මානසික ස්පර්ශ කිරීමක් | සිළුමිණ

මානසික ස්පර්ශ කිරීමක්

සැකය හෙවත් විචිකිච්ඡාව ගැන අපි පසුගිය සතියේ කතා කළෙමු. විචිකිච්ඡාවේ ඇත්තෙන්ම දෙගිඩියාව දනවන තත්ත්වය දෙස විමසුම් සහගත වීම තුළින් ඉතා සරලව එය හසුරුවා ගත හැකිය. ඒ උගුලට හසුනොවන්න. එය මඟහැර ඒ දෙස හොඳින් බලන්න. එය කොතරම් ශක්තිමත් දැයි දකින්න. එය පැමිණි වේලාව සහ කොපමණ වේලාවක් එය පවති ද කියා දකින්න. එය ඉවත්ව යනු දැක හුස්ම වෙත නැවත පැමිණෙන්න. 

නැගෙන සෑම බාධාවක් සඳහාම ඔබට මෙම රටාව පාවිච්චි කිරීමට පිළිවන. ඔබගේ භාවනාවට අකුල් හෙළමින් නැගෙන ඕනෑම චිත්ත ස්වභාවයක් බාධාවක් ලෙස අප සලකන බව මතක තබා ගන්න. මේවා සමහරක් ඉතා සියුම් ස්වභාවයක් දරයි. බාධාවන් විය හැකි දේ ඇතුළත් ලැයිස්තුවක් පිළියෙල කිරීම ඔබට ප්‍රයෝජනවත් වීමට පිළිවන. අනාරක්ෂිත බව, බිය, කෝපය, මානසික පීඩනය, නොරිස්සනසුලු බව හා ඉච්ඡාභංගත්වය වැනි ඍණාත්මක ස්වභාවයන් ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය.

අප සාමාන්‍යයෙන් යහපත් සේ සලකන හෝ ගරු කරන කරුණුවලට ද අදාළ බැවින්, ආශාව සහ තණ්හාව දැකගැනීම තරමක් අපහසුවනු ඇත. පරිපූර්ණත්වයට පත්වීමේ ආශාව ඔබට අත්දකින්නට ලැබෙනු ඇත. විශාල යහපතක් කිරීමේ තෘෂ්ණාව ඔබට දැනෙනු ඇත. භාවනාවේදී අත්දකින ආනන්දජනක ස්වභාවය කෙරෙහි පවා මහත් ළැදියාවක් ඔබ තුළ ගොඩ නැඟෙනු ඇත. එවන් පරහිතකාමී හැඟීම්ලින් ඈත්වීම තරමක් අසීරු කටයුත්තකි. නමුත් අවසානයේදී එය තවත් තෘෂ්ණාවක් පමණක්ම ය. එය තෘප්තිකර ආශාවක් හා යථාර්ථය මඟහරවන කූට උපක්‍රමයකි.

මේවායින් වඩාත් ම උපක්‍රමශීලී වන්නේ ඔබගේ භාවනාවට රිංගාගන්නා ධනාත්මක මානසික ස්වභාවයන්ය. සෑම සත්ත්වයෙකු කෙරෙහි ම හටගන්නා කරුණාව, සාම, ඇතුළාන්ත තෘප්තිය, අනුකම්පාව හා දයාව වැනි දේවලින් ඔබව මුදා ගැනීමට අපහසුවන අන්දමට මෙම ස්වභාවයන් රසවත් වෙයි. ඔබ මනුෂ්‍යත්වයට ද්‍රෝහි වූවා සේ දැනෙනු ඇත. මෙවන් ස්වභාවයන් ප්‍රතික්ෂේප කර, සිත් පිත් නැති රොබෝවක් වන්න කියා අපි ඔබට අවවාද නොකරමු. ඒවා තිබෙන ආකාරයටම දකින ලෙස පමණක් පවසමු. ඒවා පැමිණ පහව යයි. නොකඩවා භාවනාවේ යෙදෙන ඔබට නිරන්තරයෙන් ම මෙවන් ස්වභාවයන් හමුවනු ඇත. ඒවාට හසු නොවීම මෙහි උපායයි. හුදෙක් ම ඒවායේ පැමිණීම දැක ගැනීමයි. එය කුමක් ද? කොතරම් බලවත් ද හා කොපමණ කාලයක් රැඳෙයි ද යන්න දකින්න. එය හුදෙක්ම ඔබගේ මානසික විශ්වය තුළ ඇතිවී නැතිවී යන සංදර්ශනයක් ම පමණකි.

හුස්ම මෙන් ම මානසික ස්වභාවයන් ද පියවරෙන් පියවර සිදු වෙයි. සෑම හුස්මක්ම පටන් ගැනීමක්, මැද කොටසක් හා අවසානයකින් යුක්ත ය. සෑම මානසික ස්වභාවයකම ද උපතක්, වර්ධනයක් හා දිරායෑමක් ඇත. මේ අවස්ථාවන් පැහැදිලිව දැකීමට ඔබ උත්සාහ ගත යුතුයි. කෙසේ වෙතත් මෙය ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. සෑම සිතිවිල්ලක් හා සංවේදනයක්ම මනසේ අවිඥාන කලාපයේ (යටිසිතේ) ඉපදී පසුව උඩුසිතට පිවිසෙන අයුරු අපි දැනටමත් දැක අැත්තෙමු. සාමාන්‍යයෙන් අප මේ බව දැනගන්නේ ඒවා සවිඥානයේ මතුවී මඳ වේලාවක් එහි රැඳුණු පසුවයි. අපගේ බාධාවන් පිළිබඳව අප දැනගන්නේ ඒවායේ බැඳීමෙන් නිදහස්කර ඉවත්ව යන අවස්ථාවේදී විය හැකියි. මෙපමණ වේලාවක් අප දවල් සිහින දකිමින් සිටි බව තේරුම් යන්නේ මෙම මොහොතේදීය. එවිට සිද්ධිදාමයේ ඔබ ප්‍රමාද වී ඇති බව ඉතා පැහැදිලි කරුණකි. එය හරියටම පැන යන සිංහයාගේ වලිගයෙන් අල්ලා ගැනීමට තැත් කිරීමක් වැනි අදක්ෂ උත්සාහයකි. දරුණු මෘගයෙක් සමඟ මුහුණට මුහුණලා හමුවන්නාක් මෙන් අප බාධාවන්ට ඍජුවම මුහුණ දිය යුතුයි. උඩුසිතේ වඩා ගැඹුරු මට්ටමේ සිට නැගී එන අවස්ථාවේදීම ඒවා හඳුනා ගැනීමට අපි ඉවසීමෙන් යුතුව ඉගෙන ගනිමු.

මුලින් ම යටිසිතේ (අවිඥානයේ) හටගන්නා මෙම මානසික තත්ත්වයන් අල්ලාගැනීමට නම් ඔබගේ එළැඹි සිහිය අවිඥාන කලාපය දක්වා වර්ධනය කරගන්න. මනසේ විඥාන කොටසේ හටගන්නා දේ දකින අන්දමට අවිඥානය දැකිය නොහැකි බැවින් එය අසීරු කටයුත්තකි. නමුත් මානසික ස්පර්ශ කිරීමක් මෙන් අපැහැදිලි චලනයක් ලබා ගැනීමට ඔබට ඉගෙන ගැනීමට පුළුවන. පුහුණුවෙන් දියුණු කරගන්නා මෙම හැකියාව ගැඹුරු සමාධියේ ප්‍රතිඵලයකි. චිත්ත ස්වභාවයන්ගේ හැඟීම්වල වේගය බාල කරන චිත්ත ඒකාග්‍රතාවය යටිසිතේ නැඟෙන සෑම දෙයක්ම උඩුසිතට ඒමට පෙර දැන ගැනීමට ඔබට ඉඩ සලසා දෙයි. සිතිවිලි හා සංවේදනා උපදින අන්ධකාර ආගාධය දක්වා සිහිය පුළුල් කිරීමට සමාධිය ඔබට උපකාරී වෙයි. සමාධිය ගැඹුරු වන විට එකිනෙක වෙන්කර හඳුනාගැනීමට බුබුළු මෙන් සිතිවිලි හා සංවේදනා සෙමෙන් නැඟී එනු දැක ගැනීමට හැකියාව ඔබට ලැබෙනු ඇත. අවිඥානයේ සිට ඒවා සෙමෙන් බුබුළු නංවා මතුවී එයි. විඥානයේ මඳකට නැවතී සිට, පසුව ඒවා ඉවතට පාවී යනු ඇත.

සිහිය මානසික ස්වභාවයන් සඳහා භාවිත කිරීම සියුම් ක්‍රියාවලියකි. හැඟීම් හෝ සංවේදනා සම්බන්ධයෙන් මෙය විශේෂයෙන් සත්‍ය වේ. එනම් එහි තිබෙනවාට වඩා යමක් එයට එකතු කිරීමයි. වඩා පහසුවෙන් පවතින ප්‍රමාණයට අඩුවෙන් එයින් කොටසක් අත්දැකීම මිස මුළුමනින්ම අත්දැකීම නොවේ. ඔබ වෙහෙසෙන්නේ අඩු හෝ වැඩි නැතිව පවතින දෙය ඒ ආකාරයෙන් ම අත්දැකීමට යි. උදාහරණයක් ලෙස පාදයක වේදනාවක් සලකමු. සැබැවින්ම එහි තිබෙන්නේ ගලායන සංවේදනාවකි. නිරතුරුව වෙනස්වන එය කිසිම මොහොතක පෙර පැවති මොහොතට සමාන නැත. තැනින් තැනට ගමන් කරන අතර එහි තීව්‍රතාවය අඩු වැඩි වෙයි. වේදනාවක් ද්‍රව්‍යයක් නොවේ. එය සිදුවීමකි. ඒ හා බැඳුණු හෝ සම්බන්ධ කරන කිසිදු සංකල්පයක් තිබිය යුතු නැත. මෙම සිද්ධිය පිළිබඳව නොබිඳුණු නිර්මල දැනීම විසින්, එය හුදෙක්ම සරල ගලායන ශක්ති ධාරාවක් මිස වෙන කිසිවක් නොවන බව අත්දකියි. සිතිවිලි නැති විට ප්‍රතික්ෂේප කිරීමක් ද නැත. එය හුදු ශක්තිය පමණකි. 

භාවනා පුහුණුවේ මුල් අවදියේදීම සංකල්ප නිර්මාණයට පාදකවන අපගේ උපකල්පන පිළිබඳව නැවත වරක් සිතා බැලීම වටී. අපගේ ජීවිත කාලයේදී මානසික සංසිද්ධීන්, සංකල්ප අපට අවශ්‍ය කරන ආක­ාරය හසුරුවා ගැනීම සම්බන්ධයෙන් අප බොහෝ දෙනෙකු පාසැල් කාලයේදී දක්ෂකම් දක්වා තිබේ. අපගේ රැකියාවන්, එදිනෙදා ජීවිතයේ සාර්ථක බව, ප්‍රීතිමත් සම්බන්ධතා බොහෝවිට සංකල්ප හසුරුවා ගැනීමට අපගේ ඇති දක්ෂතාවයෙහි ප්‍රතිඵලයක් ලෙස ගත හැක. කෙසේ වෙතත් සිහිය එළඹවා ගැනීමේදී මෙම සංකල්ප නිර්මාණය තාවකාලිකව නවත්වන අපි මානසික සංසිද්ධීන්ගේ ශුද්ධ ස්වභාවය දෙසම අවධානය මුළුමනින් ම යොමු කරමු. සංකල්ප ගොඩනැඟීමට පෙර පවතින මනස අත්දැකීමට, භාවනාවේදී අපි ප්‍රයත්න දරමු.

නමුත්, එවන් සිදුවීම් මිනිස් සිත විසින් වේදනා ලෙස අර්ථ දක්වනු ලබයි. ඔබ එය "වේදනාව" කියා සිතයි. එය සංකල්පයකි. එය ලේබලයකි. සංවේදනාවට තවත් යමක් එකතු කිරීමකි. එය වටා මානසික රූපයක් ගොඩනංවන ඔබ වේදනාවේ පින්තූරයක් හා හැඩයක් දකිනු ඇත. වේදනාව සහිත පාදයේ පින්තූරයක් සුන්දර වර්ණයකින් අලංකාර කොට තිබෙනු ඔබ දකියි. මෙය ඉතා නිර්මාණශීලී හා විනෝදජනක ක්‍රියාවක් වුවද අපට අවශ්‍ය එය නොවේ. මේවා ජීවිතයේ යථාර්ථයට මූට්ටු කළ සංකල්පයන්ය. බොහෝ විට ඔබට මෙසේ සිතෙනු ඇත. "මගේ පාදයේ වේදනාවක් ඇත." "මගේ " යනු සංකල්පයකි. එය ශුද්ධ අත්දැකීමට වැඩිපුර යමක් එක්කාසු කිරීමකි.

"මම" යන්න මෙම ක්‍රියාවලියට හඳුන්වා දුන් කළ ඔබ යථාර්ථය හා යථාර්ථය දකින සිහිය අතර මානසික හිඩැසක් නිර්මාණය කරයි. මා, මගේ හා මම යන සිතිවිලිවලට ඍජු දැනීම තුළ ඉඩක් නැත. ඒවා අවස්ථාවට ද්‍රෝහිවන පිටස්තර, අතිරේක ද්‍රව්‍යයන්ය.

"මම" යන්න ක්‍රියාවලිය තුළට රැගෙන එන ඔබ වේදනාව බාර ගනියි. එය හුදෙක්ම අවධාරණය කිරීමකි. "මම" යන්න මෙහෙයුමෙන් ඉවත් කළ විට තවදුරටත් වේදනාව වේදනාත්මක නොවේ. එය ඉස්මතුවී එන ශක්ති ධාරාවක් පමණි. එය සුන්දර අත්දැකීමක් වීමට වුවද පුළුවන. "මම" යන්න ක්‍රමයෙන් එය විසින් ම ඔබගේ අත්දැකීම තුළට කාවදින බව ඔබට හැඟෙයි නම් එය හුදෙක් ම සිහියෙන් දකින්න. වේදනාව සමඟ එකතු වූ පෞද්ගලික සම්බන්ධතාවය දෙසට පූර්ණ අවධානය යොමු කරන්න.

කෙසේ වෙතත්, මෙහි සමස්ත අදහස ඉතා සරලය. නීරස වූ හෝ ආනන්දජනක වූ හෝ වේදනා සහගත වූ හෝ සෑම සංවේදනයක් ම නියම ස්වරූපයෙන් දැකීමට ඔබට අවශ්‍යයි. දූෂණය නොවූ, නියම ස්වභාවයෙන් එය පූරන වශයෙන් අත්දැකීමට ඔබට වුවමනාය. එසේ කළ හැකි එකම ක්‍රමයක් පමණක් ඇත. මෙහිදී කාලය ඉතා නිරවද්‍යව විය යුතුයි.

(භාවනාවේදී මතුවන අනුකම්පා විරහිත නියෝගයක් ගැන මීළඟ කලාපයෙන් බලාපොරොත්තු වන්න)

Comments