සති පූජාව‍ | සිළුමිණ

සති පූජාව‍

න්නා හඳුනන සමරවික්‍රම හදිසි හෘදයාබාධයකින් මිය ගිය පුවත බොහෝ දෙනා වික්ෂිප්ත වන්නට හේතු කාරණාවක් විය.

රාජ්‍ය බැංකුවක ඉහළ තනතුරක් දැරූ සමරවික්‍රම අඩි හයකටත් වඩා උස, උසට සරිලන මහතකින් ද යුතු හතර රියන් පුරුෂයෙකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගැනීමෙන් ඉක්බිතිව බැංකු සේවයට බැඳුන ද විශ්වවිද්‍යාලයෙහි දී සම්බන්ධ වූ වාමාංශික දේශපාලනයෙහි ඔහු දිගටම යෙදී සිටියේය. "බලවේගය" නමින් එවක තරුණ ජන ප්‍රසාදයක් ලබා තිබූ වාමාංශික දේශපාලන ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ සමරවික්‍රම පතපොත කියවීමෙන් දේශපාලනය පිළිබඳ පුළුල් දැනීමකින් ද යුක්ත වූයේය. සමදරා හා සමරවික්‍රමගේ සරණ බන්ධනය ද මෙම දේශපාලනයේම ප්‍රතිඵලයක් විය. දුරට දිගට අධ්‍යාපනයෙහි නියුක්ත නොවූවද අතිදක්ෂ ලේඛිකාවක වූ සමදරා නව යොවුන් වියේදීම මේ දේශපාලන දිය පහරේ පිහිනමින් සිටියාය.

මුල්ම රැකියාව ලෙස මම නිදහස් ලේඛකයකු වශයෙන් පත්තරයකට එකතු වූයෙමි. සමදරා ද සිටියේ එහි ය. ඇය අපට වඩා මඳක් වැඩිහිටි වූ බැවින් අපි කට පුරාම ඇයට අක්කා යැයි කීවෙමු. ඈ එහි පළ වූ කාන්තා පත්තරයේ ප්‍රමුඛතම ලේඛිකාව වූවාය. ඇය සම්මානලත් ලේඛිකාවකි. වරක් හෝ දෙකක් ඇය ලියූ නවකතා පොත්වලට රාජ්‍ය සම්මාන හිමි විය. ඒ වන විට සමදරාට හා සමරවික්‍රමට කටු ඔටුන්නක් බඳු පවුල් ජීවිතයක් ද කුලී නිවසක් ද අයත්ව තිබූ අතර දෙන්න - දෙපැත්තෙන් සාංචි මැද්දෙන් සේ වයස අවුරුදු හත අටක පමණ හුරු බුහුටි කෙළි පැංචියක් ද සිටියාය.

සමදරාගේ කුටුම්භය අතිශය අප්‍රිය අමනාප තැනක් බව විටින්විට කියන ලද තොරතුරුවලින් අපි වටහා ගෙන සිටියෙමු. සවස එකට පමණ පාසල හැරුණු වහාම සමදරා අක්කා තම දූ සිඟිත්ත පත්තර කන්තෝරුවට කැන්දාගෙන එයි. සවස හතර පහ වනතෙක්ම ඒ කෙළි පැටික්කිය කරදාසිවල බලිරූප අඳිමින් ද සැම දෙන අතරේම හුරතල් වෙමින්ද ඉතා ප්‍රියමනාප ජීවිතයක් ගත කළාය.

දිනක් සමරවික්‍රම සැන්දෑවේ මා සිටි බෝඩිමට හදිසියේම ගොඩ වැදුණි. එදින සති අන්ත නිවාඩු දිනයක් විය. මා සමඟ සුළු වේලාවක් තොරතුරු කතා කළ ඔහු "මට පොඩි හදිසියක් වුණා. රුපියල් දෙසීයක් දෙන්න පුළුවන්"දැයි විමසා සිටියේය. ඔහු පිළිබඳව මා තුළ ප්‍රසාදයක් නොතිබුණත් සමදරා අක්කා හා කෙළි පැටික්කිය පිළිබඳව වූ පහන් බව ඉස්මතු විය. මම ඔහුට එම මුදල දුනිමි. "ලබන ඉරිදට දෙන්නං ෂුවර් එකටම. තැන්ක්ස් මල්ලි" කියා ඔහු පිටත්ව ගියේය. එහෙත් ඊළඟ සතියේ දිනයකදී සමදරා අක්කා කියූ කතාවක් නිසා මම ඒ මුදල පිනට හැරියෙමි. ඒ කියූ ඊළග ඉරිදා දිනය කිසිදාක උදාවූයේ නම් නැත.

"ඔය බලු මිනිහා මං දන්න අඳුනන හුඟ දෙනෙක් ගෙන් ණයට සල්ලි අරං ආපහු දීලා නෑ. ඒ මිනිස්සුත් මගේ හිතවත්කමට සල්ලි දීල තියෙනවා. මේ මිනිහා ඒ වැඩේ කරන්නේම මට අපහාස කරන්න. නින්දා කරන්න. ලැජ්ජ, කරන්න." සමදරා අක්කා කීවේ මහත් කලකිරීමෙනි.

"ඒ කියන්නෙ මිස්ටර් සමරවික්‍රමට සමදරා අක්කා ගැන වෙන මොකක් හරි සැකයක් තියෙනවා වත්ද?" මම ඇසුවෙමි.

"අනේ නෑ. මං ඒ වගේ ගෑනියෙක් නොවන බව මිනිහ දන්නව. ඒත් රටේ ලෝකෙ මිනිස්සු මං ගැන දන්න එක මිනිහට පෙන්නන්න බෑ. මරණෙකට මඟුලකට ගියත් ගෑනු මිනිස්සු, කෙල්ලෝ කොල්ලෝ කතා කරන්නෙ මං එක්කනෙ. මට සිද්ධ වෙනවා ඒ තැන්වලදී මේ තමයි මගේ හස්බන්ඩ් කියල එයා සෙනඟට හඳුන්වලා දෙන්න."

සමරවික්‍රම මියගිය පුවත මා දුටුවේ පත්තරයකිනි. ඒ දුටු වහාම මම අදාළ මල් ශාලාවට ගියෙමි.

"කොයිදේත් පහසුයි මිනිය මෙතන තියෙන එක. වියදම් ගෙවනවා සමරවික්‍රමගෙ බැංකුවේ සුභසාධක සංගමෙන්." සමදරා අක්කා කීවාය.

මේ මරණය නිසා ඇය බොහෝ සතුටු වනු ඇතැයි මම පුවත්පත් වාර්තාව දුටු ගමන්ම සිතුවෙමි.

"කොයිතරම් මට වද දීපු මිනිහෙක් උනත් මල්ලි දැන් මට හිතෙනවා මායි දුවයි තනිවුණාය කියල වගේ පාළු හැඟීමක්. රණ්ඩු වෙවී හරි ගෙදර පිරිමියෙක් හිටියනෙ මෙච්චර කලක්. දැන් මේ ගෑනු අපි දෙන්නා විතරක් වුණා." මිනිය අසලට වී මා සමඟ කතා කරමින් සමදරා අක්කා එසේ කීවාය. ගෙදර සිට පිළියෙල කරගෙන පැමිණි සුදු සේපාලිකා හා වතු සුද්ද මල් ඇමිණූ දිග මල් වැළක් ගෙන ඕ එය මිනී පෙට්ටිය වටා එල්ලුවාය.

"ඇත්තටම නම් මං සුදු ඇඳන් ඉන්නෙ ඇත්තටම මරණයක් වෙච්ච හින්දා. මේ යකාගෙ මරණෙ මගේ හිතේ සිද්ධ වෙලා දැන් අවුරුදු ගණනාවක් වෙනවා. ඒ මහා අපා දුකක් වගේ වුණු ජීවිතේ මළා. ඒක තමයි ඇත්ත මරණේ." සමදරා අක්කා කීවාය.

"දුව මොනවද කියන්නේ මරණෙ ගැන" මම ඇසුවෙමි.

"අපි දැන් නිදහස් අම්මේ" කියලා ඒකි කිව්වනෙ හෙමින් සැරේ මගේ කනට ළං කරලා. හැබැයි අපි දෙන්නම තීරණේ කළා මරණෙ වැඩ ඉවර වෙනතුරු සුදු අඳින්න. ඒක මරණයක් වුණාම සිරිතනෙ." එසේ කියූ සමදරා එක්කාගේ දෙඇසේ කඳුළු ගැලූ සලකුණක් හෝ තිබේදැයි මම නොබැලුවෙමි. කොහොමටත් කළු පැහැයට හුරු තල එළලු මිනිසෙක් වූ සමරවික්‍රමගේ මිනියේ මුහුණ තද කාල වර්ණ ගැන්වී ඇති ආකාරය මම වුමනාවෙන්ම බැලුවෙමි. සමදරාගේ මුහුණේ දැඩි විඩාබර තෙහෙට්ටු බවක් පෙනේ.

සමරවික්‍රමගේ මුහුණේ කිසිදු හැඟීමක් නැත. සමදරාගේ මුහුණේ ද කිසිදු හැඟීමක් නැතුවා සේය. ඔවුන්ගේ නව යොවුන් දියණිය දිග සුදු ගවුමක් අැඳ පසෙකවූ පුටුවක හිඳගෙන සිටියාය. ඇය පියා මෙන් කාලවර්ණ නැතත් ඔහු සේ උසින් ද මහතින් ද පිරිපුන්ය. ඇගේ මුහුණ ද බැලීමි. එහිද කිසිදු විඩාබර බවක් නොවීය. පිරිපුන් යොවුන් බව ද, සුන්දර බව ද එහි සටහන්ව තිබුණි. ශෝකය නිරූපණය කිරීමට දෝ ඇය හැඳ සිටි සුදු ගවුම නිසා ඇය තවත් සුන්දරව කැපී පෙණුනාය.

"ඔයා දුකෙන් ද දුව ඉන්නේ"යි ඇගෙන් විමසිය යුතු යැයි මට සිතුණි.

"නෑ අන්කල් කිසි දුකක් නෑ. අපි දැන් නිදහස්" යයි ඇය පිළිතුරු දෙතැයි මට බිය සිතුණි.

සමරවික්‍රමගේ මිය යාමෙන් කලකට පසු සමදරා අක්කා මට හමුවූයේ මා ලියූ කෙටි කතාවක් පුවත්පතට භාර දීමට පත්තර කාර්යාලයට ගිය අවස්ථාවේය. අවුරුදු දෙකක පත්තර රස්සාවෙන් පසු මා වෙනත් රැකියාවකට ගිය ද සමදරා අක්කා දිගටම පත්තරයේ රැඳී සිටියාය.

"සමදරා අක්කට ටොප් නවකතාවක් ලියතෑහැකිනේ" මම කීමි.

"මොකක් ගැන ද, සමරවික්‍රමගෙ මරණෙ ගැන ද?" ඈ විමසුවාය.

"නෑ... නෑ... ඒ අත්දැකීම තාම අමු වැඩියිනෙ. ඔය දෙන්නාගේ පවුල් ජීවිතේ ගැන. දැන් බය නැතුව හොඳ විමසීමක් කළහැකියි නෙ." මම පැවසුවෙමි.

"මටත් ඔය කිව්වම නං හිතෙනවා. ඒත් මල්ලි මං ලිව්වොත් ඒ ගැන ඒ හැම දේකින්ම අර යකාට වදිනවානෙ. ලෝක නොදැන හිටියට ඒ යකා තිරිසනෙක් බව එළිවෙනවානෙ. පුදුමෙ කියන්නේ සමරවික්‍රමගෙ ඇත්ත ස්වරූපේ බාහිර සමාජෙ කිසි කෙනෙක් නොදන්න එකනෙ. පිටට ඌ හොඳ මාක්ස්වාදියෙක්, සමාජවාදියෙක්, උගතෙක්, විප්ලවකාරයෙක්. උසස් රස්සාවක් කරන වැදගත් බැංකු කළමනාකරුවෙක්, ඉංගිරිසි පොතපත කියවන ඉහළ සමාජෙ ආශ්‍රය කරන මිනිහෙක්. ඒ උනාට ගෙදරට ආපුහම ඌ යකෙක්. මිනිහා කොයිතරම් අගේට මේ චරිත දෙක පවත්වාගෙන ගියාද කියන එක ගැන මට නම් පුදුමයි. මම ඔය වග සමරවික්‍රමගේ නංගි එක්කත් කතා කළා. ඒ මනුස්සයා නම් ගත් කටටම කිව්වේ "ජීවත්ව ඉන්දැද්දි අක්කා ගැන බැලුවෙ නැති මිනිහෙක්. මළාට පස්සේ ඒ මිනිහාගේ නම්බුව ගැන හිතන්න ඕන නෑ අක්කෙ" කියලයි. දැන්නම් මටත් හිතෙනවා මම මොනවා හරි ලියන්න ඕනය කියල. ඒත් මල්ලි සමරවික්‍රම ජීවත්ව ඉන්නතාක් මම ඌට වෛර කළා තමයි. එතකොට මට හතුරෙක් හිටියා. හතුරා ජීවත්ව මාත් එක්ක එක වහළ යට හිටියා. සජීවී හතුරා. එතකොට සජීවී වෛරය. දැන් මට හතුරෙක් නෑ. ඌ මැරිලා. මා කාටද වෛර කරන්නේ. ගිනිකූරකින් විතරක් පත්තු කරන්න බැහැනෙ. ගිනිපෙට්ටියෙ වෙඩි බෙහෙත් පැත්තකුත් ඕනෑනේ. ඒක නැතුව ගිනිකූර පත්තු වෙන්නෙ නෑ."

Comments