ලන්දේසින් පැහැරගත් අපේ උරුමයන් සියවස් දෙකකට පසු යළි දිනාගත් මෙහෙයුම | සිළුමිණ

ලන්දේසින් පැහැරගත් අපේ උරුමයන් සියවස් දෙකකට පසු යළි දිනාගත් මෙහෙයුම

න්දේසින් විසින් සියවස් දෙකකට පෙර නෙදර්ලන්තයට රැගෙන ගිය බව කියන මහනුවර රාජධානි සමයට අයත් කෞතුක භාණ්ඩ කිහිපයක් යළි මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් මේ දිනවල මාධ්‍ය ඔස්සේ වැඩිපුර කතාබහක් ඇතිවී ඇත.

නෙදර්ලන්තය ඔවුන් එරටට රැගෙන ගිය කෞතුක භාණ්ඩ සියවස් දෙකකට පමණ පසු යළි අපේ රටට භාර දෙන්නේ ඇයි? ඒ සඳහා පසුබිම් වු කරුණු පිළිබඳ අප ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චිගෙන් විමසුවෙමු. 

“2021 වසරේදී නෙදර්ලන්තයේ ඇමැස්ටර්ඩැම් නුවර Rijks කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් දැනට එම කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරමින් තිබෙන ශ්‍රී ලංකාවට අයත් කෞතුක භාණ්ඩ 6ක සම්භවය පිළිබඳ පර්යේෂණයක් කිරීම සඳහා ජාතික කෞතුකාගාරය ලෙස සහාය වන ලෙස මට ආරාධනා කළා. ඒ කාලයේදී නෙදර්ලන්ත රජය ප්‍රතිමත්තිමය තීරණයක් ගෙන තිබුණා යටත්විජිත රටවල්වලින් ගෙනා කෞතුක භාණ්ඩ නැවත එම රටවල්වලට ලබාදිය යුතු බවට. ඒ ප්‍රතිපත්තියට අදාළවයි නෙදර්ලන්ත රජය යටත් විජිත කෞතුක භාණ්ඩ ප්‍රතිස්ථාපනය කිරීමට අදාළ ආදර්ශ පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙස එම පර්යේෂණය පැවැත් වීමට කටයුතු කළේ. ඒ අනුව Rijks කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙන කෞතුක භාණ්ඩ වන ලෙව්කේ දිසාවගේ කාල තුවක්කුව, රන් කස්තානය, මහ තුවක්කු දෙකක්, රන් පිහියක් සහ රිදී කස්තානය යනාදී මහනුවර යුගයට අයත් කෞතුක භාණ්ඩවලට අදාළ ඓතිහාසික ලිපි ලේඛන, ලන්දේසි වාර්තා සහ ශිල්පීය හැකියාව අධ්‍යයනයට ලක්කරමින් ඒවායේ කලාත්මක අගය, තාක්ෂණය සහ රසායනික සංයුතිය පිළිබඳ පර්යේෂණය කිරීම සඳහා නෙදර්ලන්ත කෞතුකාගාරය සහ මෙරට ජාතික කෞතුකාගාරය වෙනුවෙන් පර්යේෂණ කණ්ඩායම් දෙකක් පත් කරනු ලැබුවා. 2021 වසරේ ආරම්භ කළ එම පර්යේෂණය අවසන් වුණේ 2022 වසරේ අප්‍රේල් මාසයේදී. එහිදී අපි අපේ පර්යේෂණය තුළින් අනාවරණය කරගත් කරුණු වාර්තාවක් මඟින් ප්‍රකාශයට පත් කළා. ඒ අනුව එම කෞතුක භාණ්ඩ වර්ෂ 1765දී ලන්දේසින් විසින් මහනුවර රජ මාලිගාව වටලන ලද අවස්ථාවේදී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම (VOC) විසින් එරටට රැගෙන ගිය ඒවා බව තහවුරු වුණා.

එම වාර්තාව පදනම් කරගනිමින් නෙදර්ලන්ත රජය ඔවුන් යටත් විජිතවලින් රැගෙන ආ කෞතුක භාණ්ඩ නැවත එම රටවලට භාරදීම පිළිබඳ රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ස්වාධීන කමිටුවක් පත්කරනු ලැබුවා. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ නෙදර්ලන්තයේ එම කමිටුවට පළමු ඉල්ලීම ඉදිරිපත් කළේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක විසින් බව. කමිටුව එම ඉල්ලීම පිළිබඳ සලකා බලා එම කෞතුක භාණ්ඩ නිල වශයෙන් නැවත ලංකාවට භාර දිය යුතුයි යන නිර්දේශය නෙදර්ලන්ත රජයට ලබාදී තිබුණා. ඒ අනුව ඒවා නැවත බාර දෙන බව නෙදර්ලන්ත රජය විසින් මේ වසරේ ජුලි මස 06 වැනිදා ගැසට් නිවේදනයක් මඟින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබුවා. ඉකුත් අගෝස්තු 28 වැනිදා එම කෞතුක භාණ්ඩවල අයිතිය පැවරීම සම්බන්ධයෙන් නීතිමය ලිපිලේඛන හුවමාරු කරගැනීම සිදු වුණා. ඒ සඳහා විෂය භාර අමාත්‍යවරයා, නෙදර්ලන්තයේ සංස්කෘතික සහ මාධ්‍ය පිළිබඳ රාජ්‍ය ලේකම් Gunay Uslu සහ නෙදර්ලන්ත තානාපතිනිය සහභාගි වුණා.” 

මෙය නෙදර්ලන්තයට මෙන්ම ශ්‍රී ලංකාවට ඓතිහාසික වශයෙන් ඉතා සුවිශේෂී අවස්ථාවක් වන බවත් විශාල වෙහෙසක් දරා සිදුකළ මෙම පර්යේෂණය තුළින් ශතවර්ෂ ගණනාවක් පුරා මෙම කෞතුක භාණ්ඩ පිළිබඳ පැවති දුර්මත දුරුකිරීමට හැකිවූ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය. නෙදර්ලන්තයෙන් ගෙන එනු ලබන එම කෞතුක භාණ්ඩ ඉතා ආරක්ෂාකාරීව තැන්පත් කිරීම සඳහා ජාතික කෞතුකාගාරය මේ වන විට කටයුතු කරමින් සිටින අතර, ඉන් අනතුරුව මෙම කෞතුක භාණ්ඩ මෙරටට ගෙන එන දිනය තීරණය වනු ඇත. ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළේ වසර දෙසිය පනහක් පමණ ඉපැරණි එම කෞතුක භාණ්ඩ මහජනතාවට දැකබලා ගැනීම සඳහා විශේෂ ප්‍රදර්ශනයක් පැවැත්වීමට ද නියමිත බවය.

නෙදර්ලන්ත රජය විසින් ක්‍රියාත්මක කළ යටත් විජිත කෞතුක භාණ්ඩ ප්‍රතිස්ථාපනය කිරීමට අදාළ ආදර්ශ පර්යේෂණ ව්‍යාපෘතියක් යටතේ සිදු කළ මෙම පර්යේෂණය විදේශයන්හි පවතින ශ්‍රී ලාංකේය කෞතුක භාණ්ඩ පිළිබඳ අධ්‍යයනවල සන්ධිස්ථානයක් ලෙස නම් කළ හැකිය. වර්ෂ 1970 දී එවකට කොළඹ ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ ධුරය හෙබවූ ආචාර්ය පී.එච්.ඩී.එච්. ද සිල්වා විසින් සිදු කළ අධ්‍යයනයට පසුව එවැනි අධ්‍යයනයන් සිදුකොට තිබුණේ ඉතා අල්ප වශයෙනි. ශ්‍රී ලාංකික සහ නෙදර්ලන්ත පර්යේෂකයන්ගෙන් සමන්විත ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමට ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංස්කෘතික) සෙනරත් වික්‍රමසිංහ, ඓතිහාසික තුවක්කු පිළිබඳ විශේෂඥයෙකු වන පර්යේෂක චාමිකර පිළපිටිය, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අශෝක ද සොයිසා සහ ආචාර්ය ගංගා දිසානායක යන විද්වතුන්ගෙන් ශ්‍රී ලාංකික පර්යේෂණ කණ්ඩායම සමන්විත විය. අදාළ වැදගත් ඓතිහාසික ලිපි ලේඛන සපයා දෙමින් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව මෙම පර්යේෂණයට විශේෂ සහයෝගයක් දක්වා ඇත.

මෙම පර්යේෂණය පිළිබඳ වැඩිදුර විස්තර අප එම පර්යේෂණ කණ්ඩායමේ විද්වත් සාමාජිකයකු වන පර්යේෂක චාමිකර පිළපිටියගෙන් විමසුවෙමු. 

“මෙම කෞතුක භාණ්ඩ හය අතරෙන් රන් සහ රිදී කස්තාන දෙකත් රන් පිහිය ගැනත් පර්යේෂණ කළේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංස්කෘතික) සෙනරත් වික්‍රමසිංහ. ලෙව්කේ කාලතුවක්කු පිළිබඳ පර්යේෂණය මහාචාර්ය අශෝක ද සොයිසා සහ ආචාර්ය ගංගා දිසානායක විසින් සිදු කළ අතර, එංගලන්තයේ ලොව හොඳම කාලතුවක්කු පිළිබඳ විශේෂඥයන් දෙදෙනකු වන Ruth brown සහ Kay Douglas smith ද ඒ සඳහා සහාය වුණා. මහ තුවක්කුවල තාක්ෂණික අංශය ගැන පර්යේෂණ කටයුතු සිදු කළේ මමයි. එහිදී විශේෂයෙන් මහ තුවක්කුවේ වෙඩි අගුල ගැන පර්යේෂණ කිරීමට ඇමරිකාවේ තුවක්කු පිළිබඳ විශේෂඥයකු වන Philip Tom මට සහාය වුණා. ඒ වගේම තුවක්කුවල යකඩ සංයුතිය ආදී තොරතුරු පිළිබඳ සොයා බැලුවේ arie pappot, joosje van bennekom සහ Jan de Hond යන විදේශීය පර්යේෂකයන්. පර්යේෂණ විස්තර එක්තැන් කළේ ආචාර්ය Alicia Schrikker සහ ඇයගේ සහායක Doreen van den Boogaart විසින්.”

පර්යේෂණ සොයා ගැනීම්වලට අනුව මෙම කෞතුක භාණ්ඩ අතර වන කස්තාන දෙක රාජකීය වැඩපලෙහි නිර්මාණය කළ ඒවා වන අතර, මනරම් ලෙස කැටයම් කළ පිහිය උඩරට රාජකීය ඇඳුම් පැලඳුම්වල එක් අංගයක් වන අතර, 18 වැනි ශත වර්ෂයේ කන්ද උඩරට ශිල්පීන්ගේ දක්ෂතාව මනාව පෙන්නුම් කරයි. කිලෝ ග්‍රෑම් විසි අටක් බැගින් බරැති, කැටයම් සහිත මහනුවර යුගයට අයත් මහ තුවක්කු දෙක ශ්‍රී ලාංකේය තුවක්කු තාක්ෂණය පිළිබිඹු කරන අද්විතීය නිර්මාණ වේ. රිදී, රන් සහ මැණික්වලින් අලංකාර කරන ලද ලෙව්කේ දිසාව විසින් 1745 දී ශ්‍රී විජය රාජසිංහ රජතුමාට දෙන ලද කාල තුවක්කුව ද සුවිශේෂී කෞතුක භාණ්ඩයකි. ලියවැල්, කල්ප වෘක්ෂය, නාරිලතා වැනි උඩරට මෝස්තරවලින් එය අලංකාර කර ඇත. ඒ ආයුධවලින් අතීත හෙළ රණකාමියන් ප්‍රකට කළ යුධ ශක්තිය මැනවින් හෙළි වේ.

වසර ගණනාවක් යටත් විජිතයක්ව පැවති අපේ රට ලන්දේසින්ටද යටත්ව සියවසකට අධික කාලයක් ගතකර තිබිණ. වසර 1761දී ලන්දේසීන් අසාධාරණ බදු ක්‍රමයක් පනවමින් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ජීවත් වූ ජනතාව විශාල පීඩනයකට පත් කළේය. තමන් වෙනුවෙන් මැදිහත් වන ලෙස ජනතාව රජුගෙන් ඉල්ලා සිටීමේ ප්‍රතිඵලයක් ලෙස රට පුරා ලන්දේසි විරෝධී කැරලි ඇති විය. ඒ පිළිබඳ ඓතිහාසික තුවක්කු පිළිබඳ විශේෂඥ, පර්යේෂක චාමිකර පිළපිටිය මෙසේ කීවේය.

“මහනුවර හමුදාව පහතරට ජනතාව සමඟ එකතුවෙලා ලන්දේසින්ට ක්ෂණික ප්‍රහාරයක් එල්ල කළා. අවිස්සාවේල්ල සීතාවක, හංවැල්ල, මාතර, තංගල්ල කොටු ලන්දේසින්ගෙන් අත්පත් කර ගත්තා. මීගමුව කොටුවත් වැටලුවා. කාලතුවක්කු, රොකට්, අත් තුවක්කු සහ වෙනත් ආයුධ පාවිච්චි කරමින් මහනුවර සිංහල හමුදාව ලන්දේසින්ට පහර පිට පහර දෙද්දී ලන්දේසින් පසුබැස්සා. 1764 දී වෑන් ඊක් (Van Eck) ආණ්ඩුකාරවරයා ඉන්දුනීසියාවෙන් සහ වෙනත් රටවලින් හමුදා ආධාර ගෙන උඩරට ආක්‍රමණය කිරීමට උත්සාහ කළත් ඒ එක් හමුදා කණ්ඩායමකටවත් මහනුවරට ළඟා වීමටවත් අවස්ථාව ලැබුණෙ නැහැ. ඒ නිසා ඔවුන්ට පසුබසින්නට සිදු වුණා. නැවත 1765 දී විශාල හමුදා සේනාංක ගෙනැවිත් මහනුවර අල්ලා ගන්නට උත්සාහ කළා. ඒ අවස්ථාවේදී ඔවුන් ගලගෙදර බලකොටුව අල්ලාගෙන ඒ හරහා නුවරට ආවා.

ලන්දේසි හමුදා කටුගස්තොටට ළඟාවීමත් සමඟ රජතුමා දළදා වහන්සේ සහ මාලිගාවේ තියෙන වටිනා දේවල් අරගෙන හඟුරන්කෙත මාළිගාවට පිටත් වුණා. ඒ සඳහා වෙලාව ගන්න අවශ්‍ය නිසා, ලන්දේසින් මහනුවරට ළඟාවීම වළක්වන්න රජතුමා උපක්‍රමශීලීව තමන්ගේ නියෝජිතයන් හතර දෙනෙක් සාම සාකච්ඡා පටන් ගන්න ආණ්ඩුකාර වරයා ළඟට යැව්වා. ආණ්ඩුකාර වරයා පසුව දැනගත්තා රජු හඟුරන් කෙතට පැන ගිය බව.

ලන්දේසින් මහයියාව හරහා මහනුවරට ඇවිත් අවුරුදු ගණනාවක් තිස්සේ බොහොම අලංකාරව සහ වටිනාකම් සහිතව තිබුණු මහනුවර නගරය දවස් ගාණක් තිස්සේ කොල්ලකෑවා. එසේ පැහැරගත් බොහෝ දේවල් අතර වෑන් ඊක් ආණ්ඩුකාරයා තමා සන්තකයට ගත් මහ තුවක්කු දෙක සහ කාලතුවක්කුව තමයි දැන් නෙදර්ලන්තයේ Rijks කෞතුකාගාරයේ තියෙන්නෙ.

මෙම අවස්ථාවේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ඔහුගේ හමුදා සේනාංක මහනුවර වටකරගත්තා. ඒ නිසා ලන්දේසින්ට පහතරටින් යුධ ආධාර මහනුවර දක්වා ගෙන ඒමට බැරි වුණා. මහනුවර හමුදා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ඉන්පසුව මහනුවරට යාබදව තියෙන උඩුවල යන ගම දක්වා පැමිණියා. ලන්දේසින් රජතුමා ජීවග්‍රහණයෙන් අල්ලා ගන්නට හමුදා සේනාංකයක් එවූ විට රජතුමා උපක්‍රමශීලීව හඟුරන්කෙත දක්වා පසුබැස්සා. එවිට ලන්දේසි හමුදා හඟුරන්කෙත දක්වා ගමන් කර හඟුරන්කෙත මාලිගාව කොල්ලකෑවා. ලන්දේසි අත්පිටපත්වල සහ දේශීය මන්දාරම් පුර පුවත කියන පුස්කොළ පොතේ මේ සිදුවීම ඉතා පැහැදිලිව සඳහන් වී තිබෙනවා. ඉන්පසු ඔවුන් නැවතත් මහනුවර දක්වා එන ගමනේදී මාරස්සන නම් ගමේ මහනුවර හමුදා ඔවුන්ට විශාල ප්‍රහාරයක් එල්ල කළා. එම අවස්ථාවේදී ලන්දේසි හමුදාවේ 57දෙනෙක් (කැෂුවල්ටි) තුවාල වී හෝ මැරුම් කෑවා. මහනුවර දක්වා ලන්දේසි හමුදාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සිංහල හමුදාවට හැකි වුණා. එයින් බියපත් වූ ලන්දේසි හමුදාව සිංහල හමුදාවල ප්‍රහාර මධ්‍යයේ ගන්නෝරුව, කිරිබත්කුඹුර, පිළපිටිය යනාදී ගම් හරහා මහනුවරින් පසුබැස්සා. මෙම යුද්ධයෙන් පසුව වෑන් ඊක් ආණ්ඩුකාරවරයාත් මිය ගියා. ඔහුගේ දේහය කොළඹ වුල්වෙන්ඩාල් (Wolvendaal) දේවස්ථානයේ භූමදාන කර තිබෙනවා. ඔහුගේ සොහොන් ස්මාරකය මත කොටලා තියෙනවා වෑන් ඊක් ආණ්ඩුකාරවරයා සිංහල කාලතුවක්කුවකට හේත්තු වෙලා ඉන්න කැටයමක්.

2019දී නෙදර්ලන්ත ආණ්ඩුව විසින් 1765දී ලන්දේසි හමුදාව මහනුවර කොල්ලකෑම සම්බන් ධයෙන් The Loot නමින් වාර්තාමය චිත්‍රපටයක් එළිදැක්වුවා. ඒ අවස්ථාවට ජ්‍යේෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පී ඈෂ්ලි ඩි වොස් සමඟ මමත් විශ්‍රාමික අද්මිරාල් ලක්ෂ්මන් ඉලංගකෝන්, ආචාර්ය නිමල් දෙව්සිරි සහ රෝහණ දසනායකත් සහභාගි වුණා. එහිදී ඈෂ්ලි ඩි වොස් මහතා ප්‍රමුඛ ඊට සහභාගි වූ අප සියලු දෙනාම කියා සිටියා නෙදර්ලන් තයට ගෙනිච්ච අපේ කෞතුක භාණ්ඩ නැවත ලංකාවට ගෙන ආ යුතු බව. එම වාර්තාමය විත්‍රපටය ප්‍රදර්ශනය කළ පසු නෙදර්ලන්ත යේත් ජන මතයක් ඇති වුණා, පිරටටවලට අයිති කෞතුක භාණ්ඩ එම රටවලට නීත්‍යානු කූලව ලබාදිය යුතු බවට. 

එදා රජ සමයේදී පවා ශ්‍රී ලංකාවේ අවි ආයුධවල තාක්ෂණය ඉහළ මට්ටමක තිබෙන්නට ඇතැයි සිතිය හැකි සාධක බොහෝය. ඒ ගැනත් අප පර්යේෂක චාමිකර පිළපිටියගෙන් විමසුවෙමු.

“මෙම යුද්ධයේදී මහනුවර හමුදා තුවක්කු, කාලතුවක්කු සහ රොකට් පාවිච්චි කරලා තියෙන බව ලන්දේසි අත්පිටපත්වල ලියැවිලා තියෙනවා. එදා රොකට් හඳුන්වලා තියෙන්නෙ ගිනි පිඹින තුවක්කු නමින්. ඊට අමතරව ලී කාලතුවක්කුත් පාවිච්චි කර තිබෙනවා. ඒ ලී කාලතුවක්කු අද ක්ලේමෝ මයින්ඩ් කියන තාක්ෂණයට සමානයි. ”

අපේ රටට අයත් මෙවැනි කෞතුක භාණ්ඩ 3,000ක් පමණ නෙදර්ලන්තයේ ඇති බවත් ඒවා සියල්ලම නොවූවත් යම් ප්‍රමාණයක් හෝ ප්‍රමුඛතා ලේඛනයක් අනුව ලබාදීමට ද නෙදර්ලන්ත රජය සූදානම් බව ද ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි සඳහන් කළාය. ශ්‍රී ලංකාව හා නෙදර්ලන්ත ආයතන අතර සංස්කෘතික සහයෝගීතා කටයුතු මේ වනවිටත් ආරම්භ කර තිබෙන අතර ඉදිරියේදී තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීම, අධ්‍යාපන හා පුහුණු අවස්ථා ආදී කටයුතු රැසක් ක්‍රියාත්මක වීමට නියමිත බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය. මෙම කෞතුක භාණ්ඩ මෙරටට ගෙන්වා ගැනීමේ කාර්ය සඳහා දැඩි උනන්දුවෙන් සහ කැපවීමෙන් මඟ පෙන්වමින් අදාළ කටයුතු සිදු කරන බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ, ශ්‍රී ලංකා නෙදර්ලන්ත තානාපතිනි බොනි හොබාෂ් වෙත කෘතඥතාව පළ කිරීමට ද ඇය අමතක නොකළාය. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසුවේ නෙදර්ලන්තයේ සිට මෙරටට රැගෙන එන කෞතුක භාණ්ඩවල ආරක්ෂාව සහතික කරන බවයි. එමෙන්ම මෙවැනි උරුමයන් පිළිබඳ අනාගත පරපුරට දැනුම ලබාදීම සඳහා මෙම උරුමයන් පිළිබඳ පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඡායාරූප - සුදත් නිශාන්ත

Comments