ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමේදී ලද ජයග්‍රහණ හා ඉදිරි දැක්ම පිළිබඳ සමාලෝචනයක් | සිළුමිණ

ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමේදී ලද ජයග්‍රහණ හා ඉදිරි දැක්ම පිළිබඳ සමාලෝචනයක්

ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වන විධායක ජනපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී දිවුරුම් දුන් අයුරු. අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු විය.

* භාවිත කළ විදේශ විනිමය සංචිත ශුන්‍යයට ආසන්න මට්ටම කරා ළඟා වීම සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මූල්‍යයනය කිරීම සඳහා පවා විදේශ විනිමය ලබා ගැනීම දුෂ්කර වීම හේතුවෙන්, ගෝලීය වශයෙන් ණය ලබා ගැනීමේදී අවසාන විසඳුම වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමක සහාය සහිතව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුකරන තුරු, 2022 වසරේ අප්‍රේල් මාසයේ දී තෝරාගත් විදේශීය ණය ආපසු ගෙවීම සඳහා ණය සහන කාලයක් ප්‍රකාශ කර තිබීම.

* ඉතා සීමිත වෙළෙඳ මූල්‍යයනයක් පමණක් සහිතව ජාත්‍යන්තර මූල්‍යයන පහසුකම් සඳහා ප්‍රවේශය අහිමි වීම දක්වා රටේ ණය ශ්‍රේණිගත කිරීම් "සීමාකාරී ලෙස ආපසු නොගෙවන (RD)" මට්ටමකට පත් විය. සමස්ත ශ්‍රී ලංකා ආර්ථිකයටම පුළුල් වශයෙන් අයහපත් ප්‍රතිඵල ඇති කරන ලද 2019 වසරේ නොවැම්බර් මස දී ප්‍රකාශයට පත් කරන ලද පෙර නොවූ විරූ, දැඩි හා සංකීර්ණ බදු කපා හැරීමෙහි ඍජු ප්‍රතිඵලයක් ලෙස 2019 වසරේ අග භාගයේ වන විට ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙළීම ආරම්භ විය.

* ඉතා දිගු කාලයක් මුළුල්ලේ විනිමය අනුපාතිකය අමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 200 සීමාවේ පවත්වා ගෙන යාමෙන් පසු, කිසිදු ආරක්ෂිත ක්‍රියා මාර්ගයකින් තොරව පාවීමට ඉඩ හැරීම හේතුවෙන් 2022 වසරේ මැයි මාසය වන විට අමෙරිකානු ඩොලරය රුපියල් 365 පමණ දක්වා ඉතා ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වීම.

* භාවිත කළ හැකි සංචිත නොමැති වීම හා වෙළෙඳපොළ මූල්‍යයනය සීමාසහිත වීම හේතුවෙන් ඉන්ධන, ගෑස්, ඖෂධ හා පොහොර වැනි අත්‍යවශ්‍ය ආනයනවල උග්‍ර හිඟයකට මුහුණපා තිබීම.

* ඉන්ධන හිඟය, දිගු කාලීන විදුලි විසන්ධි කිරීම්, ආනයනික යෙදවුම් හිඟ වීම් ආදිය හේතුවෙන් 2022 වසරේ ආර්ථිකය සියයට 7.8කින් තීව්‍ර ලෙස සංකෝචනය විය.

* පොහොර හිඟය හේතුවෙන් කෘෂිකාර්මික සැපයුම්වල සැලකිය යුතු අවහිරතා ඇති වීම හා 2022 වසර තුළදී ආහාර උද්ධමනය සියයට 95 ඉක්මවා යාම.

* 2019 වසර අවසානයේදී සිදු කරන ලද බදු අඩු කිරීම හේතුවෙන් 2021 වසරේ දී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 8.3 දක්වා පහත වැටීම. මේ හේතුවෙන් 2022 වසරේ ජුනි මාසය අවසානය වනවිට නොපියවූ බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 214 තෙක් වර්ධනය විය.

* විදේශීය මූල්‍යයනය සඳහා ප්‍රවේශය අහිමි වීම හේතුවෙන්, අය වැය හිඟය සම්පූර්ණයෙන්ම දේශීය මූලාශ්‍ර මඟින් පියවා ගන්නා ලදී. අයවැය හිඟයෙන් විශාල කොටසක් ශ්‍රී ලංකා මහ බැංකුවට මූල්‍යයනය කිරීමට සිදු විය. 2022 සැප්තැම්බර් මාසයේ දී උද්ධමනය වාර්තාගත ලෙස සියයට 70 දක්වා ඉහළම අගයක් කරා ළඟා වූ අතර, එලෙස උද්ධමනය වැඩි වීමට මහ බැංකුවෙන් ණය ලබා ගෙන අය වැය හිඟය මූල්‍යයනය කිරීම විශාල ලෙස දායක විය.

* දැඩි ආර්ථික දුෂ්කරතාවන් නොසන්සුන්තාවකට මෙන්ම දේශපාලනික කැලඹීමකට හේතු වීම. විශේෂයෙන් 2022 වසරේ ජූලි මස 20 වන දින සිට ආරම්භ වූ ජනාධිපතිධුර කාලය යටතේ වන නව පරිපාලනය විසින් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග මාලාවක් දියත් කරන ලදී.

2022 වසරේ මැයි මාසයේ දී වත්මන් ජනපතිවරයා, අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍යවරයා බවට පත්වන විට, ශ්‍රී ලංකාව නිදහසෙන් පසු ඉතිහාසය තුළ මුුහුණ පෑ උග්‍රතම ආර්ථික අර්බුදයට මැදිව තිබුණි.

රාජ්‍ය මූල්‍ය ක්‍රියාමාර්ග

රාජ්‍ය මූල්‍ය ස්ථායීතාව නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා බදු ප්‍රතිසංස්කරණ හා වියදම් කළමනාකරණ ක්‍රියාමාර්ග ගණනාවක් ක්‍රියාත්මක කරන ලදී.

ප්‍රතිඵල

2022 වසරේ ප්‍රාථමික හිඟය ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 3.7 දක්වා අඩු විය. (ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මහා භාණ්ඩාගාරය වෙත හිඟ මුදල් පියවන ලද්දේ නම් මෙය ද.දේ.නි. යෙන් සියයට 2.7ක් වනු ඇත.)

2023 වසරේ පළමු කාර්තුව වන විට අය වැයෙන් ප්‍රාථමික අතිරික්තයක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ අතර, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ව්‍යුහාත්මක මිණුම් දඬු ඉලක්කය අබිබවා යන සැලකිය යුතු මට්ටමේ කාර්ය සාධනයකි. මෙය ළඟා කර ගන්නා ලද්දේ, දින 90කට වඩා නොපියවූ බිල්පත් රහිතව වීම මෙහි වඩාත් වැදගත් සාධකය වේ.

මූල්‍ය ප්‍රතිපත්තිය

මිල ස්ථායීතාවය හා විදේශීය අංශයේ ස්ථායීතාව ඇති කිරීම සඳහා ආර්ථිකයේ සමස්ත ඉල්ලුම හා ආනයන ඉල්ලුම පාලනය කිරීමට පොලී අනුපාතික ඉහළ දමන ලදී. ප්‍රාථමික ශේෂයේ වර්ධනයත් සමඟ, 2023 වසරේ දෙවන කාර්තු වන විට මහ බැංකු අරමුදල් හරහා අයවැය හිඟය මූල්‍යයනයෙන් ක්‍රමයෙන් ඉවත් වීම මඟින් 2023 වසරේ ජුනි මාසය වන විට රජයට ලබා දෙන ශුද්ධ ණය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ව්‍යුහාත්මක මිණුම් දණ්ඩ කරා ළඟා වීමට ශ්‍රී ලංකාවට හැකි විය.

ප්‍රතිඵල

කොළඹ පාරිභෝගික මිල දර්ශනය අනුව උද්ධමනය 2022 වසරේ සැප්තැම්බර් මස වන විට පැවති සියයට 70ක ඉහළම අගයක සිට 2023 වසරේ ජූලි මාසයේ දී සියයට 6.3ක තනි ඉලක්කමක අගය දක්වා අඩු විය. 2022 වසරේ අගෝස්තු මාසයේ දී සියයට 90කට වඩා වැඩි වූ ආහාර උද්ධමනය 2023 වසරේ ජූලි මාසයේ දී සියයට 1.4 දක්වා අවධමනය විය. පොලී අනුපාත ද අඩු වෙමින් පවතී. ඒ අනුව, 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී සියයට 30.5ක්වූ වසරක් සඳහා වන භාණ්ඩාගාර බිල්පත් අනුපාතය 2023 වසරේ ජූලි මස වන විට සියයට 14 දක්වා අඩු විය.

බලශක්ති අංශය

2022 වසරේ මැයි මාසයේ සිට ඉන්ධන සඳහා පිරිවැය නිරූපිත මිලකරණය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලදී. 2014 වසරේ සිට විදුලි මිල ගණන් සඳහා ගැළපුම් සිදු කර නොමැති බැවින් 2022 වසරේ අගෝස්තු මාසයේ සිට විදුලිය සඳහා ද පිරිවැය නිරූපිත මිලකරණය හඳුන්වා දෙන ලදී.

ප්‍රතිඵල

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ශේෂ පත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීම හේතුවෙන් එම ආයතන දෙකෙහිම මූල්‍ය තත්ත්වය නැවත යථා තත්ත්වයට පත් වී ඇත. බිඳ වැටීමකින් තොරව අඛණ්ඩව පාරිභෝගිකයන් වෙත බලශක්තිය සැපයීමට ආයතන දෙකටම වර්තමානයේ දී හැකි වී තිබෙන අතර, පිරිවැය නිරූපිත මිල සූත්‍රය මඟින් ගෝලීය බලශක්ති මිල ගණන් පහළ යෑමේ, වාසිය දේශීය පාරිභෝගිකයන් වෙත ලබාදීමට ද හැකි වී ඇත.

විදේශ අංශය

සීමිත විදේශ විනිමය ලැබීම් අත්‍යවශ්‍ය ආනයන සඳහා පමණක් යොදවන බව සහතික කිරීම පිණිස ආනයන සීමා හා ආනයන සඳහා ගෙවීම් සිදු කරන ඇතැම් ක්‍රම සඳහා සීමා තාවකාලිකව පනවන ලදී.

ගෝලීය ආර්ථිකය දුර්වලවීම මධ්‍යයේ වුව ද, අපනයන වෙළෙඳපොළ පවත්වා ගැනීම සඳහා ඉතාමත් අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය යෙදවුම් පමණක් සැපයීම මඟින් අපනයනකරුවන් ප්‍රමුඛතාගත කරන ලදී.

විශ්වාසය වඩා වර්ධනය වීමත් සමඟ, ආනයන සීමාකිරීම් ක්‍රමයෙන් ලිහිල් කරන ලද අතර, විදේශ විනිමය ද්‍රවශීලතාව වර්ධනය කරමින් විදේශ විනිමය ලැබීම් නැවතත් විධිමත් බැංකු පද්ධතිය හරහා සිදු කිරීමට පෙලඹෙන ලදී.

ප්‍රතිඵල

විදේශ විනිමය ද්‍රවශීලතාව වර්ධනය වීමත් සමඟ ආනයන සුලබ වීම හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය පහ විය. දැනට අමෙරිකන් ඩොලරය රුපියල් 315ක පමණ අගයට ළඟා වීමට පෙර ජුනි මාසයේ දී ඇමෙරිකන් ඩොලරය රුපියල් 290 පමණ වෙත ළඟා වීමත් සමඟ රුපියල ශක්තිමත් වීම ආරම්භ විය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම

ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් නිල ණය හිමියන් හා වාණිජ ණය හිමියන් සමඟ සාකච්ඡා ආරම්භ කරන ලදී. 2023 වසරේ මාර්තු මාසයේදී, සියලුම නිල ණය හිමියන් මුල්‍යමය තහවුරු ලබා දීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ විස්තීරණ ණය පහසුකම් වැඩසටහන සඳහා අනුමැතිය ලබා දෙන ලදී.

ණය හිමියන් සමඟ සාකච්ඡා අඛණ්ඩව සිදු කරමින් පවතියි. 2023 වසරේ ජුනි මස 28 වන දින අමාත්‍ය මණ්ඩලය ද සහ 2023 ජූලි මස 01 වන දින පාර්ලිමේන්තුව ද විසින් අනුමත කරන ලද දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන 2023 වසරේ ජූලි මස 04 වන දින දියත් කරන ලදී.

ප්‍රතිඵල

දේශීය ණය ප්‍රශස්තකරණ සඳහා තෝරාගත් ආකෘතිය, උද්ධමනය පහත වැටීම අනුව යමින් පොලී අනුපාතික සැලකිය යුතු ලෙස පහත හෙළීමට ඉඩ සලසන මූල්‍ය වෙළෙඳපොළ විශ්වාසය යථා තත්ත්වයට පත්කර ඇත. 2022 වසරේ සැප්තැම්බර් මාසයේ සියයට 30.5ක් වූ එක් අවුරුදු භාණ්ඩාගාර බිල්පත් අනුපාතිකය 2023 වසරේ ජූලි මාසය වන විට සියයට 14ක් දක්වා අඩු විය. පොලී අනුපාතික අඩු වීම හේතුවෙන් රජය විසින් පොලී ගෙවීම සඳහා දැරිය යුතු පිරිවැය අඩු වීම ඇතුළුව සමස්ත ආර්ථිකයේම පිරිවැය අඩු කරගැනීමට හැකිවිය.

විදේශීය මූල්‍යයනය

ශ්‍රී ලංකාවට විදේශීය මූල්‍යනය සඳහා ප්‍රවේශය අහිමි වීම හේතුවෙන් රජය විසින් බහුපාර්ශ්වීය මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කොට පොහොර ඖෂධ සහ සමාජ ආරක්ෂණ වැනි කෙටිකාලීන කඩිනම් අවශ්‍යතා සපුරාලීම සඳහා දිගුකාලීන වශයෙන් අරමුදල් ලබාදීමට කටයුතු කරන ලදී.

ප්‍රතිඵල

2023 වසරේ මාර්තු මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියත් සමඟ ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය මූල්‍යන පහසුකම් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකන් ඩොලර් මිලියන 330ක් ද, ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකන් ඩොලර් මිලියන 350ක් හා ලෝක බැංකුවෙන් අමෙරිකන් ඩොලර් මිලියන 700ක් වශයෙන් ද ලබා දී ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ධනාත්මක පියවර හේතුවෙන් පසුගිය වසරේ සිට මේ දක්වා රුපියල් බිලියන 200කට ආසන්න භාණ්ඩාගාර බැඳුම්කර මත කෙටිකාලීන විදේශ ආයෝජන සිදු කර ඇත.

ඉදිරි දැක්ම

පසුගිය වසර මුළුල්ලේ ගනු ලැබූ ක්‍රියාමාර්ග, මූලික ආර්ථික ස්ථායීතාව පුළුල් වශයෙන් ස්ථාපිත කිරීම සඳහා ඉවහල් වූ අතර එම ස්ථායීතාවය පූර්ණ වශයෙන් ඇති කිරීමටත්, ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ මාර්ගයට පිවිස වර්ධනය ළඟා කර ගැනීමටත් තවත් දිගු කාලයක් ගතවනු ඇත. ඒ සඳහා දැනට ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ එකඟ වූ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා අනුගත වීම අත්‍යවශ්‍ය වේ.

ඉදිරි මාස කිහිපය තුළ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග රැසක් පවතී. මහ බැංකු පනත, බැංකු පනත සඳහා සංශෝධන හා දූෂණ විරෝධී නීති සඳහා දැනටමත් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබේ.

එසේම, රාජ්‍ය මුදල් කළමනාකරණ පනත හා ස්වාධීන ණය කළමනාකරණ ඒජන්සියක් ස්ථාපිත කිරීම සඳහා නීති සම්පාදනය කිරීම මධ්‍යකාලීනව මෙන්ම දිගුකාලීනව රාජ්‍ය මූල්‍ය හා රාජ්‍ය ණය තිරසර ලෙස පවත්වා ගැනීම සඳහා ඉවහල් වනු ඇත. ශ්‍රී ලංකාව 2022 වසරේ මුහුණ දුන් ආකාරයේ අර්බුදයකට නැවත වතාවක් පත් නොවීමට නීති සම්පාදනය කළ යුතුය.

ණය නොවන ලැබීම්

ශ්‍රී ලංකාව විදේශීය ණය අර්බුදයෙන් යථා තත්ත්වයට පත්වීම සඳහා සාර්ව ආර්ථික ස්ථායිතාව ළඟා කර ගැනීමේ ක්‍රියාවලිය හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා සහාය වන අතරම, ණය නොවන විදේශ විනිමය ලැබීම් තිරසරව වර්ධනය කිරීම මේ සඳහා දිගුකාලීන විසඳුමක් වේ. මෙමඟින් ආනයනය සඳහා ගෙවීම් හා විදේශීය ණය සේවාකරණය වැනි විදේශ විනිමය පිටතට යෑම අඛණ්ඩව මූල්‍යයනය කිරීමට හැකි විය යුතුය.

සෘජු විදේශීය ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ අපනයන උත්පාදනය සඳහා මිලියන 22ක ජනගහනයෙන් ඔබ්බට ශ්‍රී ලංකාවේ ඵලදායි වෙළෙඳ පොළ ව්‍යාප්ත කළ යුතුය. මේ සඳහා රජය විසින් උපායමාර්ගික පාර්ශ්වකරුවන් සමඟ වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමට ප්‍රයත්න දරයි. මෙහි දී ඉන්දියාව, චීනය හා තායිලන්තය මූලික වශයෙන් සලකා බලනු ලබන අතර, රජය විසින් ඒ හා සමගාමීව නැ‌ෙඟනහිර ආසියාවේ විස්තීරණ වෙළෙඳ පොළ වෙත ප්‍රවේශ වීම සඳහා කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබාගැනීමට අපේක්ෂිතය.

උපායමාර්ගික වෙළෙඳ පොළවල් සඳහා ප්‍රවේශ වීමට උත්සාහ කරන අතරම, ශ්‍රී ලංකාවේ ආනයන ක්‍රමානුකූලව ලිහිල්කරණය කිරීම ද අවශ්‍ය වේ. තරගකාරීත්වය අවම වීම හේතුවෙන් දේශීය කර්මාන්තයන්හි තරඟකාරිත්වය ක්‍රමයෙන් පරිහානියට පත් වීමටත්, ප්‍රධාන කර්මාන්තයන්හි අධික අමුද්‍රව්‍ය මිලටත් (උදාහරණයක් ලෙස ඉදිකිරීම් කර්මාන්තය) සහ ජීවන වියදම් ඉහළ යාමටත් දායක වන නිෂ්පාදන ගණනාවක් මත වර්තමානයේ දී ඉතා ඉහළ තීරු බදු සහ තීරු බදු නොවන අනෙකුත් ආනයනයේදී ගෙවන බදු (para tariff) පනවා තිබේ. මෙම තීරු බදු ඉවත් කිරීමේ ක්‍රියාවලිය අදියර වශයෙන් ක්‍රියාත්මක කරනු ඇත.

එමෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලය, සහ ආයෝජන මණ්ඩලය යන ආයතන ඒකාබද්ධ කර නවීන ආර්ථිකයෙහි අවශ්‍යතා සපුරාලිය හැකි ඉතා යුහුසුළුව ක්‍රියාත්මක වීමට හැකියාව ඇති ආයතනයක් නිර්මාණය කිරිම සඳහා වෙළෙඳ හා ආයෝජන ක්‍රියාවලියට සහය වීමේ අරමුණ ඇතිව ආයතනික ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාවලියක රජය නියැළී සිටියි.

 

නිෂ්පාදන ආර්ථිකය වැඩි දියුණු කිරීම

ඉල්ලුම හා සම්බන්ධ වෙළෙඳ පොළ ප්‍රසාරණය හා සමාන්තරව, ආර්ථික නිෂ්පාදනයෙහි සැපයුම් අංශය සඳහා ඉහළ සහනයක් ලබාදීම අවශ්‍ය වේ. විදේශ අංශයෙහි ස්ථාවරත්වය සහ පහළ උද්ධමනය සහිත ස්ථාවර ආර්ථික පදනමක් පැවතීම ආර්ථිකයෙහි ප්‍රසාරණය සඳහා අත්‍යවශ්‍යම සාධක වේ. වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි සහ වෙනත් සුබසාධන ගෙවීම් සහ පොලී ගෙවීම මෙන්ම සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සැපයීම ආදිය ඇතුළත් අනිවාර්ය ගෙවීම් අඛණ්ඩව සිදු කිරීම සඳහා රජය දැඩි අර්බුදයක නියැළී සිටින බැවින් කෙටිකාලීනව ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම උදෙසා සැලකිය යුතු පරිදි මූල්‍ය ආධාර සැපයීම සඳහා රාජ්‍ය මූල්‍ය අවකාශයේ ඉඩක් නොමැත. එබැවින්, පෞද්ගලික ව්‍යවසායයන් මඟින් සැපයුම් පුළුල් කිරීම සඳහා වන අවහිරතාවන්ට පිළියම් සෙවීම සම්බන්ධයෙන් මූලික අවධානය යොමු වනු ඇත.

 

වර්ධනය ඉහළ නංවන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ

ඵලදායි කටයුතු උදෙසා ඉඩම් ලබාදීම සඳහා ඉඩම් හඳුනාගැනීමේ හදිසි අවශ්‍යතාවක්ව පවතී. කම්කරු නීති සඳහා වූ යෝජිත සංශෝධන තුළ ශ්‍රම වෙළෙඳ පොළේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිහිපයක් හඳුනාගෙන ඇත. මේවා මඟින් ශ්‍රම ඵලදායිතාව සහ ශ්‍රම බළකා සහභාගීත්වයෙහි සැලකිය යුතු ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇත. ප්‍රාග්ධන වෙළෙඳ පොළෙහි අවශ්‍ය වැඩි දියුණු කිරීම්වල දී බුන්වත්භාවය (bankruptcy) පිළිබඳ පැහැදිලි නීති ස්ථාපනය කිරීම ඇතුළත් වේ. රාජ්‍ය අංශයට සහ රජය සතු ව්‍යවසායයන්ට අදාළ වන මනා පාලන භාවිත පහසු කිරීම සඳහා නව රාජ්‍ය මුදල් කළමනාකරණ පනතක් කෙටුම්පත් කරමින් පවතී. රජයේ ආදායම වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ආදායම් අධිකාරියක් පිහිටුවනු ලැබේ. රාජ්‍ය අංශයේ ප්‍රසම්පාදනයේ විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීම සඳහා විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය හඳුන්වාදීම ක්‍රියාත්මක වෙමින් පවතී. එය 2023 වසර අවසන් වීමට පෙර නිම කිරීමට බලාපොරොත්තු වන අතර, 2025 වසරේ දී ඊ - රාජ්‍ය ප්‍රසම්පාදන ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමවේදයක් සැලසුම් කරමින් පවතී.

අනෙකුත් වර්ධනය වැඩි දියුණු කරන ප්‍රධාන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවලට කෘෂිකාර්මික අංශයේ නවීකරණය වේගවත් කිරීමේ ප්‍රයත්නයක් ඇතුළත් වේ. බලශක්ති ක්ෂේත්‍රයෙහි ද උත්පාදන පිරිවැය අඩු කිරීමට සහ හරිත බලශක්තිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ජනන මිශ්‍රණය (generation mix) වැඩි දියුණු කිරීමට සැලකිය යුතු ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන අතර එමගින් ශ්‍රී ලංකාවෙහි ව්‍යවසායයන්වල තරගකාරිත්වය ඉහළ නංවනු ඇත.

 

රාජ්‍ය සේවා සඳහා ආයෝජනය කිරීම

අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, පොදු ප්‍රවාහන සහ ඩිජිටල්කරණය යන අංශ ඵලදායි ආර්ථික ක්‍රියාකාරකම් සඳහා තීරණාත්මක යෙදවුම් වන අතර ඒ සඳහා රාජ්‍ය සම්පත් සහ මුල්‍යයනයන් වැඩි වශයෙන් වෙන් කිරීම අවශ්‍ය වේ. පොදු ප්‍රවාහන සහ ඩිජිටල්කරණය සඳහා වන ආයෝජන කෙටිකාලීනවද ආර්ථිකයේ ඵලදායිතාව ළඟා කර ගැනීමේ කැපී පෙනෙන ප්‍රතිලාභයක් ලබා දෙනු ඇත. අධ්‍යාපන ක්ෂේත්‍රයට සැලකිය යුතු නවීකරණයක් ද අවශ්‍ය වේ. දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම් අවම කිරීමේ උත්සාහයේදී හරිත මූල්‍යකරණය සහ අනෙකුත් ගෝලීය මූල්‍ය සම්පත් වෙත ප්‍රවේශ වීමට හැකි වන පරිදි රට ස්ථානගත කිරීම අවශ්‍ය වේ. මේ සඳහා පෞද්ගලික අංශයේ සහය ලබාගැනීම ද අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම දැනට පවතින අර්බුදකාරී කාල පරිච්ඡේදය තුළ දුප්පත් සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා ප්‍රමුඛතාව ලබා දී ඇත.

 

පුළුල් නිරීක්ෂණය

2022 වසරේ දී මුහුණ දුන් ව්‍යසනකාරී සහ විවිධ ස්වරූපයෙන් යුක්ත වූ අර්බුදවලින් ශ්‍රී ලංකා ආර්ථිකය තවමත් යථා තත්ත්වයට පත්වෙමින් පැවතුණ ද අර්බුදය අවසන් වී නොමැත. ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ සලකුණු මතුවීමට පටන්ගෙන ඇති අතර මෙලෙස අත්පත් කරගත් වර්ධනය තිරසරව පවත්වා ගැනීම සඳහා ඉතා පරීක්ෂාකාරීව සකස් කරන ලද උපාය මාර්ග අවශ්‍ය වන අතරම, අනෙකුත් සාධක අතර රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව වැඩි දියුණු කර පවත්වා ගෙන යාම, ණය තිරසරභාවය සහතික කිරීම සහ විදේශ අංශය ආශ්‍රිත ස්වාරක්ෂක (external buffers) නැවත ගොඩ නැඟීම සඳහා වන උස්සාහ දිගටම පවත්වාගෙන යාම අත්‍යවශ්‍යය. ආර්ථිකය තිරසර ලෙස යථා තත්ත්වයට පත් වීම සහ සර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය වන ආරක්ෂණ, ලිහිල් කිරීම සුදුසු නොවන අවස්ථාවේ ගනු ලබන ඕනෑම උත්සාහයක් මඟින් ආපසු හැරවිය නොහැකි හානියක් ඇති කළ හැකිය. මෙම පසුබිම යටතේ, විශේෂයෙන් රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ ක්‍රියා පිළිවෙත, රජයේ වියදම් දැඩිලෙස පාලනය සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ සහ භාවිතයන් (best practices) කෙරෙහි අනුගත වීම, යථා තත්ත්වයට පත් වීම සඳහා වන මාවතේ ප්‍රධාන සංරචකයක් වන රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය සහතික කිරීම සඳහා තීරණාත්මක වේ.

ඉතා අපහසුවෙන් ළඟා කරගත් විදේශ අංශයේ ස්ථාවරත්වයට හානියක් නොවන පරිදි ආනයන සීමා ලිහිල් කිරීමට රජය ක්‍රමානුකූල ප්‍රවේශයක් ගනිමින් සිටියි. උද්ධමනය අඩුවීම වේගවත් වීමත් සමඟම ප්‍රතිපත්ති පොලී අනුපාත ශීඝ්‍රයෙන් අඩු කිරීම මඟින් පොලී අනුපාත පහළ දැමීමට මහ බැංකුව පියවර ගනිමින් සිටී. රාජ්‍ය ආදායමේ මන්දගාමී වර්ධනයක් තිබියදීත්, භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම හරහා නොපියවූ බිල්පත් ප්‍රමාණයක් පියවීම මඟින් 2022 වසර අවසන් වන විට නොපියවූ බිල්පත් රුපියල් බිලියන 106ක මට්ටමක පවත්වා ගැනීමට හැකි විය. මෙම ක්‍රමවේදය 2023 වසරේ මුල් භාගයේදී ද අඛණ්ඩව ක්‍රියාත්මක වු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දැනට අතැති බිල්පත් මාස තුනකට අඩු මට්ටමක පවත්වා ගෙන යනු ලැබේ. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය වේගවත්ව ඉදිරියට යමින් පවතින නමුත් රාජ්‍ය මූල්‍ය මෙහෙයුම් සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට බොහෝ කාලයක් සහ අඛණ්ඩව ප්‍රයත්න අවශ්‍ය වේ. සමාජ සුබසාධන පද්ධතිවල තෝරා ගැනීමේ ක්‍රමවේදය තවදුරටත් විධිමත් කළ යුතු අතර, එම පද්ධති දියුණු කිරීම මඟින් දිළිඳු සහ අවදානමට ලක්වුවන් සඳහා සහාය ලබාදීම කෙරෙනු ඇත.

 

සමාප්තිය

පසුගිය වසරක පමණ කාලය තුළ සිදු කරන ලද දුෂ්කර ප්‍රතිසංස්කරණ මෑත ඉතිහාසයේ ක්‍රියාත්මක කරන ලද වඩාත්ම අභියෝගාත්මක ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වේ. රට මුහු දී සිටින ගැඹුරු සහ පෙර නොවු විරූ ආර්ථික අර්බුදයේ සන්දර්භය තුළ එවැනි ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වේ. ඉහත දක්වා ඇති අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ දීර්ඝ කාලයක් පුරා තිරසර පදනමක් මත ක්‍රියාත්මක කිරීමට පුළුල් කැපවීමක් අවශ්‍ය වේ. කෙටි කාලීන හා ජනප්‍රිය ප්‍රතිපත්තිවල අහිතකර බලපෑම් අපි නැවත නැවතත් දැක ඇත්තෙමු. නමුත් මෙවර, අත්හදා බැලීමට දෙවන අවස්ථාවක් නොමැත. ප්‍රතිසංස්කරණවල මිළඟ අදියර ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට සහ ශ්‍රී ලංකාව වේගයෙන් වර්ධනය වන, සාධාරණ, හරිත හා තිරසර ආර්ථිකයක් ලෙස නැඟී සිටීම සහතික කිරීමට අප එක්ව කටයුතු කළ යුතුය.

 

Comments