මේක දීර්ඝකාලීන විලිරුදාවක ප්‍රතිඵලයක් | සිළුමිණ

මේක දීර්ඝකාලීන විලිරුදාවක ප්‍රතිඵලයක්

ගෞර ග්‍රන්ථ ඔබේ පස්වන ප්‍රබන්ධය. මේ නිර්මාණ ඇතුළෙත් ඔබ සාම්ප්‍රදායික ආකෘතිය වගේ ම ආඛ්‍යාන රටාවත් වෙනසකට ලක් කරල තියෙනවා. ඒ වගේ ම වෙනස් වස්තු බීජයක්?

මේ නිර්මාණය සඳහා පාදක වෙච්ච නිමිත්ත හමුවෙන මොහොත දක්වා මේ වස්තු බීජය පාදක කරගෙන කිසිම නිර්මාණයක් බිහි වෙලා තිබුණෙ නැහැ. නමුත් මම මේ ප්‍රබන්ධය රචනා කරන අතරවාරයේ මීට සමාන වස්තු බීජයක් පදනම් කරගත්තු නිර්මාණයක් ජනගත වුණා. ඒ තමයි 2020 වසරෙ ප්‍රකාශයට පත් කෙරුණ රූපා ශ්‍රියානි ඒකනායක විසින් රචිත ‘‘භේරුණ්ඩ කැදැල්ල’’ කෘතිය. ඒ කෘතිය මගෙ අතට ලැබෙන්නෙ 2021 වසරෙ. මම ඒ කෘතිය කියවල අවසන් වුණ ගමන්ම ඒ මහත්මියට කතා කරල කිව්ව මමත් මේ දවස්වල මේ වස්තු බීජයට ම සමාන වස්තුබීජයක් ඇසුරෙන් නිර්මාණයක් කරනවා, හැබැයි ඒක ප්‍රකාශයට පත් කෙරෙන්නෙ 2023 වසරෙ කියල. එතකොට ඒ මහත්මිය මගෙන් ඇහුවෙ ඇයි එච්චර ප්‍රමාද කරන්නෙ ඉක්මනට නිකුත් කරන්න කියලා. නමුත් මම ඒ වෙද්දි මගේ තුන්වන ප්‍රබන්ධය රචනා කරමින් හිටියා. ඒ වගේම හතරවන ප්‍රබන්ධයට සූදානමෙන් හිටියා. 

මේ ප්‍රබන්ධයට පාදක වුණු නිමිත්ත ගැන හැඳින්වීමක් කරමුද?

ඔබට මතක ඇති 2020 වසරෙ රජත පුස්තක සම්මානය වගේම ගොඩගේ ජාතික සම්මානය දිනාගත්ත යොවුන් නවකතාව පිළිබඳ මහත් ආන්දෝලනාත්මක වගේ ම අප්‍රසන්න සිදු වීමක් වුණා. මට ‘ගෞර ග්‍රන්ථ’ ප්‍රබන්ධය රචනා කරන්න නිමිත්ත පහළ වුණේ මෙන්න මේ සිද්ධිය.

ඒ නිසාම ද ඔබ මේ කෘතියෙ පිදුම ඒ ලේඛිකාවගෙ නමින් නම් කරන්නෙ...?

ඇත්තටම ඔව්. ඒ මහත්මිය හිතාමතාම ඒ වැරැද්ද කළා හෝ වැරැදීමකින් ඒක සිද්ධ වුණා වෙන්න පුළුවන්. කොහොම වෙතත් මට තවත් ප්‍රබන්ධ කෘතියක් රචනා කරන්න තරම් වටිනා වස්තු බීජයක් සපයල දුන්නෙ ඒ මහත්මිය නිසා මම මගේ පස්වන ප්‍රබන්ධය ඒ මහත්මියට පිදුවා. මං හිතන්නෙ ඒක මගේ යුතුකමක්.

ඒක එක්තරා විදියක අතුල් පහරක් කියල මම යෝජනා කළොත්?

ඒක ඉතින් අදාළ පුද්ගලයා කැමැති විදියට බාරගන්න පුළුවන්. ඔයා එහෙම හිතනවා නම් ඒ නිදහස ඔයාටත් තියෙනවා. ඔබට මතක ඇති ඔබේ ආදරණීය පළිගැනීමක් කෘතිය සම්බන්ධයෙන් අප කළ සාකච්ඡාවක දි ඒ නිර්මාණය ඇතුළෙ තවත් නිර්මාණයක් තියෙනව නේද කියල මම ප්‍රශ්න කරද්දි ඔබ කිව්ව ඒක වුවමනාවෙන් කරපු වැඩක් නෙවෙයි, කෘතියේ සන්දර්භය අනුව ගොඩනැඟුණු එකක් කියලා. හැබැයි ‘ගෞර ග්‍රන්ථ’ කෘතිය ඇතුළෙත් තවත් කෘතියක් තියෙනවා. ඒකත් ස්වයංව ම සිද්ධ වෙච්ච දෙයක් ද? ඇත්තටම නෑ. මෙවර මම ඒක වුවමනාවෙන් ම කරපු දෙයක්. හැබැයි එහෙම කරන්නෙත් සන්දර්භය ඒ තත්ත්වය ඉල්ලා හිටපු නිසා. ‘ආදරණීය පළිගැනීමක්’ කෘතියෙදි ඒක සිද්ධ වෙන්නෙ ස්වයංක්‍රියවමයි.

 ඔබේ මේ ප්‍රබන්ධය ඇතුළෙ බුද්ධිමය දේපළ මංකොල්ල කෑම දැඩි විවේචනයට ලක් කරනව වගේම සම්මාන උලෙළ නියෝජනය කරන විනිශ්චය මණ්ඩල සාමාජික සාමාජිකාවන් පවා කිසියම් විවේචනයකට ලක් කරනවා කියල මං විමසුවොත්...?

පැහැදිලිවම ඔව්... ඔබ දන්නව ඔබත් මමත් වසර ගණනාවක්ම ලංකාවෙ ජනප්‍රිය ම සහ විශාලතම සාහිත්‍ය සම්මාන උලෙළ විනිශ්චය සභා නියෝජනය කළා. ඒ වසර කිහිපය තුළ මම ලබපු අත්දැකීම් සම්භාරයෙන් අල්පයක් මේ ප්‍රබන්ධයට පාදක කරගත්තා. මොකද ප්‍රබන්ධය කියන්නෙ හුදෙක් ප්‍රබන්ධය විතරක්ම නෙවෙයිනෙ... ප්‍රබන්ධයකට අමුද්‍රව්‍ය සපයන්නෙ අපි අවට සිදුවන සිද්ධි දාම ම තමයි. ඉතින් ඒ සිද්ධි අමුණල තමයි ප්‍රබන්ධයක් රචනා කරන්නෙ.

ඔබ කැමති ද එබඳු අත්දැකීමක් දෙකක් ඉදිරිපත් කරන්න...?

පුළුවන්. හැබැයි මම පුද්ගලයගෙ නම කියන්නෙ නෑ. ඒ, මගේ මතකයෙ හැටියට 2014 වසරෙ. ඇගයීමට ලක් කළේ 2013 වසරෙ නිකුත් වුණ කෘති. මේ කෘති අතරෙ මංජුල වෙඩිවර්ධනගෙ ‘‘ආදරණීය යක්ෂණී’’ කෘතියත් තිබුණ. විනිශ්ච මණ්ඩලය අතරෙ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකුත් හිටිය. ඔහු ඍජුවම කිව්ව ඔහුට ආදරණීය යක්ෂණී කෘතිය තේරෙන්නෙ නැහැ කියල. ඒ එක්කම ඔහු මට ඒ කෘතියෙ ඡේදයක් පෙන්නල ඇහුව ‘ජයසිරි ඔයාට මේ කියන දේ තේරෙනව ද...?’ කියලා. මම කිව්ව ‘ඔව්... මට නම් තේරෙනව. මේක තේරෙන්නෙ නැතිනම් ඔයා මංජුලගෙ බත්තලංගුණ්ඩුව කියවන්න. මේ වගේම අවස්ථාවක් ඒකෙත් තියෙනව. හැබැයි එතනදි මංජුල භාවිත කරන්නෙ වෙනත් රූපක කිහිපයක්’ කියලා. ඔහු දෙවන වතාවෙ අපි හමුවෙද්දි මට කිව්ව ‘ජයසිරි... මම බත්තලංගුණ්ඩුව ආයෙ කියෙව්ව. ඔයා කියපු දේ හරි... ඒ සිදුවීම ම තමයි වෙනත් රූපක මඟින් ඉදිරිපත් කරල තියෙන්නෙ’ කියලා.

ඔබ ‘ගෞර ග්‍රන්ථ’ප්‍රබන්ධයෙ පරිච්ඡේද වෙන් කරද්දි ‘සොදුරු ආඥදායකත්වය’ යනුවෙන් පරිච්ඡේදයක් වෙන් කරනවා. ඒ පරිච්ඡේදයෙන් ඔබ පොත් ප්‍රකාශනය හා සම්බන්ධ කිසියම් සංවිධානයකට සිහින් අතුල් පහරක් එල්ල කරනව කියල මං යෝජනා කළොත්...?

සුමුදු... ඔයා හරියටම මගේ ප්‍රබන්ධය කියවගෙන තියෙනවා. මම ඒකට සරල පිළිතුරක් දෙන්නම්. හැබැයි ඒ තවත් ප්‍රශ්නයකින්. ලංකාවේ පොත් ක්ෂේත්‍රයේ සංවිධාන වෙතින් වුණත් එබඳු ආඥාදායක අවස්ථා පිළිබිඹු වෙලා නැද්ද...? ඉතින් මම කළේ එබඳු අවස්ථාවක් මගේ ප්‍රබන්ධයට පාදක කරගත්ත එක විතරයි. ඒක ප්‍රබන්ධකරුවගෙ අයිතියක්. කවුරු හරි ඒක සැබෑවක් මය කියල බාරගන්නවා නම් ඒක ඒ පුද්ගලයගෙ හරි කණ්ඩායමේ හරි අවුලක් මිසක් ප්‍රබන්ධකරුවගෙ අවුලක් නෙවෙයි.

ඔබේ අනෙකුත් ප්‍රබන්ධ වගේ ම මේ ප්‍රබන්ධය ඇතුළතත් ඔබ ආකෘතිමය වෙනසක් කරනව වගේ ම ලිංගිකත්වය පිළිබිඹු කරනවා. එබඳු අවස්ථා ඇතුළත් කරන්න ඔබ උත්සාහ කරන්නේ ඇයි කියල පාඨකයො ප්‍රශ්න කළොත්?

මේ ප්‍රශ්නෙට අදාළ පිළිතුර මීට කලින් ඔයාට වගේම තව බොහෝ අයට මම දීල තියෙනව. ඒ නිසා මම ඒ ගැන ආයෙ කියන්නෙ නැහැ. නමුත් ඔයා පොත කියවපු කෙනෙක් විදියට ඔයාට දැනෙන්න ඇති කතුවරය එබඳු අවස්ථාවක් තමන්ගෙ කෘතියට ඇතුළත් කරන්නෙ කියලා.

නෑ... මගේ ප්‍රශ්නය මේකයි. ප්‍රබන්ධය ඇතුළෙ ඔබ ඒ අවස්ථාව වෙන් කරලම ඉදිරිපත් කරනවා. මං කියන්නෙ හයිලයිට් කරල වගේ...?

ඔව්... ඔයා හරි... ඒ අවස්ථාව සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. ඒක ඔයාට නොදැනෙන්න විදියක් නෑ. මොකද ඒ තරුණ කාන්තාව ඒ අවස්ථාව ලබා දෙන්නෙ සිය කැමැත්තෙන්. ඒත් ප්‍රබන්ධයේ ප්‍රධාන චරිතය වන වියපත් පුද්ගලයා ඒක බාරගන්නෙ ඒ අර්ථයෙන් නෙවෙයි. ඔහු ඒ අවස්ථාව භාවිත කරන්නෙ ඒ තරුණ කාන්තාවගෙන් පළිගන්න අවස්ථාවක් විදියටනෙ. ඉතින් මට වුවමනා වුණා ඒ රළු බව වචනවලින් වගේම යම් රූපකයක් විදියටත් ඉදිරිපත් කරන්න. ඒ නිසා තමයි ඔබ ඔය කියන ‘හයිලයිට්’ ගතිය මතු වෙන්නෙ. එහෙම නොවුණා නම්... මං කියන්නෙ ඒ අවස්ථාව සාමාන්‍ය අවස්ථාවක් නම් මට ප්‍රබන්ධය ඇතුළෙ වුවමනා තරම් අවස්ථා තිබුණා ඒ වියපත් චරිතය තරුණ යුවළගෙ කාමරේ යතුරු සිදුරෙන් නරඹන සිද්ධි වුණත් ඉදිරිපත් කරන්න. නමුත් ඒක සාමාන්‍යය යි සහ එහෙම සිද්ධි අපි වුවමනාවටත් වඩා සාහිත්‍ය කෘති ඇතුළෙ අත්විඳල තියෙනවා. නමුත් මේ අවස්ථාව ඊට වඩා සපුරාම වෙනස්. ඔබ නැවත ඒ අවස්ථාව සිහිපත් කළොත් මම කියන දේ වැටහේවි. ඔබට මතක ඇති... මම ‘‘මතඟනා’’ කෘතියෙදිත් මේ තාක්ෂණික උපක්‍රමය භාවිත කරනවා.

ඔබ 2019 වසරෙ ඉඳල මේ දක්වා නොකඩවාම වසර පහක් තුළ ප්‍රබන්ධ පහක් ප්‍රකාශයට පත් කරනවා. අවුරුද්දක් පාසා ප්‍රබන්ධයක් කිරීම අපහසු නැද්ද?

ක්ෂේත්‍රයේ සමහර අය වගේම පාඨක ප්‍රජාවත් මගෙන් ඒ ගැන ඍජුවම ප්‍රශ්න කරල තියෙනවා. ඒ වගේ ම තැන් තැන්වලත් කතා වෙලා තියෙනවා. ඒ නිසා ඔබ ඒ ප්‍රශ්නය අහපු එක හොඳයි. ඇත්තටම ‘ගෞර ග්‍රන්ථ’ ප්‍රබන්ධයට පාදක කරගන්න වස්තු බීජය ඇරුණම අනෙක් හැම වස්තුබීජයක්ම මගේ මනසේ තැන්පත් වෙලා තිබුණෙ මීට වසර දහයකට පමණ පෙර ඉඳලා. නමුත් මට ඒ වස්තුබීජවලින් නිර්මිත ඵල මුදා හරින්න කාලයක් නැතුවයි හිටියෙ. ඔබ දන්නවා මගේ පළමු ප්‍රබන්ධය ප්‍රකාශ කරල සති දෙකක් ඉක්ම යන්නත් කලින් මම බරපතළ අනතුරකට ලක් වෙනවා.

ඒ අනතුර නිසා මම වසර දෙකකට වැඩි කාලයක් ඇඳේම ඉන්නවා. මෙන්න මේ කාලෙ තමයි මම ඔය කියපු වස්තුබීජ සියල්ලම අකුරු බවට පත් කරන්නෙ. පස්සෙ ඒව සංස්කරණය කරමින් වසරක් පාසා ප්‍රකාශයට පත් කරන්නෙ. ඒ අතර මම ‘කළු රංජිත් සුදු මිනිසෙකි’ නමින් ආපදාන කෘතියකුත් ප්‍රකාශයට පත් කළා. ඒ නිසා කවුරු හරි චෝදනා කරනවා නම් මම වසරකට එක ප්‍රබන්ධයක් ගණනෙ ප්‍රබන්ධ කළා කියල මම ඒක පිළිගන්නෙ නෑ. ඒක දීර්ඝකාලීන විලිරුදාවක ප්‍රතිඵලයක්.

අවසාන වශයෙන් මම අහන්නෙ ඔබේ කෘතියේ කවරයෙ පසු සටහන ගැන. මම පොත කියවන්න කලින් ඒ සටහන කියෙව්ව. හැබැයි පොත කියවද්දි ඒ කොටස හමු වුණේ නෑ. ඇයි මේ කෘතියට පරිබාහිර දෙබස් ඛණ්ඩයක් කවරයේ පිටුපසට එකතු කළේ?

ඔබ එහෙම සිද්ධියකට මුහුණ දුන්නා නම් ඇත්තටම මම සාර්ථකයි. මොකද මට වුවමනා වුණා එහෙම වෙනසක් කරන්න. ඒ ඇයි කියලා ඔබට අමුතුවෙන් කියන්න වුවමනා නැහැ කියල මම විශ්වාස කරනවා.

Comments