විද්‍යාඥයකු වෙන්න පෙරුම් පුරන උපතින්ම අස්ථි බිඳෙන හිත නොබි‍ෙඳන පුංචි වීරයා | සිළුමිණ

විද්‍යාඥයකු වෙන්න පෙරුම් පුරන උපතින්ම අස්ථි බිඳෙන හිත නොබි‍ෙඳන පුංචි වීරයා

සාමාන්‍ය මනුස්ස­‍ෙයකුට මුහුදීමට සිදුවන සහ නොවන අභියෝග රාශියකට මුහුණ දෙමින් ජීවිතය ජයගත් නව යොවුන් තරුණයකගේ දිරිය කතාවක අරුමය අපි ඔබට කියන්නට සිතුවෙමු. අපි ඔහු සොයා ජා ඇළ, දකුණු කුඩහකපොළ ග්‍රාමයේ පිහිටි ඔහුගේ නිවෙසට පැමිණියෙමු. අප පිළිගත් ජී. එල්. ඉනෝකා ශ්‍යාමලී තම පුතු එන තෙක් එහි රැඳී සිටින ලෙස අපට දැන්වූවාය. ඒ වන විටත් අශාන් ජනිත් දිල්ෂාන් සේනාධීර ඔන්ලයින් හරහා තම අධ්‍යාපන සාකටයුතුවල යෙදී සිටියේය. එය අවසන් කර එන තෙක් අපි ඔහුගේ මව හා කතාබහ කළෙමු.

“පුතා හම්බ වුණේ 2005 වසරේ අප්‍රේල් 15 වැනිදා බදුල්ල මහරෝහලේදි අඩු මාසයෙන්. එතකොට පුතාට මාස 6යි සති දෙකයි, හම්බ වෙනකොටත් මේ විදියට අස්ථි බිඳිලා විකෘති වෙලා තමයි හම්බ වුණේ. ඒ වෙලාවේ පුතාට හුස්ම ගන්න අපහසුතාවක් තිබුණා. ඒ නිසා දැඩි සත්කාර ඒකකයට පුතාව යොමු කළා. මාස ගණනක් ඒ විදියට ඉඳලා බේබි රූම් එකට යොමු කළා. ඊට පසුසේ මෙයාගේ කොඳු ඇට පෙළ ආශ්‍රිතව කළ සැත්කමකින් දියර ලබාගෙන ඒවා පරික්ෂාවට ලක් කළා. ඒ විදියට තමයි පුතාට තියෙන ලෙඩේ මොකක්ද කියලා හොයා ගත්තේ. “අම්මේ පුතාට පූර්ණ අස්ථි බිඳීමේ රෝගය තමයි වැළඳිලා තියෙන්නේ. බොහෝම පරිස්සමින් දරුවව බලාගන්න වෙනවා” කියලා දොස්තර මහත්තුරු කිව්වා. ඒ විදියට ටික දවසක් බදුල්ල මහ රෝහලේ තියන් ඉඳලා ටිකට් කැපුවට පස්සේ ජාඇළ නිවසට ආවා. ඒ ඇවිත් පුතාවත් අරන් රිජ්වේ ආර්යා ළමා රෝහලට එක්කගෙන ගියා. ඒ යන විටත් අස්ථි වැඩිලා තිබුණේ නැහැ. වෛද්‍යවරු පුතාව පරික්ෂා කරල බලල කිව්වා “මේ දරුවට අස්ථි බිඳෙන රෝගය තියෙන්නේ එයාගේ අස්ථි බිත්තර කටුවක් තරම් වත් ශක්තිමත් නැහැ. ඒනිසා අස්ථි සවිමත් වෙන්න එන්නත් ලබා දෙන්න ඕන; ඊට අමතරව බෙහෙත් දෙන්න ඕන ඒකට රෝහලේ නතර වෙලා ප්‍රතිකාර ලබා ගන්න වෙනවා” කියලා.

අපි පුතාව රෝහලේ නතර කරගෙන ප්‍රතිකාර ලබා ගත්තා. ඒ වෙද්දි පුතා එක්ක තවත් ළමයි 21 දෙනෙක් ප්‍රතිකාර ගත්තා. මේ රෝගය සඳහා ලබාදෙන එන්නත් පිටරටවලින් තමයි ලංකාවට ගෙන්වන්නේ. ඒ ගෙන්වන දිනය කියපුවාම අපි අදාළ එන්නත ලැබෙන්න කිට්ටු වෙනකොට ළමා රෝහලේ ගිහින් නතර වෙනවා. ඒ විදියට ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව තමයි අස්ථි බිඳෙන තත්ත්වය ගොඩක් දුරට පාලනය කර ගත්තේ. නමුත් තවමත් අස්ථි බිඳීම සම්පූරණයෙන් නතර වි නැහැ. හයියෙන් කැස්සත්, කිවිසුම් ගියත් ඉළ ඇට බිඳෙනවා. ඇඳුමක් ඇන්ඳුවත් පරිස්සමට අන්දන්න ඕන. වාඩි කළත් වඩා ගත්තත් පරිස්සමට කරන්න ඕන. කලබලේට ආවට ගියාට ඒක කරන්න බැහැ. වාහනේක වුණත් තනියම යවන්න කරන්න බැහැ. දැන් එයාට තේරෙන නිසා අස්ථි බිඳෙන තත්ත්වය එයා ගොඩක් දුරට පාලනය කරගෙන තිබෙන්නේ. කැල්සියම් පොස්පරස් ඇඟේ සමානව තියෙන්න ඕන. ඒවා අඩු වුණත් වැඩි වුණත් අස්ථි බිඳිම සිද්ධ වෙනවා. 2020ත් නහය ගාව අස්ථියක් බිඳිලා ලොකු සැත්කමක් කරන්න වුණා. ඒ විදියට අපි නොදැනුවත්ව වුණත් අස්ථි බිඳෙනවා. අස්ථි බිඳුණම පුතා වේදනාවට අඬනවා. හරිම අමාරුයි දරාගෙන ඉන්න. ඒ බිඳෙන අස්ථි යම් තරමකට සුව වෙන්න වුණත් මාස දෙක තුනක් යනවා. උස්සන්න කරන්න බැහැ. කොට්ෂීට්වල තියාගෙන හරිම පරිස්සමින් තමයි ප්‍රතිකාර සඳහා රැගෙන යන්නේ. තවමත් වෛද්‍යවරු පුතාගේ රෝගය පිළිබඳව පරික්ෂණ සිදු කරනවා. මෙයාව මේ විදියට ලොකුමහත් කර ගන්න විශාල දුකක් වින්ඳා. තවත් දරුවෙක් ගැන හිතුව නම් අපට පුතාව මේ තත්ත්වයට ගන්න බැරුව යනවා. ඒ නිසා දරුවගෙ තාත්තා එච්.එම් සේනාධීරයි මමයි කතා කරලා තීරණයකට ඇවිත් මේ සම්පත රැක ගත්තා. අද මගේ දරුපැටියා ඉන්න තත්ත්වය දිහා බලපුවාම ඒ විඳපු දුකට වඩා විශාල සතුටක් මට දැනෙනවා.

හොඳ සෞඛ්‍ය සම්පන්නව ඉපදෙන දරුවන් මහපාරේ කුණු බක්කිවල වැසිකිලි වළවල්වල, කෝච්චිවල ඇතැම් මවුවරු දරුවන් දමා යද්දී කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බැරි විකෘති වුණ දරුවෙක් පණ වගේ රැකගන්නා මවක දකින විට හිතට දැනෙන්නේ අප්‍රමාණ සතුටකි.

අශාන් ප්‍රථමික අධ්‍යාපනය ලබා ඇත්තේ මවගේ ග්‍රාමය වූ පොලොන්නරුවේ පිහිටි පො/දිඹු/ මෛත්‍රීගම ප්‍රාථමික විද්‍යාලයේදීය. එහෙත් ඔහුට වයස අවුරුදු 8ක් යන තුරුම අධ්‍යාපනය ලබාදුන්නේ මවුපියන් ය. ඒ ඔහුගේ රෝගී තත්ත්වය නිසාය. පසුව සතියකට පැය දෙකක් ගුරුවරයකු යටතේ අධ්‍යාපනය ලැබූ අෂාන් 3වන වසර වාර අවසාන විභාගයට මුහුණ දුන්නේය. ඉන් සමත් වූ අශාන් පහ වසර වන තෙක්ම සතියකට පැය දෙකක් එම ගුරුවරයා යටතේ ඉගෙන ගත් අතර වාර විභාගවලට පෙනී සිටිම සඳහා පමණක් පාසල් ගියේය. සතියකට පැය දෙකක් ඉගෙනුම ලැබුව ද ඔහු සෑම වාර විභාගයකින්ම ඉහළින්ම සමත් වී තිබුණි. 2015 වසරේ පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 162ක් ලබා අශාන් සමත් වූයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් අතරින් මුළු දිවයිනෙන්ම දෙවැනියා බවට පත් වෙමිනි. ඒ ඔහු තුළ වූ ආත්ම විශ්වාසයත් දැඩි කැපවීමත් නිසාය. ශිෂ්‍යත්වය සමත් වීමත් සමඟ රද්දොළුගම පඤ්ඤානන්ද පාසල ඔහුට හිමි වුවත් ඔහුගේ පහසුව සඳහා ඔහු ඇතුළත් වූයේ, ජා ඇළ බප/මීග/පඤ්ඤාවාස කනිෂ්ඨ ද්විතීයික විද්‍යාලයටය. 6 වසරේ සිට අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අශාන් අධ්‍යාපනය ලැබුවේ එම පාසලේ දීය. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට තිබුණේ 2021 වසරේ දෙසැම්බර් මාසයේ වුවත් විභාගය පැවැත්වූයේ 2022 මැයි සහ ජුනි මාසවලය. එසේ වුවත් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 4ක්, බී සාමාර්ථ 4ක් සහ එක් සී සාමාර්ථයක් සහිතව හෙතෙම ඉතාම උසස් ලෙස සමත් වී තිබුණි. ඒ සඳහා ඔහුට බෙහෙවින් උපකාර වි ඇත්තේ ඩීපී එඩියුකේෂන්(DP Education) යූටියුබ් අධ්‍යාපනික වැඩසටහනය. උසස් පෙළ හදාරා විශ්වවිද්‍යාලයට යෑමට ඔහුගේ බලාපොරොත්තුවක් නොවූයේ ඒ සඳහා ගතවන කාලය ඉතා විශාල නිසාය. එමෙන්ම ඩීපී එඩියුකේෂන් හරහා ඔහුට ලැබුණු මඟපෙන්වීම නිසාය.

ඔන්ලයින් අධ්‍යාපන කටයුතු අවසන් කර අශාන් සිය මවගේ ආධාරය ඇතිව සිනාවකින් මුව සරසාගෙන අප වෙත පැමිණියේය. ඔහු අද සිටින තත්ත්වය පිළිබඳව සිළුමිණ ඔහු සමඟ කතා කළේය.

“මට මේ තත්ත්වයට එන්න උදව් කළ සහ දැනටත් මාව පණ වගේ බලා ගන්න අම්මටයි තාත්තටයි පින්දෙන්න ඕන. ඒ දෙන්නගෙ කැප කිරීම නැත්තම් අශාන් කියල කෙනෙක් අද මෙතැන නැහැ. මං පොඩි කාලේ මට ජීවිතේ එපා වුණු වාර අනන්තයි. මාව ගේ ළඟ යන රේල් පාරෙන් ගිහින් තියන්න කියලා මං අම්මටයි තාත්තටයි සමහර අවස්ථාවල කියනවා. නමුත් ඒ සැම අවස්ථාවකම මාව ධෛර්යවත් කරමින් මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කරමින් මාව රැක ගන්න මගේ අම්මයි තාත්තයි විශාල වෙහෙසක් ගත්තා. අබාධිතව ඉඳලා ලෝකය ජයගත්ත විශිෂ්ට පුද්ගලයො ගැන ඒ අය මට කියලා දුන්නා. ස්ටීවන් හෝකින්, මාර්ලා රන්යාන්, හෙලන් කෙලර්, ජෝන් හොකන්බෙරි වගේ අය වගේම ජී.බී සේනානායක, බීතෝවන් වැනි අය පසුව ආබාධවලට ගොදුරු වුවත් විශිෂ්ට නිර්මාණ දායාද කරපු ආකාරය මට කියා දුන්නා.

පසුව මං මේ අයගේ ජීවිත කතා කියෙව්වා වගේම ඔවුන්ගේ දේශනවලට සවන් දුන්නා. පත්තරවල, රූපවාහිනියේ ආබාධිත අය අධ්‍යාපනය ජයගත් හැටි ගැන පළවන ප්‍රවාත්ති සහ වැඩසටහන් හොයාගෙන අම්මයි තාත්තයි මට පෙන්නුවා. පෙන්නලා “ පුතේ ඔයා විතරක් නෙමෙයි මේ අයත් ආබාධිතව ඉඳලා මේ තත්ත්වයට ඇවිත් තියෙනවා. මගේ පුතාටත් එහෙම වෙන්න පුළුවන් කියලා” මාව දිරිමත් කළා. ඒවායෙන් මගේ සිත ශක්තිමත් වුණා. ඒ ශක්තියෙන් තමයි මම මේ තරම් දුර ආවේ. සමහර අය දෙමවුපියන්ගෙන් අහනවා මොනවද ඔයාලා අපිට කරල තියෙන්නේ කියලා. ඇත්තටම මොනවද ඒ අය අපි වෙනුවෙන් නොකරන්නේ. ළමයි ඉපදුණ දවසේ ඉඳලා ඒ අයගේ සතුට කැප කරගෙන අපි වෙනුවෙන් දුක්විඳිනවා.

ඒ වගේම මං මේ අවස්ථාවේ පුංචි කාලේ ඉඳල මට ප්‍රතිකාර ලබාදීපු හා තවමත් ලබාදෙන වෛද්‍යවරුන්ට, උගන්වපු හා මේ වන විටත් අධ්‍යාපනය ලබාදෙන සියලුම ගුරු මෑණිවරුන්ට හා පියවරුන්ට ගෞරව පූර්වක ස්තූතිය පුද කරනවා. විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ විභාගය සඳහා මට අධ්‍යාපනය ලබාදුන් ගුරු මවුපියන්ව හද බැතියෙන් මෙහිදී සිහිපත් කරනවා. ඒ වගේම මගේ දෙවැනි පියා ලෙස මම සලකන ධම්මික පෙරේරා සර්වත් මේ මොහොතේදී සිහිපත් කරන්න කැමතියි. මගේ ජීවිතයේ පළමු හැරවුම් ලක්ෂ්‍යය වුණේ මගේ ශිෂ්‍යත්ව විභාගය. සාමාන්‍ය පෙළ විභාගය වන විට කොවිඩ් වසංගතය රට පුරා පැතිර ගිහින් මුළු රටම ලොක්ඩවුන් කර තිබුණා. ඒ නිසා පාසල් වසා දැමුණා. ඒ වෙද්දි ඔන්ලයින් උගන්වන්න රජය යම් යම් වැඩපිළිවෙළ යෙදුවත් ඒවා සියයට සියයක් සාර්ථක වුණේ නැහැ. ඔය අතරෙදි තමයි එක් රූපවාහිනී නාළිකාවක ධම්මික පෙරේරා මහත්තයා සමඟ පැවති සාකච්ඡාවක් මට දකින්න ලැබුණේ. ඒ සාකච්ඡාවෙදි ඩීපී එඩියුකේෂන් කියලා යූටියුබ් ෆැලැට්ෆෝර්ම් එක හරහා විකාශනය වන අධ්‍යාපනික වැඩ සටහන පිළිබඳව මට දැනගන්න ලැබුණා. එමඟින් ගණිතය විද්‍යාව ඉංග්‍රීසි කියන විෂයන් තුන ඒ වෙද්දි උගන්වන බව එතුමා එහිදී ප්‍රකාශ කර සිටියා.

මම යූටියුබ් එකට ගිහින් ඩීපී එඩියුකේෂන් කියලා සටහන් කරලා සොයා බැලුවා. එවිට මං දැක්කා හරිම හොඳට ගණිතය, විද්‍යාව හා ඉංග්‍රීසි විෂය තුන උගන්වනවා. මම ඒ විඩියෝස් බලද්දී පාසලේදී ඉගෙන ගන්න බැරි වුණ තැන්, මට අවබෝධ කරගන්න අමාරු වෙච්ච තැන් ඒ හැම එකක්ම මම ඩී.පී. එඩියුකේෂන් අධ්‍යාපනික වැඩසටහන මඟින් ඉතා හොඳින් සම්පූර්ණ කරගත්තා. එහි ප්‍රතිඵලයක් විදියට 2022 නොවැම්බර් මාසයේ ප්‍රතිඵල නිකුත් වෙද්දි මට ඒ සාමාර්ථ හතරක් බී සාමාර්ථ හතරක් සහ එක් සී සාමාර්ථයක් සහිතව සාමාන්‍ය පෙළ කඩඉම ජයගෙන තිබුණා. ඒ සඳහා මට විශාල පිටිවහලක් වුණේ ඩී.පී. එඩියුකේෂන් අධ්‍යාපනික වැඩසටහනයි. මුලින් එය ගණිතය විද්‍යාව ඉංග්‍රීසි කියන විෂයන් තුන සඳහා ප්‍රමුඛතාව ලබා දුන්නත් අද වෙද්දී විශ්වවිද්‍යාල අධ්‍යාපනය පවා සීයට සීයක් නොමිලේ ඩී.පී.එඩියුකේෂන් හරහා ලබාගන්න පුළුවන්.

මේ ආකාරයේ යූටියුබ් ෆැලැට්ෆෝම් එක හරහා මේ රටේ සුවහසක් දරු දැරියන්ට එතුමා ලබාදුන් අමිල සේවය වෙනුවෙන් ලංකාවේ සියලුම දරුදැරියන් වෙනුවෙන් මගේ ගෞරවනීය ස්තූතිය ඩී.පී. එඩියුකේෂන් නිර්මාතෘ ධම්මික පෙරේරා මහතාට පුද කරන්න කැමතියි. ඒ වගේම මට මේවගේ තැනකට එන්න මඟ පෙන්නුවේ එතුමා.

එතුමගේ මැදිහත් වීමෙන් ඩීපී එඩියුකේෂන් හා මොරටුව විශ්වවිද්‍යාලය විසින් නොමිලයේ දෙන ට්‍රේනී ෆුල් ස්ටැක් ඩිවෙලොපර් - අභ්‍යාසලාභී පූර්ණ වෙබ් අඩවි සංවර්ධනය පිළිබඳ සීමාවාසික පුහුණුව ලැබීමට අවස්ථාව ලැබුණා. ඒ පාඨමාලාව ආරම්භ වුණේ 2023 අප්‍රේල් මාසයේ. මේ වන විට එහි අධ්‍යන කටයුතුවල නිරත වෙනවා. ඔක්තෝබර් 18 ඒ පාඨමාලාව අවසන් වුණාම මෘදුකාංග ඉන්ජිනේරුවකු ලෙස සේවය කළ හැකියි. මගේ බලාපොරොත්තුව වෙබ් ඩිවලොප්මන් කෙනෙක් හා මොබයිල් ඇප් ඩිවලොප්මන් කෙනෙක් විදියට කටයුතු කරන්නයි. මේ ක්ෂේත්‍රයේ වසර පහක පමණ කාලයක් නියැළිලා ඒ අත්දැකීම් එකතු කරගෙන වසර දහයක් විතර යද්දී දත්ත විද්‍යාඥයකු ලෙස ඉදිරියට යන්නයි මගේ බලාපොරොත්තුව.

මේ වන විට ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් රුපියල් මිලියන 2.5ක් වටිනා තොරතුරු තාක්ෂණ අධ්‍යාපන පාඨමාලාව වසර පහක් පුරා සිසුන් ලක්ෂ 10ක් සඳහා නොමිලේ ලබා දීමට සැලසුම් කර ඇති බව ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් හි නිර්මාතෘ ධම්මික පෙරේරා පසුගිය දිනක සඳහන් කර තිබුණි. ඒ අනුව එහි පළමු අදියරයේදී ඩීපී කෝඩින් පාසල ආරම්භ කර CODE.org, Thunkable, Pictoblox, Microbit, COSPACES සහ HTML ඇතුළුව ගෝලීය වේදිකා හයක් ඒකාබද්ධ කර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ඉගෙන ගත හැකි පාඨමාලාව ව්‍යාපෘති 324කින් සමන්විත වන අතර මෙම ව්‍යාපෘති 324 තුළ පැවරුම් 324 ක් ද ඇතුළත් වේ.

දෙවන අදියර සඳහා මොරටුව විශ්ව විද්‍යාලයේ Full Stack Developer සහ Cloud Computing පාඨමාලා ඇතුළත් වේ. තුන්වන අදියර මඟින් සිසුන්ට මොරටුව, කැලණිය සහ රුහුණු විශ්වවිද්‍යාල සමඟ එක්ව ඩීපී එඩියුකේෂන් අයි. ටී. කැම්පස් මඟින් සකසන ලද පාඨමාලා නොමිලේ හැදෑරීමට ඉඩ සලසා දීමට නියමිතය.

පාඨමාලා අන්තර්ගතය ඩීපී එඩියුකේෂන් ආයතනය, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල, ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් (SLASSCOM), මෙන් ම දැනුම සහ නවෝත්පාදන කර්මාන්තය සඳහා වන ජාතික වාණිජ මණ්ඩලය හා එක්ව සංවර්ධනය කර ඇත. විෂය මාලාවේ පළමු සහ දෙවන අදියර සදහා ස්මාර්ට් ජංගම දුරකතන හරහා ප්‍රවේශ විය හැකි අතර, තෙවන සහ අවසාන අදියර සඳහා පරිගණකයක් හෝ ලැප්ටොප් පරිගණකයක් අවශ්‍ය වේ. පාසල් ශිෂ්‍යයකුට (සතියකට පැය දෙකක කාලයක් සහ පැවරුම් සහිතව) වසර දෙකකින් සහ පාසල් අවසන් කළ ශිෂ්‍යයෙකුට මාස හයක් ඇතුළත (සතියකට පැය 12ක් වැය කරමින්) පාඨමාලාව අවසන් කිරීමට හැකි වන පරිදි සකස් කර ඇත.

මෙම දැවැන්ත ව්‍යාපෘතිය තුළින් ඩොලර් බිලියන 7.5ක් හෙවත් රුපියල් බිලියන 2,500ක් වටිනා තොරතුරු තාක්ෂණ දැනුමෙන් හා කුසලතාවලින් පරිපූර්ණ සිසුන් ලක්ෂ 10ක් ඉදිරි වසර 5 තුළ නිර්මාණය කිරීම සිය අපේක්ෂාව බව ධම්මික පෙරේරා පවසයි. මෙම නිපුණතා සහිත මානව සම්පත් සංචිතය, ශ්‍රී ලංකාව තුළ ඵලදායීව භාවිත කිරීමටත්, විදේශ විනිමය ඉපැයීම් ඉහළ නැංවීමටත්, උපයෝගී කර ගත හැකි බව ඔහු ප්‍රකාශ කරයි.

මේ සඳහා ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් මෙහෙයවනු ලබන විවෘත මාර්ගගත ක්‍රමය මඟින් රට පුරා 331ක් වන ප්‍රාදේශීය ලේකම් (DS) කොට්ඨාසයන්හි ඩීපී එඩියුකේෂන් අයි. ටී. කැම්පස් පිහිටුවීමට අපේක්ෂා කරයි. මෙම මධ්‍යස්ථානවල සිසුන් 750ත් 2,100ත් අතර සංඛ්‍යාවක් සඳහා පහසුකම් සැලසේ. දැනට ක්‍රියාත්මක වන මධ්‍යස්ථාන 50 තුළ සිසුන් 40,000කට අධික සංඛ්‍යාවකට ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි. මීට අමතරව, පළමු අදියර දෙක සඳහා සිසුන් 120,000ක් මාර්ගගතව ඉගෙනුම් කටයුතුවල නිරත වේ. දැනට ඉදිවෙමින් පවතින මධ්‍යස්ථාන 30ත් සමඟින් 2023 වසර අවසන් වන විට තවත් මධ්‍යස්ථාන 50ක් විවෘත කිරීම සැලැස්මට ඇතුළත් වේ.

ඡයාරූප - චින්තක කුමාරසිංහ

Comments