සිරි මහ බෝධිය වඳින්න එන බැතිමතුන්ගෙන් ගසා කන රජරට පිසාචයෝ! | සිළුමිණ

සිරි මහ බෝධිය වඳින්න එන බැතිමතුන්ගෙන් ගසා කන රජරට පිසාචයෝ!

නුරාධපුරය කියූ විට අපේ මතකයට නැඟෙන්නේ අටමස්ථානයයි. ඒ වගේම අනුරාධපුර කියූ විට අපේ මතකයට නැඟෙන තවත් ඉසව්වක් නම් කලාකාමී රජරට සේවයයි ගුවන්විදුලියයි. ප්‍රේමකීර්ති ද අල්විස්, ක්‍රිෂාන්ත එරන්දක, ගුණදාස කපුගේ, කරුණාරත්න දිවුල්ගනේ, නන්දන මාරසිංහ ආදීන්ගේ කලා රජදහනක් වූයේ රජරට සේවයයි.

නිව්ටන් ගුණසේකර රජරට සේවයේ නියමුවා වූ යුගයේ මා කෝච්චියෙන් අනුරාධපුරයට ගියේ රජරට සේවයේ දෙදෙනකු හමුවීමටය. එක් අයකු වූයේ නිවුටන්ගේ පුත් ගීත් ගුණසේකරය. අනික් පුද්ගලයා රජරට සේවයේ ව්‍යාපාර කළමනාකරු වූ හේමන්ත අබේකෝන්ය. හේමන්තගේ පියා වූයේ ලංකාවේ සංගීත සංදර්ශන නිවේදන කලාවේ පුරෝගාමියාවූ නිවේදක නෙල්සන් අබේකෝන්ය. 

අනුරාධපුර ස්ටේෂමෙන් බැස ගත් මා වට කරගත්තේ ත්‍රීවිල් පිරිසකි. ඔවුන් සිතා සිටියේ මා ජයසිරි මහා බෝධිය වඳින්නට ආ බවකි. මා ගෙනගිය බෑගය බලහත්කාරයෙන් ගත් ත්‍රිරෝද රියදුරකු හැසුරුණේ ගොදුරක් ඩැහැගත් කොටියකු මෙන්ය. අනුරාධපුර ස්ටේෂමේ සිට රජරට සේවයට යන්නට ත්‍රීවිල් රියදුරු විනාඩි තිහකටත් වඩා කාලයක් ගත්තේය. රජරට සේවය නාම පුවරුව පෙනෙන මානයේ මා බැස්සවූ ත්‍රිරෝද රියදුරු අසාධාරණ ගාස්තුවක් ගෙන පලා ගියේය.

මා එනතුරු බලා සිටි රජරට සේවයේ මිතුරන් මගේ ප්‍රමාදයට කරුණු විමසීය. මගෙන් ගත් ගාස්තුව අසා ඔවුන් මවිතයට පත්විය. එවකට ජෝතිපාල තෙබුවන මෙන්ම, ගීත රචිකා නන්දා උඩවත්ත ද මෙහි විය. ටික වේලාවක් ගිය පසු රජරට සේවයේ මෙවැනි නිවේදනයක් විසුරුවා හරින ලදී.

"අනුරාධපුර නගරයට පැමිණෙන පුද්ගලයන්ගෙන් රජරට සේවයට මෙන්ම අටමස්ථාන සඳහා ඇරලවීමට නගරයේ ත්‍රිවිල් රියදුරන් අසාධාරණ ගාස්තු අය කරන බව රජරට සේවයට දැනගන්නට ලැබී ඇත. මේ ගැන විමසිලිමත්වීම හා අසාධාරණ ගාස්තු අය කළහොත් ඒ ගැන පොලිසියට දැනුම් දෙන ලෙස දැනුම් දෙනු ලැබේ."

මට මේ වසර ගණනාවකට පෙර සිදුවීම මතකයට ආවේ අටමස්ථානාධිපති හිමිගෙන් ඇමැති බන්දුලට දෝස්මුරයක් මැයෙන් පසුගියදා දිනමිණ මුල් පිටුවේ පළවූ ප්‍රවෘත්තියත් සමඟය. එම ප්‍රවෘත්තියේ සඳහන් වූයේ මෙවැන්නකි.

ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට දුම්රියෙන් පැමිණෙන බැතිමතුන්ට දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත යාමට ආරක්ෂාව සැපයීමට බැරි නම් ආණ්ඩුවේ ඇමැතිකමක් දරන්නේ කුමටදැයි අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනට දෝෂාරෝපණය කොට කළ ප්‍රකාශකයක් මෙම ප්‍රවෘත්තියට පදනම් විය.

ජය ශ්‍රී මහා බෝධීන් වහසන්සේ වැඳ පුදා ගැනීමට දුම්රියෙන් පැමිණෙන මගීන්ට එතැන් සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත යාමට ලංගම බස් රථයක් ලබා දෙන්නැයි දීර්ඝ කලක සිට ඉල්ලීම් කළත් තවමත් බස් රථයක් යොදවා නැතැයිද මේ නිසා දුම්රියෙන් පැමිණෙන මගීන්ට ත්‍රිරෝද රථවලට විශාල මුදලක් ගෙවන්නට සිදුව ඇතැයි ද උන්වහන්සේ බන්දුල ඇමතිවරයා දැනුවත් කොට ඇත.

ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට වැඩිම බැතිමතුන් පිරිසක් පැමිණෙන්නේ දුම්රියෙනි. එතැන් සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ගමන් කිරීමට කිසිදු ලංගම බස් රථයක් යොදවා නැහැ. දිගු කාලයක සිට කොයි තරම් ඉල්ලීම් කළත් ලංගම බස් රථ දුවන්න දෙන්නේ නැහැ. දුම්රිය ස්ථානයට දුම්රියක් ආපු ගමන්ම ත්‍රිරෝද රථ පෝලිමේ ඇවිත් එතන ආක්‍රමණය කරනවා. සමහර බැතිමතුන් ත්‍රිරෝද රථවලට නගින්න අකමැති වුණත් බලහත්කාරයෙන් ඒ අය ත්‍රිරෝදවලට පටව ගන්නවා. ඊට පසු ත්‍රිරෝද රථය වට ගණනාවක් ගිහින් ජය ශ්‍රී මහා බෝධියට ඒ අයව එක්කගෙන ගිහිල්ලා රුපියල් හත්සිය පනහක්, දාහක් ඒ අයගෙන් අය කරනවා. පොලිසියට පමණක් නෙමෙයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ලංගම සේවකයන්ට ඔක්කොටම මේ අය මැර තර්ජනත් එල්ල කරනවා. දෙවතාවක් සී.ටී.බී. බස් රථ ධාවනය කරන්න උත්සහ කළත් ඒ අයට කරපු පහරදීම් හේතුකොට ගෙන ඒ අයට තුවාල සිදුවූ අවස්ථාත් තියෙනවා. ඒ නිසා බැතිමතුන්ට විශාල අගතියක් වෙනවා කියන එක එන අය පැහැදිලි කරනවා. මේ ගැන දේශපාලන නායකයන්ටත් දැනුම් දී තිබෙනවා. නමුත් මේ සියලු දෙනා මට පේන්නේ මැර කණ්ඩායම්වලට බියවෙලා තිබෙනවා. දුම්රියෙන් ජය ශ්‍රී මහා බෝධිය වඳින්න එන අයට ආරක්ෂාව දෙන්න ආණ්ඩුවට බැරි නම්, අමතර බස් දාලා හරි ඒ අයට පහසුකම් දෙන්න බැරි නම් ඇමැතිකමක් කරන්නේ මොකටද කියලා මම බන්දුල ඇමැතිතුමාගෙන් අහන්න කැමැතියි.

අපට කවදත් හිතවත් පල්ලේගම හේමරතන හිමියන්ගේ ප්‍රකාශයත් සමඟ මේ ගැන එහි ගොස් විමසා බලන්නට අපට සිත්විය. 

මේ ත්‍රිරෝද රථගාල පිහිටියේ අනුරාධපුර දුම්රිය නැවතුම්පළට ඇතුළු වන ප්‍රවේශ මාර්ගයේය. එය දුම්රිය දෙපාර්තමේන්තුව සතු දේපළකි. දුම්රිය ස්ථානාධිපතිතුමා අපට පවසා සිටියේ මෙකී දුම්රිය දෙපාර්තමේන්තුව සතු භූමියේ කිසිවකුට ත්‍රිරෝද රථ ගාලකට අවසර දී නොමැති බවය. මේ ත්‍රිරෝද අනවසර රථගාල හරහා ගමන් කරන විට අපට දැනුණේ නහය කඩාගෙන යන මුත්‍රා ගඳකි. ඒ සමඟ ඇති වැටෙන් ඔබ්බට ත්‍රිරෝද රියදුරන් කොටා බෑ බත් පාර්සල්වල ඉටිකොළ, පාර්සල් එතූ පත්තර කඩදාසි උන්ඩි කර විසිකර තිබුණි. ඒවායේ ඉතිරි වූ බත් කන්නට එන ඌරුමීයන් අතර එකම ගාල ගෝට්ටියක් වූයේ කපුටන් උඩින් පැමිණ එම ඌරු මීයන්ට ප්‍රහාර එල්ල කළ නිසාය.

එතැන රටකජු රුපියල් 50/= කඩදාසි බෑග්වල අසුරමින් සිටි වෙළෙන්දකුට කිට්ටුවී ත්‍රිරෝද රථගා‍ෙල් තත්ත්වය ගැන විමසුවේ රට කජු කඩදාසි බෑග් එකක් ගෙන රට කජු එක දෙක කට තුළට විසි කරමින් ඕනෑවට එපාවට ඒ ගැන අහනවාක් මෙන්ය.

"මේ ඉන්න ත්‍රිවිල්කාරයෝ අමු මදාවියෝ ටිකක්. කොයි වෙලෙත් කුණුහරුපෙන් බැණ ගන්නවා. සුද්දෙක් ආවොත් හයර් එක ගන්න පොර කනවා. මෙතැනට අලුත් ත්‍රිවිල් හයර් දුවන්න එන්න දෙන්නෙත් නැහැ. පළවෙනි කෝච්චිය කොළඹ ඉඳන් ආපු ගමන් හතරදෙනෙක් එකතු වෙලා අරක්කු බෝතලයක් ගන්න සල්ලි එකතු කර ගන්නවා. ඊට පස්සේ කාලේ බෝතල් හතරකට දාගෙන ඉනේ ගහ ගන්නවා. ඊළඟ කෝච්චිය එනකම් ඔය කාල ගහනවා."

අපට ප්‍රශ්නයක් වූයේ මේ රෝද තුනක් උඩ සිහින ගොඩක් ඇති මදාවියන්ට එරෙහිව කිසිවකු පැමිණිලි කරන්නේ ද යන පැනයයි. අප මේ ත්‍රීවිල් නැවතුමට ටිකක් එහායින් රැකසිටි විට දැකගත හැකි වූයේ මේ ත්‍රිවිල් ස්ටෑන්ඩ් එක පෙනෙන මානයේ පිටත ත්‍රිවිල් පැමිණ මගීන් බස්සවා යන තරමට මේ ත්‍රිවිල් ජාවාරම බිහිසුණු බවය. එවැනි ත්‍රිරෝද රියැදුරකුට අත දැමූවිට ඔහු ඇස් දෙකෙන් පෙන්නුවේ ටිකක් ඉදිරිපසට එන ලෙසය.

"උඩමළුවට යන්න කීයද?"

"සෑර් රුපියල් 150/=ක් දෙන්න. ත්‍රිවිල් එකේ යන්න ඕනෙත් නෑ. ඔය පේන දුර."

"එතකොට ඔය අටමස්ථානේ නායක හාමුදුරුවෝ කියන්නේ රුපියල් 750 - 1000 ගන්නවා කියලා."

"දාහ නෙමෙයි මහත්තයා ඊයේ සුද්දෝ ජෝඩුවගෙන් ඔය එහා පැත්තේ හෝටලේකට යන්න රවුම් ගහල රවුම් ගහල රුපියල් 3000/=ක් අරන් තිබ්බා. ටුවරිස්ලට සැක හිතිලා පොලිසියට කිව්වා. ත්‍රිවිල්කාරයා කියලා හෝටලේට රුපියල් 2000/=යි මට හයර් එක 1000/=කියලා. පස්සේ පොලිසියෙන් හෝටලෙන් ඇහුවා. එයාලා එහෙම දෙයක් දන්නෙත් නැහැ."

ලංකාවේ වැඩිම වටරවුම් ගාණක් ඇති නව නගරය වන්නේ අනුරාධපුරයයි. මා අනුරාධපුරයට ගිය විට පරණ පුරුදු රජරට සේවය සොයා ගන්නත් බැරි වූයේ කඩපනහ ප්‍රදේශය වටා ඇති මේ එකකට එකක් සමාන වටරවුම් නිසාය.

ඇත්තටම මේ අනුරාධපුර ස්ටේෂමේ සිට උඩමළුවට ඇත්තේ පයින් යන දුරකි. අනුරාධපර ස්ටේෂමෙන් බලහත්කාරයෙන් මගීන් නංවා ගන්නා ත්‍රිවිල් රියැදුරන් කරන්නේ මේ එකකට එකක් සමාන වටරවුම් හරහා මගීන් එකම තැන කරකැවීමය. පුත්තලම් පාරට දාන ත්‍රිවිලය ජයන්ත මාවතෙන් දකුණට දමා රණවිරු සෑය හරහා උඩමළුවට එන විට ත්‍රිරෝද රියැදුරා මගීන්ට පෙන්වන්නේ තමන් ඉතාම කෙටි මාර්ගයෙන් මහත් දුක්ගැහැට විඳ මගියාව උඩුමළුවට සුරක්ෂිතව රැගෙන ආ බවකි.

මේ අතර උඩමළුවට පයින් යන බැතිමතුන් ඇතුළු පිරිසක් ගියේ ත්‍රීවිල් රියැදුරාට බැණ වදිමිනි. ටිකක් කිට්ටු කොට සිදුවූයේ කුමක් දැයි අසා සිටියෙමි.

"මේ පැත්තේ පික්මි - ඌබර් ත්‍රිවිල් සොයාගන්න බැරි වුණ හින්ද ස්ටේෂම ගාවින් ත්‍රිවිල් එකක නැඟල උඩමළුවට ගාණ ඇහුවා මෙන්න රුපියල් 1000ක් කියාපි. හතර දෙනෙක් ඉන්න හින්ද ගාන වැඩියි කියපුවම බහින්න දෙන්නම බෑ කිව්වා. හයර් දෙකක් මිස් වුණා කියලා රුපියල් 150/=ක් දෙනකම් මුන්ට බහින්න දෙන්නෑ කියලා."

මේ පුද්ගලයා කිව්වේ තමන් උපන්නේ අනුරාධපුරයේ බවත් මේ ත්‍රිවිල්වල එන බොහෝ පිරිස් අනුරාධපුරයේ උදවිය නොව පිටින් ආ උදවිය බවය.

"2014 උඩමළු ළඟ ඇල්ල කටුවට වල් අලි ඇවිල්ල සිරිමහ බෝධියේ තේවාව කරපු සම්බරහා මාමව මැරුවා. වල්අලි ඇවිල්ල ගහන්න ඕන මේ වගේ ගසා කන ත්‍රීවිල්කාරයන්ව."

අනුරාධපුර ස්ටේෂම අසල කඩයකට ගොඩවී කැෂියර් එකේ මැදිවියේ පුද්ගලයා අප සමඟ කතාවට එක්වූයේ අප පුවත්පතකින් බව ඉවෙන් මෙන් දැනගෙන විය යුතුය.

"පල්ලේගම හේමරතන හාමුදුරුවෝ මේ ත්‍රීවිල් ජාවාරම ගැන ඇමතිතුමාට හොඳටම දොස් කියලා තිබුණා පත්තරේ මං දැක්කා. පල්ලේගම හාමුදුරුවරු තමයි පරම්පරාවෙන්ම මේ ජය ශ්‍රී මහා බෝධිය රැක ගත්තේ. අපේ තාත්තලාගේ කාලේ කියනවා නවසිය තිස්ගණන්වල ජේමිස් අප්පු කියල කෙනෙක් මේ ශ්‍රී මහා බෝධිය කපන්න පොරෝ පාරවල් දෙකක් ගැහුවා කියලා. සිවුර ගලෝල පැත්තකට දාපු පල්ලේගම ඥානරතන හාමුදුරුවෝ තමයි පොරවට බය නැතුව ජේමිස් අප්පු මෙල්ල කර ගත්තේ. ජේමිස් අප්පු හිරේ ගිහාම ඇතුළෙදි ගහල මැරුවා. මේක මහා අනුහස් තියෙන ශ්‍රී මහා බෝධිය. මේ බැතිමතුන් ගසා කන ත්‍රීවිල්කාරයන්ට ඔය අපරාදේ මේ ආත්මෙම පල දෙනවා."

මේ කඩහිමියා අපට අපූරු තොරතුරක් ද දුන්නේය. ජේමිස් අප්පු ගැසූ පොරෝ පාරෙන් අංකුර සහිත ගැට කැබැල්ලක් විසිවී ඇත. එය දුටු දරුවකු තම නිවෙසට එය රැගෙන ගොස් නිවසේ මල්පෝච්චියක පැළ කොට ඇත.

"ඒ පැළේ තමයි දැන් ඔය ධර්මපාල මාවතේ, වීරසේකරාරාමයේ රෝපණය කරල තියෙන්නේ ඒ කාලේ."

ජය ශ්‍රී මහා බෝධිය අනුරාධපුර මහමෙවුනාවේ වැඩවසන්නේ බෞද්ධාගමිකයන්ගේ මුදුන්මල්කඩ ලෙසය. ඒ ලෝකයේ ඉපැරැණිම වෘක්ෂයයි. එපමණටම ලෝක පූජිත උතුම් වූ ශ්‍රී මහා බෝධිය බෞද්ධ සිත් සතන් තුළට ශාන්තියක් රැගෙන එමින් මහමෙවුනාවේ උඩමළුවේ වැඩ සිටී. තෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙසට මෙරටට ලද බුදුදහම සමඟ දායාද වූ ජය ශ්‍රී මහා බෝධිය වසර 2,500ක් වූ වසර පසුකරමින් අදට ද ලෝකවාසී බෞද්ධයන්ගේ සිත්සතන් පහන් කරමින් වැඩ හිඳී. එහෙත් මේ උතුම් භූමිය වන්දනාවට එන බැතිමතුන්ගෙන් ත්‍රීරෝද රියැදුරන් ගසා කෑම කෙතරම් අමානුෂික ක්‍රියාවක්ද.

අනුරාධපුර දුම්රිය ස්ථානාධිපතිවරයා කියන්නේ තමන්ගේ මේ දුම්රිය මගීන්ට වන හිරිහැර ගැන පොලිසියට පැමිණිලි කළ විට එය විභාගයට ගත් බවය.

"දෙපැත්තම පොලිසියට ගෙනාවා පැමිණිල්ල විභාග කරන්න. ආරවුලක් නොවන විදිහට කටයුතු කරන්න කියලා ත්‍රිවිල් කට්ටියට කිව්වා, සෑහෙන කාලයක් එතැන හයර් රස්සාව කරන නිසා. නමුත් ප්‍රශ්නය හරියට පොලිසියෙන් බේරුවේ නෑ. නිසි පියවරක් පොලිසියෙන් ගත්තා නම් මේ ප්‍රශ්නේ මෙච්චර දුර යන්නේ නෑ."

දුම්රිය ස්ථානාධිපතිවරයා කියන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු බස් රථයක් යොදා මහමළුව වෙත දුම්රිය මගීන් ප්‍රවාහනයට සේවාවක් ලෙස ආරම්භ කළ ද එම සේවය පවත්වාගෙන යා හැකි වූයේ දින 4ක් පමණකි.

"ත්‍රීවිල්කාරයෝ වටකරල ගහල බස් එක නැවැත්තුවා. අපි මේක සේවයක් වශයෙන් ආරම්භ කළේ. දුම්රිය නිලධාරින්ටත් තර්ජනවලට ලක්වෙන්න සිද්ධ වුණා."

අපට දැන ගැනීමට අවශ්‍ය වූයේ අනුරාධපුර පොලිසිය මේ සම්බන්ධයෙන් ගන්නා පියවරක් ගැනය. එහි උසස් නිලධාරියකු අප සමඟ පැවසුවේ දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය සමඟ ත්‍රිරෝද රියැදුරන් ගැටුම් ඇති කර ගැනීම මේ අර්බුදයට ප්‍රධාන හේතුවක් වී ඇති බවය.

මේ සම්බන්ධයෙන් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්ගෙන් ද තවදුරටත් විමසා සිටියෙමු.

ෆවුසි ප්‍රවාහන ඇමැති කාලේ අටමස්ථානේ වැඳ පුදාගන්න බස් සර්විස් එකක් තිබුණා. කොරෝනාවලින් පස්සේ ඒක නැති වුණා. ඉන්ධන අර්බුදයත් එක්ක ගොඩක් අය කෝච්චියෙන් අනුරාධපුර අටමස්ථානේ වඳින්න ආවා. මට පැමිණිලි ඇවිල්ලා තියෙනවා මූණ බලල ගණන් කියනවා කියලා. ගාණක් ඇහුවත් කියන්නෑලු. පාර හදන අය ඕමන්තෙට ගේන බස් එක ඊටපස්සේ නිකං නවත්තල තියෙන්නේ. ඒත් ඒක රූට්පර්මිට් නැති නිසා මේ වැඩේට යොදාගන්න අපහසුයි.

"ගිය සුමානේ බාරයක් ඔප්පු කරන්න බන්දුල ඇමැතිතුමා ආවම තමයි මං මේ බස් එකක් නැති චෝදනාව කළේ. මං කිව්වේ බස්, කෝච්චි, මහපාර තුනම අයිති ඇමැතිතුමා ඔබතුමාට කියලයි."

පල්ලේගම හේමරතන නාහිමියන් කියන්නේ බස් තුනහතරක් ප්‍රවාහන මණ්ඩලය යොදන්නට සූදානම් වුවත් මුලින්ම එක් බස් රථයක් සේවයට යොදවා බලන ලෙස තමන් ඉල්ලා සිටි බවය.

"මේකට පෞද්ගලික බස් අයිති අය දාන්නත් බයයි. ත්‍රිවිල් උදවිය පහර දෙන නිසා කොහොමත් දැන් ලබන 30 වැනිදා පෝය දවසෙත් අලුත් බස් සර්විස් එක පටන් ගන්න සූදානම් කරල තියෙන බව දැනගන්නට තියෙනවා."

ජයසිරි මහා බෝධිය වන්දනාමාන කරන්නට මෙරට බෞද්ධ ජනතාව අයිතිවාසිකම් ලබා ගත්තේ අවිහිංසා සටනකිනි. 1905දී අනුරාධපුර මහ දිසාපති වූ බ්‍රිතාන්‍ය ජාතික විගර්ස් වෙසක් සහ පෝය දින හැර අටමස්ථානවල රාත්‍රී 9න් පසු හේවිසි වාදනය තහනම් කළේය.

තහනම කෙසේ වුවත් 1905 අප්‍රේල් 18 වෙනිදා රුවන්වැලි මහා සෑය සහ ශ්‍රී මහා බෝධිය ඉදිරිපිට රාත්‍රී නවයෙන් පසු හේවිසි ඇතුළත්ව ශබ්ද පූජාවක් පැවැත්වීම සිදු කරන ලද බලධාරීහු වහා කඩා පැන අනුරාධපුර චෛත්‍ය සංවර්ධන සමිතියේ ලේකම් රාජපක්ෂ නොතාරිස් රාලහාමි සහ මහා බෝධි සංගමයේ ලේකම් ජයරත්න යන දෙදෙනාට ද දෝස් මුරයක් එල්ල කොට හේවිසි කණ්ඩායම ද අත්අඩංගුවට ගත්හ. මෙම කාරණය අධිකරණය හමුවට ද පමුණුවන ලද අතර, මෙම පීඩාවන්ගෙන් අධෛර්යට පත් නොවූ අනුරාධපුර බෞද්ධයන් තම ආගමික කටයුතු වඩ වඩාත් දියුණු කර ගත්තේය.

එදා මේ වන්දනාවන්ට බාධා කළේ අධිරාජ්‍යවාදීන්ය. ඒත් අද මේ වන්දනාමාන කටයුතුවලට අපේම ත්‍රීරෝද රියදුරන් කප්පම් බලහත්කාරයෙන් බෞද්ධයන්ගෙන් ගැනීම දෛවෝපගත සිදුවීමක් වී තිබේ.

දැන් අටමස්ථාන වන්දනාවට හටගෙන ඇත්තේ බස් රථයක් ගැන ප්‍රශ්නයකි. 1985 මැයි 14 වැනි දින අනුරාධපුර පූජා නගරේ 235 දෙනෙකු එල්ටීටීය විසින් මරා දමන ලද්දේ බස් රථයක් පැහැරගෙන යාමෙනි. එසේ පැහැරගෙන ගියේ පුත්තලමේ සිට හවස එළුවන්කුලමට යාමට අනුරාධපුරේ නවත්වා තිබූ බස් රථයයි. එහිදී ශ්‍රී මහා බෝධිය අසලට පැමිණි කොටි විසින් ඝාතනය කරන ලද පිරිස අතර දසසිල් මාතාවන් ඇතුළු භික්ෂූන් වහන්සේලා 14 නමක්ද විණි. මේ අතීත සිදුවීම අපට මතක් කළ නගර වැසියකු අපට කිව්වේ සිද්ධියට අදාළ සලකුණු දෙකක් අදත් දක්නට ඇති බවය. එකක් ඇත්තේ නගරයේ සිට පැමිණ විහාරගෙයට ඇතුළු වෙන තැන උළුවස්සේ වම්පැත්තේ උඩ කෙළවරේ ඇති වෙඩි පහරේ ලකුණයි. දෙවැන්න රුවන්වැලිසෑයට පිවිසෙන දොරටුව පැත්තේ බෝධියේ ඇති වෙඩි පහරේ සලකුණක් බවය.

ඒ සිද්ධිය අපට ස්මරණය කළ එකී පුද්ගලයා අපට කිව්වේ අද කොටි සිටියා නම් අනුරාධපුරයට ආවොත් මුලින්ම වෙඩි තබා මරා දැමිය යුත්තේ මේ ජාවාරම්කාර ත්‍රීවිල්කාරයන් පිරිස බවය. හඬක් නැති ජනතාව මේ ත්‍රිරෝද ජාවාරම්කරුවන් ගැන කෙතරම් වෛරයකින් පසුවන්නේ දැයි අපට එයින්ම තහවුරු විය.

Comments