පොත් පුවත් | සිළුමිණ

පොත් පුවත්

‘සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය’ රුසියානු භාෂාවට නැ‍ෙඟයි

ඉංග්‍රීසි පරිවර්තනය : ආචාර්ය ඩබ්ලිව්. ඒ. අබේසිංහ 
රුසියානු පරිවර්තනය : සුචිත්තා භික්ෂුණිය

සුචිත්තා භික්ෂුණිය නමින් පැවිදිව මේ වනවිට තායිලන්තයේ අයුත්ථයා හි වැඩ වාසය කරන ‘දාර්යා මිහීයෙවා’ නමැති ගිහි නම් දැරූ රුසියානු යුවතිය ආචාර්ය වික්ටෝරියා උස්තෙන්කො සමඟ එකතුව බළන්ගොඩ ආනන්ද මෛ‍ෙත්‍රය නාහිමි විසින් විරචිත ‘බුද්ධ චරිතය’ කෘතිය ‘බුද්ධ ගෝතම‘ නමින් රුසියානු භාෂාවට පරිවර්තනය කර, පසුගියදා රසිකයන් අතට පත් කළේය. 

2013 දී අටසිල් සමාදම් වූ රුසියාවේ දාර්යා මිහීයෙවා මෙ‍ෙණවිය ඉනික්බිති ‘සුචිත්තා’ නමින් සාමණේර භික්ෂුණියක ලෙස ශාසනයට ඇතුළත්ව සත් වසක් ගතවීමෙන් ඉක්බිති 2022 දෙසැම්බර් 10 වන දින ශ්‍රී ලංකාවේ ‍ගොරකානේ පිහිටි ‘සාක්‍යධිතා පුහුණු හා භාවනා මධ්‍යස්ථානයේ දී’ අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූ හ.

මෙහි දෙවන පරිවර්තිකාව මෙන් ම, මෙම කෘතියේ සංස්කාරිකාව ලෙස ද කටයුතු කර ඇති වික්ටෝරියා උස්තෙන්කො, ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරිනියක වන අතර, මොස්කව් රාජ්‍ය සේවා සහ පරිපාලන අධ්‍යයනායතනයේ, රාජ්‍ය ආර්ථික කළමනාකරණ අධ්‍යයනාංශයේ සහාය මහාචාර්යවරිය ලෙස කටයුතු කරන්නී ය. ඇය මෙම කෘතියේ රුසියානු පරිවර්තනයේ සංස්කරණය නිමා කරන ලද්දේ, ශ්‍රී ලංකාවේ වස්කඩුවේ ශ්‍රී සුභූති විහාරස්ථානයේ භාවනානුයෝගීව ගත කරමින් සිටියදී මීට වසරකට පෙර දී ය.

‘බුද්ධ චරිතය’ කෘතිය පිළිබඳ කලෙක සිට අවබෝධයෙන් සිටි මෙම පිරිස විසින් එය කෙළින් ම සිංහල භාෂාවෙන්ම රුසියානු භාෂාවට පරිවර්තනය කරවා ගැනීම පිණිස සිංහල-රුසියානු පරිවර්තකයකු සොයමින් සිටිය හ. එවැන්නකු හමු නොවීමෙන් සිත්තැවුලෙන් සිටිය දී ඔවුනට එහි ඉංග්‍රීසි පරිවර්තනය හමුවීම නිසා රුසියානු පරිවර්තනය එළිදැක්වීමේ ක්‍රියාවලිය කඩිනම් විය. මෙම කෘතියෙහි ඉංග්‍රීසි පරිවර්තනයක් නොවිණි නම්, බොහෝ විට මෙහි රුසියානු පරිවර්තනයක් සිදු නොවිය හැකිව තිබිණ. සුචිත්තා භික්ෂුණිය සහ ආචාර්ය උස්තෙන්කො විසින් සිංහල බසින් විරචිත බළන්ගොඩ ආනන්ද මෛ‍ෙත්‍රය මහනාහිමියන්ගේ ‘බුද්ධ චරිතය’ කෘතිය රුසියානු භාෂාවට නඟනුයේ එකී ඉංග්‍රීසි පරිවර්තනය පදනම් කරගෙන ය.

එහි සිංහල මුල් කෘතිය සම්පූර්ණ වශයෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරනු ලැබ තිබුණේ කලාකීර්ති, ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ විසිනි. ඉංග්‍රීසියට පරිවර්තිත හොඳම ශාස්ත්‍රීය කෘතියට හිමි රාජ්‍ය සම්මානය 2018 දී හිමිවූ එම පරිවර්තනය නිසා දැන් මෙම කෘතිය ලෝක සාහිත්‍යයේ දායාදයක් බවට පත්ව තිබේ.


 බියගම විහාරස්ථාන සහ විහාරාධිපති ස්වාමීන් වහන්සේ

කෘතිය - බියගම විහාරස්ථාන සහ විහාරාධිපති ස්වාමීන් වහන්ෙස් 
කර්තෘ - ධර්මදාස පණ්ඩිතරත්න 
ප්‍රකාශක - බියගම එක්සත් සාම සුබසාධක සමිතිය 
මිල- රු 850

සුන්දර මියෙන්මාරයේ රමණීය බොදු පුදබිම්, කුමාරතුඟු මුනිදසුන් ඇතුළු කෘති ගණනාවක් රචනා කළ ධර්මදාස පණ්ඩිතරත්න විසින් ලියන අලුත්ම කෘතිය මෙයයි. බියගම විහාරස්ථාන සහ විහාරාධිපති ස්වාමින් වහන්සේලා පාදක කරගනිමින් සම්පාදිත මෙම කෘතිය පර්යේෂණවල නිරතවන පර්යේෂකයන්ට සහ පොදු පාඨකයින්ට එකසේ ප්‍රයෝජනවත් වන ආකාරයෙන් සම්පාදනය වී ඇත. මෙය බියගම එක්සත් සාම සුබ සාධක සංගමය හෙවත් බියගම සාම විනිසුරුවරුන්ගේ එකමුතුවේ මංගල ප්‍රකාශනයකි.


බලපිටියෙන් පෑයූ සුපුන් සඳ

කෘතිය - බලපිටියෙන් පෑයූ සුපුන් සඳ 
කර්තෘ - තිලකරත්න ඕබඩගේ 
ප්‍රකාශක - කර්තෘ ප්‍රකාශන

අමරපුර නිකාය පිහිටුවා වදාළ ඤාණවිමලතිස්ස ස්වාමීන් වහන්සේ ගුණ සැමරීම සඳහා මෙම කෘතිය සම්පාදිතය. උන් වහන්සේ විසින් නිකායට හා සසුනට සිදුකළ සේවාව අධ්‍යනය කරන්නෙකුට මෙය මහඟු කෘතියකි. පිටු 23කින් යුතු කුඩා කෘතියක් වුවද අධ්‍යනය කරන්නන්ට පහසුවන ආකාරයේ තොරතුරු ඇතුළත් කර ඇති අතර සරල භාෂාවකින් රචනා කර තිබීම විශේෂත්වයකි.

Comments