මතවාද නැති කිසිම දේශපාලන පක්ෂයක් නැහැ | සිළුමිණ

මතවාද නැති කිසිම දේශපාලන පක්ෂයක් නැහැ

ශ්‍රීලනිප මහ ලේකම්වරයාව පක්ෂයෙන් ඉවත් කර තියෙනවා. එය ඔබ දකින්නේ කොහොමද?

ශ්‍රීලනිප පක්ෂයෙන් ඉවත් කරලා නැහැ. එතුමාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කරලා තියනවා. ව්‍යවස්ථාව අනුව සභාපතිවරයාට ඒ බලය තියෙනවා. මේ ආකාරයට තහනම් කළාට පස්සේ මධ්‍යම කාරක සභාවට වාර්තා කරන්න අවශ්‍යයි. ඉන්පසුව මධ්‍යම කාරක සභාව විසින් චෝදනා පත්‍රය ඉදිරිපත් කිරීමෙන් පසුව විනය පරීක්ෂණයක් පවත්වලා තමයි පක්ෂයෙන් ඉවත් කිරීමට හැකියාව ලැබෙන්නේ. ඒත් එහෙම හැකිවෙන්නේ වැරදිකරුවෙක් වුවහොත් පමණයි. මේ තාවකාලික තහනම ගැන හේතුව දන්නේ සභාපතිවරයා පමණයි.

මේ රටේ ප්‍රගතිශීලි පැරණි පක්ෂයක් වන එදා ශ්‍රීලනිප අද ශ්‍රීලනිප දකින්නේ කොහොමද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොවෙයි. ලංකාවෙ අද බොහෝ දේශපාලන පක්ෂ විකෘති ස්වභාවයකට පත්වෙලා තියනවා. සෑම දේශපාලන පක්ෂයක්ම දකුණේ වේවා, උතුරේ වේවා විවිධ කණ්ඩායම්වලට කල්ලිවලට කැඩිලා ගිහින් තියෙනවා. ඒ පමණක් නොවෙයි. මේ රටේ ජනතාව දේශපාලන පක්ෂ පිළිබඳව තියෙන විශ්වාසය එක්තරා ආකාරයකින් අවිශ්වාසයක් බවට පත් කරගෙන තියෙනවා. අද ජනතාව ඒකරාශී වෙන්නෙ ගම් මට්ටමෙන්, ආසන මට්ටමෙන්. මේ මොන විදියෙන් හෝ වේවා ඒ ඒකරාශි වීම සිදුවන්නෙ පුද්ගලයන් වටා මිසක, දේශපාලන පක්ෂ මට්ටමෙන් නොවෙයි. අදත් දේශපාලන දෙදරා යෑම් තියෙනවා. ඒ තත්ත්වයම ශ්‍රීලනිපයටත් වෙලා තියෙනවා. ශ්‍රීලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව වුණා. ඉන්පසුව පොහොට්ටුවෙන් වෙන් වෙලා; ශ්‍රීලනිප වෙනම ගමනක් ගියා. ඉන්පසුව අද පොහොට්ටුව තුළ සිටින කට්ටියත් කල්ලි කණ්ඩායම්වලට බෙදිලා කටයුතු කරනවා. ඒ නිසා අද ශ්‍රී ලංකාවේ සමස්ත දේශපාලන ප්‍රවාහය තුළම මෙවැනි විකෘති තත්ත්වයක් වෙලා තියෙනවා. අනෙක් දේශපාලන පක්ෂවලටත් මේ තත්ත්වය සිදුවෙලා තියෙනවා. මේ විශ්ලේෂණවලින් මිදිලා ඇත්ත වශයෙන්ම ජනතාව බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියලා අපි හිතන්න අවශ්‍යයි. ඉස්සර නම් හැමදාම ශ්‍රීලංකා කාරයෝ, යුඑන්පීකාරයො, ජවිපෙකාරයෝ කියලා පිරිසක් හිටියා. අද ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා.

ඒ අය එදා තමන්ගේ දේශපාලන ස්ථාවරත්වය කිසිදු දිනයක වෙනස් කළේ නැහැ. කැපුවත් නිල් රතු කොළ කියන තත්ත්වයක් අද නැහැ. අද ඡන්ද දායකයන් පාවෙන ඡන්ද දායකයන් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා ශ්‍රිලාංකිය දේශපාලනය තුළ ජනතාව මේ අවස්ථාවේදී දේශපාලන පක්ෂවලින් බලාපොරොත්තු වෙන්නේ කුමක් ද යන කාරණාව වටහාගෙන ඒ අනුව කටයුතු නොකර සිටියොත් මේ රටේ දේශපාලන පක්ෂ පවත්වා ගෙන යාම ඉතාමත් අසීරු වෙනවා.

ඔබ සඳහන් කරනවා දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් එදා ජනතාවට තිබුණ විශ්වාසය අවිශ්වාසයක් බවට පත් වෙලා තියනවා කියලා ඇයි එහෙම වුණේ?

එය වෙන්න හේතුව තමයි; මෙතෙක් කල් දේශපාලන පක්ෂ කළේ ජනප්‍රිය සටන් පාඨ ඉදිරියට දාගෛන ජනප්‍රිය තීන්දු ගත් එකයි. බලයේ ඉන්න කොටත් එය කළා. ජනප්‍රිය වෙන්නෙ බලයේ නැති කාලවලදීත් එය කළා. ඉටු කළ නොහැකි පොරොන්දු ලබාදුන්නා. නමුත් බලයට පත් වුණාට පස්සේ ඒ පොරොන්දු ඉටුකරන්න බැරි වුණා. රටේ ආර්ථික අවපාතය නිසා රජයක් වශයෙන් ජනතාව එදා දුන් ගතානුගතිකව අපේක්ෂා ඉටු කරන්න බැරි වුණා. ඒ අය බලාපොරොත්තු වෙනවා රස්සාවක් ගන්න සමෘද්ධිය ගන්න පොහොර සහනාධාරය ගන්න අඩු මිලට බස් ගාස්තු ලබා ගන්න. ජනතාවගේ තිබුණ ඒ බලාපොරොත්තු අද පවතින තත්ත්වයත් සමඟ කොයිම රජයකටවත් ලබා දෙන්න බැහැ. අපි දේශපාලන පක්ෂ වශයෙන් තේරුම් අරගෙන ජනතාව දැනුම්වත් කළ යුතුයි. අපිට රටට කළ හැකි දේ සහ කළ නොහැකි දේ හා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා තීරණය කළ යුතුයි. ඒ ක්‍රියාමාර්ග අමිහිරි වෙන්න පුළුවන්. කටුක වෙන්න පුළුවන්. එයින් පරිබාහිරව ජනප්‍රිය රසවත් තීරණ මේ අවස්ථාවේදි කිසිදු දේශපාලන පක්ෂයකට අරගෙන රට ඉදිරියට ගෙනයන්න හැකියාවක් නැහැ.

ශ්‍රීලනිප 72වැනි සම්මේලනයේදී පක්ෂයේ අභිවෘද්ධියට ගනු ලැබූ තීන්දු මොනවාද?

අපි එක්වෙලා රට ගොඩනඟන්න අවශ්‍යයි කියන එකයි ගත්ත තීන්දුව. ශ්‍රී ලනිප අපි දෙකඩ වෙලා තිබුණේ අහිමි වෙලා තිබුණ තනතුරු නැවත ලැබුණා. ඒ අනුව අපි අපේ වගකීම් ඉටු කරනවා මේ සම්මේලනය තුළින්. අපිට දෙකඩ වුණ පක්ෂය ඒකරාශි කරන්න පුළුවන් වුණා. නමුත් ඊට වඩා අපිට තව ඉදිරියට යාමට ජාතික වැඩපිළිවෙළක් සකස් කරගත යුතුයි. මේ සම්මේලනයෙන් අපේ ඉදිරි ප්‍රතිපත්ති සකස් කර ගැනීමට පදනම දැමීමයි සිදු වුණේ

එම සම්මේලනයේදී ඔබ පරණ ආදර්ශ පාඨය තවදුරටත් වලංගු ද යන කාරණාව මතු කරනවා. සැබැවින්ම පරණ ආදර්ශ පාඨ අදට වලංගු නැද්ද?

ඒ කියන්නේ පක්ෂයක ප්‍රතිපත්ති වැඩපිළිවෙළ කාලීනව වෙනස් විය යුතුයි. ඒ දවස්වල මේ පක්ෂවල නායකයන් තරුණ ප්‍රජාව සහ කාන්තාවන් ගැන කතා කළේ නැහැ. එයට හේතුව එදා තිබුණ දේශපාලන වටපිටාවයි. නමුත් අද දේශපාලන වටපිටාවේ ඉන්නේ තරුණයන් අද සමාජ ජාල මාධ්‍ය දියුණු වෙලා තියෙනවා. චින්තන වෙනස් වෙලා තියෙනවා. අද මුහුණු පොත විශාල බලපෑමක් ඇති කරලා තියනවා. තරුණ ප්‍රජාවට පැරණි දේශපාලඥයන්ගේ දේවල් දන්නේ නැහැ. ඒ අය බලන්නේ අද ලෝකයේ වෙනස් වෙලා තියන ආකාරයයි. ලංකාවේ අද වටපිටාව ගැන ඒ අය දැනුම්වත්. ඒ අයව පක්ෂයකට යොමු කර ගැනීම ඉතාමත් වැදගත්.

ශ්‍රීලනිප අභ්‍යන්තරයේ ගැටුම් තියෙනවා කියලා කියනවා. පක්ෂය හැර ගිය අයත් පක්ෂයේ රැඳී සිටිය අයත් එක් පිළිවෙතක් අනුගමනය නොකරන බවට චෝදනා තියෙනවා?

ගැටුම් නැති කිසිම දේශපාලන පක්ෂයක් නැහැ. දේශපාලනික වශයෙන් මතවාදී ගැටුම් තියෙනවා. ඒවා දේශපාලන පක්ෂයක් තුළ අපි විග්‍රාහ කරගෙන අපි එක මතයකට එන්න අවශ්‍යයි. අති බහුතර මතයකට එකඟ වෙන්න අවශ්‍යයි. ඒ නිසා මත ගැටුම් කියලා දේශපාලන පක්ෂයක් අතහැර යන්න හේතුවක් නැහැ. එය පොදු කාරණාවක්.

මත්තල ගුවන්තොටුපළ සහ ශ්‍රීළන්කන් ගුවන් තොටුපොළ ප්‍රතිව්‍යුහගත කරන බව රජය සඳහන් කර තිබෙනවා. ඒ සඳහා ආයෝජකයන් ඉන්නවාද?

මත්තල ගුවන් තොටුපොළ සඳහා ආයෝජකයන් සොයනවා. ගුවන්තොටුපොළක කරන්නේ ගුවන් යානා යන එන විතරක් නොවෙයි. මත්තල ගුවන්තොටුපොළේ ගුවන් යානා අලුත්වැඩියා කරන මධ්‍යස්ථානයක් සකස් කරන්න පුළුවන්. දැන් ලෝකයේ ගුවන් යානා කල් යාමේදි කෑලිවලට ගලවලා වෙන් කරලා විකුණන ව්‍යාපාර තියෙනවා. ඒ වගේ ගුවන් තොටුපොළවල තවත් ගුවනින් බඩු ගෙනියන මධ්‍යස්ථාන හදන්න පුළුවන්. ගුවන් යානා පිළිසකර කරන මධ්‍යස්ථාන හදන්න පුළුවන්. ගුවන් යානා කර්මාන්තය සමඟ ගැටුණු කර්මාන්ත රාශියක් තියෙනවා. අපි කල්පනා කරන්නේ ගුවන් යානා එන එක පමණක් නොවෙයි. මේ කර්මාන්ත මේ තැන්වලට ගෙන එන්න පුළුවන් නම් මේ ගුවන් තොටුපොළ වඩා ඵලදායි ගුවන්තොටුපොළක් බවට පත් කරගන්න පුළුවන්.

කටුනායක ගුවන් තොටුපොළේ මඟී පරියන්තයේ තදබදය සඳහා ගන්නා පිළියම කුමක්ද?

කටුනාක ගුවන්තොටුපොළේ මඟී පර්යන්තයේ තදබදය සඳහා පිළියමක් ලෙස දෙවැනි පර්යන්තය අපි හදන්න ජපානයේ ජයිකා ආයතනයෙන් සහන ණය මුදලක් ලබා ගෙන කටයුතු කළේ. කොවිඩ්වලින් පසුව එහි වැඩ කටයුතු අඩාළ වුණා. කොවිඩ්වලින් පසුව අපේ රටේ ආර්ථික අවපාතයක් ඇවිල්ලා අපේ මහා භාණ්ඩාගාරයෙන්ම ප්‍රකාශයක් කළා අපේ රට බංකොලොත් රටක් කියලා. ඉතින් බංකොලොත් රටකට ණය දෙන්න කිසිම රටක් කැමැති නැහැ. ඒ අනුව ඇමැතිවරයා ලෙස මම පත්වුණාට පස්සේ ජයිකා ආතනයත් සමඟ සාකච්ඡා කළා. ජපන් තානාපති ලංකාවට ඇවිල්ලා කිව්වා ඒ රටේ මුදල් හා ණයට දීමේ නීති රෙගුලාසි අනුව තවදුරටත් ණය ප්‍රතිව්‍යුහගත කරලා ජත්‍යන්තර මුල්‍ය ආයතනය ලංකාවට මේ ණය ගෙවීම සඳහා ශක්තියක් ඉදිරියේදී ඇතිවන බවට සහතියක් දෙන තුරු මේ ණය ලැබෙන්නේ නැහැ කියලා. මේ අනුව මේ ගුවන් පර්යන්තය හදාගන්න බැරි වුණත් ප්‍රධාන හේතු ආර්ථීක අවපාතය. මඟී තදබදය නැති කිරීමට අපේ මුදල්වලින් යම් ආකාරයට වැඩ කටයුතු ටිකක් කරනවා. යම් ආකාරයකට ඉඩ ප්‍රමාණයක් අරගෙන තාවකාලික පර්යන්ත හදනවා. කැබිනට් සන්දේශයක් ඉදිරිපත් කරලා තියෙනවා.

බිලියන පහක් පමණ ඒ සඳහා වැය වෙනවා. ජයිකා ආයතනයෙන් මුදල් ලබා ගෙන ඉතුරු ටික කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් තවත් පර්යන්ත අපි හදනවා. මාස නවයකින් වගේ එය හදන්න පුළුවන්. තදබදය අඩු කිරීමේ ක්‍රම රාශියක් හොයාගෙන තියනවා. ගතානුගතික ක්‍රමවේදයන්ගෙන් බැහැරව ආගමන විගමන කටයුතු වලදි ඊගේට්ස් හතරක් සකස් කිරීමට කටයුතු කරනවා. අන්තර් ජාතික විගමණිකයන්ගේ සංවිධානය මඟින් තවත් ඊගේට්ස් අටක් පරිත්‍යාග කිරීමට පොරොන්දු වෙලා තියනවා. ඒ නිසා මාස හත අටක් යනවිට තදබදය අවම කරන්න පුළුවන්. අපේ ඉන්ධන සම්බන්ධ තිබූ හිඟය නැති කරලා තියනවා. ඉන්ධන ලබා ගැනීමේ පහසුව ලබා දිලා තියෙනවා. මෙට්‍රික් ටොන් තිස්පන්දහසක් රඳවා තබා ගැනීමට ටැංකියක් හදලා ගුවන්යානා ඉන්ධන නොකඩවා සැපයීමේ ක්‍රියාවලියක් සිදු වෙනවා. පුද්ගලික අංශයේ දායකත්වය ලබා දෙන්න කටයුතු කරනවා. මේ ක්‍රියාවලියත් ආයෝජකයකුට ලබා දීලා තියනවා.

එසේම වරාය චීනයට විකුණන බවට රාවයක් තියෙනවා. මොකක්ද මේ චිනයට විකුණනවා කියන කතාවේ ඇත්ත තත්ත්වය ?

වරාය විකුණන්නේ නැහැ. අපි ඒකාබද්ධ ආයෝජන ඇති කරනවා. එනම් වරායටත් කොටස් තියන පිටරට සමාගම්වලටත් කොටස් තියෙන ආකාරයට අනුව ඒ කොටස් අනුව බෙදාගන්නා ක්‍රමවේදයක් ඇති කරනවා. අවුරුදු ගානක් ගියාට පස්සේ නැවත වරායට අයිතිය ලැබෙනවා. ආයෝජන ආකර්ෂණ කිරීම සඳහා ගනු ලබන හා කරනු ලබන ක්‍රමවේදයන් පමණයි. අපි වරායන් කාටවත් විකුණලා නැහැ.

Comments