තරුණ පෙළේ ඇස් පාදන... එතෙර දොර විවර කරන... හොඳම තැන මෙන්න... | සිළුමිණ

තරුණ පෙළේ ඇස් පාදන... එතෙර දොර විවර කරන... හොඳම තැන මෙන්න...

වික්‍රමආරච්චි දෘෂ්ටි විශේෂඥ ආයතනයේ අධ්‍යක්ෂ මිහිර වික්‍රමආරච්චි

ජාගර සිතිවිලිම කාරවන අගාධයක අඳුරු සෙවණැලිම ඇඳ පෙන්වන වටපිටාවක ජාතියක් ගොඩනැඟිය හැකි පෞරුෂවත් මාර්ගය මා ඉදිරියේ සිත්තම් කරමින් සිටින මේ මිනිසාව නිහඬව අසා සිටිමි. අප ක්ෂුද්‍ර ජාතියක් නොවන බව ඔහු, ඔහුගේ සිය දාර්ශනික ව්‍යාපාර සම්ප්‍රදායෙන් ලෝකයට පෙන්වා දී ඇතැයි සිතමි. ලෝකය ඇගයීමට ලක් කළ ඉංජිනේරුවරුන්, සැලසුම් ශිල්පීන් සහිත පවුලක ව්‍යාපාර ක්ෂේත්‍රය තෝරාගත් විවෘත මනසක් සහිත තාක්ෂණික ශිල්පියා ඔහුය. වර්ෂ 1976 දී රට ආනයන අපනයන වෙළෙඳපොළට වැසී ඇති මොහොතක දෙල්කඳ කඩ කාමරයක ආරම්භ කළ ව්‍යාපාරය රටේ සන්නාමයක් ලෙස නිර්මාණශීලීව ගොඩනඟා මේ වනවිට ශ්‍රව්‍ය දෘෂ්‍ය ක්ෂේත්‍රයේ ඉහළම තාක්ෂණයෙන් ලොවෙහි අගපත්ව අන්තර්ජාතික මට්ටමේ වෘත්තිකයින් බිහිකරන අධ්‍යාපන කේන්ද්‍රයක් රට වෙනුවෙන් හසුරුවන්නේ ද ඔහුය. 

ඔහු මිහිර වික්‍රමආරච්චිය. ‘වික්‍රමආරච්චි දෘෂ්ඨි විශේෂඥයන්‘ ලෙස සම්භාවිත ව්‍යාපාර ජාලයේ හිමිකරුය.

ඔහු හා කෙරෙන කෙටි කතිකාව සිළුමිණ වෙනුවෙන් පෙළ ගස්වන්නේ මේ වචන මාත්‍ර තුළ ගැබ්වී ඇති දෘෂ්ටිමය ධනාත්මක යථාර්ථය හසරක් නැතිව පාවෙන්නට හැර ඇති අපට අපේ සහජය සොයාගෙන ජීවිතය මෙන්ම රටත් ගොඩනැඟීමට අවශ්‍ය චින්තන ප්‍රවේශය සලසන බැවිනි. ඉබි යතුරු ලාගෙන ඇති ඔළු සහිතව ගත කරන ව්‍යාපාර ඇතුළු සියලු ක්ෂේත්‍රවල වෘත්තික ප්‍රජාවට කුහක දූපත් ආකල්පයෙන් මිදී නිදහස් මනසකින් අප දෙස හැරී බලන්නට ඇරයුම් කරන බැවිනි. ඔහුට ඇහුම්කන් දෙමින් සිටියෙමි.

“මගේ අයියා නාවික සැලසුම් ශිල්පියෙක්. ඔහුට ජර්මනියේ හොඳම නැව් සැලසුම් ශිල්පියෙක් ලෙස පිළිගැනීමක් තිබුණා. ඔහුගේ දැනුම මේ රටේ ප්‍රයෝජනයට ගත්තෙ නෑ. මගේ පවුලේ වැඩි දෙනෙක් ඉංජිනේරුවො සහ ගෘහ නිර්මාණ ශිල්පියො. මම මගේ තාක්ෂණික නැඹුරුව සහිත අධ්‍යාපනය අනික් අයට වඩා වෙනස් ලෙස හිතලා ව්‍යාපාරයකට යෙදෙව්වා. ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒක තමයි ඔබ දකින වික්‍රමආරච්චි ඇස් කණ්ණාඩි ජාලයෙන් පේන්නේ. ඒත් ඔබ අපව එළියට දකින ආකාරයට වඩා ගැඹුරු දැක්මක් සහ සැලසුමක් එක්ක තමයි අපි වැඩ කරන්නේ. අක්ෂි තාක්ෂණයේ වගේම ශ්‍රවණ තාක්ෂණයේ ඉහළම තාක්ෂණික සම්ප්‍රදාය අපි මේ රටට ගෙනත් තිබෙනවා. ඒ දැනුම වෘත්තීය පුහුණුවක් ලෙස අප ලබා දෙනවා. ඒ වෘත්තීය දැනුම ලබා ගත්ත 150 දෙනකුගෙන් 38 දෙනෙක් මේ වනවිට ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ කැනඩාවේ වෘත්තිකයින් විදිහට රැකියා කරනවා.

ඔබ දන්නව ද.. දැන් අපි ලඟ තිබෙන තාක්ෂණය අනුව මේ රටේ බිහිරි පාසල් තියෙන්න විදිහක් නෑ. කන් ඇසෙන්නේ නැති අයට සම්පූර්ණයෙන් ඇසීම ලබා දෙන්න පුළුවන් ලෝකයේ ඉහළම තාක්ෂණික ආභාසය සහිත ශල්‍යකර්මය අපට කරන්න හැකියාව තිබෙනවා. රටේ ජනතාවගෙන් සියයට 2ක් ශ්‍රව්‍යාබාධිත අය. රටේ ආර්ථිකයට විධිමත් ලෙස පූර්ණ බිහිරි කෙනකුට ඇසීම ලබා දෙනවා කියන්නේ ආශ්චර්යයක් නොවෙයි. එය තාක්ෂණික ප්‍රවේශයක්. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහනවා මේ තරම් ප්‍රමාණයක් කොහොමද තරුණ ළමයි සුවපත් වෙන්නේ කියලා. යුද්ධය නිසා ශ්‍රව්‍ය ආබාධ ඇති වුණු අවුරුදු පහළොවකට වඩා ලෝකය අහපු නැති යුද හමුදා නිලධාරීන්ට ශ්‍රවණය ලබා දුන්නම ඔවුන් මවිත වෙනවා. හරියට පුනරුත්පත්තිය ලැබුවා වගේ. මේ තත්ත්වය මං හුදෙකලාව කළ දෙයක් නෙමෙයි. මේ සඳහා ලංකාවෙ ඉන්න දොස්තරලා දහයක් එකට එකතු වුණා.

ලෝකයේ තියන වටිනාම දෙයක් තමයි Blair Simmons සහ Robert White සොයාගත් කර්ණ ශංඛ බද්ධ ශල්‍යකර්මය. කවදාවත් ලෝකය අහන්න උරුම නැති අයට ඇසීම ලබා දීම. ලොව ඉහළම තාක්ෂණය යොදාගෙන අපට දැන් ඒ ශල්‍යකර්මය කරන්න පුළුවන්. 

කර්ණශංඛයේ අබාධා හේතුවෙන් ඇහෙන්නේ නැති ඕනම කෙනකුට ඇසීම ලබා දෙන්න පුලුවන්. ප්‍රමාද වෙලා එම සැත්කම කරන කෙනකුට කථනයට හුරු වෙන්න කාලයක් යන නිසා ශබ්ද ඇසුණත් ඔවුන්ට කතා කිරීම සංඥා භාෂාවෙන්ම කරන්න වෙනවා. නමුත් වයස අවුරුදු 12ට අඩු දරුවන් සඳහා මෙම සැත්කම ඉතාම සාර්ථකයි. අද කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් හොයලා තිබෙනවා ඇහීම නැති අයට ශ්‍රවණාධාරයක් දැම්මොත් ඇහෙන විදිහ ගැන. දැන් ශ්‍රවණාධාරය බ්ලූ ටූත් එකත් එක්ක අයි ෆෝඩ් එකක් හරහා ලබා ගන්න පුලුවන්. මේ වනවිට අපේ තියන අලුත්ම තාක්ෂණය තමයි වොටර් පෲෆ් ශ්‍රවණාධාරකය. අපිට තාක්ෂණයේ කිසිම අඩුවක් නෑ. ලෝකයේ දියුණු රටවල නැති තාක්ෂණයක් ලංකාවෙ තිබෙනවා. අපි මේ වනවිට කරලා තියන වැඩපිළිවෙළ ලෝකයේම සම්භාවනාවට පත් වී තිබෙනවා. ඒක තමයි මම මේ අවුරුදු 45ක් තිස්සේ කළ වෑයමේ ප්‍රතිඵලය.” මිහිර වික්‍රමආරච්චි කියන්නේය.

මේ වනවිට ඔහු ලෝකයේ පිළිගැනීමට ලක් වූ ශ්‍රවණ තාක්ෂණ විශේෂඥයෙකි. ඒ වෙනුවෙන් අධ්‍යාපනය ලබා දෙන විද්‍යායතනයක් මෙහෙයවන විද්වතෙකි. කන ආශ්‍රිතව පැන නඟින රෝග, ශරීර සමතුලිත බව ගිලිහී යෑම වැනි බරපතළ තත්ත්ව සඳහා ස්නායු රෝග විශේඥවරු සහ ළමා රෝග විශේෂඥවරුන්ට තාක්ෂණික පහසුකම් සහ විශේෂඥ තාක්ෂණික මඟපෙන්වීම කරන්නෙකි.

“මම හරි තෘප්තිමත් මිනිසෙක්. කවුරුත් කරන්න හිතන්න නැති දේවල් මම කරලා තිබෙනවා. අනෙක් ව්‍යවසායකයන්ටත් මම කියන්නේ මේ ආකාරයෙන් දැනුම නිර්මාණාත්මකව ව්‍යාපාර සඳහා භාවිත කරමු. රට වෙනුවෙන් හොඳ දෙයක් ආයෝජනය කරමු. රජයකට කරන්න අපහසු දේවල් තිබෙනවා. අපි ඒවා පටන් ගත්තොත් රජයකට පුලුවන් රට වෙනුවෙන් ඒවා පවත්වා ගන්න. අපි ව්‍යවසායකයො විදිහට කල්පනා කළොත් මේ රට ආර්ථිකව ගොඩ නංවන්න අපට පුළුවන්...”

මඳ විරාමයක දී මම ඔහුව විමසුවෙමි. “ මේක අලුත් වැඩක්... මේ වගේ ප්‍රවේශයක් ගන්නකොට තිබුණ අභියෝග මොනව ද?”

“ඔබ දන්නව ද?. යහපත් වැඩක් සැලසුමකින් දැක්මකින් කරනකොට අභියෝග එන්නේ නෑ. අභියෝග එන්නේ බොරු කරනවා නම් විතරයි. හරි දේ කරනවා නම් අභියෝග එන්නේ නෑ. මම දේශපාලකයන්ට කියන්නෙත් ඒකයි. අපි හරි දේ කරනවා නම් ඒක ඉලිප්පිලා එනවා. සොබාදහමේ ධර්මතාව ඒකයි. අපේ රටවත් මෙය තවම දන්නේ නෑ. ඕඩියොලොජි සම්බන්ධව අපට සම කරන්න පුළුවන් ලෝකයේ වෙන රටක් නෑ. දැන් පිටරටින් මිනිස්සු එනවා මේ තාක්ෂණය ලබා ගැනීමට. මූලික අවස්ථාවේ දි මෙම තාක්ෂණය අප රට තුළම වැඩි දියුණු කරන්න ආතර් සී ක්ලාක් අපි එක්ක එකතු වුණා. ජේ ආර් ජයවර්ධන, රේ ජයවර්ධන වැනි ප්‍රභූවරුන් වෙනුවෙන් අපි එදා අපේ සේවය දී තිබෙනවා.

දැන් අපි ඉන්නේ අන්තර්ජාතික මට්ටමේ ඉහළම තැන තාක්ෂණය අතින්. සමහර තානාපති කාර්යාලවල අය සිය ඥාතීන් ලංකාවට ගෙන්වලා අපේ ශ්‍රවණාධාර සවි කළා. රජයේ රෝහල්වලත් මේ වගේ දේවල් පටන් ගන්න. හෙල්ත් ටුවරිසම් කියන විෂය මේ අංශවලිනුත් දියුණු කළ හැකියි. මම ඉදිරියට එන්න ලෑස්තියි ඒ වෙනුවෙන්“. මිහිර වික්‍රමආරච්චි පවසන්නේ ලෝකයේ ඉහළම තාක්ෂණය භාවිත කර නිර්මාණය කරන නාසා ආයතනය ග්‍රහලෝක නිරීක්ෂණය කිරීමට යොදා ගන්නා කාච නිර්මාණය කරන තාක්ෂණයම යොදා ගත් ඇස් කණ්ණාඩි කාච මේ වනවිට ලංකාවට ගෙන එන්නට තමන් සමත් වී ඇති බවය.

කෙසේ වෙතත් තමන් රට වෙනුවෙන් කළ විශිෂ්ටම මෙන්ම තෘප්තිමත් ආයෝජනය මෙම විෂයේ වෘත්තිකයන් පුහුණු කරන වෘත්තීය පුහුණු පාඨමාලාව බවය. එම පාඨමාලාව හැදෑරූ ඕනෑම කෙනකුට යුරෝපීය රටවල ප්‍රවේශය පහසුවෙන් විවර කරගත හැකි බව පෙන්වා දෙන මිහිර වික්‍රමආරච්චි මේ වනවිට එම පාඨමාලාව සාර්ථකව නිමා කළ තරුණ තරුණියන් 36ක් ඔස්ට්‍රේලියාව, එංගලන්තය, කැනඩාවේ සේවය කරන බව පවසන්නේය.

“අධ්‍යාපන අමාත්‍යවරයා මේ දවස්වල මම දැක්කා සාමාන්‍ය පෙළ නැතිව උසස්පෙළ විභාගය කරන්න අවස්ථාව දෙන්න යෝජනා කරනවා. ඒක හොඳ ක්‍රමයක්. ළමයි කරන්න ඕන ව්‍යාපෘති. අපි අලුත් ක්‍රමවලට යන්න ඕන. ඇත්තටම අපි මේ ආයතන ඇතුළෙ කරන්නේ වෘත්තීය පුහුණු කිරීමක්. මේ වෘත්තීය පුහුණු හය වන මට්ටම දක්වා ශ්‍රී ලංකා ප්‍රතීතක මණ්ඩලයේ ලියාපදිංචි කර තිබෙනවා නියාමනයට. වෘත්තීය පුහුණු අධිකාරියේ අනුමැතිය ඇතිව පාඨමාලාව පටන් ගත්තේ. මේ අධ්‍යාපන ක්‍රමය ජර්මන් රජය අනුමත කළා. අපි ජර්මන් රජයත් එක්ක අක්ෂිමිතය සම්බන්ධව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඒක තමයි මේ ළඟදි එළි දැක්වූයේ. මේ පාඨමාලාවෙන් ලැබෙන ජර්මන් අනුමිතික වෙනත් රටවල රැකී රක්ෂාවලට, එහෙමත් නැතිනම් සීමාවාසික පුහුණුවට. මේ වගේ දේවල්වලට පහසුවෙන් වීසා නිකුත් කරනවා.

ඒ වගේම මේ වෘත්තීය පුහුණුවේ දී සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ නිසා විශ්විද්‍යාල ප්‍රවේශයට බාධා පැමිණි අයට විෂය පිළිබඳ පදනම් පාඨමාලාවක් සකසා තිබෙනවා. ජර්මනිය සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව තමයි මේ විෂය පථය සැලසුම් කළේ.”

“මේ පාඨමාලාවට තෝර ගන්නේ කොහොමද? මොනවද නිර්ණායක.” ඔහුගෙන් විමසුවෙමි.

“අධ්‍යාපනයේ දී ලෝක නිර්ණායකයන් අනුව ජාතිය, ආගම, භාෂාව බාධාවක් වෙන්න බෑ. ඕනෑම භාෂාවකින්, ඕනෑම ජාතියක පුද්ගලයකුට ඉගෙනීමේ අයිතිය තියනවා. අපි උතුරු නැගෙනහිර දරුවන්ට කියනවා එන්න ඇවිත් සම්බන්ධ වෙන්න කියලා. අපේ අධ්‍යාපන මාධ්‍යය සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ. පහසු භාෂාවකින් පිළිතුරු ලියන්න පුළුවන්. අවසන් පරීක්ෂණය ජර්මනියේ විද්වතුන්ගේ අධීක්ෂණයෙන් සිද්ධ වෙන්නේ. ඔවුන්ට තමන්ගේ ඇගයීම් කරන්න අපි මොන භාෂාවෙන් විභාගයට පෙනී සිටියත් ගැටලුවක් නෑ. ඒ සඳහා තාක්ෂණය ඔවුන්ට තිබෙනවා.

පිටරට ගිහින් ඉගෙනගෙන ආපු විද්වත් මණ්ඩලයක් අප සතුයි. අප විශ්වවිද්‍යාල එක්ක සම්බන්ධතා ගොඩනඟාගෙන ඉන්නෙ. මේ අධ්‍යාපනයට අවශ්‍ය ඕනෑම ආයතනනයකට උදවු කරන්න ලෑස්තියි. කැලණිය විශ්වවිද්‍යාලයේ දරුවො ඇවිත් නිදහසේ ඉ‍ෙගන ගන්නවා. අපි අපේ තාක්ෂණය දෙනවා. අපේ අභිප්‍රාය ලෝකයේ ලොකුම තාක්ෂණවේදීන් ඉන්න රටක් කරන්න.”

තවත් ප්‍රශ්න ගණනාවකි. මේ තරම් විසල් අධ්‍යාපන ප්‍රවේශයක් විවර කරගැනීමට වැයවන පිරිවැය කොපමණ වනු ඇති ද? මිහිර වික්‍රමආරච්චි පවසන්නේ එවැනි පිරිවැයක් පාඨමාලාව සඳහා තෝරා ගන්නා අයෙක් දැරිය යුතු නැති බවය.

“ශ්‍රවණ හා කතන ආබාධිත ළමයි 20කට මෙම පාඨමාලාව හදාරන්න ස්විස්ටර්ලන්ත රජය අනුග්‍රහය දැක්වූවා. තනිකර බිහිරි දරුවන්ට අපි ඉගැන්නුවා. ඔවුන් අද සාමාන්‍ය අපට වඩා කාර්යක්ෂමව වැඩ කරනවා. ඔටිසම්, ඩෙෆ්, ආබාධිත අය ඵලදායී ආර්ථික ක්‍රියාවලියකට හවුල් කරගත හැකි දැනුමක් යම් මට්ටමකින් මෙම පාඨමාලාවෙන් ලබා දිය හැකියි. මේ වනවිට අපි ආරම්භ කළ සියලුම පාඨමාලා කළේ නොමිලයේ. වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා වයසක් අධ්‍යාපන සුදුසුකමක් සම්බන්ධව බරපතළ නිර්ණායක නැතත් අපේ ශ්‍රව්‍ය විද්‍යා පාඨමාලාව ඕඩියොලොජි වෛද්‍ය සභාව අනුමත කරපු පාඨමාලාවක්. ඒ පාඨමාලාවට උසස් පෙළ විෂයයන් තුනක් සමත්වීම අවශ්‍යයයි. මෙම පාඨමාලාව රෝහල්වලට අනුබද්ධව තිබෙනවා. මේ තාක්ෂණය ගේන්න මම රෝහල්වල වැඩ කළා. සමහර ක්ෂේත්‍රවල ඉන්න අය මේ දැනුම වෙනත් අය ලබා ගන්නවට බයයි. ඕඩියොලොජිස්ට්ලා නර්ස්ලා කොච්චර හිටියත් මදි. අපි මේ වෘත්තිකයන් පුහුණු කෙරුවොත් අපට ශ්‍රමිකයො විදිහට කම්කරුවො යවන්න අවශ්‍ය නෑ පිටරට. “ 

මෙම පාඨමාලා ප්‍රධාන අංශ දෙකකින් පවත්වා ගෙන යයි. ඒ ශ්‍රව්‍ය විද්‍යාව සහ දෘෂ්ඨි විද්‍යාව ලෙසය. මුලින් කී ලෙස ශ්‍රව්‍ය විද්‍යා පාඨමාලාව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමත පාඨමාලාවකි.

“අපි මේ පාඨමාලා සැලසුම් කර තිබෙන්නේ ජර්මනියේ ආකාරයට. දෘෂ්‍ය විද්‍යා පාඨමාලාව සඳහා ඕනෑම මට්ටමක කෙනකුට ඇතුළු වෙන්න පුළුවන්. ඒ අය මාස 06ක පාඨමාලාව සම්පූර්ණ කළ යුතුයි. එයින් පසු අනික් අයට වඩා වැඩ කරන්න ඕන. මම වැඩ කළා ජර්මනියෙ මම වැඩ කරමින් තමයි ඉගෙන ගත්තේ. ජර්මනියේ අධ්‍යාපනය නිදහස්. සල්ලි ගෙවන්න ඕන නෑ. මේ පාඨමාලා හරහා ඒ අවස්ථාවත් විවෘත වෙනවා උසස් අධ්‍යාපනයට. ජර්මන් ඉගෙන ගෙන තිබෙනවා නම් මේ ප්‍රවේශය තවත් පහසුයි.‍ අපේ පාඨමාලාව හැදෑරීමට වයස අවුරුදු 18කට වැඩි විය යුතුයි. අක්ෂි විද්‍යාව කරනවා නම් ඒ ලෙවල් විෂයයන් 3 පාස් නැතිනම්, ඕලෙවල් කරලා ලෙවල් 3 විභාගය කරලා අනුමත වු පසු ලෙවල් 6 වෙනකම් යන්න පුළුවන්. ඒ සහතිකය ඔස්ට්‍රේලියාව සහ ජර්මන් රජය පිළිගන්නවා. ලෙවල් 3 වැඩ කරලා ටික කාලයක් ඉඳලා ආයෙත් ලෙවල් 5 කරන්න පුලුවන්. ඔස්ට්‍රේලියාව, එංගලන්තය, කැනඩාව, රටවල දැන් අපේ ළමයි වැඩ කරනවා. දැන් අපි බලන් ඉන්නේ ජර්මනියට ඉන්ටර්න්ෂිප් කරන්න. අපි දන්නවා රැකියා සම්බන්ධව අපට වග කියන්න පුළුවන්. වෙන රටවල විශාල අවස්ථා තිබෙනවා.

රජයේ නීතිවලට අනුව විභාගයේ දී රජයේ දර්ශකත් එක්ක අපි ඇගයීමක් කරනවා. ඊලඟ ඇගයීම කරන්නේ ජර්මනියෙන්. වැඩිම ඕන ප්‍රැක්ටිකල් පැත්ත. ප්‍රැක්ටිකල් පැත්තෙන් කොටසකුයි, ව්‍යාපෘතිවලින් කොටසකුයි කරන්න ඕන. වාචික පරීක්ෂණයකට මුහුණ දෙන්න ඕන. එය කරන්නේ ජර්මන් විද්වත් කණ්ඩායමක්. විභාග සඳහා ජර්මන් රජය එක්ක ගනුදෙනු කරන්න අපි හය දෙනෙක් ජර්මනියේ කොලිෆයිඩ් කරලා තිබෙනවා.”

අධ්‍යාපනය හදාරන කාලෙදි වැඩ කරනකොට අපි ඒ අයට පඩියක් ගෙවනවා. දැනුත් මෙම පාඨමාලාවෙන් සුදුසුකම් සපුරන අයට විදේශ රටවල රැකියා ඉල්ලුමක් තියනවා. අපි කැමැතියි මේ රටේ බුද්ධිමත් පිරිස ගිහින් දැනුම අරන් ලංකාවට එනවට. එය තමයි අපේ ප්‍රාර්ථනාව. ඒ නිසා මේ කාරණාව මෙතෙක් ප්‍රසිද්ධ කළේ නෑ. ඒ වගේම අපි ගිවිසුම් ගහලා නෑ. එහෙම ගිවිසුම්වලට ඇතුළු වෙලා ලෝක තලයේ ඉන්න බෑ.” මිහිර වික්‍රමආරච්චි අවසාන වශයෙන් කියන්නේ රටක් ලෙස නැවත විමසා බැලිය යුතු යථාර්ථයකි.

“කවුරුවත් අධ්‍යාපනයෙන් වැටෙන්න බෑ. වැටුණු අයට හොය හොයා උගන්වන්න ඕන. අපිට වඩා හොඳට ව්‍යාපාර කරන අය ඉන්න ඕන අනාගතයට. අද අපේ ව්‍යාපාරිකයන්ටත් අවශ්‍ය දක්ෂ ශ්‍රම සම්පත සහ දැනුම් පද්ධතිය හිඟයි. එවැනි වෘත්තිකයො බිහි කරගැනීමට ව්‍යාපාරික ප්‍රජාවත් පාසල් මට්ටමේ සිට අධ්‍යාපනයට අවශ්‍ය පිටුබලය ලබා දිය යුතුයි. මම මේ ව්‍යාපාරය පටන් ගත්තේ 1976 දී. රට වහලා තිබුණේ. අවස්ථාව ලැබෙනතුරු මම අපේක්ෂාවෙන් ලෑස්ති වුණා. දැන් ආයේ 1976ට සමාන පරිසරයක් ඇති වෙලා තියෙන්නේ. ආයෙ රට අරින්න කලින් වැඩ පටන් ගන්න. මම කියන්නෙ නිෂ්පාදනයක් කරන කෙනකුට හොඳම අවස්ථාව තමයි මේක.

ගෙදරින් පටන් ගන්න. ව්‍යාපාර කරන්න පුළුවන්. අධ්‍යාපනය ඉන්ටර්නෙට්වලින් ගන්න පුලුවන්. ව්‍යාපාරයක් කරන්න සල්ලි නෙමෙයි කැපවීම සහ අධිෂ්ඨානයයි අවශ්‍ය. මිහිර වික්‍රමආරච්චි අපට කියා දෙන කතාවට සාවධානව ජාතියක් ලෙස සවන් දිය යුතු බව විශ්වාස කරමි.

ඡායාරූප - තිලක් පෙරේරා

Comments