නාහිමිවරු ජනපතිට සහතික දෙන අතරේ බැසිල් - නාමල් හමුවක් | සිළුමිණ

නාහිමිවරු ජනපතිට සහතික දෙන අතරේ බැසිල් - නාමල් හමුවක්

නැඟෙනහිර පළාතේ සංචාරය නිමකළ ජනපති රනිල් කොළඹ පැමිණ ඉරිදා දිනය වෙන් කර තිබුණේ අමාත්‍ය මණ්ඩල සංදේශ මොනවාදැයි අධ්‍යයනය කිරීමටය.

ජනපතිට මන්ත්‍රීවරුන්ගෙන් පැමිණිල්ලක්

සඳුදා පෙරවරුවේ ඇමති මණ්ඩල හමුව පැවැති අතර එහිදී අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම ගැන සාකච්ඡා කළේය. මෙම සතියේ සිට එය ගෙවන බව ජනපති දැනුම් දුන්නේ ඇමතිවරුන්ටය. ජනාධිපති විදේශීය සබඳතා ශක්තිමත් කර ගනිමින් දේශීය ආර්ථිකය නඟා සිටුවීමට කටයුතු කරන බව මෙහිදි කියැවිණි.

කැබිනට් හමුව අවසන් වී ජනපති රනිල් පිටතට එද්දී ජනපති පාර්ලිමේන්තු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ සමඟ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු රැඳී සිටියේ ජනපති හා අගමැති දෙදෙනාම මුණ ගැසීමටය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වන ප්‍රේම්නාත් සී දොලවත්ත, මධුර විතානගේ හා ජගත් සමරවික්‍රම ඒ අතර වූහ.

“සර් මේ කට්ටිය ඇවිල්ලා ඉන්නේ පැමිණිල්ලක් කරන්න.” මහාචාර්ය ආශු කීවේ ජනපති හා අගමැති දෙස බලමිනි.

“විපක්ෂ නායකතුමයි එයාගේ කට්ටියයි උදේට තියෙන මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න පැය විනාශ කරනවා.” දොලවත්ත මන්ත්‍රීවරයා කීය.

“විපක්ෂය කරන වැඩේ හින්දා අපිට විවාදයේ කතා කරන්න වෙලාවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා මෙතන වැඩිම අසාධාරණයක් වෙන්නේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට. අපිට කතාවට විනාඩි 15ක් වෙන් වුණත් විපක්ෂ නායකගේ මේ කෝළම නිසා අන්තිමට අපිට විවාදයේදි ලැබෙන්නේ විනාඩි 4ක විතර කාලයක්.” මන්ත්‍රී ජගත් සමරවික්‍රම ද කීවේ එවැන්නකි.

“මේ කතාව අපි අනන්තවත් පක්ෂ නායක රැස්වීම්වලදී කතා වෙනවා. එතනදි කාලය කළමනාකරණය කරගන්න එකඟ වෙලා සභාවට ආවට පස්සේ ඒක වෙනස් කරනවා. ” එතනට පැමිණි ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න රණතුංග ද මන්ත්‍රීවරුන්ගේ කතාව අනුමත කළේය.

“අපි මේ ගැන කථානායකතුමා එක්ක කතා කරන්නම්” ජනපති රනිල් කීවේ අගමැති දිනේෂ් දෙස බලමිනි.

ජනපති අඟහරුවාදා සිය කාර්යාලයට පැමිණෙන විට මැති ඇමතිවරු පිරිසක් ද එහි පැමිණි සිටියෝය. ඔවුන් ඉදිරිපත් කළ පැනය වූවේ එදින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට භික්ෂූන් වහන්සේලා පිරිසක් බලෙන් කඩා පාත්වීම ගැනය. එය නරක පූර්වාදර්ශයක් බව පිරිස කියන්නට වූහ.

ජනපති සමඟ මලික් එක්වෙයි

ජනපති එදින සවස මහනුවරට ගොස් දළදා සමිදු වැඳපුදා ගැනීමෙන් පසු මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් හා අනුනාහිමිවරුන් බැහැ දුටුවේය. ඔහු සමඟ මේ ගමනට එක්සත් ජාතික පක්ෂ හිටපු සභාපති මලික් සමරවික්‍රම ද එක්ව සිටියේය.

අස්ගිරි පාර්ශ­්වයේ අනුනායක වේඩරුවේ උපාලි සහ අස්ගිරි පාර්ශ­්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි නාහිමිවරුන් ද ජනපති බැහැ දුටුවේය. මෙහිදි ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියන් ජනපතිගේ ක්‍රියාකලාපය අගය කළ අතර ඔහුට රට දියුණු කරන්න සැවොම සහාය දිය යුතු බව කියා සිටියහ.

ජනපතිට නාහිමිවරුන්ගේ ප්‍රසාදය

“ජනාධිපතිතුමා අපි බණට ගියාම රටේ ප්‍රශ්න ගැන ජනතාව අහනවා. ඉතින් මම හිතුවා මේ වෙලාවේ ඒ ප්‍රශ්න ටික ඔබතුමාගෙන් අහන්න. එතෙකොට අපිට ජනතාව අහන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න පුළුවන්.” අනුනාහිමියෝ ජනපතිට කියද්දී “ඕන දෙයක් අහන්න නායක හාමුදුරුවනේ ”යැයි ජනපති පිළිතුරු දුන්නේය.

එහිදි අනුනාහිමියෝ අයි.එම්.එෆ් ගැටලුව මෙන්ම 13 වෙනි සංශෝධනයේ ඉඩම් ගැටලුව ගැන ද විමසා සිටියහ. ඊට ප්‍රතිචාර දක්වමින් ජනපති රනිල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කර දුන්නේය. එසේම 13 වෙනි සංශෝධනය ගැන සියලු කටයුතු කරනුයේ පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව බව කී ජනපති රනිල් ඉඩම් පිළිබඳ සොයා බැලීමට ජාතික ඉඩම් කොමිසමක් පිහිටුවා එහි බලය ජාතික මට්ටමෙන් පවත්වාගෙන යන බව ද කීවේය.

“මිනිස්සුන්ට ඕනේ කාලා ඇඳලා සාමාන්‍ය විදියට ජිවත් වෙන්න. නමුත් කණ්ඩායම් කිහිපයක් ඒක වෙනස් කරන්න හදනවා. පිටින් ගිහිල්ලා ප්‍රශ්න හදනවා. කුරුන්දි විහාරයේ ප්‍රශ්නයත් ඒ වගේ මට පේන්නේ. මේවට ඉඩ දෙන්න එපා.” අනුනාහිමියෝ කීහ. තමන් ඊට ඉඩ නොදෙන බව කී ජනපති එම පළාත් වල ප්‍රධාන භික්ෂූන් වහන්සේලා ඇතුළු පූජකවරුන්ගෙන් සමන්විත කමිටුවක් ස්ථාපිත කොට පූජනීය ස්ථානවල ගැටලු විසඳන බව කීවේය. ජනපති රනිල් මෙහිදී මල්වතු පාර්ශ­්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන්ද බැහැදැක සාකච්ඡා කළේය.

ජනපති රනිල් සෙනෙට් සභික ක්‍රිස් පුදුම කරවයි

ජනපති රනිල් අ‌ෙමරිකානු සෙනෙට් සභික ක්‍රිස් වෑන් හෝලන් මුණ ගැසුණේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ය. ඊට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ද එක්ව සිටියේය. එහි ආලින්දයේ ස්වල්ප වේලාවක් කතා බස් කරමින් සිටි ජනපති සෙනෙට් සභික වෑන් හෝලන්ව මන්දිරය පිටුපසට කැඳවාගෙන ගියේය.

මන්දිරය පිටුපස ඇති උඩවත්ත කැලේ පෙන්වමින් මහනුවර ඉතිහාසය ගැන දීර්ඝ විස්තරයක් කර සිටියේ සෙනෙට් සභිකව පුදුම කරවමිනි. පැය භාගයක පමණ සාකච්ඡාවකින් පසු ජනපති දළදා පෙරහැර නැරඹීට ක්වීන්ස් හෝටලය වෙත ගියේ සෙනට් සභික වෑන් හෝලන් හා මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චැන්ග් ඇතුළු පිරිස ද එක් කරගනිමිනි.

ජනපති ක්වීන්ස් හෝටලය වෙත එනවිට ජනතාවගෙන් හිමිවූයේ ඉතා ඉහළ පිළිගැනීමකි.

අගමැති වාමාංශික පක්ෂ නායකයන් සමඟ සිට ගනියි

ලංකා සමසමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ, ප්‍රජාතාන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ එකම වේදිකාවක සිට වමේ හඬ නැගූහ.

ඒ, මහින්ද ආරියවංශ රචිත, අනිල් මුණසිංහ චරිතප්‍රදානය ජනගත කිරීම පසුගියදා මතුගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවති අවස්ථාවේදී ය. මෙම උත්සවය පසුගියදා දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හොරණදී පැවති අතර විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයකි.

කිරිවෙහෙර අභියස 29 වන වසරටත් දිනේෂ් ලබාදුන් ප්‍රතිඥාව

රටේ ඒකීය රාජ්‍ය හා මාතෘ භූමිය සුරැකීම අරමුණු කරගෙන මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන්, මහජන එක්සත් පෙරමුණ, ජාතික සංවිධාන සමඟ එක්ව, කතරගම ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් අභියස වාර්ෂිකව පවත්වන අධිෂ්ඨාන පූජාව සහ සත්‍යක්‍රියාව 29 වසරටත් මෙවර පසුගිය 26 වැනිදා පැවැත්වුණේ ම.එ.පෙ. නායක, අගමැති දිනේෂ්ගේ ප්‍රධානත්වයෙනි. ඊට සහභාගි වීමට දිනේෂ් ප.ව. 4.00ට පමණ ම.එ.පෙ. නියෝජ්‍ය ලේකම් පා.ම. යදාමිණි ගුණවර්ධන සමඟ එහි පැමිණෙන විටත්, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, පියල් නිශාන්ත, අනූප පැස්කුවල්, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගෙවිඳු කුමාරතුංග, ගයාෂාන් නවනන්දන ඇතුළු ජනතා නියෝජිතයෝ රැසක් කිරිවෙහෙර භූමියට පැමිණ සිටියහ. අමාත්‍ය මහින්ද අමරවීර මදක් පමා වී පැමිණියත් සත්‍ය ක්‍රියාවට එක්විය. දිනේෂ් කෙලින්ම ගියේ කිරිවෙහෙර විහාරස්ථානයටයි.

කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි ඇතුළු මහා සංඝරත්නයට වැඳ නමස්කාර කළ ඔහු යුතුකමක් ඉටු කිරීමට සැරසුණි.

"කතරගම භෞතික සැලසුම් විශ්‍රාම ශාලාව නැවත කිරි වෙහෙරටම පූජා කරන්න ඔබවහන්සේගේ අනුශාසන පරිදි අපි ක්‍රියා කරනවා" අදාළ නෛතික ලියකියවිලි භාරදෙන ගමන් දිනේෂ් කීය.

දිනේෂ් නාගරික සංවර්ධන හා පුජාභූමි සංවර්ධන අමාත්‍යවරයා ව සිටියදී, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මඟින් කතරගම අංග සම්පූර්ණ විශ්‍රාම ශාලාවක් ඉදි කොට ඒ කටයුතු පවත්වාගෙන යාම සඳහා කිරිවෙහෙර රජමහා විහාරයට භාර කළ ද පසු කලෙක එය නැවත අමාත්‍යංශ පාලනයට පවරා ගෙන තිබිණි.

එහිදී දිනේෂ් මෙවැනි ප්‍රතිඥාවක් ලබාදීම කාගේත් අවධානයට ලක්විය.

"මව්බිමේ ඒකීය රාජ්‍යත්, භෞමික අඛණ්ඩතාවයත්, ස්වෛරීභාවයත් ස්වාධීනත්වයත් සුරැකීමට කැපවෙනවා. උතුම් සම්බුද්ධ ශාසනයත් මහා සංඝරත්නයත් ආරක්ෂා කොට චිරස්ථිතිය පිණිස කැපවෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී සමාජය ශක්තිමත් කරමින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයෙන් උත්තරීතර පාර්ලිමේන්තුව හා මහජන නියෝජිත ආයතනවලට මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීමටත් කැපවෙමින් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් කැපවනවා. තරුණයන්, කාන්තාවන්ට නිසි තැන උදාකර දෙමින්, පරිසර හිතකාමී වැඩපිළිවෙළක් සඳහා කටයුතු කරනවා"

මෙහිදී පෙරහරින් වැඩම කළ කංචුකය කිරිවෙහෙරට පූජා කෙරූ අතර පැමිණ සිටි පිරිස මෙන්ම කිරිවෙහෙර භුමියේ සිටි බැතිමතුන් සමඟද කතාබහ කිරීමට දිනේෂ් අමතක කළේ නැත.

නව සන්ධානයේ වගකීම අනුර යාපාට

ලබන ජනවාරියේදී මංගල රැලිය පවත්වා කලඑළි බැසීමට කටයුතු කරන නව සන්ධානයේ බිම් මට්ටමේ නියෝජිතයන් දැනුම්වත් කිරීමේ කටයුතු මේ දිනවල ඉතා යුහුසුළුව සිදුවන බව රාජගිරිය පක්ෂ කාර්යාලය පවසයි.

ඊට අමතරව ප්‍රධාන දේශපාලන පක්ෂවල වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ සහ නව සන්ධාන භික්ෂු සංවිධානය පිහිටුවීමේ සකච්ඡාවක් ද පසුගිය සතියේ පැවැත්වුණි.ඊට අමතර පසුගිය සතියේ කොළඹ සහ පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය සභා, නගර සභා ප්‍රධානීන් පිරිසක්ද නව සන්ධානයේ දේශපාලන කටයුතු සඳහා එක්වන බව නිමල් ලන්සා හමුවී සාකච්ඡා කළහ. මේ සඳහා සුගීශ්වර බණ්ඩාර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

"ලන්සා ඇමතිතුමාගේ අභියෝගය සාගර භාර ගත්ත ද"කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රාදේශීය සභා ප්‍රධානියෙකු විමසීය.

"මගෙන් ටී.වී නාලිකාවකින් ඇහුව සාගර එක්ක වැඩසටහනක් කළොත් එනවද කියල,මම කිව්වා අනිවාර්යෙන් මම එනවා කියලා"ලන්සා කිවේය.

"මම නං හිතන්නේ නෑ සාගර එයි කියල"සුගීශ්වර කිවේය.

"ඉතින් සාගර මොකද කියල තියෙන්නේ ඇමතිතුමා"තවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විමසීය.

"ආපහු මට ටි.වී. එකේ කට්ටියම කතාකරල කිව්වා සාගර එන්න බෑ කිව්වා කියලා"ලන්සා සිනාසෙමින් කිවේය. "මම දැක්කා පත්තරේකත් තියනවා සාගර කිව්වලු ලන්සා ඇමතිතුමා කියන දේවල් ඇත්ත පොහොට්ටුව හදනකොට ලන්සා ඇමැතිතුමාලා තමයි බැසිල් සර් එක්ක හිටියේ කියල"සුගිෂ්වර කිවේය.

මේ අතර නව සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ හමුවක් පසුගිය අඟහරුවදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. එහිදී සිදුවූ විශේෂත්වය වන්නේ නව සන්ධානයේ පක්ෂ කටයුතු සහ එහි නායකත්වයට ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පත්කිරීමයි.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සහ නිමල් ලන්සා විසින් මෙම යෝජනාව සිදුවූ අතර එය සෙසු පිරිස ද අනුමත කර තිබේ.

නාමල්ට ලැබුණු උසස්වීම

නාමල් රාජපක්ෂ මේ දිනවල පොහොට්ටුවේ ආසන බලමණ්ඩල රැස්වීම්වලට සහභාගි වෙමින් සිටි. මේ දිනවල වඩාත්ම කැපී පෙනෙන දේ නම් විපක්ෂය නාමල් රාජපක්ෂ ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමයි. පසුගියදා විපක්ෂයේ මරික්කාර් මන්ත්‍රීවරයා කියා සිටියේ නාමල් රාජපක්ෂ විපක්ෂයේ කාර්‍ය ඉටු කරන්න පටන් අරන් කියාය. මේ ගැන පොහොට්ටුවේ මන්ත්‍රීවරු රැසක්ම නාමල්ගෙන් ප්‍රශ්න කර සිටියහ. රෝහිත අබේගුණවර්ධන හා ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසා සිටියේ අන්න පොඩි සිංහයා හිට් වෙලා කියාය.

අනේ නෑ අයියා ඕගොල්ලො දන්නවනෙ ගෝඨාභය ජනාධිපතිවරයා ඉන්න කාලෙත් මම ජනතාව වෙනුවෙන් කතා කළා. මම ඒ දවස්වල කැබිනට් ඇමති. ඒ නිසා මට සාමූහික වගකීම නිසා එළියෙ විවේචනය කරන්න බැරි උනා.හැබැයි මම ගෝඨාභය ජනාධිපතිවරයාට ජනතාවගෙ පැත්තෙන් කියන්න ඕනෙ දේවල් කිවුවා. දැන් මම.කැබිනට් එකේ නෑ. ඒ නිසා මට ජනතාව වෙනුවෙන් විවෘතව පෙනී ඉන්න පුළුවන් ඒකට තමා ඔය විපක්ෂය කෑ ගහන්නෙ. “නාමල් පැවසීය. දැන් පොඩි සිංහයා නැගලා යනවා නේද එහෙම ඇහුවෙ තිස්ස කුට්ටිආරච්චිය. ඔව් දැන් මම පොඩි මයිනගෙන් පොඩි සිංහයට උසස්වීමක් ලබලා ඉන්නෙ“ නාමල් මෙහෙම කියනකොට සෙසු මන්ත්‍රීවරුන්ට සිනානොවී සිටීමට නොහැකි විය.

බැසිල් - නාමල් හමුවක්

මේ අතර නෙළුම් මාවතේ පැවති රැස්වීම් කිහිපයකටත් නාමල් පසුගිය සතියේ සහභාගි විය. නාමල් මෙහිදී පවසා සිටියේ “අපි ගමට යන්න ඕනෙ. ඒ නිසා ශාඛා සමිති ටික හදන්න පටන් ගමු කියාය.

නාමල් බැසිල් රාජපක්ෂ පෞද්ගලිකවම හමුවීද මේ අදහස පළකර සිටියේය. විශේෂයෙන්ම ප්‍රසන්න රණතුංග ඇමතිවරයාත් මේ ගැන කිව්වා. ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මුල ඉදන් හිටියෙ අපි ගමට බහින්න ඕනෙ කියන ස්ථාවරයෙ “නාමල් කියාගෙන ගියේය.“ ජොන්ස්ටන්, එස් එම් චන්ද්‍රසේන, රෝහිත, එස්.බී දිසානායක මේ ඔක්කොම කිව්වෙ ගමට බහින්න ඕනෙ කියලා “නාමල් වැඩිදුරටත් පැවසීය.

කෙහෙළියට එරෙහිව සජබයේ විශ්වාසභංගය

බාල බෙහෙත් මාෆියාව හේතුකොටගෙන රට පුරා බලවත් ව්‍යසනයක් ඉස්මතු ව ඇති බව සමගි ජන බලවේගය පවසයි.

මීට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව බව සමගි ජනබලවේගයේ දැඩි විශ්වාසය.

එනිසාම විෂය විෂය භාර අමාත්‍යවරයාට එරෙහි ව එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය කටයුතු කොට තිබේ. අදාල විශ්වාසභංගය ලබන සතියේ ගෙන ඒමට නියමිතය.

"මොකද ඔබතුමන්ලාගේ විශ්වාසභංගයේ තත්වය?"

ආණ්ඩුවේ ඇමතිවරයෙක් මරික්කාර් ගෙන් ඇසුවේය.

"නිසි කලට නිසි වේලාවට සේරම එයි. බාල බෙහෙත් මාෆියාව සමඟ එක්ව ජනතාවට මැරෙන්න අත උස්සන්නේ කවුද, ජනතාව බේරගන්න අත උස්සන්නේ කවුද කියලා එදාට රටේ ජනතාවට දැක බලාගන්න පුලුවන්" මරික්කාර් කීවේය.

"ආණ්ඩුව හිතන් ඉන්නවා අපි විශ්වාසභංගය අතෑරලා කියලා. එන සතියේ බලමුකො වෙන දේ" එහෙම කීවේ හර්ෂණ ය.

පැයක් පමණයි

පාර්ලිමේන්තු රැස්වීම් දිනවල මන්ත්‍රීවරුන් අසන ප්‍රශ්නවලට අදාළ විෂයභාර අමාත්‍යවරුන් පිළිතුරු දෙන අවස්ථාවලදී කාල වේලාව වෙන් කිරීම ගැන පසුගිය 01 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී වැඩි අවධානයක් යොමු කෙරිණි. මේ ගැන වැඩිපුරම කතා කළේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂයයි.

“ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ඇමතිවරුන්ට වෙන් කරලා තියෙන්නේ පැයයි”ප්‍රශ්න 10ට උත්තර දෙන ගමන් අතුරු ප්‍රශ්න දෙකකටත් උත්තර දෙන්න තියෙන්නේ පැයයි. මේක කළමනාකරණ කරගන්න ආණ්ඩු පක්ෂයෙන් හා විරුද්ධ පක්‍ෂයෙන් මුලාසනයට සහයෝගය හිමි විය යුතුයි.

සමහර මන්ත්‍රීවරුන්ට අතුරු ප්‍රශ්න අහන්න දුන්නම රැස්වීම්වල වගේ කතා පවත්වනවා. ඒවා අහන්න නොදුන්නොත් මුලාසනයට බණිනවා. ඒවා අහන්න දීලා පසුවට කාලය මදි වුණොත් ඒත් බණින්නේ මුලාසනයටමයි.

ඒක නිසා මින් පසුවට ප්‍රශ්න අහන්න දෙන්නේ හරියටම පැයයි. ප්‍රශ්න ඉතුරු වුණොත් ඊළඟ පාර්ලිමේන්තු රැස්වීම් සතියට යොමු කරනවා. මේක ඉතා තදින්ම ක්‍රියාත්මක කරන්න

කාලීන විවාද නොගන්නවාට සී.බී. ගේ විරෝධය

මෙම පක්ෂ නායක රැස්වීමේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ‍එරෙහිව විශ්වාසභංග යෝජනාව මේ මස 07,08 යන දිනවල විවාදයට ගැනීමට මෙහිදී තීරණය කෙරිණි. කෙසේ වෙතත් සී.බී. රත්නායක, කංචන විජේසේකර, ගාමිණී ‍ලොකුගේ, සාගර කාරියවසම් ඇතුළු පිරිසක් පෙන්වා දුන්නේ මේ අවස්ථාවේදී විවාදවලදී ප්‍රමුඛතාවය ලබාදිය යුත්තේ ආර්ථීක කටයුතුවලට අදාළ කාරණා සඳහා යනුවෙනි.

“කෙහෙළිය ඇමතිතුමාට විරුද්ධ විශ්වාසභංග යෝජනාව ඒක ඕන වෙලාවක ගේන්න. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඕන නම් සෙනසුරාදා, ඉරිදා යොදාගෙන ඒක ගන්න පුළුවන්. “ සී.බී. රත්නායක දැඩිව කියා සිටියේය.

වෘත්තියවේදීන්ගෙන් වජිරට ලැබුණු සහතිකය

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ වෘත්තීයවේදීන් පිරිසක් අතර සාකච්ඡාවක් පසුගිය ඉරිදා උදෑසන කොළඹදී පැවැත්වුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව සහ එය ඉදිරියට ගෙනයාම සඳහා වෘත්තිකයින් වශයෙන් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව කතිකා කරගැනීමට මෙම වෘත්තිකයින් පිරිස විසින් මෙම සාකච්ඡාව සූදානම් කර තිබිණි. ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කිරීමට සුදුසුම පුද්ගලයා වජිර අබේවර්ධන බැවින් ඔවුන් මේ සඳහා ආරාධනා කර තිබුණේ වජිරටයි.

සුහද හමුවක් ලෙස සංවිධානය කර තිබු මෙම හමුවට විවිධ ප්‍රදේශ නියෝජනය වෘත්තිකයින් එක් වී සිටියහ.

“ගරු ඇමතිතුමනි,

අපි මේ හමුව විශේෂයෙන්ම කැ‌ෙඳව්වේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙනයන වැඩපිළිවෙල ගැන සාකච්ඡා කරන්නයි. මොකද අපි මේ පිළිබඳව පැහැදීමකට ලක්වෙලයි ඉන්නේ.

අනික ඇමතිතුමා තව දෙයක් කියන්න ඕන අද මේ සහභාගිවෙලා ඉන්න පිරිස යූඑන්පීයට අයත් පිරිසක්ම නොවේ, විවිධ පක්ෂවලට ඡන්ද දුන් පිරිස මෙතැනට සහභාගීවෙලා ඉන්නවා. අපිට අවශ්‍ය වුණේ වෘත්තිකයින් වශයෙන් අපි කොහොමද මේ යන ගමනට සහයෝගය ලබාදෙන්න ඕන කියන එක ඔබතුමා එක්ක සාකච්ඡා කරන්නයි.” යැයි මෙම රැස්වීම සංවිධානය කළ පුද්ගලයා මේ ආකාරයට සාකච්ඡාවට ආරම්භයක් ලබාදුන්නේය.

ඔබතුමන්ලගේ අරමුණ බොහොම හොඳ එකක්. මේ රට ගොඩගන්න අපි හැමෝම එකතු වෙන්න ඕන. සියලු දෙනාම.

ඒකට කිසිම භේදයක් නැහැ. අනික දේශපාලකයින් වශයෙන් අපිට තනියම මේ වැඩේ කරන්න බැහැ. මේකට රටේ සමස්ත මහජනතාවම එක අරමුණකට එන්න ඕන.” යැයි වජිර ප්‍රකාශ කළේය.

ඊජිප්තුවෙන් අජිත් රාජපක්ෂට ලබාදුන් පණිවිඩය කුමක්ද?

ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර ආර්ථීක, දේශපාලනික හා සාමාජීය වශයෙන් මිත්‍රත්වය ගොඩනැංවීම සඳහා කඩිනමින් අවධානය යොමුකොට ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා ඊජිප්තුවේ පාර්ලිමේන්තුව අතර නව පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයක් ඇති කරීමට තීරණය කෙරේ.

මෙම කරුණු අනාවරණය වුයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති කාර්යාලයේ කොන්සලර් (Counsellor) මොහොමඩ් මඩී (Mohomed Mady) අතර පසුගියදා සිදු වූ හමුවකදීය.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක කාර්යාලයේදී පැවති මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරුණේ ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර සම්බන්ධතා වැඩිකරගැනීමට කළ යුතු කාර්යයන් පිළිබඳවයි. මේ සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා ඊජිප්තු පාර්ලිමේන්තුව අතර පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයක් ගොඩනැඟීම මුලින්ම කළ යුතු බව තීරණය කෙරුණු අතර ඒ සඳහා වන යෝජනාව තමා කථානායක මහින්ද යාපා අබේවර්ධනට යොමුකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මෙහිදී කියා සිටියේය.

ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කිරීම ‍සම්බන්ධයෙන්ද මෙම හමුවේ දී වැඩි අවධානයක් යොමු කෙරුණි. 

ශ්‍රී ලංකාවේ සුන්දර පරිසරය, වනජීවි ජාතික උද්‍යාන නැරඹීමටත්, ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ ආස්වාදය විඳගැනීමටද ඊජිප්තු ජාතිකයින් කැමැත්තෙන් සිටින බව ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති කාර්යාලයේ කොන්සලර් (Counsellor) මොහොමඩ් මඩී ප්‍රකාශ කළේය.

ඊජිප්තුවේ පිරමීඩ පිළිබඳව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ විමසු පැනයට පිළිතුරු ලබාදෙමින් කොන්සලර්වරයා කියා සිටියේ වසරකට ලෝකය පුරා සංචාරකයින් මිලියන 11ක් පමණ ඊජිප්තුවේ පිරමීඩ නැරඹීමට පැමිණෙන බවයි.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියන්ගේ නොබැඳි විදෙස් පිළිවෙතට ඊජිප්තුව හැමදාමත් ගෞරව කළ බවත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරියේදී දිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බව ද කොන්සලර් (Counsellor) මොහොමඩ් මඩී සඳහන් කළේය.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ කියා සිටියේ දෙරට අතර මිත්‍රත්වය වැඩි කරගැනීම තුළින් තවත් ප්‍රයෝජන රැසක් රටවල් දෙකටම හිමිවන බවයි.

Comments