රූපවාහිනී බාස්ලා සහ බොසාලා | සිළුමිණ

රූපවාහිනී බාස්ලා සහ බොසාලා

 

‘රූපවාහිනී ටැලිවිෂන් වැඩ කටයුතු පටන් ගන්නවා වැඩි කාලයක් යන්න ප්‍රථම. ඒව දන්න විශේෂඥයෝ වුවමනායි. වර්ණ රූපවාහිනියත් එනව. මේ රට සම්පූර්ණ පරිවර්තනයකට පත්වෙයි වර්ණ රූපවාහිනිය අපට පෙන්වන්න පුළුවන් වුණාම. අප මේ උත්සවයේදී අප කතා කරන අතරම ඒ කතා ඇහීමට පමණක් නොවෙයි, ඇසින් දැකීමටත් මාර්ගය ගෙන දෙනව, රූපවාහිනියෙන්. වර්ණ රූපවාහිනියෙන් නියම පාටටම පේනව.

ලංකාවෙ හැම පළාතෙම අප බලාපොරොත්තු වෙනව රූපවාහිනී යන්ත්‍ර බෙදා හරින්න. අධ්‍යාපනයට, ප්‍රචාරයට, මේ රට දියුණුවෙන අන්දම පෙන්වන්න. ඒ රූපවාහිනී යන්ත්‍ර අනුසාරයෙන් අපි වැඩ කටයුතු ආරම්භ කරනවා. ඒවා පාවිච්චි කිරීමට විශේෂඥයො වුවමනායි.’

දැන් සති ගණනක ඉඳල ජාතික රූපවාහිනිය, එහෙම නැත්නම් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සැමරුම් උත්සව, විශේෂ වැඩසටහන් කරනවා. ඒත් කාටවත් මතක් වුණේ නෑ. රූපවාහිනිය මෙරටට ජපානයෙන් පෞද්ගලික තෑග්ගක් විදිහට ලැබුණේ JRJ ට කියල. ඒ, ජපානයට JRJ නිදහස අරන් දුන්න නිසා.

මෙවර JRJ 5 වන සූත්‍රය විදිහට සමුනි ඉහත උපුටල දක්වන්නෙ, ඔරුගොඩවත්තෙ වෘත්තීය දක්ෂතා මධ්‍යස්ථානය විවෘත කරමින් 1979 ජනවාරි මාසෙ 26 දා ජනාධිපති ජයවර්ධන විදිහට කරපු අපූරු කතාවෙන්. ඒක නම් කරල තිබ්බෙ ‘බාස් පදය හා බාස් පදවිය’ කියල. රූපවාහිනියෙ විතරක් නෙවෙයි අද රාජ්‍ය යාන්ත්‍රණයේ බොහෝ කෙරුමන් JRJ බාස් කෙනෙක් කරල තමන් බොස් වෙලා ඉන්න විදිහ දැක්කම සමුනිට පුදුමෙකුත් නෑ.

JRJ රූපවාහිනිය පෙරමඟ එන බවට ජනතාව දැනුවත් කරන්නෙ 1979. එය යථාර්ථයක් බවට පත් කරන්න අවුරුදු තුනකට කලින්. නමුත් JRJ ගෙ හිත තුළ රූපවාහිනී සේවාවක් ලංකාවෙ ඇති කිරීමට ආසාව ඇති වෙලා තියෙන්නෙ 1950 ගණන්වල. ඩී.එස් ගෙ අස්වැද්දුම ගැනයි - බණ්ඩාරනායකගෙ ජනසතුව ගැනයි ඊයෙ පෙරේදාත් රූපවාහිනියෙන් කතා කරපු නායකකාරකාදීන් රූපවාහිනියක් තියා රේඩියෝ එකක්වත් ඒ කාලෙ අහල තිබිල නෑ.

ඒ ‍කොහොම වුණත් JRJ මුදල් ඇමති පදවිය දැරීමත් එක්ක ඔහුගේ පුරෝගාමීත්වයෙන් ගොඩ නැඟුණු ‘කොළඹ ක්‍රමය’ ආර්ථික සැලැස්ම හරහා (ග්‍රහලෝකාගාරය අද පවා පවතින්නෙ කොළඹ ක්‍රමයේ ප්‍රදර්ශනයකට හැදූ එකක් නමුත් එය ගලවා නොදැමිය යුතු දෙයක් ලෙස JRJ අදහස් කළ නිසා.) සංවර්ධිත රටවල් ගණනාවකම සංචාරය කරන්න ලැබෙනව. විශේෂයෙන්ම ලන්ඩන් - සිඩ්නි හා සැන්ෆ්‍රැන්සිස්කෝ නගරවලදී ඔහු ටැලිවිෂනයෙන් එළියට එන විස්මලන්ත දකිනවා. 1951 වර්ෂය වන විට JRJ ට ලෝක නායකයන් අතර හොඳ පිළිගැනීමක් ලැබෙන නිසා. ඒ අය සමඟ තමන්ද ටැලිවිෂනයෙන් දකින්න JRJ වාසනාව ලබනවා.

සැන්ෆ්‍රැන්සිස්කෝ සාම සම්මේලනයේදි බුදුන්ගේ ඉගැන්වීම්වලින් අබ ඇටයක් හඳුන්වාදීම නිසා ඔහුගේ ජනප්‍රියත්වය ලෝක නායකයන් අතර වැඩි වුණු බව කවුරුත් දන්නව. මේ කතාව අනාගත ජපානයේ ඉරණමට තීරණාත්මක තීන්දුවක් දුන් එකක්.

මේ සම්මේලනයට ශ්‍රී ලාංකික ජාතිය ඇතුළු ජාතීන් 52ක් සහභාගි වුණා. ඒ කාලේ ‍සෝවියට් සංගමය හෙවත් රුසියාව තමන්ගෙ කොමියුනිස්ට් අධිරාජ්‍ය බලවත් කරගත් ජාතියක්. සෝවියට් අධිරාජ්‍යයේ නියෝජිතය හැටියට සම්මේලනයට සහභාගි වුණු ඇන්ඩ්රි ග්‍රොමිකෝ ඉන්දියාව හා බුරුමය යන තවත් හුටපට එක්ක ජපානයේ නිදහස සීමා කළ යුතුය යන මතය ඉදිරිපත් කළ මොහොතේ ඔහුට එරෙහිව නැගී සිටියේ අපේ JRJ ය. ඔහු ග්‍රොමිකෝ ගේ ගොරෝසු අදහස් බුල්ඩෝසර් කර දැම්මේ ‘නහී වේරෙන වේරානි - සම්මන්තීධ කුදාචනං’ යන බුදුන්ගේ ඉගැන්වීම පෙරට දමමින්. (වෛරයෙන් වෛරය නොනැසේ - වෛරය නැසෙන්නේ මෛත්‍රියෙනි.)

ඇත්තටම JRJ සැන්ෆ්‍රැන්සිස්කෝ සම්මේලනයේ කළ සම්පූර්ණ කතාව මේ තීරුවේ සිංහල කර ලිවීමට ඉඩ හසර මදකම ගැන සමුනි කනගාටු වෙනවා. ඒ නිසා අත්‍යවශ්‍යයම කොටස් කිහිපයක් පමණක් සාරය කොට දක්වන්න බලාපොරොත්තු වෙනවා.

‘මගේ රටේ ආණ්ඩුව වෙනුවෙන් පමණක් කතා කිරීමට මට පුළුවන් බව ඇත්තක් වුණත් ජපානයේ අනාගතය ගැන මුළු ආසියාවේම ජනතාව වෙනුවෙන්, ඔවුන්ගේ පොදු හැඟීම් මට ඉදිරිපත් කළ හැකියි කියා මා විශ්වාස කරනව.’

‘සම්පූර්ණ ස්වාධීන ජපානයක් බිහිකිරීම ගැන පළමුවෙන්ම යෝජනා කර සාකච්ඡාවට ගත්තේ 1950 ජනවාරි මාසෙ කොළඹදී පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩලයේ විදේශ ඇමතිවරුන්ගේ සම්මේලනයේදී බව ප්‍රීතියෙන් ප්‍රකාශ කර සිටිනවා.’

‘ලංකාව, ඉන්දියාව හා පාකිස්ථානය වැනි ආසියාතික රටවල් ජපානය සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ගය ප්‍රාණවත් කරනු ලැබුවේ, ජපානය නිදහස් විය යුතුය යන අදහසයි.’

‘ජපාන‍ය නිදහස් කිරීමට ආසියාවේ ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටින්නේ ඇයි? ජපානය සමඟ අපේ ඇති පැරණි සබඳතාව එක් හේතුවක්. ඒ වගේම ආසියානු රටවල් අතරින් ජපානය පමණක් බල සම්පන්නව - ස්වාධීනව සිටීම නිසා ආසියාවේ අනෙකුත් රටවල් ජපානය තම ආරක්ෂකයෙකු හා මිත්‍රයෙකු වශයෙන් ඉතා ඉහළින් ගරුකර සැලකීම තවත් හේතුවක්. ආසියාව එක්සත් වී දියුණු කිරීමේ සටන් පාඨය මේ රටවල ජනයා පිළිගත් කාලයක බුරුමය, ඉන්දියාව හා ඉන්දුනීසියාව වැනි රටවල සමහර නායකයන් මෙකල ජපානය සමඟ එක් වූයේ තම ආදරණීය රාජ්‍යයන් නිදහස් කරගැනීමේ බලාපොරොත්තුවෙනි.

ඉහත ප්‍රකාශයේ ‘ආසියාව එක්සත් වී දියුණු කිරී‍ෙම් සටන් පාඨය’ දැන් වඩාත් උස් හඬින් ලෝකයට කියා සිටින්නේ අගමැති රනිල් බව නිතර ඇසේ. ඔහුට අනුව ආසියාවේ ආර්ථික කේන්ද්‍රය වන්නේ ශ්‍රී ලංකාවයි. JRJ දසක හයකට විතර එපිට කියූ අදහසක් අද ආසියාව පුරා මල් නොව ඵල දරමින් සිටින බවද සමුනිට පෙනේ.

JRJ ගේ ඓතිහාසික කතාව අවසානයේ, එකල ජපන් අගමැතිවූ ෂ‍ිගේරු යෙෂිඩා කෘතඥතාව පළ කළා පමණක් නෙවෙයි, ජපානයේ සංචාරයකටද ආරාධනා කළා. ඒත් JRJට ජපානයට යන්න පුළුවන් වෙන්නේ 1968 ජූලි මාසයේදී. ඒ කියන්නේ අවුරුදු 17කට පස්සෙ.

ජපන් පොදු ජනතාව JRJ ට දැක්වූ භක්ති පූර්ව ස්තුතිවන්ත බව කියා පාන අයුරු සිද්ධියක් වාර්තා වෙන්නෙ මේ ගමනින් පස්සෙ. ඒ ජපාන සංචාරයෙදි JRJ කළ කතාවකට සවන් දුන්න, දුප්පත් ජපන් ගොවියෙකු වූ තොකුහෙයි හාරා ගුචී විසින් JRJ එවපු ලිපියකින්.

ඒ ලිපිය, කෙටියෙන් මෙහෙම දක්වන්න පුළුවන්: ඉතා දුප්පත් ගොවියෙක් වුණත්, ඔබගේ දේශනය අපගේ වැසියන්ට පහදා දී බුදුන් සරණ යාමට මම අදිමදි කළේ නෑ. ඔබතුමා දීර්ඝායුෂ ලබා බුද්ධ ධර්මය තව තවත් ප්‍රචාරය කරනු ඇතැයි, මගේ එකම ප්‍රාර්ථනයයි.

ඉතින් දැන් කොහොම හරි ජාතික රූපවාහිනියට 35ක් පිරිලනෙ. හැබැයි මේක නෙවෙයි ලංකාවෙ පළමුවැනි නාළිකාව. ‘සුළු ව්‍යාපාරයක්’ විදිහට පළමු රූපවාහිනී නාළිකාව පටන් ගත්තෙ JRJ ගෙ ඥාතියෙක්. ශාන් වික්‍රමසිංහ රනිල්ගෙ සහෝදරයෙක්. හැබැයි ඒ නාළිකාව කිසියම් ‘නෛතික’ හුටපටයකට පැටළුණු වෙලාවෙ මහින්ද වගේ ‘පවුලේ නාළිකාවට’ සපෝට් කළේ නැහැ. JRJ ඒක රජයට පවරා ගත්තා. අද ITN කියන්නෙ ඒ නාළිකාව.

ITN එකේ කලක් සභාපතිවරයෙක් වූ ධම්මික ගංගානාත් දිසානායක දැන් ජපානයෙ ශ්‍රී ලංකා තානාපති. කෙටි කලක් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් වූ ඔහුගේ දේශන එකකට හෝ දෙකකට සමුනි ශිෂ්‍යයෙක් විදිහට සහභාගි වෙලා තියෙනව. කාරණේ ඒක නෙවෙයි, මෑතකදී ලංකාවට ආව වෙලාවෙ ධම්මික සර් ලංකාවෙ රූපවාහිනී මාධ්‍යයට අලුත් අදහසක් දුන්නා. සමුනිට ‍තේරුම් ගිය අන්දමට එයා කිව්වෙ, එකිනෙක නාළිකා කොපිකර යන්නන් වාලේ යන්නෙ නැතිව අලුත් වැඩසටහන් ක්‍රම ගැන කල්පනා කළොත් හොඳයි කියල.

ලංකාවේ රූපවාහිනී නාළිකා 40ක් විතර තියෙනව. මේවා අඩු - වැඩි විදිහට විසිර කාලයෙන් සෑහෙන ඉඩක් තමන්ගෙ වර්ණනාවට ගන්නව. ස්ව - ප්‍රචාරණයට වඩා ආකර්ෂණය වටිනව කියල ළාවට වගේ සමුනිට හිතෙනව. හැබැයි මේකට JRJ ගෙ 5 වන සූත්‍රයට අනුව කියනව නම් විශේෂඥයො ඕනෑ.

උක්ත සූත්‍රය උපුට ගත්ත දේශනයෙදි JRJ මෙහෙම කියනව. ඕලන්ද භාෂාවෙන් බාස් කියන්නෙ නායකයාට. ඒත් විශේෂඥයො වෙන්න ඉගෙන ගන්න තරුණයන්ට බාස් කිව්වොත් යකා නගිනව. ඒ හින්ද බාස් බැරිනම් බොස් කියල හිතාගෙන හරි වැඩේ හරියට කරන්න ඉගෙන ගන්න. මේ අනුව ගත්තාම ලංකා රූපවාහිනී මාධ්‍යයෙ බාස් තමයි JRJ. අනිත් ඔක්කොම බොස්ලා. බොස්ලා ඉතින් බාස් සිහි කරන්නෙ මොන කෙං ගෙඩියකටද?

 

Comments