බ්‍රිතාන්‍ය හිටපු අගමැති හොරෙන් ඇවිත් ලංකාව පුරා කරක් ගහපු හැටි | සිළුමිණ

බ්‍රිතාන්‍ය හිටපු අගමැති හොරෙන් ඇවිත් ලංකාව පුරා කරක් ගහපු හැටි

  • රට වටේ ගෙන ගිය රියදුරු ජනක සිළුමිණට හමුවෙයි
  • මුහුදේ නෑවා, පෙට්ටි කඩවලින් කෑවා, තැඹිලි බිව්වා
  • VVIP සංචාරකයන් පිරිසක් ලංකාවට එනවා. ඔයාට ඒ අය හැඩ්ල් කරන්න පුළුවන්ද කියලා ඇහුවා.
  • කැමරන් මහත්තයා මේ හැමතැනම ඇවිද්දේ බොහොම සාමාන්‍ය විදියටයි

මේකතාව කාටත් හොරා ලංකාවට පැමිණ මෙරට සුන්දරත්වය විඳ නැවත හොර රහසේම පිටව ගිය අපූරු හිටපු රාජ්‍ය තාන්ත්‍රික නායකයකු පිළිබඳවය. ඒ බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ඩේවිඩ් කැමරන්ය. හෙතෙම කිසිදු පෙර දැනුම් දීමකින් තොරව සාමාන්‍ය සංචාරකයකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණ දින කිහිපයක් රැඳී සිට නැවත සියරට බලා පිටව ගියේ පසුගියදාය. ඒ පිළිබඳව ආරංචිය සැලවීමත් සමඟ හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට අදාළ සංචාරයේදී ප්‍රවාහන පහසුකම් සැපයූ රියැදුරු සොයා අප ගියේ මේ පිළිබඳ තතු විත්ති සොයා බැලීමටය.

ජනක ධර්මවර්ධන නම් වූ ඔහු එමිරේට්ස් ගුවන් සේවයේ විදුලි ඉංජිනේරුවකු ලෙස සේවය කළ අයෙකි. එහි වසර 30ක කාලයක් සේවය කළ හෙතෙම කොවිඩ් සමයේ එමිරේට්ස් ආයතනයේ සේවකයන් සීමා කිරීම නිසා 2020 දෙසැම්බර් මස පෙරළා ලංකාවට පැමිණ තිබුණි.

අනතුරුව විවිධ ව්‍යාපාරවල නිරත වූ ජනක ඒ කිසිවක් සාර්ථක නොවූයෙන් සංචාරක රියැදුරෙකු හා මඟ පෙන්වන්නකු වශයෙන් කටයුතු කිරීමට යොමුවිය.

" ඒ 2021 මැද භාගය; ඒ වෙනකොට මං ගාව වෑන් එක තිබුණා. මට සිංහල භාෂාවට අමතරව ඉංග්‍රීසි, හින්දි සහ අරාබි භාෂා කතා කරන්න පුළුවන්. ඒ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න හිතාගෙන මං සංචාරක ක්ෂේත්‍රයට යොමු වුණා. මං වෙනත් රටවල ඉන්න මගේ යාළුවන්ට කතා කරලා මම මෙහෙම දෙයක් කරනවා කියලා උදවු කරන්න කිව්වා. අපේ රටේ සංචාරය කරන්න කැමැති අයට මගේ සම්බන්ධතාවය හදලා දුන්නා. ඒ විදියට ලංකාවට ඇවිත් මගෙත් එක්ක සංචාරය කළ අය මං ගැන හොඳ පැහැදීමකින් කතා කර තිබුණා. ඒ නිසා බොහෝ දෙනා ඒ අයගේ සමාජ මාධ්‍ය අතර මං ගැන තොරතුරු පින්තූර සමඟ පළ කර තිබුණා. මට සංචාරකයෙක් කතා කරලා 6.00ට එන්න කිව්වොත් මං 5.30 වෙද්දී ඒ ස්ථානයට යනවා. ඔවුන් අපේක්ෂා කරන දේවල් හැකි උපරිම අයුරින් සලසා දීමට කටයුතු කරනවා. දවසක් මං බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් කොළඹ ඉඳන් වැලිගමට ගෙනිහින් ඇරලුවා. ඒ කාන්තාව යනගමන් මගේ විස්තර කතා කළා. මාත් නොසඟවා මගේ සියලු විස්තර ඇය එක්ක බෙදා ගත්තා. ඇය මා සමඟ ඉතාම කුළුපග වුණා. මගේ දුරකතන අංකයත් ලිපිනයත් ඉල්ල ගෙන බැහැලා ගියා." ජනක ධර්මවර්ධන පවසන්නේය.

" ඊට ටික දවසකට පස්සේ මට මැසේජ් එකක් ලැබුණා. වී.වී.අයි.පී සංචාරකයින් පිරිසක් ලංකාවට එනවා. ඔයාට ඒ අය හැඩ්ල් කරන්න පුළුවන්ද කියලා. “ඔව්, මට පුළුවන් කියලා මං ඇයට කිව්වා. නමුත් ඒ අය කවුද කියල මට කිව්වේ නැහැ. ඔවුන් එන්නේ හෙට නම් අද රෑ මට කතා කරල ,ජනක ඔයා දන්නවද හෙට කවුද ලංකාවට එන්නෙ කියලා? ඒ වෙන කවුරුවත් නෙමෙයි හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් තමයි එන්නෙ. මං එයාට ඔයා ගැන ඔක්කොම විස්තර දීලා තියෙන්නේ. ස්කොට්ලන්ඩ්යාඩ් එකේ ආරක්ෂකයින් ඔයාට කතා කරාවි. ඔයාට කරන්න ඕන දේවල් එයාලා කියාවි. කැමරන් එන්නේ සේද මාවතෙන්(silk rute).ඔයා එතෙන්ට ගිහින් ආරක්ෂකයින් කියන විදියට ඒ කටයුත කරන්න" කියලා. සාමාන්‍යයෙන් සේද මාවතේ හරි රන් මාවතේ(Gold rute)හරි කරදරයක් නැතිව යන්න එන්න පුළුවන්. සේද මාවතේ එක් කෙනෙකුට එන්න ඩොලර් 50 සිට පැමිණෙන මාර්ගය අනුව විවිධ ගණන් අය කරනවා. රන් මාවතේ එනවා නම් ඩොලර් 200ක මුදලක් අය කරනවා. එන්නයි යන්නයි දෙකටම ඩොලර් 400ක් අය කරනවා."

" මට බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව කෝල් කර කියූ ආකාරයටම ස්කොට්ලන්ඩ්යාඩ් ආරක්ෂකයින් මට කතා කරලා මාව හම්බ වෙන්න ආවා. ඒ ඇවිත්, දැන් කැමරන් මහත්තයා ලංකාවට එනවා කියලා. ඒක කියලා ටික වේලාවකින් මගී පර්යන්තයේ සේද මාවත දිගේ හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහත්තයා සහ පවුලේ උදවිය එනවා පෙනුණා. ඉතා සුහදව කැමරන් මහතා පිළිගත් ඔවුන් එතුමන්ට මාව හඳුන්වා දුන්නා. නිරහංකාර සිනහවකින් මුව සරසාගත් කැමරන් මහත්තයා දරුවො හතරදෙනයි බිරිඳයි එක්ක මගේ වාහනේට ගොඩ වුණා. ඔවුන් මුලින්ම ගියේ ඔවුන් නවාතැන් ගැනීමට සැලසුම් කර සිටි ස්ථානයටයි. ඔවුන් එහි නිවාඩු පාඩුවේ ඉඳල දකුණු පළාතට පැමිණියා. ඒ ඇවිත් උණවටුනේ හෝටලයක නවාතැන් ගත්තා. සවස් වරුවේ ඇවිදින්න වෙරළට ගියා."

" ලංකාවේ හිටපු දින 16ක කාලය තුළ එයාලා වැඩි කාලයක් ගත කළේ වෙරළ ආශ්‍රිතව හා සතුන් බලන්නයි. කාලයක් ලෝක බලවතුන් අතර සිටිි බලවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙක් වුණත් කැමරන් මහත්තයා මේ හැමතැනම ඇවිද්දේ බොහොම සාමාන්‍ය විදියටයි.. ඔහු කොට කලිසමක් කමිසයක් හෝ ටී ෂර්ට් එකක් ඇඳගෙන උදේම ඇවිදින්න යනවා. ඒත් විදේශිකයින් හෝ ලංකාවේ අය හෝ කැමරන් මහත්තයව අඳුර ගත්තේ නැහැ. එයාගේ දරුවො හරිම ආසයි සර්ෆින් ක්‍රීඩාවට. මම එයාලව අරගෙන වැලිගම, හිරිකැටිය, මිදිගම, ආරුගම්බේ වගේ වෙරළ ආශ්‍රිත ප්‍රදේශවලට ගියා. ඒ අය හරියට විනෝද වුණා. "

" අපි උණවටුන, මිරිස්ස, සීගිරිය, උඩවලව, පින්නවල, ත්‍රිකුණාමලය ආදී හැම තැනකම ඇවිද්දා. සමහර අවස්ථාවල කැමරන් මහත්තයා වාහනේමයි හිටියේ.

දවසක් අපි ගියා අහංගම පිහිටි සංචාරක හෝටලයකට. එහි කෑමට ආප්ප තිබුණා. ජනක මොනවද මේ කෑම ජාතිය කියලා එතුමා මගෙන් විමසුවා. මේවට කියන්නේ ආප්ප කියලා මං එතුමට පැහැදිලි කළා. ඔහු ආප්ප කාලා ඒ රසයට කැමති වුණා. කොච්චර කැමති වුණාද කියනව නම් ඔහු වැඩියෙන්ම කෑවේ අාප්ප. ඒ තරම් අාප්ප ඔහුට රසවත් ආහාරයක් වුණා. එතන ගොඩක් වෙනත් සංචාරකයින් හිටියත් කැමරන් මහත්තයව ඇඳින්නෙ නැහැ."

" අපි සීගිරියෙ ගිය දවසේ එතුමා අපේ ඓතිහාසික නටබුන් දැකලා පුදුමයට පත් වුණා. මං හිතුවට වඩා ලංකාව මානව ශිෂ්ටාචාරයේ වැදගත් කේන්ද්‍රස්ථානයක් බව මේ නිර්මාණයෙන්ම පේනවා කියලා ඔහු කිව්වා. මමත් පොත පතින් ඒ පිළිබඳ තරමක් දුරට කියවා තිබූ නිසා මට ඔහු ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න අපහසු නොවුණත් තව තවත් මේ පිළිබඳව දැනුම්වත් වීම වැදගත් බව මේ ගමන නිසා මට අවබෝධ වුණා.

ඔවුන් උඩවලවෙදි අලි දැකලා හරිම සතුටට පත් වුණා. එයාලා සෆාරිවලට එතරම් කැමත්තක් දැක්වූයේ නැහැ. මං ඇහුව්වම "සත්තු ඒ විදියට හිර කරල බලන්න අකමැති බව" පැවසුවා. ඒ අයට ඒ අයගේ නිදහසේ ඉන්න දෙන එක තමයි හොඳම දේ කියලා කිව්වා. එහෙම හිර කරල ඉන්න සතුන් දකිද්දි සතුටක් නෙමෙයි කනගාටුවක් ඇති වන බව ඒ මහත්තයා කිව්වා. "

" උඩවලව ඇත් අතුරු සෙවණට මා ඔවුන් සමඟ ගියා. අලි පැටව් පනහක් විතර එතනට ඇවිත් තිබුණා. විනාඩි දහයක් යන්න කලින් කෝටුවලින් ගගහ අලි ටික කැළය ඇතුළට එලෙව්වා. කැමරන් මහත්තයා සහ පවුලේ උදවිය ඒ වෙලාවේ ගොඩාක් දුකට පත් වුණා. මොකද අලි පැටවු හුරතලෙන් දඟලන විදිය බලාගෙන ඒ අය ගොඩක් සතුටින් හිටියේ. ඔවුන්ට ඡායාරූප කිහිපයක් ගන්නවත් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඊට කලින් පැටවු ටික ඇතුළට එලෙව්වා. එතුමා මගෙන් අහනවා මොකක්ද ප්‍රශ්නය ඇයි ඒ අයට ඒ විදියට සලකන්නේ කියලා. මං නිරුත්තර වුණා. ඒ පාර මං එතන හිටපු වන ජීවි නිලධාරියකුගෙන් ඒ ගැන විමසුවාම කිව්වේ සත්තු මිනිස්සුන්ට හීලෑ වුණාම උන්ගේ ස්වභාවික ගති ස්වභාවයන් වෙනස් වෙනව කියලයි. ඇත්තටම ඒ සත්තු හිටියේ අපට මීටර් සීයක් විතර දුරකින්. ඉතිං කොහොමද ඒ අය මිනිස්සුන්ට හීලෑ වෙන්නේ.

අපි ආරුගම්බේ ගිය ගමනෙදිත් එයාලා ගොඩාක් සතුටින් ගත කළා. මුහුදේ නෑවා. පෙට්ටි කඩවලින් කෑවා. තැඹිලි බිව්වා. මේ හැම ගමනකදිම කැමරන් මහත්තයා පුරුද්දක් විදියට හැමදාම උදේ හවස ඇවිදින්න ගියා. ඔවුන් වැඩි කාලයක් ගත කළේ දකුණු පළාතේ. ඒ හිටපු හැම දවසකමත් මං දැක්කා ඔහු ඇවිදින්න යනවා.

" කැමරන් මහත්තයා ඇතුළු පවුලේ උදවිය ලංකාවේ හිටපු කාලය තුළ ඉතාම විනෝදයෙන් ගත කළ බව කියන්න පුළුවන්. ඔවුන් යන්න කලින් ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා මුණගැසුණා. එතෙක් ඔහු මෙහි පැමිණ සිටි බවක් එතුමා දැන සිටියේ නැහැ. කලින් දැනුම්වත් කර පැමිණියා නම් විශේෂ ආරක්ෂාවක් සහිතව ඒ කාලය ගත කරන්න අවස්ථාව සලසා දෙන්න හැකිවන බව ජනාධිපතිවරයා පවසා තිබුණා. කැමරන් මහත්තයා යන දවසේ කටුනායකදි ඔවුන් ගමන් කළ රථයට ඉදිරියෙන් ආරක්ෂක රථ පෙළක් ගමන් කරවා රාජකීය ගෞරවය ලබාදෙන්න එතුමා කටයුතු කර තිබුණා. ඒ යන්න කලින් කැමරන් මහත්මයා දේව් නැමැති දමිළ ජාතිකයකු හමු වුණා. මේ ගමනෙදී ජනාධිපතිවරයා හැරුණු කොට එතුමා මුණගැසුණු එකම පුද්ගලයා වුණේ ඔහු පමණයි."

" මේ ගමනෙදි කැමරන් මහත්තයා අඳුරගත්ත එකම පුද්ගලයා වුණේ ගුවන් තොටුපළේ ආගමන විගමන නිලධාරියා පමණයි කියලා එතුමා මට එතුමව හඳුන්වා දුන් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවට පවසා තිබුණා. සාමාන්‍ය මගියෙක් විදියට ශ්‍රී ලංකාවට ආපු මහා බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍යවරයා සාමාන්‍ය මගියෙකු විදියටම මගී පර්යන්තයෙන් සිය රට බලා ගමන් කළා. ඒ යන්න කලින් මට ගොඩක් ප්‍රශංසා කළා. පුංචි තෑග්ගකුත් දුන්නා. මං හිතන්නේ ඒ මං මගේ සේවය හැකි උපරිමයෙන් සිදු කළ නිසයි."

" මේ විදියට විදේශිකයින් ලංකාවට ආවම ඔවුන් විඳින ඇතැම් දුෂ්කරතා පිළිබඳව නොකියාම බැහැ. විශේෂයෙන්ම වැසිකිළි කැසිකිළි පහසුකම් ඉතාම නරක තැනක තියෙන්නේ. ත්‍රිකුණාමලයේ පිහිටා තිබෙන පිජන් අයිලන්ඩ් එකට යන්න රු 25,000ක් පමණ අය කරනවා. ඊට අමතරව බෝට්ටුවලට වෙනම මුදලකුත් ගෙවනවා. නමුත් දූපතට ගියාම කිසිම පහසුකමක් නැහැ. ඔවුන්ට මූත්‍රා කරන්න ඕන වුණොත් යන්න තැනක් නැහැ. ඔවුන්ට ඒ සඳහා යන්න වෙන්නේ පඳුරක් අස්සට. මේතරම් විය පැහැදම් දරාගෙන මේවගේ තත්ත්වයක් උදා වුණාම ඒ අය ආයි ලංකාවට ඒවිද. කාටවත් කියාවිද ලංකාව හොඳ රටක් එහේ සංචාරය කරන්න කියලා. ඒ වගේම තමයි මේ වෙද්දී විදේශිකයන් විසින් පවත්වාගෙන යන සංචාරක නිකේතන තිබෙනවා. ප්‍රවාහන පහසුකම් ලබා දෙනවා. මේ නිසා සංචාරක කර්මාන්තය මත යැපෙන විශාල පිරිසකට ආදායම් අහිමිවෙනවා. ඒ වගේම මේ නිසා අහිමි වෙන්නේ රජයට ලැබෙන බදු ආදායමයි. . මේ තත්ත්වය දකුණු පළාතේ සෑහෙන්න ව්‍යාප්තව පවතිනවා. අනෙක් අතට මේ එන විදේශිකයන්ට ලබාදෙන සංචාරක ගමනාන්තයන් නිවැරදිව සැලසුම් කිරීම ඉතාම වැදගත්. මේවගේ දේශගුණයක් තියෙන කාලෙක ඒ අනුව අදාළ සැලසුම් සකස් වෙන්න ඕන. " ජනක පවසයි.

Comments