දිවි­සැ­රියේ මතක රුවා ලිවි­සැ­රි­යක් ලොවට පුදා නික්ම ගිය හිත­ව­තිය අනුල ද සිල්වා | සිළුමිණ

දිවි­සැ­රියේ මතක රුවා ලිවි­සැ­රි­යක් ලොවට පුදා නික්ම ගිය හිත­ව­තිය අනුල ද සිල්වා

කෝපි ඉමිහිරි පානයකි. බොහෝ දෙනා ප්‍රිය කරන්නකි. එහෙත් බොහෝ ඉමිහිරි දෑ පසුපස අමිහිරි දෑ ඇති බව අපි දනිමු. බොහෝ මිහිර ගෙන එන්නට බොහෝ අමිහිර විඳින්නට සිදුවන බව ද දන්නෙමු. ඒ ඇත්ත කතා කරන්නෝ අල්ප වෙති. ඵලය මිහිරි වූ පසු එය නිමවන්නට දැරූ වෙහෙස ගැන අප නොතකා හරින්නේ ඒ නිසා ය.

එහෙත් ඒ ප්‍රණීත කෝපි පිටුපස තිත්ත කතාවක් ඇති බැව් අපට කියූයේ ඒ තිත්ත කතාවට ප්‍රාණය සැපයූ අයෙක් විසින් ම ය. ක්‍රිස්ටීන් විල්සන්ගේ Bitter Berry නම් සුප්‍රකට නවකතාවේ එන ප්‍රණීත කෝපි වවන්නට අප්‍රමාණ ධෛර්යයෙන් කටයුතු කළ කම්කරුවන්ගේ අනුවේදනීය තිත්ත කතාව ලාංකේය පාඨකයනට තිළිණ කළ අපූර්ව පරිවර්තිකාව තිත්ත ඇත්ත පසක් කරමින් පසුගියදා වාතලයට මුසුව ගියා ය.

බොරැල්ල කනත්ත පිරී තිබුණේ සෝසුසුම්වලිනි. ඒ සුසුම්වල බර හොඳින්ම විඳින්නට ඇත්තේ මහපො­‍ෙළාවය. ගිනි කාෂ්ඨක අව්වේ කර වෙමින් හිරු ගිනිගෙන දැවෙමින් සිටි මොහොතකට ඉනික්බිති අහස ඇත්තට ම හඬන්නට පටන් ගත්තේ ය. චිතකයේ උණුහුම මැකී ගියේ දැඩි හිරු ගිනියම් බව පසෙකලා සිහින් සරින් වැහි පොද සේ වැටෙන්නට පටන් ගත් බැවිනි.

ජීවිතය අනියත බව සැබෑ ය. එහෙත් එය දරා ගන්නට තරම් අවැසි ශක්තියක් ඇත්තේ කීයෙන් කී දෙනාටදැයි ඒ මොහොතේ දැනුණි. සිහින් දුමක් ව ගුවන අරා ඇය නික්ම ගිය ද ඇයට ඇත්තේ අමරණීය නාමයකි. ඒ නාමය කිසිවකුටත් සොරා ගත හැක්කක් නොවේ. හදවතේ බර ම තැන තැන්පත්ව ඒ බරෙන් කකියන හදවත් ගැන ඔබ දැනටමත් දනියි. අපි දරමින් සිටින්නේ ඒ වේදනාවේ බර බව කියන්නට මැළි නොවන්නෙමු. ඇය නික්ම ගියේ හදවතේ බර ම තැන තම නම කෙටීමෙන් අනතුරුව ය. 

ජ්‍යෙෂ්ඨ ලේඛිකාවක වන අනුල ද සිල්වා අගෝස්තු 11 වැනිදා මැදියම් රැයේදී සිය දිවිසැරිය නිම කළා ය. 1941 වසරේ ජනවාරි 28 වැනිදා අම්බලන්ගොඩ පොල්වත්තේ දී උපත ලැබූ ඇය, දිවිසැරිය නිමා කරන විට 82 හැවිරිදි වියේ පසු වූවා ය. දශක 6ක කාලයක් තිස්සේ පොත් 125කට අධික ප්‍රමාණයක් රචනා කර ඇති ප්‍රවීණ ලේඛිකා අනුල ද සිල්වා පරිවර්තිකාවක් සහ මාධ්‍යවේදිනියක ද වන්නී ය. ඇය සිය පළමු නවකතාව වන 'උන්මත්තකයෝ' ප්‍රකාශයට පත් කළේ 1964 වර්ෂයේ දී ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන ඇය, ලේක්හවුසියට බැඳෙන්නේ කෙටි කාලයක් කළ ගුරු වෘත්තියට ද ආයුබෝවන් කියමිනි. පසුකාලීන ව මිහිර පුවත්පතේ කතු පදවිය දැරූ ඇය, පසුව තරුණි පුවත්පතේ මුල්පුටුව ද හෙබවූවා ය. ලේක්හවුසියෙන් ඉවත් වූ පසුව සිරිකත, වනිතා විත්ති ආදී කාන්තා පුවත්පත්, සඟරා මෙන් ම ළමා පුවත්පත් කිහිපයක ද ප්‍රධාන කතු පදවිය දැරුවා ය.

අපි සුන්දරත්වයට හැඩයක් සහ පාටක් නිර්මාණය කර ඇත්තෙමු. ඒවා සම්මත කෝදු ය. ඒ මිම්මෙන් පිට ඇති සියලු දෙය අසුන්දර යැයි අපි කියමු. එහෙත් සැබෑ සුන්දරත්වය ඒ මිම්මෙන් පිට තිබුණහොත්... අප සුන්දරත්වය මනින්නේ පෙර අප මනස හුරු පුරුදු කළ හැඩතල ඔස්සේ ‍නො වේද? ඒ හැඩතලවලින් ඔබ්බට යන්නට අපට හැකි නම්...

අප බොහෝ දෑ හඳුනා ගන්නේ ඒවා ගැන අපේ මනසට බාහිර සාධකවලින් මැවූ දේ ඔස්සේ ‍ය. සාමාන්‍ය මිනිසුන් වන අප බොහෝවිට රාමුගත මනස් ඇති අය නිසා ව්‍යාකූල ම‍නෝභාවවලින් පෙළෙන්නෙමු. ඔබට, මට නිදහසේ මිනිසුන් ඇසුරු කිරීමට නොහැකි වී ඇත්තේ එබැවිනි. මනස නිදහස් නොවන බැවින් විවිධ මනෝභාවවල ජීවත් වන අප එකිනෙකා දෙස බලන්නේ සැක සංකා සහිතව ය. එනිසා ම ඔබට මා දෙසවත්, මට ඔබ දෙසවත් විවෘත මනසකින් බැලීමට නොහැකි වී ඇත්තේ ය. නිර්මාණකරුවා එසේ නැත. ඔහුගේ මනස විවෘත ය; නිරීක්ෂණ ගුණයෙන් යුතු ය; එනිසාම අපිට නොපෙනෙන දේ නිර්මාණකරුවාට පෙනෙන්නේ ය. අනුල ද සිල්වා කලක් තිස්සේ එකී විවෘත භාවයෙන් යුතුව සමාජය නිරීක්ෂණය කළා ය. අනතුරුව එහි විවිධ හැඩතල සහ පාට ගැන අප දැනුම්වත් කළා ය. ඇය ලියූ මංජේෂ්වරී කෘතිය පිළිබඳ වරක් මා සමඟ කී කතාවක් මා ඔබට සිහිපත් කරන්නේ ඇය අත්දැකීම් හමුවේ කෙතරම් සසල වන්නේ ද යන්න ගැන ඔබට කියන්නට අවැසි නිසා ය.

“මංජේෂ්වරි කතාවේ එන්නේ ශ්‍රී ලංකාවේ නාවික හමුදාවේ තරුණයකු ගැන. ඔහුගේ ඉන්දියානු පෙම්වතිය හා තිබුණ බැඳීම, ඇය විවාහ කර ගැනීම දක්වා වූ කතාව. අද ඔවුන් වාසය කරන්නේ ඉන්දියාවේ. ලංකාවේ පළමු වතාවට හා අවසාන වතාවට තමයි හමුදාවේ සේවය කරන තරුණයකුට විදේශීය තරුණියක අවාහ විවාහ කර ගැනීමට අවස්ථාව සැලසෙන්නේ. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිනියගේ ධූර කාලයේ එතුමියගේ විශේෂිත අවසරය පිටය. නීතිමය වශයෙන් විතරක් නොවෙයි මේ වගේ බැඳීම්වලට ප්‍රශ්න එන්නේ. ගෙවල් දොරවල්වලින්, අවට පරිසරයෙන් හැමදෙයින්ම. හැබැයි මේ සියල්ල ජයගන්නත් සැබෑ ආදරයට පුළුවන්. මෙන්න මේ කතාව ඇහුවම මගේ සිත සසල වුණා. ඒ කතාව තමයි මම ‘මංජේෂ්වරී‘ නවකතාවට පාදක කරගත්තේ”.

ඒ සසල බව ඇතුළත තිබූ නිසල බව ගැන මට ඔබට කියන්නට ඇවැසි ය. ඇය, ඇගේ කුඩා ශරීරයට ඔරොත්තු නොදෙන තරමේ විශ්වාසයකින් හා ශක්තියකින් හෙබි වූයේ යැයි මම සිතමි. පත්තර කලාව කාන්තාවට එතරම් සුඛනම්‍ය හෝ ගැළපෙන බවෙන් තොර වූවකැයි බොහෝ දෙනා සිතන සමයෙක ඇය ගුරු වෘත්තිය පසෙක ලා සිය ජීවන විලාසිතාව ලෙසින් පුවත්පත් කලාවේදය තෝරා ගත්තා ය. ජීවිතයේ බොහෝ දෑ පසුකර ගෙන ආ ඇයගෙන් එදා ඒ තෝරා ගැනීම ගැන පසුකලෙක මා ඇසූ කල්හි ඇය පැවසූවේ තමා තුටු වූයේ එයින් බව ය. ලිවීම තරම් තමා ආනන්දයට පත් කළ අන් යමක් නොවූ බව ය. දුක ද, සතුට ද, පසුතැවීම ද, ප්‍රහර්ශය ද මේ ඈ සියල්ලේ අවසන් ප්‍රතිඵලය ඇය මුදා හැරියේ නිර්මාණයක් ලෙස ය. ඒ ආදරයට ඈ පෙරළා ලැබූ ආදරය ගැබ් ව තිබුණේ මා පෙර කී බර සුසුම්වල ය. ඒ සුුසුම් බරට බොරැල්ල කනත්තේ අහස හැඬුම්බර වූ බව මම දුටුවෙමි.

අනුල ද සිල්වා අයෝමය ගැහැනියකි. ඊට හේතු කිහිපයක් තිබේ. ඇය සිය මතවාදය වෙනුවෙන් පෙනී සිටියේය. මතය ප්‍රකාශ කර පිළියම් අවැසි විට හැංගුණේ නැත. ඇයට එවැන්නක් අවශ්‍ය වූයේ නැත. ඊට සාක්ෂි දරන කාන්තාවෝ අපමණහ. ඊවා රණවීර, ශ්‍රියා රත්නකාර, සුමනා සපරමාදු, කරුණා පෙරේරා ඈ පුවත්පත් ලේඛිකා පරම්පරාවේ ඇය ප්‍රමුඛ සාමාජිකාවකි. ඇයගේ කුඩා ශරීරයේ උස මෙන් කිහිපගුණයක් උසැති පොත් නාමාවලිය මෙහි සටහන් කිරීම ප්‍රායෝගික නැත. ඒ අතරෙන් කෘති කිිහිපයක් පමණක් මෙහි ස්මරණය කරමි. ඒ අතර අහස් මාලිගා, උන්මත්තකයෝ, මංජේශ්වරී, මහා මුහුද මමයි වැනි ජනප්‍රිය නවකතා ඇතුළු නවකතා විශාල සංඛ්‍යාවක් සහ, දෙවියන්ගේ අඩවිය (Not without my Daughter), තුන්වෙනි බිරිඳ (Third Wife), පිළිකා වාට්ටුව (Cancer Ward), තිබ්බත දියණිය, (Daughter of Tibbatha), තිත්ත කෝපි වැනි අතිශය ජනප්‍රියත්වයට පත් වූ පරිවර්තන රැසක් ද ඇත. ඇය ලියූ කෘති අතර ළමා කතා මෙන් ම යොවුන් නවකතා ද වේ. නන්ද හා සරණ කෘතිය හා රාමා සහ දිනු යොවුන් නවකතාවලට රාජ්‍ය සාහිත්‍ය සම්මාන‍ය ලැබිණි. ස්වතන්ත්‍ර හා පරිවර්තන නවකතාකාරියක ලෙස පාඨකයන් අතර ජනප්‍රිය ව සිටි ඇය, ඊට වැඩි සමාජ භූමිකාවක කොටස්කාරියකි. පුවත්පත් කලාවට පෙම් බැඳි ඇය මාධ්‍යවේදිනී භූමිකාවේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි මුල් පෙළේ සාමාජිකාවක වූවා ය. එමෙන්ම 2017 දී ඉන්දීය රජයට අනුබද්ධිත දනවතී මෝදි- ස්ත්‍රී ශක්ති සම්මානයෙන් ද ඇය පිදුම් ලැබුවා ය.

සිය දිවිසැරිය නිමා කරන විට 82 හැවිරිදි වියේ සිටි ඇයගේ දුක සැප බෙදා ගත් ආදරණීය සැමියා කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ සම්මානිත මහාචාර්ය සිරිපාල රූපසිංහ ය. ඔවුනට දරුවන් දෙදෙනෙකි. ආසිරි දියණියත්, තරින්ද පුතණුවනුත් ඇගේ ප්‍රාණ සම දරුවන් දෙදෙනා ය. චතුමි පාරින්ද්‍යා, නෙතුකි අබිනදී, මුතූ සහ හිරු ඇගේ මුනුබුරු මිනිබිරියන් හතර දෙනා ය. ඇයට සිය දියණියක සේ උවැටන් කළ ප්‍රිය ලේලිය ජනිතා මානවඩු ය. ඇගේ ආදරණීය බෑනා අනිල් දිසානායක ය. මේ සියල්ලන් මැද ඈ ගෙවූයේ අතිශය සරල සහ නිරහංකාර ජීවිතයකි. කොවිඩ් 19 වැලඳී සිය ජීවිතයේ අග්ගිස්සට ගොස් නැවත පැමිණි ඈ ඒ සියල්ල අන් අයගේ දැනුම පිණිස ලියා තැබූයේ සිය අත්දැකීම් නිසා කවරකු හෝ දැනුම්වත් වේ යැයි සිතා ය. කොරෝනා වාට්ටුව කෘතිය කොරෝනා රෝගය ගැන පමණක් නොව ඒ නිසා සිදු වූ සමාජ, ආර්ථික හා දේශපාලන කැඩපතක් වැනි යැයි කිව හැක්කේ ඒ නිසා ය.

ඇය රුව කෙදිනකවත් මතකයෙන් ගිලිහී නොයනු ඇති බවට නිදසුන් වෙන්නේ ඇගේ ලිවිසැරියයි. ඒවා පරම්පරා ගණනක් පුරා පාඨක ඥානය පුළුල් කරනු ඇත. එබැවින් භෞතික කයෙන් නික්ම ගිය ද ඇගේ නාමය අමරණීය ය. ඒ අමරණීයත්වය උදා කරගැන්ම පහසු කරුණක් නොවේ. ජීවිත කාලයක් පුරා හරි හම්බු කරගත් ආදරය තුරුලු කරගෙන හිරු බැස යන සැන්දෑවේ ඈ නික්ම යද්දී හිතට සාංකාවක් දැනුණේ නොදැනුවත්වම නෙත් කෙවෙනි අග බොඳ කරමිනි.

එහෙත් ස්ථිර ලෙස ම ජීවිතය අනිත්‍ය ය.

Comments