කන් ඇසුණේ නැතත් දැනුණු මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ | සිළුමිණ

කන් ඇසුණේ නැතත් දැනුණු මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ

කාන්තාවක් වෙත ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් රියැදුරු බලපත්‍රය පිරිනමන ආකාරය. මෙම අවස්ථාව සඳහා ප්‍රවා­හන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අල­ගි­ය­වන්න ඇතුළු පිරි­සක් සහභාගී වූහ.

ලෝකයේ කිසිවක් ඔවුනට නොඇසුණ බව සැබෑය. එහෙත් ඔවුන්ට තිබුණේ ඒ එකම ගැටලුව පමණි. ප්‍රජාවක සියලුම පිරිස් වෙත සමානව සැලකීම පිළිබඳ මානුෂීය සංවාදයක් ශිෂ්ට ලෝකයේ නිර්මාණය වී ඒ සඳහා තාක්ෂණික, මානුෂික හා සමාජයීය වශයෙන් චින්තන පරිවර්තනයක් ඇතිවෙමින් පැවති ලෝකයේ අප සිටියේ පසුපසින් බව කිව යුතුය.

ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව රටේ ජනගහණයෙන් සියයට දෙකකි. මේ ප්‍රජාව රටේ ආර්ථිකය හා සම්බන්ධ කරගැනීමට විධිමත් වැඩපිළිවෙළක් වෙන කවරදාටත් වඩා අවශ්‍යව ඇත. ඒ සඳහා යම් දුබලතා තිබුණ ද ඔවුන්ට සම හැකියා ඇති බව පිළිගන්නා වග සමාජයීය වශයෙන් අප තහවුරු කළ යුතුව තිබිණි. එක් අතකින් එය මානුෂීය ප්‍රවේශයක් වූයේය. 

ගම්පහ දිස්ත්‍රික්කය තුළ දියත් කළ නියමු ව්‍යාපෘතිය සාර්ථකය. ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට ලංකාවේම ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් රිය­ැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ අවකාශය විවෘත වීමට නියමිතය. රිය­ැදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා වයස පූර්ණ වූ ඕනෑම පුද්ගලයකුට මේ සඳහා අයදුම් කළ හැකිය. එම දිදුලන ව්‍යාපෘතිය මූලිකත්වය ගන්නේ ප්‍රවාහන අමාත්‍යාංශය ය. අප ඉන්නේ එහි වගකීම් භාරය දැරූ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අභිමුවය. මෙම ව්‍යාපෘතිය දියත් වූ ආකාරය සම්බන්ධව ඔහු පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කරමින් සිටියේය.

“දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රව්‍යාබාධිත තැනැත්තන්ගේ මධ්‍ය ජාතික සම්මේලනය ඇතුළු සංවිධාන ගණනාවක් විසින් මේ ශ්‍රව්‍ය ආබාධිත ප්‍රජාවට රිය­ැදුරු බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධව ඇගැයීමක් කරන ලෙස පැවති සියලුම රජයන්ගෙන් ඉල්ලා තිබුණා. ඒත් කිසිවෙක් ඒ සම්බන්ධව විශේෂයෙන් සැලකිලිමත් වෙලා තිබුණෙ නෑ. ශ්‍රව්‍යාබාධිත සමහර පිරිසකට වාහන අයිතිය තිබුණා. පොලිසියට බයෙන් විවිධ අතුරු මාර්ගවල වාහන භාවිත කළා. මේ ප්‍රශ්නයේ දී ඔවුන් වෙන්කොට සැලකීමේ ගැටලුවට දැඩිව මුහුණ දුන්නා. නමුත් සෞඛ්‍ය පිළිබඳ කාරණා ඇගැයීම් කරන්නේ නැතිව රිය­ැදුරු බලපත්‍රයක් දෙන්න බෑ. ඒක ඇත්තක් බව මතුපිටින් පේනවා. ඒත් ලෝකයේ අනෙක් රටවල් විවිධ තාක්ෂණික සහ යටිතල පහසුකම් සංවර්ධනය කර රියැදුරු බලපත්‍ර ලබාදීම බොහෝ ඈත කාලයක සිට තිබුණා. උදාහරණයක් ලෙස සමහර රටවල ශ්‍රව්‍යාබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත රියැදුරන් වෙනුවෙන් වෙනම මංතීරු වගේ පහසුකම් සපයා තිබුණා.

නමුත් අපේ රටේ එවැනි පහසුකම් නෑ... ඒ වගේම ශ්‍රව්‍යාබාධිත අයකුට රියැදුරු බලපත්‍රයක් ලබා දෙන්න සිදු වෙන්නේත් පවතින නෛතික රාමුව තුළමයි. එය විශේෂයෙන් සලකා බැලිය යුතු කාරණයක් වුණා. ඒත් අප ක්‍රමක්‍රමයෙන් රිය­ැදුරු බලපත්‍ර ලබා දෙන ක්‍රමය ශක්තිමත් කළා. රියැදුරකුට ලබා දෙන වෛද්‍ය සහතිකය ශක්තිමත් කළා. අවුරුදු 4කට සැරයක් බර වාහන රියැදුරු බලපත්‍රය අලුත් කිරීම, අවුරුදු අටකට සැරයක් සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍ර අලුත් කිරීම, අලුතින් ඇතිවුණ ක්‍රමවේදයි. ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට ප්‍රමාද වෙන්න හේතුවත් මේ තිබු සංකීර්ණ තත්ත්වයයි.” රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය. කෙසේ වෙතත් මේ අවස්ථාවේ දී පොලිසිය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එකතුව විශේෂ ඇගයීමක් සිදුකර තිබිණි. අනතුරුව මේ තත්ත්වය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට නීත්‍යනුකූල රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමට ඇති අයිතිය සම්බන්ධව කැබිනට් අමාත්‍ය බන්දුල ගුණවර්ධන කරුණු දැක්වූයේය. මේ සම්බන්ධව ජනාධිපතිවරයා විශේෂ ප්‍රමුඛතාවක් ලබා දී තිබිණි. රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න ඒ සම්බන්ධව අදහස් දක්වන්නේ දැඩි තෘප්තියකිනි.

“අමාත්‍ය මණ්ඩලයෙන් යෝජනා වුණේ මේක ලංකාව පුරාම එක්වර ක්‍රියාත්මක නොකර ගම්පහ වැනි දිස්ත්‍රික්කයක් තෝරගෙන නියමු ව්‍යාපෘතියක් කර අඩුපාඩු හදාගෙන ඉදිරියට යමු කියලා. ඒ අනුව අපි ගම්පහ දිස්ත්‍රික්කයෙන් මුලින්ම රිය­ැදුරු බලපත්‍ර ගන්න කැමති ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව ගෙන්වා න්‍යායාත්මක විභාගය ගැන දැනුම්වත් කළා. පුහුණු බලපත්‍රය දීමේ දී විශේෂයෙන්ම ඒ අයගේ හෙල්මට්වලත් ජැක්ට්වලත්, වාහනවලත් ඇලවීම සඳහා වෙනම ලාංඡනයක් දුන්නා. “

ඒ වගේම මේ සෑම රියැදුරෙක් ළඟම භාෂා පරිවර්තකයකුගේ දුරකතන අංකයක් තිබිය යුතුයි. මේ වගේ කෙනෙක් පරීක්ෂා කරන විට පොලිසිය සමඟ සන්නිවේදනයට මේ භාෂා පරිවර්තක සිටීම අනිවාර්ය කර තිබෙන්නේ. ශ්‍රව්‍යාබාධිත අයගේ මධ්‍යම සම්මේලනය දැන් ඒ සංඥා භාෂා පරිවර්තයන්ගේ අංක අපට දී තිබෙනවා. මේ නියාමක ව්‍යාපෘතිය ඉතාම සාර්ථක වුණා. ඒ නිසා ජනාධිපතිවරයා අතින් සාර්ථකව පුහුණුව නිම කළ අය 50කට රිය­ැදුරු බලපත්‍ර ලබා දුන්නා.

මේ වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් රියදුරු බලපත්‍ර ලබා දීමේ වැඩසටහන ආරම්භ කර ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවති ජංගම සේවාව වෙනුවෙන් ශ්‍රව්‍යාබාධිත අයදුම්කරුවන් 350ක් පැමිණ තිබිණි.

නියමු ව්‍යාපෘතිය ආරම්භවීමත් සමගම ඇස්, කන්, නාස පිළිබඳ විශේඥ වෛද්‍යවරුන්ගේ සංගමය මැදිහත්වී ශ්‍රව්‍යාබාධිත පුද්ගලයකුගේ ඉන්ද්‍රිය සංවේදී ස්වරූපය සම්බන්ධව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට විශේෂ දැනුමක් දුන්නේය. එම දැනුම ද සහිතව මෙම ජංගම සේවයේ දී ද වෛද්‍ය පරීක්ෂණ සිදු කර තිබිණි.

ලිඛිත විභාගය ගැන දැනුම්වත් කිරීමට මේ පිරිස අද (20) කැඳවා ඇත. සැප්තැම්බර් මුල් සති දෙක තුළ කරුණෑගල ශ්‍රව්‍යාබාධිත අයදුම්කරුවන් වෙත රියැදුරු පුහණු වීමේ බලපත්‍රය ලබා දීමට නියමිතය. ඇමැතිවරයා කියන්නේ අතිශය උද්‍යෝගීමත් ව්‍යාපෘතියක මානුෂීය අත්දැකීම විඳින බවය.

“ ජනවාරි 01 වැනිදා ඉඳන් මේ අවකාශය රටටම විවෘතයි. බිහිරි වූවන්ගේ මාධ්‍යම සම්මේලනය මේ වෙනුවෙන් විශාල කාර්යයක් කළා. ඇම­ැතිවරයා විදිහට බන්දුල ගුණවර්ධන මැතිතුමා මේ කටයුත්ත සඳහා ඉහළම ප්‍රමුඛත්වයක් දුන්නා. ජනාධිපතිවරයාත් ජාත්‍යාන්තර අත්දැකීම්වලින් ලත් පරිචය සහිතව මේ වැඩසටහනට ප්‍රමුඛත්වය ලබා දුන්නා. ඒ තත්ත්වය ඇතුළෙ අපට ලබන ජනවාරිවල සිට මුළු ලංකාවේම

මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න හැකි වනවා“.

එහෙත් ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට රියදුරු බලපත්‍ර ලබා දීම සමාජයට කුමන ආකාරයෙන් බලපානු ඇති ද. මෙය බොහෝ දෙනා තුළ පවතින කුකුසකි. පදිකයන්ගේත්, වාහනවලත්, ශ්‍රව්‍යාබාධිත රිය­ැදුරන්ගේත් ආරක්ෂාව පිළිබඳ ලබා දිය හැකි සහතිකය කුමක් ද?.

සංවාදය අවසානයේ දී අපි මේ සම්බන්ධව ඇම­ැතිවරයාගෙන් විමසුවෙමු.

“ අපි මේ අවස්ථාව ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට විවෘත කළේ නියමු ව්‍යාපෘතියෙන් ලබපු අත්දැකීම් එක්කම අන්තර්ජාතික තලයේ අත්දැකීම් ඇග­ැයීමකට ලක් කළාට පස්සේ. ශ්‍රව්‍යාබාධිත රිය­ැදුරෙක් අනෙක් රියැදුරන්ට හදුනා ගැනීමට සංකේතයක් හඳුන්වා දී තිබෙනවා. “

ඒ වගේම පුද්ගලිකව මා දකින සොබා දහමේ නියමයක් තියනවා. පංචේන්ද්‍රියෙන් එක් ඉන්ද්‍රියක යම් අඩුවක් තිබුණොත් අනෙක් ඉන්ද්‍රින් අතිශයින්ම සංවේදී වෙනවා අර අඩුව මකා දමන්න.

මේ වාහන රියැදුරු බලපත්‍ර ඉල්ලුම් කරලා ඉන්න බොහෝ දෙනෙක් දැනටමත් වාහන පදින අය. ඔවුන් සඳහා නීත්‍යානුකූල පිළිගැනීමක් නැතිකම විතරයි අඩුවකට තියෙන්නේ. අනෙක් පැත්තෙන් හිතන්න. දෛනිකව රිය අනතුරුවලින් 08ක් මියයන රටක්.

වාර්ෂිකව බරපතල රිය අනතුරු හතළිස් දාහක් සිද්ධවන රටක්. ඒ සියලු දේ වෙන්නේ පංචේන්ද්‍රියම සක්‍රීය අයගෙන්.

ශ්‍රව්‍යාබාධිත අය නිසා රිය අනතුරු වැඩි වෙනවා කියලා ලෝකයේ කොතැනකවත් සාධකයක් නෑ. අප කළ යුත්තේ සමස්ත රිය අනතුරු අවම කරගැනීම වෙනුවෙන් කළ හැකි සියලුම කිරීමයි.

කොහොමත් ශ්‍රව්‍යාබාධිත රියැදුරන් වෙනුවෙන් නිකුත් කරන්නේ සැහැල්ලු වාහන සඳහා වූ රියැදුරු බලපත්‍ර විතරයි. බරවාහන රියදුරු බලපත්‍ර නිකුත් කරන්නෙ නෑ.

මේ රියැදුරන්ගේ ශ්‍රවණ අාබාධය විතරයි අන් අයත් එක්ක තියන එකම වෙනස. ඒ වෙනස නිසා වාහන එළවන්න පුළුවන් ද බැරිද කියන එක ප්‍රවාහන වෛද්‍ය ආයතනය, මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ඇස් කන් නාස පිළිබඳ විශේෂ සංගමය, එකතුවෙලා විද්‍යාත්මක නිගමනයකට ඇවිත් තමයි අප මේ තීන්දුව ප්‍රායෝගික කළේ. මේ වැඩසටහනේ දි ශ්‍රී ලංකා පොලිසියට විශේෂ ස්තුතියක් මේ සම්බන්ධව පිරිනමන්න ඕන. ඔවුන් විශිෂ්ට දායකත්වයක් දැක්වුවා. “

අප මනුෂ්‍යත්වයේ නාමයෙන් ඉදිරිගාමී පියවරක් තබා තිබේ. සමාජය සවි බල ගැන්වෙන්නේ මෙවැනි තීන්දුවලිනි. එවැනි තීරණ රටට ආර්ථික සමාජීය හා මානුෂීය වශයෙන් ඵලදායි යමක් ඉතිරි කරනු ඇත.

ඡායාරූප - සුදත් නිශාන්ත

Comments