කෝටි හතළිස් තුනේ ලන්සුවෙන් කහවත්තේ නිල් මැණික හිමි වුණු බබා මල්ලී සොයා සිළුමිණ ගිය ගමන | සිළුමිණ

කෝටි හතළිස් තුනේ ලන්සුවෙන් කහවත්තේ නිල් මැණික හිමි වුණු බබා මල්ලී සොයා සිළුමිණ ගිය ගමන

කෝටි 40 පතල් පොළ සහ කෝටි 43කට අලෙවි වුණ නිල් මැණික

දෙයියන්ගේ රට ලෙසින් සුපතළ රත්නපුරට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ බැල්ම ලැබෙමින් හතළිස් තුන් කෝටියක මුදලක් කෙළින්ම පතල්කරුවන්ගේ අතට පත් කළ කහවත්ත කට්ටන්ගේ වැලි කරුණේගේ පතලෙන් මතු වුණ නිල් මැණික ගැන මුළු රටම කතා කරයි.

එම නිල් මැණිකට ඉහළම ලන්සුවක් තබා මිලයට ගත් කහවත්තට යාබද ගමක උපන් තරුණ මැණික් ව්‍යාපාරිකයකු වන නමින් සුභාෂ් කරුණාරත්න වුවත් කවුරුත් දන්නා බබා මල්ලි ද ඉතිහාසයට එක්වන්නේ කෝටි හතළිස් තුනක් වටිනාකමට ලන්සුව තබා එම නිල් මැණික මිල දී ගත් නිසාම නොව එම මැණික මිලදී ගන්නට පොර කෑ දළකාරයන් අතරින් අභීතව තම ලන්සුව ඉහළම ලන්සුව ලෙස රැක ගන්නට හැකි වූ නිසාය. 

අපි මුලින්ම කතා කළේ කෝටි හතළිස් තුනකට මිලට ගත් නිල් මැණිකේ වත්මන් හිමිකරු වූ සුභාෂ් කරුණාරත්න නම් ලද බබා මල්ලී සමඟය.

‘කහවත්ත, පැල්මඩුල්ල, නීලගම, කට්ටංගේ පැත්ත නිල් මැණික්වලට නම් දරාපු පැත්ත අපේ ගමට අල්ලපු ගම. ගඟ දෙපැත්තේම ජයටම කෙරෙන්නේ මැණික් පතල් කපන එක. කොහොමත් අවුරුද්දට දෙතුන් පොළකින් ඔය වගේ වටින මැණික් මතු වෙනවා. සමහර එවා හොර රහසේම විකිණෙනවා. පහු වෙනකොට පහු වෙනකොට ආරංචි වෙනවා සමහර ගල් මීටත් වඩා වැඩි ගාණට විකිණිලා කියලා. එත් සමහර විට එකේ ලාභ ප්‍රයෝජන අරන් තියෙන්නේ කොහෙවත් යන අතරමැදියෝ ටිකක්. මට තියෙන ලොකුම සතුට මේ කෝටි හතළිස් තුනම කෙළින්ම පතල් කාර්මිකයන්ටම යන එක ගැනයි.

මේ මැණික හොඳ නිලක්. කොරන්ඩම් වර්ගයට අයත් හොඳ ගුණයක් තියෙනවා. පිරිසිදුයි, පලුදුත් නැ, හැඩයත් ඒ වගේමයි. බර කැරට් 100කට හොඳටම කිට්ටුයි. මේ වගේ ගලක් විකුණන්න වෙන්නේ පලඳින්න නෙමෙයි, ධන කුවේරයෙක්ගේ තවත් සම්පත් එකතුවකට කියලයි මට හිතෙන්නේ. කොහොමටත් මම මේ ගලට ගෙවුවේ ඉහළම මිලක්. මොකද හොඳ හොඳ දළකාරයෝත් එක්ක හැපිලා තමයි මම ගල ගත්තේ. මට විශ්වාසයි මට මේ ගල වෙලාව ආවම හොඳ මිලකට විකුණ ගන්න පුළුවන් වෙයි.

මැණික දැකපු පළමු වතාවේම මට ඒ ගැන ලොකු බලාපොරොත්තුවක් ඇති වුණා. කොහොම හරි ගන්න ඕන කියලා හිතුණා. ගල අතට අරගෙන තමයි නැවතුණේ. වෙනදට මේ වගේ ගලක් ලැබුණම රට පුරා ලොකු ප්‍රසිද්ධියක් දෙනවා. හුඟක් වෙලාවට එකට පතල් නඩේ වගේම සංස්ථාවත් එක් වෙනවා. මට ලොකු සතුටක් මේ වගේ මැණිකක හිමිකාරයෙක් වෙන්න මමත් වාසනාවන්ත වුණානේ කියලා ලංකාවේ ලැබුණ ලොකු ලොකු මැණික් ගල්වල පින්තූර එකතුවක් එතන තිබුණා. Star of India, Blue Giant Of the Orient, Logan Blue sapphire වගේ මැණික් ඒ අතර දිලිසෙන පින්තූරවලින් පෙනුණා. තුෂාර හෙමින් ඇහුවේ කෝටි හතළිස් තුනේ ගල බලන්න බැරි ද කියලා. බබා මල්ලි පුංචි හිනාවක් දාලා එයාගේ ‍ෆෝන් එකේ තිබුණ ගලේ පින්තූරේ අපිට පෙන්නුවා. ඔහුට කෘතඥ වෙමින් සමු දුන්නේ නිරහංකාරව අපට තොරතුරු ලබා දීම ගැන නැවත නැවතත් ස්තූති වන්ත වෙමිනුයි. ඔහුගේ පින්තූර කිහිපයක් ද අප වෙත දීමට ඔහු අමතක කළේ නෑ.

අපි අනතුරුව ගියේ කට්ටංගේ පතල් පොළ පැත්තටය. පරණ පුංචි කෝච්චි පාර දිගේ ඉහළට යද්දි කට්ටංගේ හමු වේ. මගේ මිත්‍ර තුෂාර මට පෙන්නුවේ ආන්න අර ගඟෙන් එගොඩ පැත්තේ තමයි හැමෝම කතා කරපු කොටකෙතන ගම තියෙන්නේ කියාය. දැන් නම් කිසිම සද්දයක් නැති වුණත් සැකකාරයන් ඔක්කෝම නිදහස් වෙලා ඇවිදින් බව තුෂාර කියද්දි මට පොඩි චකිතයකුත් ඇති විණි. ඒ කොටකෙතන ගැන ලියන්නට ගොස් ඇති වුණ මර්ණ තර්ජන මතක් වීමෙනි.

අන්න අර ඈත පෙන්නේ වැලි කරුණේගේ පතල්පොළ. ළඟට නම් යන්න බෑ, දුර ඉඳලා තමා බලන්න වෙන්නේ. අපි ටිකක් සෝදිසි කරලා බලමු යැයි කියමින් තුෂාර වාහනේ අයින් කර ගත්තේය.

තුෂාර වංහුං විස්තර කළේය.

ඒ පතල් නඩේ නම් ගල වික්කට පස්සේ තවම ආවේ නෑ. පතල් පොළේ වැඩ නවත්තලා මුර දාලා තියන්නේ, මොකද තව ගොඩ දාපු ඉල්ලනුත් තියනවානේ, එත් කලින් ඔය පතලේ වැඩ කරපු දෙයියා නම් ඔය හරියේ හිටියා....

තුෂාරට එහෙම කිව්වේ ළඟ කඩේ එක්කනෙක්. දෙයියා කිවුවාම හැමෝම දන්නවා, පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලන්න....

අපි එයා කියපු විදිහට ඉස්සරහට යද්දි තවත් දෙතුන් දෙනෙක් එක්කම කතා කළා.

කහවත්තේ කට්ටංගේ වැලි කරුණේගේ පතල් පොල කිව්වම නොදන්න කෙනෙක් නෑ. මොකද කරුණේගේ දැන් රස්සාව පතල් කපන එක වුණත් වේ ගඟ ඉවුරේ කලින් කරපු රස්සාව මතක් කරන්න වෙන්න ඇති එයාට වැලි කරුණේ කියන්නේ. මේ පතල් පොළට දැන් අවුරුදු දෙකක් විතර ඇති. වැඩි ගැඹුරක් නැහැ තට්ටු තුනෙන් ඉල්ලම. ඔය ගල හම්බ වුණේ ගොඩදාපු ඉල්ලම බාගෙට ගරද්දි. තව ගරන්නත් තියෙනව‍ෙන.

ආ.. අන්න මහත්තයලා හොයපු දෙයියා තමයි අර ඉන්නෙ. අපිත් එක්ක කතා කරමින් හිටි කෙනෙක් ඈත එන කෙනෙක් පෙන්නලා කිවුවා.

දෙයියෝ දුන්නා වගේම දෙයියත් ඉබේම එතනට ආවා.

පුංචි යාළුකමක් පෙන්නලා අපි දෙයියාව කතාවට එක්කර ගත්තා.

දෙයියාගේ නියම නම ආර්. එම්. පොඩිමහත්තයා. වයස 45 යි. 

මමත් වැඩ කළේ මේ පතලේ, එත් මොන කරුමෙට ද මන්දා මම ඔය ගල හම්බ වෙන්න ඔන්න මෙන්න කියා පතලෙන් අයින් වුණා. එක වුණේ ඉල්ලමත් කැඩුවාට පස්සේ. මම වැඩක් නැතුව රස්තියාදු වෙද්දි කරුණේ බොස් මට කිව්වා උඹට හවුලක් නෑ කැමති නම් කුලියට වැඩට වරෙන් කියලා මම අන්තිමට වැඩ කළේ කුලියට. වැඩ හවුල්ම 10 ක් තිබුණා. එත් මම වැඩ කළේ දවස් කුලියට නිසා මට හවුලක් නෑ. මගේ කරුමෙට මට ලැබෙන්න තිබුණු වාසනාවට මම පයින් ගැහුවා. කරුණේ බොස් හරි හොඳයි ඒ නිසා මට සලකයි කියලා මට විශ්වාසයි.

ඇයි එහෙම පතලෙන් අයින් වෙන්න හිතුණේ..

එක මගේ අවාසනාව. දිගටම වැඩ කළා වාසියක් නෑ. වියදම් කාසිවලින් ජීවත් වෙන්න අමාරුයිනේ. වෙන මොනා කරන්නද? එත් මම දන්නවා කරුණේ බොස් ඊළඟ පතලේදි ආයේ මට වැඩ හවුලක් දෙයි. දෙයියා දෙයියෝ බුදුන් අදහන ගානට කරුණේට පින් දුන්නේ ය.

පතල් නඩේ වෙන කවුරුත් හොයා ගන්න නැති වුණේ තවම ගනුදෙනු ඉවරයක් වෙලා නොතිබුණ නිසා කට්ටිය තවම කලඑළි බැස නැති බැවිනි.

කෝටි හතළිස් තුනට බිම් හවුල්ම විස්සට වැඩියි. ලයිසන් පංගු, එන්ජින් පංගු, වැඩි වියදම් කැපිලා තමා වැඩ හවුල්වලට බෙදෙන්නේ. කොහොමත් මඩ කාගෙන දාඩිය පෙරාගෙන වැඩ කරපු දහදෙනාටත් හොඳට සලකයි කියලා හැමෝම කියනවා.

කහවත්ත ටවුමෙත් හැමෝගෙම කතාව කෝටි හතළිස් තුනේ නිල් මැණික ගැන ය. මැණික් නම් මතක් වෙන්නේ ගුරුගේ නාමය ය. කෝටි හතළිස් තුනට කට්ටන්ගේ නිල් මැණික ගත්තු සුභාෂ් කරුණාරත්න නැතිනම් බබා මහත්තයා දැනටමත් ගුරුගේ මඟ යමින් කරන පරිත්‍යාග සමාජ සේවා බොහො­්මය. අවුරුද්දක් ගාණේ දරුවන්ට පාසල් පොත් දෙමින්, නැති බැරි අයට ගෙවල් දොරවල් හදා දෙමින් ඔහු කරන සේවාව ගැන කහවත්තේ පමණක් නොව අහල පහල අයත් කතා වෙති. ඒ ආශීර්වාදයම මේ වැනි කෝටි ගණනක වටින මැණිකක් හිමිවීමට වාසනාව උදා කරන්නට ඇත.

ධර්මප්‍රිය ලියනආරච්චි සහ තුෂාර හෙට්ටිආරච්චි - කහවත්ත

Comments