොහොතේ ඇගේ බලාපොරොත්තුව කටාර් දේශයේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ඔසවා තැබීමය. ඒ සඳහා අවශ්‍ය උපරිම දායකත්වය ලබා දීම ඇගේ අපේක්ෂාව වී තිබේ.

‘මම අවුරුදු 15ක් විතර ක්‍රිකට් එක්ක හිටියා. මීට කලින් තමයි ගොඩාක් දේවල් බලාපොරොත්තු වුණේ. මගේ තිබ්බ වයසත් එක්ක රටට සේවය කරන්න පුහුණුකාරිනියක් විදිහට. නමුත් අන්තිමේදී මේ වගේ තනතුරක් ලැබීම සතුටක්. ඇත්තම කියනවා නම් හරිම තෘප්තිමත්. දැන් මේ මොහොතේ එකම බලාපොරොත්තුව තමයි කටාර් කාන්තා පිලට මගෙන් වෙන්න ඕන උපරිම සේවය ලබාදීම. මගේ දායකත්වයෙන් කටාර් කාන්තා පිල තව ඉදිරියට ගිහින් ජයග්‍රහණ ලබලා එයාලගේ රටට ආඩම්බරයක් ගේන්න පුළුවන් විදිහේ තැනකට ගෙනියන එක තමයි මගේ එකම අරමුණ. ඒක මම හිතන්නේ මගේ රටටත් කරන්න පුළුවන් ලොකු ගෞරවයක්.‘ඇය එසේ කීවාය.

සැබැවින්ම මෙලනි උපන්නේ ක්‍රීඩා පවුලකය. ජෛව වෛද්‍ය විද්‍යා ඉංජිනේරුවරයකු ලෙස සේවය කළ ඇගේ පියා අභාවප්‍රාප්ත පර්සි අබේසිංහය. ඔහු එවකට ලුම්බිණි විදුහලේ විශිෂ්ට පාපන්දු ක්‍රීඩකයෙකි. මෙලනිගේ මව ලලිතා අබේසිංහ හිටපු නෙට්බෝල් ක්‍රීඩිකාවකි. ඇගේ එකම සොහොයුරු ෆ්‍රෑන්ක් අබේසිංහ ඉසිපතන විදුහලේ හිටපු රග්බි ක්‍රීඩකයෙකි. සීඑච් ඇන්ඩ් එෆ්සී. ක්‍රීඩා සමාජයට ද කලක් ක්‍රීඩා කළ ෆ්‍රෑන්ක් අබේසිංහ මේ වනවිට විවාහ වී එංගලන්තයේ පදිංචිව සිටින බව ඇය කීවාය.

Comments