මහ රෑ තිස්සේ කොළොම්පුරේ හ්ම් හ්ම් ගාන වරිග තුනක බකමූණෝ | සිළුමිණ

මහ රෑ තිස්සේ කොළොම්පුරේ හ්ම් හ්ම් ගාන වරිග තුනක බකමූණෝ

කුත් අගෝස්තු හතර වැනිදා රාත්‍රියේ ශ්‍රී ලංකා පක්ෂි විද්‍යා කවයේ සාමාජික සාමාජිකාවන් සියයකට ආසන්න සංඛ්‍යාවක් කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුව අසල විසල් නුග ගස යටට රැස් වූයේ අලුත්ම තාලේ ක්‍රියාකාරකමකට මුල පුරන්නටය. ඒ හමුවීමට නිමිත්ත වූයේ ජාත්‍යන්තර බකමූණු දිනයයි. ශ්‍රී ලංකාවේ කවරදාකවත් එවැනි සැමරුමක් ගැන මේ කියවන ඔබත් අසා නැතිවාට සැක නැත. එදා එතැන සිදු වූ අලුත් ක්‍රියාකාරකම ගැන අපි කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා සහ පරිසර විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ශ්‍රී ලංකා පක්ෂි විද්‍යා කවයේ සභාපති මහාචාර්ය නිහාල් දයාවංශගෙන් විමසුවෙමු. 

" ජාත්‍යන්තර බකමූණු දිනය අගෝස්තු හතරවැනිදාට යෙදිලා තිබුණත් මීට පෙර කවදාවත් ලංකාවේ එම දිනය සමරා තිබුණේ නැහැ. ලංකාවේ ජනතාව බකමූණා ගැන දන්නෙ නැති නිසා මේ දිනය වෙනුවෙන් බකමූණන් ගැන දැනුම්වත් කිරීමක් කළ යුතු යැයි අපි අදහස් කළා. ශ්‍රී ලංකා පක්ෂි විද්‍යා කවයේ එක් ක්‍රියාකාරකමක් විදිහටයි එය පවත්වන්න තීරණය කළේ. ඒ අනුව අපේ සංගමයේ සියලුම සාමාජිකයන් සහ මේ ගැන උනන්දුවක් දක්වන විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු 95 දෙනෙක් එදා රැස්වුණා. රෑ 8.30 සිට 10.30 දක්වා පක්ෂිවේදී දීපාල් වරකගොඩ මහත්මයා බකමූණන් පිළිබඳ දේශනයක් පැවැත්වුවා. එය අවසන් වුණාට පස්සේ අපි ඇහුවා කොළඹ පාරවල්වල ඇවිදලා බකමූණෝ ගණින්න කැමැති කවුද කියලා. 64 දෙනෙක් ඒකට කැමැති වුණා. ඒ අනුව අපි ඔවුන්ව කණ්ඩායම් විදිහට කොළඹ නගරයේ ස්ථාන 11කට පිටත් කළා."

බකමූණු සංගණනය සඳහා ඔවුන් තෝරා ගත්තේ නිශාචර විලෝපිකයන් වන බකමූණන් වැඩි වශයෙන් ගැවසෙන කොළඹ නගරයේ විශාල ගස් සහිත, තුරුලතා වැස්ම වැඩි ස්ථානය. ඒ අනුව විශාල ගෙවතු, විහාරමහා දේවි උද්‍යානය, කොළඹ බෞද්ධාලෝක මාවත, බොරැල්ල කනත්ත, නිදහස් චතුරශ්‍රය ආශ්‍රිතව එදින රාත්‍රී 11.30 සිට පසුදා අලුයම තුන පමණ දක්වා එම සංගණනය සිදු කෙරිණි. එහිදී කොළඹ නගරයෙන් දුඹුරු උකුසු බකමූණා, සුදු කරපටි බස්සා සහ අටු බකමූණා යන වර්ග තුනට අයත් බකමූණන් 30ක් හඳුනා ගැනීමට හැකි වූ බව මහාචාර්ය නිහාල් දයාවංශ පැවසීය. මොවුන් ශ්‍රී ලංකාවට ආවේණික නොවන දේශීය බකමූණු විශේෂ ලෙස සැලකෙන අතර, මෙරටින් මේ වන විට වාර්තා වන බකමූණු විශේෂ සංඛ්‍යාව 12කි. ඒ අතරෙන් පඬුවන් බස්සා (Serendib Scoops Owl) සහ මූකලන් බස්සා (Chestnut backed Owlet) මෙරටට ආවේණික බකමූණු දෙවර්ගයයි. කොළඹ නගරයේ ජීවත් වන බකමූණන් තිස් දෙනා වර්ග කර හඳුනා ගත්තේ කෙසේදැයි අපි මහාචාර්යවරයාගෙන් විමසුවෙමු.

"අපි හඳුනාගත් බකමූණන් දෙදෙනා සහ බස්සාගේ නාද රටාවන් තුන් විදිහක්. ඒ නාද රටාවෙන් තමයි අපි ඔවුන්ව හඳුනා ගත්තෙ. සාමාන්‍යයෙන් බකමූණන් වැඩිපුර නාද කරන්නේ ඔවුන්ගේ ප්‍රජනන අවදියේදී. මේ ඒ කාලය නොවන නිසා හඬ ටිකක් අඩුයි. නමුත් එදා අපි ඒ වර්ග තුනේම බකමූණන් දැක්කා. සමහරු ඔවුන්ව දැකලත් තිබුණා. අටු බකමූණා හමුවෙලා තිබුණේ එක ස්ථානයක විතරයි. අනෙත් බස්සන් දෙදෙනා හැම ස්ථානයකින් වගේ දකින්න ලැබුණා. අපේ සංගණනය එදායින් අවසන් නැහැ. එදා අපි නිරීක්ෂණය කළේ තෝරාගත් කොටසක පමණයි. මේ වන විට අපි කොළඹ නගරයේ වෙනත් ප්‍රදේශවලත් මේ සංගණනය සිදු කරමින් සිටිනවා. මම විශ්වාස කරනවා තව මාස දෙකකින් පමණ කොළඹ කොයිතරම් බකමූණන් ඉන්නවා ද කියලා අපිට නිවැරැදිවම කියන්න හැකි වෙයි."

බකමූණන් පිළිබඳ නිරීක්ෂණය වැදගත් වන්නේ ඇයි දැයි යම් අයකුට සිතෙන්නට පුළුවන. ඒ ගැන මහාචාර්ය නිහාල් දයාවංශ මෙසේ කීවේය.

"ලංකාවේ ජනතාව බකමූණා කිව්වම දන්නෙ බකමූණන් අතර විශාලම බකමූණා වන උලමා කෑගැහුවොත් මරණයක් වෙනවා, අසුබ දෙයක් වෙනවා කියන මිත්‍යා මතය විතරයි. බකමූණන් පරිසර පද්ධතියට කොයිතරම් වැදගත් ද කියන්න දන්නේ බොහොම සීමිත පිරිසක් විතරයි. ඒ නිසයි ජාත්‍යන්තර බකමූණු දිනය පාවිච්චි කරලා අපි මෙවැනි ක්‍රියාකාරකමක් සිදු කළේ. ඒ මඟින් බකමූණන්ගෙන් පරිසරයට වෙන නිහඬ සේවය ගැන සහ ඔවුන්ව ආරක්ෂා කරගත යුතුයි කියන පණිවිඩය ජනතාවට දෙන්න අපට අවශ්‍ය වුණා. "

බකමූණන් පිළිබඳ වැඩිදුර විමසන්නට අප මේ කතාබහට ඇරයුම් කළේ ලංකා කුරුලු සංගමයේ ප්‍රවීණ පක්ෂිවේදී දීපාල් වරකගොඩටය. ශ්‍රී ලංකාවට ආවේණික බකමූණු දෙවර්ග අතරෙන් පඬුවන් බස්සා සොයාගනු ලැබුවේ ඔහු විසිනි. 2001 වසරේ ජනවාරි මාසයේ ඔහු පඬුවන් බස්සා සොයාගන්නා විට ශ්‍රී ලංකාවේ අවසන් වරට පක්ෂි වර්ගයක් සොයාගෙන වසර 132 ක් ගතවී තිබීම විශේෂත්වයකි. බස්සන් සහ බකමූණන් යන දෙවර්ගයේ වෙනස ගැන අපි ඔහුගෙන් විමසුවෙමු. 

"සාමාන්‍යයෙන් ශරීර ප්‍රමාණයෙන් කුඩා සතුන් බස්සන් ලෙස හඳුන්වනවා. බකමූණා කියන්නේ ශරීර ප්‍රමාණයෙන් විශාල සතුන්. බකමූණ කියන සිංහල වචනයේ අර්ථය විශාල මුහුණ බව අපි දන්නවා. "

මහාචාර්ය නිහාල් දයාවංශ ඇතුළු පිරිස සිදු කළ සංගණනයේදී බකමූණන් හඳුනා ගත්තේ ඔවුන්ගේ නාද රටාවෙන් බව කීවේය. නාද රටාව අනුව ඔවුන්ගේ වර්ගය හඳුනාගන්නා ආකාරය ගැන පක්ෂිවේදී දීපාල් වරකගොඩ මෙසේ කීවේය.

" හඬ අනුව කුරුල්ලන් හඳුනාගැනීම වසර ගාණක් තිස්සේ ප්‍රගුණ කිරීමෙන් සිදු කරන දෙයක්. ඇතැම් බකමූණන්ගේ හඬවල් එකිනෙකට ගොඩක් වෙනස්. සමහර අයගේ සමානකම් තිබෙනවා."

මහාචාර්ය නිහාල් දයාවංශ කී පරිදි බොහෝ අය දන්නේ උලමා ලෙස හඳුන්වන බකමූණා ගැන පමණි. උලමා යනු තවත් බකමූණෙක් ද? ඒ පිළිබඳ පක්ෂිවේදී දීපාල් වරකගොඩ පැහැදිලි කළේ මෙසේය.

"බොහෝ විට ගැමියන් උලමා කියලා හඳුන්වන හඬ කෙනෙක් බියවෙන යටිගිරියෙන් කෑ ගහන හඬක්. ඒ හඬ ගැහැනියකගේ විලාප හඬකට සමානයි කියලා ජනප්‍රවාදවල කියැවෙනවා. 20 වැනි සියවසේ මුල් කාලයේ මේ හඬ නිකුත් කරන සතා ගැන විවිධ මතවාද තිබුණා. ඒ සියවසේ මුල් භාගය තුළදී බ්‍රිතාන්‍ය ජාතික පක්ෂීවේදීන් කුරුල්ලන් ගැන සිදු කළ පර්යේෂණවලින් තහවුරු කොට තිබුණා මේ හඬ නිකුත් කරන්නෙ ප්‍රධාන වශයෙන් මහ බකමූණා විසින් කියලා. නමුත් වැව් රාජාලියා බිත්තර දමන කාලයට රාත්‍රිෙය්දිත් කෑ ගහන හඬේ මුල් කොටස දුර ඉඳන් ඇහෙද්දි මහ බකමූණගෙ හඬට සමානයි. ඒ හඬ ඇහෙද්දි සමහර ගැමියෝ කියනවා උලමා හඬනවා කියලා. ඒ වගේම වන බකමූණා කලාතුරකින් නඟන හඬත් මහ බකමූණාගේ හඬට තරමක් සමානයි. නමුත් උලමා නඟන විලාප හඬ සහ ගෙල සිරකරන විට හුස්ම ගන්න අපහසුවෙන් නඟන හඬ යන හඬ දෙකම මහ බකමූණාගේ කියලා ඒ පිළිබඳ මගේ දිගුකාලීන පර්යේෂණවලින් තහවුරු කළ හැකියි.

ඒ වගේම බස්සන්, බකමූණන් වැඩිපුරම හඬ නඟන්නේ ඔවුන්ගේ සක්‍රිය ප්‍රජනන සමයේදී. ඒ කියන්නේ වසරේ මුල් මාස හතරපහේදි සහ සැප්තැම්බර්, ඔක්තෝබර් මාසවලදි. ඒ වගේම ඔවුන් යම් තරමකට හඬ නඟන තවත් හේතුවක් තියෙනවා. බකමූණු සහ බකුඩු ජෝඩුවක් ඔවුන්ට ජීවත් වෙන්න, බිත්තර දාන්න, ආහාර සපයා ගන්න එක්තරා ප්‍රදේශයක් වෙන්කර ගන්නවා. ඒ ප්‍රදේශය හඳුන්වන්නේ වසම නමින්. ඒ වසම ඉතා විශාල ප්‍රදේශයක් වන අතර ඊට යාබද ඊළඟ වසම පිහිටන්නේ සෑහෙන දුරකින්. එහෙම තමන්ට අයිති වසමට තමන්ගේ වර්ගයේම වෙනත් බකමූණන්ට ගැවසෙන්න දෙන්නෙ නැහැ. වෙනත් වර්ගවල බකමූණන් ගැවසුණාට ප්‍රශ්නයක් නැහැ. ඒකට හේතුව තමන්ගෙ වර්ගයේම අය ආවොත් තමන්ට ආහාර සහ වාසස්ථාන අඩු වෙන නිසයි. ඒ නිසා වසම පිහිටුවා ගන්න වගේම ආරක්ෂා කරගන්නත් මේ සතුන් හඬ නඟනවා. ඒ වගේම හිමිදිරි පාන්දර ඔවුන් දිවා කල තමන්ගේ ලැගුම් ස්ථානයට ගියාම එතැනත් ටිකක් හඬ නඟන්න පුළුවන්. ඒ අතරින් පතර. සමහර දවස්වලට ඔවුන් හඬ නඟන්නෙම නැති තරම්"

බස්සන් සහ බකමූණන්ගෙන් පරිසර පද්ධතියට සිදු වන්නේ නිහඬ සේවයකි. රාත්‍රී කාලයේ දඩයම් කරන විලෝපීය ගණයට අයත්වන බස්සන් සහ බකමූණන් සිටින්නේ ආහාර දාමයේ ඉහළින්ම බැවින් ඔවුන් ආහාරයට ගන්නා අනෙක් සතුන්ගේ ගහන පාලනය වීම ස්වාභාවිකව සිදු වේ. බස්සන් සහ බකමූණන් වගාවට හානි කරන මීයන් සහ කුඩා කෘමි ආහාරයට ගන්නා බැවින් එයින් තමන්ට සිදුවන සේවය හඳුනාගත් අතීත ගොවියන් වෙල්යායේ තැනින් තැන පොල්පිතිවල හිස කොටස උඩට සිටින සේ සිටවා තැබුවේ රාත්‍රී කාලයේදී බස්සන් සහ බකමූණන්ට ලැඟුම් ස්ථාන සැපයීමටය.

ප්‍රවීණ පක්ෂිවේදී දීපාල් වරකගොඩගේ පැහැදිලි කිරීම් අනුව, නිශාචර විලෝපීයකු වන බකමූණන්ගේ සහ බස්සන්ගේ ඇස්වල පිහිටි විශේෂ සැකැස්ම නිසා ඉතා සියුම් ආලෝකයක් තුළ පවා ඉතා හොඳ දෘෂ්ටියක් හිමි අතර සෙසු පක්ෂීන්ට සහ සතුන්ට සාපේක්ෂව එය බොහෝ ඉහළය. සම්පූර්ණයෙන්ම ඉදිරියටම නෙරා ඇති ඇස් නිසා ඔවුන්ට මනා ත්‍රිමාණ දෘෂ්ටියක් ද ලැබේ. බකමූණන් සහ බස්සන්ට තියුණු ශ්‍රවණ පද්ධතියක් ඇත. එය වඩාත් තීව්‍ර වන්නේ මුහුණු තලයේ පිහාටු සැකැස්ම නිසාය. ඔවුන්ට සිරුර හරවන්නේ නැතිව පූර්ණ දෘෂ්ටියක් සහිතව ගෙල සම්පූර්ණයෙන්ම පිටුපසට හැරවීමට හැකි වීම ද විශේෂ හැකියාවකි. වෙනත් පක්ෂීන් ඉගිලෙන විට පියාපත්වල පිහාටු අතරෙන් සුළං පිටවීමෙන් ශබ්දයක් පිටවූවත් බස්සන්ට සහ බකමූණගේ පියාපත්වල පිහාටුවල ඇති විශේෂ සැකැස්මෙන් එවැනි ශබ්දයක් නිකුත් නොවේ. රාත්‍රී කාලයේ දඩයමේ යෙදෙන ඔවුන්ට නිහඬවම ගොදුර වෙත ළංවීමට එය මනා පහසුවකි. සාමාන ්‍යෙන් බස්සන් සහ බකමුණන්ගේ ගැහැනු සතා පිරිමි සතාට වඩා ප්‍රමාණයෙන් විශාලය.

පරිසර පද්ධතියට නිහඬ සේවයක් කරන බස්සන් සහ බකමූණන් විනාශ වීමට ප්‍රධාන හේතුව ලෙස මහාචාර්ය නිහාල් දයාවංශ සඳහන් කළේ කොළඹ නගරයේ විශාල ගස් ක්‍රමයෙන් අඩු වීමෙන් බස්සන් සහ බකමූණන්ට වාසස්ථාන අහිමි වන බවයි. එම නිසා විශාල ගස් සහිත ගෙවතු පවත්වා ගෙන යෑම, වනාන්තර විනාශ නොකිරීම සහ කොළඹ නගරය තුළ උද්‍යාන පවත්වා ගෙන යෑම අවශ්‍ය බව ද ඔහු සිහිපත් කළේය. එමෙන්ම රසායනික ද්‍රව්‍යවලින් ද බස්සන් සහ බකමූණන්ට විශාල බලපෑමක් එල්ල වන බව කී ඔහු ඇතැම් අය මීයන් විනාශ වීමට දමන විෂ වර්ග හේතුවෙන් එම මීයන් ආහාරයට ගන්නා අටු බකමූණන් විනාශ වන බව ද පැවසුවේය. වෙනත් පරිසර දූෂණ ද්‍රව්‍ය බස්සන් සහ බකමූණන්ගේ ශරීරගත වීම ඔවුන්ගේ පැවැත්මට අභියෝගයක් බව ද හෙතෙම සඳහන් කළේය.

Comments