කොළඹ සරසවියෙන් තට්ටයන්ට අස්වැසිල්ලක් | සිළුමිණ

කොළඹ සරසවියෙන් තට්ටයන්ට අස්වැසිල්ලක්

හිස­කෙස් ගැල­වී­යාම වළ­කන ඖෂ­ධීය හිස ගල්ව­නය, පිළිකා පෝෂණ සත්කාර කරල, හන්දි­පත් අමා­රු­වට හඳුන්වා දුන් ඖෂධ වට්ටෝ­රුව සහ තර­බා­රුව අඩු කිරී­මට උප­කා­ර­වන දේශීය ඖෂධ

කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර ආර්. සමරකෝන් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් තවත් අපූරු නිෂ්පාදනයක් සමඟ යළි සමාජ කතිකාවක් ගොඩ නඟා ඇත්තේය. ඒ දේශීය ඖෂධ වට්ටෝරුවක් විද්‍යාත්මක දත්ත සහිතව පර්යේෂණාත්මකව අධ්‍යයනය කර තහවුරු කරන ලද අකලට හිසකෙස් ගැලවී යාම වළක්වා හිසකෙස් වර්ධනය කරන ඖෂධීය හිස ගල්වනයක් හඳුන්වා දීමෙනි.

පුද්ගලයකුට හිසකෙස් ගැලවී යෑම වඩාත් වැඩි වශයෙන් බලපාන්නේ මානසිකවය. තමන්ගේ බාහිර ස්වරූපයට ඍජුව බලපාන මෙම තත්ත්වය අවසානයේ දී පුද්ගල පෞරුෂයට ද බලපාන්නේය. ජානමය ලෙස පරම්පරාවෙන් එන තත්ත්ව නිසා පමණක් නොව, අධික වෙහෙස, ආතතිය, කෘත්‍රිම යෙදවුම් භාවිතය, ආන්තීය ලෙස නුසුදුසු තත්ත්ව වෙත නිරාවරණය වීම ඇතුළු කරුණු ගණනක් හරහා හිස කෙස් ගැලවී යෑම සුලබ තත්ත්වයක් සේ පැතිරෙමින් ඇති වකවානුවක මේ නිෂ්පාදනය එළි දකින්නේය. එවන් නිෂ්පාදන දහස් ගණනක් ඇති වෙළෙඳපොළට අලුතින් හඳුන්වා දෙන කොළඹ විශ්විද්‍යාලයීය පර්යේෂකයන්ගේ ඖෂධ සංයෝගය අපේ සාම්ප්‍රදායික මෙන්ම ස්වාභාවික බෙහෙත් වට්ටෝරුවක් විද්‍යාත්මකව තහවුරු කිරීමෙන් අනතුරුව එළි දක්වන්නකි. මහාචාර්ය සමීර ආර්. සමරකෝන් ප්‍රමුඛ කණ්ඩායම වසර දෙකක සිට සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම ඖෂධීය හිස ගල්වනය නිපදවන්නේය.

එය අකලට හිසකෙස් ගැලවී යාම වළක්වනවා පමණක් නොව, හිස්සොරි පාලනය කර හිසකෙස් වර්ධනය කිරීමත් සිදු කරන්නේය.

මහාචාර්වරයා සමඟ අප කතා කරන්නේ මේ කුතුහලය දනවන නිෂ්පාදනය ගැන තොරතුරු විමසා දැනගැනීම සඳහාය. 

“හිස කෙස් ගැලවීම සම්බන්ධ කාරණාව සමහර අවස්ථාවල පිරිමි අයගේ ජානවලින් පරම්පරාවට යන සංසිද්ධියක් ලෙස පවතිනවා. තාත්තගෙන් පුතාට හිස කෙස් ගැලවී යෑමේ තත්ත්ව එනවා. වයසත් එක්ක හිස කෙස් ගැලවෙනවා. ඊට අමතරව පීනස තිබෙන අයට හෙල්මට් දාන අයට එදිනෙදා ජීවිත පුරුදුවල එක් අන්තයකට යොමුවන අයට, වතුරවල ස්වරූපය අනුව වැනි විශාල හේතු ප්‍රමාණයක් නිසා තට්ටය පෑදෙනවා.

මොනම කතාවක් වුණත් එක්තරා කාලයකදී හිසකෙස් ගැලවී යෑම සිද්ධ වෙන ජෛව විද්‍යාත්මක යන්ත්‍රණයක් තිබෙනවා. Testosterone (ටෙස්ටොස්ටරෝන්) කියන හෝමනය Dihydrotestosterone (ඩයිහයිඩ්‍රොටෙස්ටොස්ටරෝන්) බවට එන්සයිමයකින් පත් කරනවා. ඒ එන්සයිමය තමයි 5α-Reductase (5 ඇල්ෆා රිඩක්ටේස්) කියන්නේ. Dihydrotestosterone (ඩයිහයිඩ්‍රොටෙස්ටෙස්ටරෝන්) වලින් තමයි ගොඩාක් වෙලාවට කේෂ මූලයෙන් කේෂය ගලවන්නේ. අපේ පර්යේෂණ පදනම වුණේ ආචාර්ය ටී. බී. ටී විජේරත්න ගෙනාපු දේශීය ඖෂධ වට්ටෝරුවක්. ඒ වට්ටෝරුවෙ තිබෙන බෙහෙත් ද්‍රව්‍ය අරන් අපි පරීක්ෂා කළා. එතනදි ඒ සංයෝගයෙන් 5α-Reductase (5ඇල්ෆා රිඩක්ටේස්) කියන එන්සයිමය වළක්වන්න පුළුවන් කියලා තමයි අපි පළමුවෙන්ම හොයා ගත්තේ. ඊට අමතරව බැක්ටීරියා නාශනය කරන, දිලීර නාශන හැකියාවක් තිබෙන ද්‍රව්‍යයත් මේ සංයෝගය ඇතුළෙ තිබෙනවා. මේක අපි පරීක්ෂණ කරලා තහවුරු වුණාට පස්සේ පෞද්ගලික නිෂ්පාදන ආයතනයට සරසවිය හරහා ක්‍රියාත්මකවන University Business Linkage (UBL) හරහා ගිවිසුමක් මඟින් බලය පැවරුවා නිෂ්පාදනයට සහ වෙළෙඳාමට.”මහාචාර්යවරයා කියන්නේය.

මෙම නිෂ්පාදනය එළිදක්වනු ලැබුවේ මීට මාස 11කට පෙරය. ඒ ලෝක අවධානයට ලක් වූ පිළිකා නසන ඖෂධීය සංයෝගය කොළඹ විශ්වවිද්‍යාලයෙන් හඳුන්වා දුන් අවස්ථාවේදීය. පිළිකා ඖෂධය සම්බන්ධවූ දිදුලන ආකර්ෂණය සමඟ මේ නිෂ්පාදනය ගැන වැඩි සංවාදයක් ගොඩනැඟුණේ නැත. එහෙත් මහාචාර්යවරයා කියන්නේ තෙල් වර්ගය භාවිත කළ අයගෙන් සියයට 95ක්ම යහපත් ප්‍රතිචාර දක්වන බවය.

“කෘත්‍රිමව නිෂ්පාදනය කළ මේ වගේ නිෂ්පාදන ලෝකයේ ඕනෑ තරම් තිබෙනවා. ඒත් අපි මෙතන පාවිච්චි කළේ ස්වාභාවික අමුද්‍රව්‍ය. ඔවුන්ගෙන් අපි වෙනස් වෙන්නේ එහෙමයි. නමුත් ආයුර්වේදයේ තිබෙනවා ඒ සඳහා භාවිත කරන ස්වාභාවික නිෂ්පාදන. සමහර තෙල් වර්ග. එහෙත් ඒ තෙල් ගල්වන ප්‍රායෝගිකව අපහසුයි. මේ වැඩි දියුණු කළ නිෂ්පාදනය සුවඳ ගල්වනයක්. විද්‍යාත්මකව ප්‍රතිඵල ඔප්පු කරපු ආයුර්වේදයේ භාවිත තෙල් වර්ග ගල්වනයේ දී ඇතිවන දුෂ්කරතා නැති කළ වැඩි දියුණු කරපු නිෂ්පාදනයක්. ඔවුන්ගෙන් මේ නිෂ්පාදනය වෙනස් වෙන්නේ ඒ ලෙස“මහාචාර්යවරයා පැහැදිලි කළේය.

අප ඔහුගෙන් මෙම නිෂ්පාදනයේ පර්යේෂණ කාලය සහ සායනික අත්දැකීම ගැන විමසුවෙමු.

“ මේ සංයෝගය අවුරුදු දෙකක පර්යේෂණ මට්ටමේ තිබුණා. එහිදි තමයි සෛලීය යාන්ත්‍රණය හොයා ගත්තේ. මෙය ඖෂධයක් නොවන නිසා අප නිශ්චිත සායනික පරීක්ෂණ කළේ නෑ. මේක තෙල් එකක්. රට තුළ නිෂ්පාදනය කරන එකක්. අපේ තිබුණු සාම්ප්‍රදායික ඖෂධ වට්ටෝරුවක් විද්‍යාත්මකව වැඩි දියුණු කිරීමක් පමණයි කළේ. නමුත් අපේ නිෂ්පාදනයේ ස්වරූපය බලන්න මිනිස්සු නියැදියක් යොදා ගත්තා. හොඳ ප්‍රතිඵල ආවා. ඒ ප්‍රතිඵලය යාවත්කාලීන වෙමින් ලැබෙනවා.

මෙය භාවිත කරන සියයට 95ක් නිෂ්පාදනයේ ඇති සාර්ථකත්වය ගැන තමයි කියන්නේ. හිසකෙස් ගැලවෙන එක නතර වුණාට පස්සේ එන්න හදන පොඩි හිසකෙස් ආරක්ෂා වෙනවා. මාස තුනක් යද්දි හිසකෙස් යන එක නතර වෙලා හිසකෙස් වර්ධනය වෙනවා. “

මහාචාර්යවරයා පවසන්නේ ජානමය තත්ත්ව මත හිසකෙස් ගැලවී යෑම මේ හිස ගල්වනය මඟින් යම්තාක් පාලනය වන බවත්, කෘත්‍රිම හේතු මත ගැලවී යන හිසකෙස් සඳහා සියට සීයක ප්‍රතිඵල ප්‍රකාශිත බවත්ය. මේ නිෂ්පාදන දේශීය වෙළෙඳපළ ඉලක්ක කරගෙන නිෂ්පාදනය නොව, අන්තර්ජාතික වෙළෙඳපල ඉලක්ක කරගෙන නිෂ්පාදනය වනු දැකීම සිය කණ්ඩායමේ අරමුණ බව ද ඔහු කියන්නේය.

“විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සමාජගත කර ලංකාවේ තිබෙන ප්‍රශ්නවලට උත්තර හොයන්නයි අපි උත්සාහ කළේ. මේ වනවිට අප එවැනි නිෂ්පාදන හතරක් සමාජගත කර තිබෙනවා. පිළිකා සඳහා හඳුන්වා දුන් පිළිකා පෝෂණ සත්කාර කරල එයින් එකක්. අනෙක හන්දිපත් අමාරුවට හඳුන්වා දුන් ඖෂධ වට්ටෝරුව. තුන්වෙනුව තරබාරුව අඩු කිරීමට උපකාරවන දේශීය ඖෂධ නිෂ්පාදනය. සිවුවනුව මේ හිසකෙස් යෑම පාලනය කරන හිස ගල්වනය. මේ සියල්ල දෙශීය බෙහෙත් වට්ටෝරු ඇසුරින් කළ නිෂ්පාදන.“ මේ වනවිට මෙම නිෂ්පාදන හතරම පෞද්ගලික නිෂ්පාදන අංශ හා ගිවිසුම්ගතව නිෂ්පාදනය සහ අලෙවිය සිදුකරමින් ඇත්තේය. මෙම ඖෂධ වෙළෙඳපළේ සුලබය.

“ කොවිඩ් එක්ක පිටරටින් එන ආනයන නතර වුණු වෙලාවක දේශීය නිෂ්පාදකයන්ට ඉතාම හොඳ වෙළෙඳපලක් හැදෙන බව මට කියන්න අවශ්‍ය වුණා. ඒ වගේම විද්‍යාත්මකව තහවුරු කළ සාම්ප්‍රදායික ඖෂධ වට්ටෝරුවක් විදේශීය වෙළෙඳපොළේ අලෙවි කරන්න ඉතාම හොඳ විභවයක් තිබෙනවා. අප ඒ සෑම අවස්ථාවක්ම නිසි ලෙස ප්‍රයෝජනයට ගත යුතුයි.”

කළමනාකරණයක් සහිතව එවැනි තත්ත්ව ප්‍රයෝජනයට ගන්නට අප සූදානම් නම් මේ විකල් ආර්ථික අර්බුදයෙන් මිදීමට විශාල ආයාසයක් දැරීමට සිදු නොවනු ඇති බව නම් විශ්වාසය.

Comments