මම පසුනොතැවෙන මාක්ස්වාදියෙක් | සිළුමිණ

මම පසුනොතැවෙන මාක්ස්වාදියෙක්

තිස්ස නිහාල් වික්‍රමසිංහගේ අලුත්ම නිර්මාණ වෑයම දුරුතු හිරු එළිය යට කාව්‍ය සංග්‍රහයයි. ඔහු මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට, වාම පුවත්පත් කලාවට හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයට ආගන්තුකයකු නොවේ. ‘ලංකා ඉරිදා සංග්‍රහයේ’ සමාරම්භක ප්‍රධාන කර්තෘවරයා ලෙස කලක් කටයුතු කළ ඔහු, සාහිත්‍ය නිර්මාණකරණයේ සිය සලකුණ මෙතෙක් සනිටුහන් කළේ කවිය, කෙටිකතාව හා මාධ්‍ය අධ්‍යයන හරහාය.

කැලණිය සරසවියේ ශිෂ්‍යයකු වශයෙන් සිටියදී වර්ෂ 1991 “කඳුළු පොකුණේ වැන්දඹුව කාව්‍ය කෘතිය රචනා කරමින් කාව්‍යකරණයට එළඹී තිස්ස නිහාල් වික්‍රමසිංහ ඉන් පසු සන්තාප නිවාඩුව, ද්‍රෝහියාගේ බිරිය සහ සඳ කින්නරී කාව්‍ය සංග්‍රහත්, වොලායත් නමින් කෙටිකතා සංග්‍රහයකුත් කැමීලියා නමින් නවකතාවකුත්, සිරගෙයි නිමැවුම් සහ අනාගතය විනිවිඳ දුටු සැබෑ මිනිසා ඇතුළු නිර්මාණ කෘති රැසක් පාඨක ප්‍රජාවට තිළිණ කර තිබේ. තිස්ස ලියන්නේ අව්‍යාජ හා අවංක ලෙස තමාට දැනෙන, තමා විඳි සහ තමා සසල කළ අත්දැකීම් ය. තිස්ස ලෝකය දෙස බලන්නේ ඇසිනි. ඔහු පොළොවෙන් ඉහළට ගොස් තමාගේ සිතැඟි අව්‍යාජ ව මානව දයාවෙහි දවටා පාඨක ප්‍රජාව වෙත තිළිණ කරන්නෙකි. මේ ඔහු සමඟ දුරුතු හිරු එළිය යට කාව්‍ය සංග්‍රහය වෙනුවෙන් කරන ලද සංලාපයේ සංක්ෂිප්තයකි.

නිර්මාණකරණයට දේශපාලනික විඥානය ඇතුළත් කළ යුතුයි කියලා හිතනවද?

මගේ විශ්වාසයේ හැටියට දේශපාලන විඥානයෙන් තොරව නිර්මාණයක් කෙරෙන්නේ නෑ. කවියෙක්, කෙටිකතාකරුවෙක්, නවකතාකරුවෙක් ආදී ඕනෑම නිර්මාණකරණයක යෙදෙන නිර්මාණකරුවකුට දේශපාලන විඥානය බලපෑම් කරනවා. ඒක මාක්ස්වාදීම කියලා දෙයක් නෑ. ඊට වඩා පුළුල් දේශපාලන විඥානයක් තියෙන්න ඕන. මම විශ්වාස කරන්නේ වඩාත් පුළුල් හා නිවැරදි චින්තනයක් තියෙන්නෙ මාක්ස්වාදයේ කියලා මම පුද්ගලිකව විශ්වාස කරනවා.

ලියොන් ට්‍රොස්කි කියනවා, සාහිත්‍යයට ප්‍රවේශ වෙන විදියට දේශපාලනයට ප්‍රවේශ වෙන්න බෑ කියලා. ඒකෙ තියෙන සීමා මායිම් දැනගෙන කලාත්මක බව, භාෂාමය සීමා දැනගෙන තමයි අපි සාහිත්‍යයට ප්‍රවේශ වෙන්න ඕන. නැත්නම් ඒක ඍජු ප්‍රකාශනවාදයක් වෙනවා. දේශපාලනික වශයෙන් කොච්චර නිවැරදි වුණත් සාහිත්‍යයේ ගුණ රැකගෙන තමයි අපි නිර්මාණ කළ යුත්තේ.

නිර්මාණ ඔස්සේ ජනතාව වෙනස් කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවාද?

ඉතාම පැහැදිලිව මම විශ්වාස කරනවා. මගේ ජීවිතය ඇසුරෙන් ගත්තත් මම සම්පූර්ණයෙන් ම භෞතිකවාදියෙක් බවට පත්වෙන්න මූලිකම දාර්ශනික ප්‍රවේශය ආවෙ පොතක් නිසා. ඒ තමයි ඒබ්‍රහම් කොවුර්ගෙ ‘දෙවියෝ සහ භූතයෝ‘ කියන පොත. ජීවිතය ගැන විද්‍යාත්මකව දකින්න පුළුවන් වුණේ ඩෙස්මන් මොරිස්ගේ නිරුවත් ගැහැනිය, මනුසත් උයන වගේ පොත් කියවලා. මම විශ්වාස කරන විදියට සාහිත්‍ය කලාවෙන් පොතපතෙන් මිනිසුන්ව වෙනස් කරන්න, උසස් තත්ත්වයට පත් කරන්න පුළුවන්. ඉතිහාසයේ වගේම අදත් මම එය විශ්වාස කරනවා.

ලංකාවේ වෘත්තිය සමිති අරගලයයි, දේශපාලනයයි වෙනුවෙන් නිර්මාණාත්මක මැදිහත්වීමක් ඔබ කරනවා කැමීලියා නවකතාව ඔස්සේ. එවැනි සමාජ මැදිහත්වීමක් කිරීම අවශ්‍යද?

එවැනි මැදිහත්වීමක් කළ තවත් ලේඛකයන් හිටියා. ගුණසේන විතාන එයින් එක් අයෙක්. හැබැයි එවැනි මැදිහත්වීම් සහිත ලේඛකයන් හරි අඩුයි. කලක් ඒවැනි දේවල්වල නිරත වෙලා හිටිය කෙනෙක් විදියටත්, ඒවගේ ඒවා නිසා රැකියාව නැති වුණු කෙනෙක් විදියටත් අදටත් යම් යම් එවැනි දේවල්වලට සම්බන්ධ වෙලා වැඩ කරන කෙනෙක් විදියටත් මම හිතනවා මගේ ඒ අත්දැකීම් පාදක කරන් තමයි මම මේ නවකතාව ලිව්වෙ කියලා.

ඔබ සාධනය කරගන්න බලාපොරොත්තු වුණු අරමුණු ඉටු වුණා කියලා හිතනවද? 

මෙහෙම දෙයක් තියෙනවා, එක එක විදියෙ ප්‍රතිචාර මට ලැබුණා. සමහරු කිව්වා අනේ කම්මැලියි මේ පොත කියවන්න කියලා. තවත් සමහරු කිව්වා මම ඉතාම කැමැති පොත මේක කියලා. මගේ අරමුණ සාධනය කරගන්න මට යම් තරමකට ඉඩ ලැබුණා කියලයි මගේ හැඟීම. මේක ලංකාවේ ගමක් ගැන අතීත කාමයෙන් ලියැවුණු එකක් නොවෙයි; මම ඒකට විරුද්ධයි කියල නෙවෙයි මේ කියන්නෙ. නමුත් මම ලියන්නේ අපි 80 දශකයේ මුල විඳපු දේවල් ගැන. 80 වැඩවර්ජනයේ ඉඳන් 95 විතර වගේ කාලයක් ගැනනෙ මෙහි ලියැවෙන්නේ. මේ කාලෙ මම වැඩ කළා පරීක්ෂක කෙනෙක් විදියට තේ කර්මාන්ත ශාලාවක. අතිශය දුක් විඳින මිනිස්සු මම දෑහින් දැක්කා. පසුකාලීනව මමත් වෘත්තීය සමිතිවලට සම්බන්ධ වෙලා රැකියාව නැති කරගත්තා. මේවා දිනන අරගල නෙවෙයි. ඒ වගේම දේශපාලකයන් විසින් ජාතිවාදය පදනම් කරගෙන මිනිස්සු පාවිච්චි කරලා අරගලය දිය කර හරින ආකාරය තමයි හැමදාම වෙන්නෙ. හැබැයි මිනිස්සුන්ට ජීවත් වෙන්න අපේක්ෂා ඕන, ඒ නිසා බලාපොරොත්තු අතනොහරිනවා කියන පණිවිඩයයි මට දෙන්න ඕන වුණේ.

පුවත්පත් කලාවේදියකු වීම නිර්මාණකරණයට බාධාවක්ද? පහසුවක්ද?

ඒ ගැන මට දෙපැත්තම තියෙනවා. සංස්කරණයට හිර වුණාම අපේ දේවල් මඟ හැරෙන්න පුළුවන්. මටත් යම්තාක් දුරට එහෙම වුණා. නමුත් මම ඒක අභියෝගයක් විදියට ගත්තෙ නෑ. මේ සේරම මැද්දෙ වැඩ කරන විදියත් අපි හොයා ගන්න ඕන. අනුල ද සිල්වා, කරුණාදාස සූරියආරච්චි, දෙල්තොට චන්ද්‍රපාල, කරුණා පෙරේරා, චන්ද්‍රසිරි දොඩංගොඩ, ගුණදාස ලියනගේ ඇතුළු බොහෝ පිරිසක් එහෙම කළ අය. ඒවගේම අත්දැකීම් ලැබීමේ පහසුවකුත් තියෙනවා. අපි පුවත්පත් කලාවත් එක්ක නිර්මාණ කාර්යයන් සමඟ නිරන්තරයෙන් බැඳුණු අය. සමහර අය ඉන්නවා අවුරුදු 30, 40 පත්තර කන්තෝරුවල ඉඳලා, ඒත් නමක්වත් දන්නෙ නැතිව මිය යනවා. අපි දන්න බොහෝ හැකියාවන් තියෙන එහෙම අය ඉන්නවා.

ඔබ නිර්මාණකරණය පටන් ගන්නේ විශ්වවිද්‍යාල සිසුවකුව සිටියදී. පළමු කවි පොත කඳුළු පොකුණේ වැන්දඹුව නමින් පාඨකගත වෙනවා?

මම භීෂණ සමයට කලින් ඉඳලම විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය එක්ක සක්‍රියව කටයුතු කළා. ඉස්සර තිබුණෙ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු නමින්. 90 පස්සෙ අපි විශ්වවිද්‍යාලෙට එන්නෙ විශාල ශිෂ්‍ය සංහාරයකට පස්සෙ. මේ පොත විශ්වවිද්‍යාලෙ බාහිර ශිෂ්‍ය කටයුතු කමිටුව හරහා තමයි මුද්‍රණය වෙන්නෙ. අජන්ත සොයිසා කියලා බොහෝම ආදරණීය මිනිසෙක් තමයි මේ ව්‍යාපෘතිය පටන් ගත්තෙ. මගෙත් චන්දිමා නිශ්ශංකගෙත් පළමු පොත් දෙක මේ විදියට තමයි මුද්‍රණය කර එළිදැක්වූවෙ.

ඔබට දීර්ඝ කාලයක් බලා ඉන්න සිදුවෙන්න ඇති?

ඇත්තටම අපි අවුරුදු 6ක් විශ්වවිද්‍යාල ජීවිතය ගත කළ අය. 86 ඔක්තෝබර් ඉඳන් 92 අගෝස්තු දක්වා කාලයම කැප වුණා. අපේ අවට මිනිස්සු, යාළුවො නැති වුණු කම්පනයත් දරාගෙන තමයි අපි විශ්වවිද්‍යාලෙට එන්නෙ.

කවිපොතෙන් පටන් ගන්න ඔබ විවිධ නිර්මාණ ඉසව් ස්පර්ශ කරන්න පටන් ගන්නවා.

ඔව්, ඊළඟට මම 1998 වොලායත් කියලා කෙටිකතා සංග්‍රහයක්. ඊට පස්සෙ කවි පොත් කිහිපයක් කළා. සන්තාප නිවාඩුව, ද්‍රෝහියාගේ බිරිය, උදාතරී,සඳ කින්නරී සහ අලුත් ම කාව්‍ය සංග්‍රහය දුරුතු හිරු එළිය යට. මේ සියල්ල මගේ හදවතේ නැඟුණු විවිධ භාව.

ඔබේ කාව්‍යකරණයේ පොදු ලක්ෂණයක් තිබෙන බව හැඟෙනවා. ඒ තමයි, ඔබේ සමාජ, දේශපාලනික දැක්ම වගේම ඔබ ශුංගාරය වැනි කලාපවල සරන නිදහස් භාවය.

චන්ද්‍රසිරි පල්ලියගුරු මහාචාර්යතුමා ලියූ කාව්‍ය සංග්‍රහයක පසුවදනෙ තියෙනවා හරි අපූරු කතාවක්. ඒ තමයි ගද්‍යයෙන් කියැවෙන්නේ අනුන් ගැනය, පද්‍යයෙන් කියැවෙන්නේ තමන් ගැනය කියලා. මගේ ජීවිතේ ආත්මගත දේවල් කියන්න මම භාවිත කරන්නෙ කවිය. මට හංගන්න දෙයක් නෑ. මට වයස ගියාට මම ආදරය, රාගය ගැන තියෙන මගේ හැඟීම අවංකව ලියන්න මැළි වෙන්නෙ නෑ. පවුල් ජීවිතය, මානව සංකීර්ණ හැඟීම් ආදී සියල්ල තියෙනවා. 55 පහු වෙනකොටම මම ලියපු කවියක් තියෙනවා. ඒ තමයි උපාසක නොවේ කිසිදින.... කියලා. පවු කියලා දෙයක් ලෝකෙ දෙයක් තියෙනවා නම් මම ඒවා කරලා නෑ කියලා මම බොරු කියන්නෙ නෑ. මම කිසි ආගමක් අදහන්නෙ නෑ. සියලු ආගම්වලට ගරු කිරීම වෙනම දෙයක්. මට ආගමෙන් කිසි දෙයක් ලැබිලා නෑ. මම කළ දේවල් ගැන මම කිසිවිටෙකත් පසුතැවිලි වෙන්නෙ නෑ. මම පසුනොතැවෙන මාක්ස්වාදියෙක්, භෞතිකවාදියෙක්.

ඔබ ලංකා පුවත්පතේ කර්තෘ වෙනවා. මේ පවසන දේවල් එක්ක මාධ්‍ය ජීවිතේ ගැනත් ඒ වගේම පසුතැවීමක් නැද්ද කියලා මම ඇහුවොත්?

පසුතැවීමක් නෑ. මට එකතැනකදි මාධ්‍ය ජීවිතෙන් සමුගන්න වෙනවා. මම ආසම නැති දෙයක් තමයි දැන් කරමින් ඉන්නෙ. ඒ කියන්නෙ ගුරුවරයෙක් වීම. මාධ්‍ය ජීවිතේ විවිධ දේවල් මට වෙලා තියෙනවා. වෘත්තීය අරගල නිසා ලංකාදීපයෙන් එළියට බහින්න වුණා. සිතිජයේ ගොඩක් කල් හිටියා. ලංකා පුවත්පතේ හිටිය කාලෙ ගැන වුණත් මම තෘප්තිමත්. ඒක ජාතික පුවත්පතක් කියලා හඳුන්වපු විකල්ප ධාරාවේ පුවත්පතක්. මම මේ කිසිම දෙයක් ගැන පසුතැවිලි නම් වෙන්නෙ නෑ

සේයාරූ - දුෂ්මන්ත මායාදුන්නෙ

Comments