සඳ මත කෙරෙන මහ බලවතුන්ගේ තරගය | සිළුමිණ

සඳ මත කෙරෙන මහ බලවතුන්ගේ තරගය

හ පොළොවේ මහ බලවතුන් අතර ඇති තරගය පෘථිවියේ සිට කිලෝමීටර් ලක්‍ෂ ගණනක් ඈතින් ඇති සඳ දක්වා ද මේ වනවිට පැතිරෙමින් තිබේ. සඳ මත සිය මුද්‍රාව තහවුරු කිරීම සඳහා මේ බලවත්තු මෑතක සිට දැඩි තරගයක නිරතව සිටිති. ප්‍රධාන වශයෙන්ම අමෙරිකාව, චීනය, ඉන්දියාව සහ රුසියාව යන රටවල් මේ වනවිට මෙම තරගයේ ඉදිරියෙන් සිටිනු දැකිය හැකි වේ.

දැන් වසර කිහිපයක සිට සඳ මත යානා ගොඩ බැස්සවීමට මෙම බලවත් රටවල් උනන්දුවක් දක්වමින් සිටිනු දැකිය හැකි වේ.

ආසියානු බලවතා වන චීනය ද දැන් මෙම තරගයේ ප්‍රධාන පාර්ශ්වයකි. අමෙරිකාව ද දශක ගණනාවකට පසු නැවතත් සඳ ගවේෂණය ගැන උනන්දුවක් දක්වන්නට පටන් ගෙන තිබේ. ඔවුන් අවසන් වරට සඳට යානයක් යැවූයේ 1972 වසරේ යි. ඒ ඇපලෝ-17 යානය යි. නාසා ආයතනයේ ඇපලෝ වැඩසටහන යටතේ මිනිසුන් සඳ වෙත ගිය අවසන් යානය එය යි. එයින් වසර 50 කට ආසන්න කාලයකට පසු දැන් නැවතත් අමෙරිකාව සඳ වෙත මිනිසුන් යවන්නට සූදානම් වෙයි. මෙවර මෙම වැඩසටහන ඔවුන් හඳුන්වා ඇත්තේ ‘ආටෙමිස්’ (Artemis) යන නමිනි.

අමෙරිකාවේ ‘ආටෙමිස්’ වැඩසටහනේ පළමු චාරිකාව ‘ආටෙමිස්-1’ පසුගිය වසරේ නොවැම්බර් 16 වැනි දින දියත් කෙරිණි. එම යානයෙහි අජටාකාශගාමීන් කිසිවකු ගමන් නොකළ අතර එහි දී සිදු කෙරුණේ අනාගතයේ අජටාකාශගාමීන් සඳ වෙත ගෙන යන යානාවල තාක්‍ෂණය යම් ආකාරයක මූලික පරීක්‍ෂාවකට ලක් කිරීමයි. මෙම යානය සඳ ආසන්නයෙන් ගමන් කිරීමෙන් පසු දෙසැම්බර් 11 වැනි දින නැවත පෘථිවියට සේන්දු විය.

‘ආටෙමිස්’ වැඩසටහනේ දෙවැනි චාරිකාව ආටෙමිස්-2 ලබන වසරේ නොවැම්බරයේ දියත් කිරීමට නියමිත ය. ආටෙමිස්-1 දී මෙන් නොව මෙහි දී අජටාකාශගාමීන් යානයේ ගමන් කරනු ඇත. නමුත් ඔවුන් සඳ මත ගොඩ බැසීමක් කරන්නේ නැත. සඳ වටා ගමන් කරමින් යම් යම් අධ්‍යයනයන් සිදු කිරීමෙන් පසු ඔවුහු නැවත පෘථිවිය බලා පැමිණෙති. අජටාකාශගාමීන් සිවු දෙනකු මෙම චාරිකාවට සහභාගි වීමට නියමිත ය.

වසර 53 කට පසු පළමු වතාවට අජටාකාශගාමීන් සඳ මත ගොඩ බසින ආටෙමිස්-3 චාරිකාව දියත් කිරීමට නියමිතව ඇත්තේ 2025 වසරේ යි. ඉතිහාසයේ පළමු වරට කාන්තාවක සහ සුදු ජාතික නොවන කෙනකු සඳ මත ගොඩ බැසීම ද මෙම චාරිකාවේ දී සිදුවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. චීනය සහ අමෙරිකාව මෙන්ම ඉන්දියාව ද මෙකල සඳ ගවේෂණය පිළිබඳ විශාල උනන්දුවකින් කටයුතු කරන පාර්ශ්වයකි. ඔවුන් ද මෙතෙක් කිසිදු රටක් නොකළ දස්කමක් කිරීමට සූදානම් වෙමින් සිටිනු පෙනේ. එනම් සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්න කලාපයට යානයක් ගොඩ බැස්සවීම යි. මෙම අරමුණ ඇතිව ඉන්දියාව මේ වනවිටත් චන්‍ද්‍රයාන්- 3 නමැති (මිනිසුන් රහිත) යානයක් අභ්‍යවකාශගත කර තිබේ.

පසුගිය ජූලි 14 වැනි දින අභ්‍යවකාශගත කෙරුණු එය අගෝස්තු 23 වැනි දින සඳෙහි එම කලාපය මත ගොඩ බැසීමට නියමිත ය. දක්‍ෂිණ ධ්‍රැව කලාපය මත යානයක් ගොඩබැස්ස වූ පළමු රට බවට පත් වීමට ඉන්දියාව උත්සාහ ගනිද්දී ඔවුන්ට දැන් රුසියාවෙන් තරගයක් එල්ල වී තිබේ. රුසියාව ද පසුගිය අගෝස්තු 10 වැනි දින ලූනා-25 නමැති යානයක් සඳ වෙත පිටත් කළ අතර එය ද ඉන්දියානු යානය ගොඩ බසින දිනවලම වාගේ සඳෙහි දක්‍ෂිණ ධ්‍රැව කලාපය මත ගොඩ බැසීමට නියමිත බව සඳහන් වේ. ඇතැම් මාධ්‍ය වාර්තාවලට අනුව ලූනා-25 අගෝස්තු 21 වැනි දින සඳ මත ගොඩ බසිනු ඇත. එය සාර්ථක වුවහොත් පළමු වරට සඳෙහි දක්‍ෂිණ ධ්‍රැව කලාපය මත යානයක් ගොඩ බැස්සවීමේ තරගයෙන් ජය ලබනු ඇත්තේ රුසියාව ය. රුසියාව සඳට යානයක් යවන්නේ වසර 47 කට පසුව වීම විශේෂත්වයකි.

කෙසේ හෝ වේවා, ඉන්දියානු යානය සාර්ථකව ගොඩ බැසීමට සමත් වුවහොත් සඳ මත යානයක් ගොඩ බැස්ස වූ සිවුවැනි රට ලෙස ඉන්දියාව ඉතිහාසයට එක් වනු ඇත. මෙතෙක් එම දස්කම කර ඇත්තේ සෝවියට් රුසියාව, අමෙරිකාව සහ චීනය පමණි. මෙම රටවලට අමතරව ජපානය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, ඊශ්‍රායලය, යුරෝපා අභ්‍යවකාශ ආයතනය, දකුණු කොරියාව වැනි පාර්ශ්ව ද සඳ ආසන්නයට යානා යවා ඇති බව මෙහි දී සිහිපත් කළ යුතුය.

අනාගතයේ සඳ මත විද්‍යාගාර ආදිය ඉදි කිරීම ද මෙම අභ්‍යවකාශ බලවතුන්ගේ අපේක්‍ෂාවකි. විශේෂයෙන් අමෙරිකාව සහ චීනය මේ සම්බන්ධයෙන් විශාල උනන්දුවකින් කටයුතු කරනු දැකිය හැකි වේ. මෙම විද්‍යාගාර ඉදි කිරීමේ දී සඳෙහි පස්ම භාවිත කිරීමට අදහස් කරන බවත්, රොබෝ මේසන්වරුන් ඒ සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන බවත් මෑතක චීනය පවසා තිබිණි. සඳ වෙත යවන මෙම රොබෝ මේසන්වරුන් නිර්මාණය කිරීමේ කටයුතු මේ වනවිටත් චීන විද්‍යාඥයන් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

2028 වන විට සඳෙහි පස් යොදා ගනිමින් එහි ගඩොල් තැනීම පටන් ගැනීමට චීනය සැලසුම් කර තිබේ.

සඳ මත ඇති ස්වාභාවික සම්පත් සොයා ගැනීම ද මේ බොහෝ රටවල අපේක්‍ෂාවකි. විශේෂයෙන් සඳ මත ජලය ඇති තැන් සොයා ගැනීමට විද්‍යාඥයන් විශාල උත්සහයක් ගනිමින් සිටිනු දැකිය හැකි වේ.

තවමත් එතරම් ගවේෂණය කර නැති දක්‍ෂිණ ධ්‍රැව කලාපයේ ජලය තිබෙන්නට බොහෝ දුරට ඉඩ ඇති බව මෙම විද්‍යාඥයන්ගේ විශ්වාසය යි. මෙම කලාපයේ සමහර ප්‍රදේශවලට කිසිදාක හිරු එළිය වැටෙන්නේ නැත. මෙම අඳුරු ප්‍රදේශවල පිහිටි ආවාට ආදිය තුළ මිදුණු ජලය තිබෙන්නට ඉඩ ඇති බව විශ්වාස කෙරේ. ඉන්දියාව, රුසියාව වැනි රටවල් මෙම දක්‍ෂිණ ධ්‍රැව කලාපය මත යානා ගොඩබස්සවමින් ගවේෂණ කටයුතු සඳහා සූදානම් වන්නේ මෙවැනි පසුබිමක් තුළ ය.

නිහාල් පීරිස්

Comments