අරලියගහ මැදුරේ තාප්පෙන් පැනපු මන්ත්‍රී කවුද? | සිළුමිණ

අරලියගහ මැදුරේ තාප්පෙන් පැනපු මන්ත්‍රී කවුද?

කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට එරෙහිව සමගි ජන බලවේග‍ය ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව විවාදය නිසා මැතිසබය බොහෝ සෙයින් උණුසුම් වූ අතර එය වැඩි ඡන්ද 40 කින් පරාජයට පත් විය. ඊට අමතරව චැනල් 4 ආන්දෝලනාත්මක වීඩියෝ පටයද පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය.

මැති ඇමැතිවරුන් ජනපතිව වටකර ගත්තේ ඇයි?

ජනපතිවරයා මෙම සතිය තුළ සැලසුම් සකස් කරන ලද්දේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ සහාය ලබා ගැනීම වෙනුවෙන් කළ යුතු දෑ සකස් කිරීමට ය. ඔහු අඟහරුවාදා පාර්ලිමේන්තු යන්නේ ද ඒ කරුණ අරමුණු කරගෙනය.

ඉකුත් සති අන්තයේ ජනපති රනිල් කොළඹ රැඳී සිටියේය. සඳුදා පෙරවරුවේ කාර්යාලයට පැමිණි ඔහු හමුවීම් ගණනාවකට සම්බන්ධ විය.

බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව එළිදැක්වීමට යෝජිත පාස්කු දින ප්‍රහාරයට අදාළ වැඩසටහනක් ගැන ද කතා බහ වූයේය. ජනපති රනිල් කීවේ මුලින්ම එය නරඹා සිටිමු කියාය. පසුව ඒ ගැන තීන්දුවක් ගත හැකිය යන්න ඔහුගේ අදහස විය. එහි ඉදිරිපත් කාරණා අනුව විපක්ෂය ඉල්ලා සිටින්නේ නම් පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කළ හැකි බවද ජනපති කීවේය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පසුව පැවැති අතර එහිදි ද මේ කාරණය සාකච්ඡා කෙරිණි. දේශීය ආදායම් පනත ඉරිදාට පෙර සම්මත කරගත යුතු බවද ජනපති ආණ්ඩු පක්ෂ කණ්ඩායමට දැනුම් දුන්නේය.

ජනපති රනිල් අඟහරුවාදා පෙරවරුවේ පාර්ලිමේන්තුව වෙත ගියේ දේශීය ආදායම් පනත ගැන සභාවට කරුණු කියන්නටය.

චැනල් 4 එකෙන් වාසිය ලැබුණු ඇමැති කවුද?

සභාවෙන් පිටතට පැමිණෙද්දී පාර්ලිමේන්තු ලොබියේ මැති ඇම­ැතිවරු පිරිස වට කරගත්තේ ජනපතිවය. ඒ අතර සෞඛ්‍ය ඇමති කෙහෙළිය ද සිටියේය. “අද ඔයාට හොඳයි කට්ටිය කතා කරන්නේ චැනල් 4 ගැන.” ජනපති කී දේ ට සැමට සිනහව නතර කරගන්නට නොහැකි වූහ.

“ඔව් මෙතුමා බොරුවටනේ බය වෙලා හිටියේ. එදා විපක්ෂය විශ්වාසභංගය දාපු දවසෙම ඒක ගත්ත නම් විපක්ෂයට ලකුණු දා ගන්න තිබුණා.” ඇමැති ප්‍රසන්න කීවේ එවැන්නකි.

“ඔව් දැන් විශ්වාසභංගයත් ගන්නවා. ඒ අතර දේශීය ආදායම් පනතත් ගන්නවා. තව පැත්තකින් චැනල් 4 ත් ගන්නවා. මේකෙන් විශ්වාසභංගය යට යනවා.” මන්ත්‍රී වජිර කියද්දී ජනපති ද හිස සැලුවේ එය අනුමත කරමිනි.

පුදුමසහගත අය වැය ගැන ජනපති කීවේ මොනවාද?

“පුදුමසහගත අය වැයක් ගේනවා කිවුවේ මොකක්ද සර්” ඒ පැනය ඇමැති චාමර සම්පත් ගෙනි. “ඒකට තව කල් තියෙනවානේ.” ජනපති පිළිතුරු දුන්නේ සිනහ සෙමිනි.

ජනපති පාර්ලිමේන්තුවේ සිය කාර්යාලය වෙත එන විට මැති ඇමැතිවරු පිරිසක් මෙන්ම ජපන් තරුණයෙකු ද එහි පැමිණ සිටිනු බොහෝ දෙනෙකු දුටුවේය. ඔහු පැමිණ තිබුණේ ජනපති ජපන් ගිය අවස්ථාවේ ජනපතිගෙන් ඔහු කළ ඉල්ලීමකට අනුවය. විශ්වවිද්‍යාල සිසුවෙකු වන ඔහු එරට මන්ත්‍රීවරයෙකු ලෙස පුහුණු වෙමින් සිටින්නෙකි.

කොළඹ බේරේ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදු වන්නේ ද ඔහුගේ දායකත්වයෙනි. මැති ඇමැතිවරු මුණ ගැසීමෙන් පසුව ජනපති ජපන් තරුණයා සමඟ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ඇවිද ගියේ ඔහුට පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගැන කියා දෙමිනි. මෙය දුටු මහාචාර්ය ආශු අසල සිටි මන්ත්‍රීවරුන්ට කීවේ “මෙතුමගෙන් ඉගෙන ගන්න ලෝකයෙන්ම තරුණයෝ එනවා. හැබැයි අපේ අය මෙතුමා පන්නන්න හදනවා” කියාය.

සුරේශ් සලේ ජනපතිට කීවේ මොනවාද?

පාස්කුදා ප්‍රහාරය ගැන චැනල් 4 නාලිකාව විකාශය කළ වාර්තා වැඩසටහන ගැන ද මෙහිදි සාකච්ඡා වූවේය. රාජ්‍ය බුද්ධි ප්‍රධානි මේජර් ‍ෙජනරාල් සුරේෂ් සලේ ද එහි පැමිණ සිටි අතර ඔහු ඔහුගේ නිරවද්‍යතාව ජනාධිපති ඉදිරියේ කියා සිටියේය.

එසේම චැනල් 4 නාලිකාව ඉදිරිපත් කරන චෝදනාවන්ට තමන් යොමු කළ කරුණු පැහැදිලි කිරීම් ද ඔහු ජනපතිට ඉදිරිපත් කළේය.

ජනපති රනිල් ඔහුට දැනුම් දුන්නේ චැනල් 4 නාලිකාවට යොමුකළ තොරතුරු ප්‍රසිද්ධ කිරීමේ අයිතිය ඔහු සතු බවය. එසේම කමිටුවක් පත් කොට මේ ගැන පරීක්ෂණයක් කරනා බවද ජනපති රනිල් ආරක්ෂක කවුන්සියලයට දැනුම් දුන්නේය.

ජනපති රනිල් එහි සිටි සාගල රත්නායකට දැනුම් දුන්නේ විශ්‍රාමික රාජ්‍ය නිලධාරින් කිහිප දනකු යොදවා මේ ගැන වහාම පරීක්ෂණයක් කරන ලෙසය. ඊට සහාය දෙන ලෙස ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට ද පැවරූ ජනපති ඉන් පිටව ගියේ තවත් රාජකාරි රැසකට යාමට තිබූ බැවිනි.

රාජ්‍ය ඇමැතිවරු, ජනපති හමුවීමට පෙර අගමැති හමු වුණේ ඇයි?

ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරුන් බොහෝ දෙනකුට අමාත්‍යාංශවල කටයුතු කිරීමේදී ගැටලු රැසක් පැනනැගී ඇති අතර පසුගියදා ඒ සම්බන්ධයෙන් ඇතැම් තොරතුරු එළියට පැමිණි අතර ඇතැම් රාජ්‍ය ඇමැතිවරු මාධ්‍ය හමු පවත්වමින් මේ ගැන ප්‍රසිද්ධියේ කතා කළහ.

අගමැති දිනේෂ්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකදී ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිරිසක් ඇතැම් කැබිනට් ඇමැතිවරුන් පිළිබඳ චෝදනා එල්ල කළහ. එහිදී දිනේෂ් සහතිකයක් දුන්නේ ජනපති සමඟ සාකච්ඡාවකට අවස්ථාව සලසන බවය.

ඒ අනුව පසුගිය සඳුදා(04) ජනාධිපති කාර්යාලයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ ජනපතිගේ ප්‍රධානත්වයෙනි.

එදින ම රාජ්‍ය ඇම­ැතිවරුන්ගේ රැස්වීමක් ජනාධිපති කාර්යාලයේ සංවිධාන කර තිබිණි. එහෙත් රාජ්‍ය ඇමැතිවරු අගමැති දිනේෂ්ගෙන් ඉල්ලා තිබුණේ ජනපති හමුවීමට පෙර තමන්ට අගමැතිවරයා හමුවීමට අවශ්‍ය බවයි. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරු සඳුදා පෙරවරුවේ අරලියගහ මන්දිරයට කැඳවා තිබිණි. ඉතා සුහදශීලිව රාජ්‍ය අමාත්‍යවරුන් පිළිගත් දිනේෂ්, හඬ අවදි කළේය.

"බොහොම සතුටුයි, ඔබතුමාලව මේ වගේ හමුවෙන්න ලැබීම ගැන. "

"ඔව්, මාව ඕන වෙලාවක ඔබතුමාලට හමුවෙන්න පුළුවන්නේ.."

දිනේෂ් සිනාසෙමින් කියා සිටීමෙන් අනතුරුව රාජ්‍ය ඇමැතිවරු, තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නට පටන් ගත්හ.

"අපිට අමාත්‍යාංශවල පරිපාලන ගැටලු බොහොමයක් තියෙනවා " දේශපාලන ප්‍රශ්නවලට අමතරව පරිපාලන ප්‍රශ්න රැසක්ද ඔවුන්ගෙන් ඉදිරිපත් විය.

දිනේෂ් සාවධානව අසා සිට, ප්‍රයෝගික පිළිතුරු ලබාදුන්නේ, ඇමැතිවරයෙකු ලෙස වසර ගණනාවක් තිස්සේ අමාත්‍යාංශවලදී ලැබූ අත්දැකීම්ද පැහැදිලි කරමිනි. කෙසේ හෝ රාජ්‍ය ඇමැතිවරුන්ට අමාත්‍යාංශවල කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අවශ්‍ය කටයුතු සැලැස්වීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

ඇමැති ප්‍රසන්නගේ රැස්වීමට මහලේකම් සාගරත්

ගම්පහ දිස්ත්‍රික්කයේ කොට්ඨාස බල මණ්ඩල පිහිටුවීම සම්බන්ධ සාකච්ඡාවක් පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී පැවැත්වුණේ ඇමැති ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙනි.

ඇමැති ප්‍රසන්න මේ සඳහා සහභාගී වූයේ පොහොට්ටුවේ මහලේකම්, සාගර කාරියවසම් ද සමඟිනි.

“අපි ගම්පහ ආසන බල මණ්ඩල පිහිටුවල ඉවරයි, ඒව හිතුවට වඩා සාර්ථකයි. දැන් තියෙන්නේ කොට්ඨාස බල මණ්ඩල පවත්වන්නයි.” ඇමැති ප්‍රසන්න කතාව ඇරඹීය.

“ඔව් .. මමත් රට වටේම ගියා. මිනිස්සු තවම පොහොට්ටුව එක්ක ඉන්න බව එයින් තහවුරු වුණා.” ඒ මහ ලේකම් සාගරය.

නව සන්ධානයේ අරමුණ ලාන්සා කියයි

පසුගියදා පාර්ලිමේන්තුවේද බොහෝ මන්ත්‍රීවරුන්ගේ අවධානයට ලක්වූයේ නව සන්ධානය ගැනය. ඒ අතර පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් වැඩි දෙනකු පාර්ලිමේන්තු ලොබියේ මෙන්ම මන්ත්‍රී භෝජනාගාරයේදී නව සන්ධානයේ තොරතුරු නිමල් ලන්සා මන්ත්‍රීවරයා සහ නව සන්ධානයේ මන්ත්‍රී පිරිස හමුවී කතාබහ කළහ.එහි අලුත්ම තත්ත්වය දැනගන්නට පොහොට්ටු මන්ත්‍රීවරුන්ට තිබුණේ දැඩි කුතුහලයකි.

"ඇමැතිතුමා දැන් ඔබතුමාලගේ වැඩේට අපේ කට්ටිය හුඟ දෙනෙකුට කතා කරල නේද" පසුපෙළ මන්ත්‍රීවරුන් ලන්සාගෙන් විමසූහ.

"නෑ..නෑ දැන් පොහොට්ටුවේ අයට කතා කරන්නේ නෑ, ඒ අය කොහොමත් ජනාධිපතිතුමාට උදවු කරනවනේ, දැන් බලන්න ඕන එහෙම උදවු කරන්නේ නැති අය එකතු කරගන්න"ලන්සා මන්ත්‍රී පිරිස හමුවේ කිවේය.

ඒ අතරවාරයේ අනුර යාපාට සුබ පැතුම් ගලාගෙන එන්නට වුහ.

"නායකතුමා සුබ පැතුම්"පොහොට්ටු පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භය දෙසට එන අනුර යාපාට කියද්දී "බොහොම ස්තුතියි මල්ලි"යැයි අනුර යාපා සිනාසෙමින් කිවේ ටයි පටියද අතගාමිනි.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ පාර්ලිමේන්තු සභාගර්භය තුළ නිමල් ලන්සා,කාවින්ද ජයවර්ධන,උද්දික ප්‍රේමරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන මන්ත්‍රීවරුන් ආගිය තොරතුරු කතාකරමින් සිටින අතරතුර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද සභාගර්භයට ඇතුළු විය. ඔවුන් සමඟ සිනාසෙමින් හිටපු ජනාධිපතිවරයා ආසනය දෙසට යන විට ඒ අසලම ලලිත් එල්ලාවල,දයාසිරි ජයසේකර සහ උපුල් ගලප්පත්ති මන්ත්‍රීවරු ද කතාබහක නිරතවෙමින් සිටියහ.මෛත්‍රී එනු දුටු ලලිත් මඳක් දොරකඩින් ඈත්විය.

දයාසිරිට මෛත්‍රී හමුවෙයි

"ආ ලලිත් කොහොමද"මෛත්‍රී ලලිත්ගේ පිටට තට්ටුවක් දමමින් විමසිය. ඊළගට සිටියේ දයාසිරිය. ඔහුට මොනවත් නොකියා යෑමට මෛත්‍රීට නොහැකි විය.

"ආ දයා කොහොමද"මෛත්‍රී සිනාසෙමින් විමසීය.

"කොහොමද සර්"දයාසිරිද සිනාසෙමින් කිවේය. මහ ලේකම්කමින් ඉවත් කළ පසු දයාසිරිට මෛත්‍රී හමුවූ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

'පේනවා නේද ඒගොල්ලන්ගේ නායකතුමාට ගේම දෙන්නත් පුළුවන්,ගේම දිදී කතාකරන්නත් පුළුවන්,කතා කර කර ගේම දෙන්නත් පුළුවන්"අසල සිටි කාවින්ද, නිමල් ලන්සා දෙස බලමින් සිනාසෙමින් කිවේය.

"ඒක තමයි හෙලිකොප්ටරයට කරපු දේම දයාසිරිටත් කළා"උපුල් ගලප්පත්ති එහෙම කියද්දී ලලිත් එල්ලාවල කිවේ"මොනවා වුණත් මහින්ද මහත්තය නම් ඔච්චර කැත වැඩ කරන්නේ නෑ"කියාය.

ජනවාරියේ කැබිනට් සංශෝධනයක්?

මේ අතර පසුගිය සිකුරාදා පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ නව සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, පියංකර ජයරත්න සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී සිදුව තිබේ. එදින පස්වරුවේ පියංකර ජයරත්න මන්ත්‍රීවරයා විදේශගත වීමට නියමිතව තිබුණ ද ජනාධිපතිවරයා ගේ මෙම විශේෂ හමුව නිසා ඔහු ඊට පසුදින විදේශ ගත වීමට තීරණය කර ඇත.

"ජනාධිපතිතුමනි,ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳ යම් යම් ගැටලු ජනතාව අතර තියෙනවා,ගමේ ඉස්පිරිතාලවල විශාල සෞඛ්‍ය ගැටලු කිහිපයකුත් තියෙනවා" පියංකර ජයරත්න පැවසීය.

ඩී.වී වයිරස්

මේ දිනවල මාධ්‍යයෙන් වැඩිපුරම කියවෙන්නේ චැනල් 4 ගැනය.

මේ ගැන පසුගියදා පාර්ලිමේන්තු භෝජනාගාරයේදී කතා වනු අහන්නට ලැබිණි. නාමල් රාජපක්ෂ මහින්දානන්ද අළුත්ගමගේ, නිමල් ලාන්සා, ඩී.වී චානක මෙසේ කතා බහක නිරත වී සිටියහ.

මුලින්ම කතා කළේ නාමල් රාජපක්ෂ වූ අතර අලුතින් විවාහ වූ ඩී.වී චානක ගැන මේ අය විහිළු තහළු කරමින් සිටියහ. ඩී.වී චානකගෙ මගුල් ගෙදර ගිය අය ඔක්කොටම වගේ වයිරස් උණ හැදුණා.ඒකට අපි කිවුවෙ ඩී.වී වෛරස් කියලා.“ නාමල් සිනහසෙමින් පැවසීය.

ඉතිහාසගත වෛරය නාමල් පෙන්වා දෙයි

නාමල් මෙහිදී කීවේ චැනල් 4 එක අපි එක්ක ඉතිහාසගත වෛරයක් තියෙන්නෙ කියාය.මොකද අපි බලයට එන්න බෝම්බ ගැහුවා කියන අමූලික බොරුව සමාජයේ පැළ කරන්න හදනවා. නාමල් තවදුරටත් පැවසීය. මේ කතාව යන අතරෙ එතැනට ආවේ කංචන විජේසේකරය. “ඔව් මේ පට්ටපල් බොරු. අපිට පාස්කු ප්‍රහාර කරන්න ඕනෑ කමක් තිබ්බෙ නෑ“.එදා නාමල් සවස් වරුවේ සිය පාර්ලිමේන්තු කතාවේදී චැනල් 4 එකේ දෙපිටකාට්ටු වැඩ ගැන සැර කතාවක් කළ අතර එය රාජපක්ෂ කෙනෙකු චැනල් 4 වීඩියෝව පිළිබදව කතා කළ පළමු අවස්ථාවද විය.

නාමල්ට පාක්ෂිකයකුගෙන් සැර පාඩමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති පිහිටුවීම පසුගිය සතියේ ආරම්භ කෙරිණි. ඒ බැසිල් රාජපක්ෂගේ සංවිධායකත්වයෙනි. මුලින්ම නාමල් ශාඛා සමිති පිහිටුවීමට ගියේ බෙලිඅත්තටය. එහිදි පාක්ෂිකයින් සමඟ කතා බහ කරමින් සිටින විට එතැනට ආවේ සීයා කෙනෙකි. “නාමල් පුතා පොඩ්ඩක් මෙහෙට එමුකො “ කියමින් ඔහු නාමල්ට කතා කළේය. සීයා මොකද හිතන්නෙ ගමින්ගමට අපේ වැඩේ නාමල් ඇසීය. හපොයි ගොඩක් පරක්කු වෙලානෙ එන්නෙ. ඇයි ඒ ?“ සීයා පැවසීය “ඇයි සීයා එහෙම අහන්නේ“ නාමල් පෙරළා විමසීය. “මෙහෙමයි පුතේ ආණ්ඩු පක්ෂයෙ විතරක් ඉඳලා ගමට ඇවිත් වැඩක් නෑ. දින්නත් පැරදුනත් ගමට එන්න.“

“ ඔව් ඒක ඇත්ත“ නාමල් හූමිටි තිබ්බේය.

ගයාශාන්ගේ පිම්ම

ගයාශාන් නවනන්දන මන්ත්‍රීවරයාට පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් කිහිප දෙනකු හමුවිය.

කතාබහ කරමින් සිටින අතරතුර ඒ ස්ථානයට පැමිණෙන්නේ අනුරාධ ජයරත්න රාජ්‍ය අමාත්‍යවරයාය.

“ඔයා මාර බඩුවක් තමයි. මැයි 09 වැනිදා රෑ අරගලය දවසේ අරලියගහ මන්දිරයේ ප්‍රධාන ගේට්ටුවෙන් අරගලකරුවන් අස්සෙන් එළියට ගියා කියපු කතාවක් මං දැක්කා” යනුවෙන් අනුරාධ ජයරත්න පැවසීය.

“මොකක්ද මන්ත්‍රීතුමා ඒ කතාව. ඇත්තටම මැයි 09 රෑ අරලියහග මන්දිරයෙන් එළියට ආවේ කො‍හොමද? යනුවෙන් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුද මහත් උනන්දුවෙන් විමසන්නට විය.

“මං කියන්නම්. එදා රෑ අරලියහග මන්දිරයේ හිටියා. එළියට ගියේ අරලිය ගහ මන්දිරයේ ප්‍රධාන ගේට්ටුවෙන් නෙවෙයි. එළියට ගියේ වෙන විදිහකට“ යනුවෙන් ගයාශාන් නවනන්දන මඳක් සිනහසෙමින් පැවසීය.

“ඒ ‍කොහොමද?“ මාධ්‍යවේදීන් විමසා සිටියේ මහත් උනන්දුවකිනි.

“ඒක දිග කතාවක් මං කෙටියෙන් කියන්නම්. අරගලකරුවෝ අරලියහග මන්දිරයේ ප්‍රධාන පිවිසුම් මාර්ග තුනම අහුරගෙන හිටියේ. මං එළියට එන්න හිතුවේ පාන්දර 2.30 ට විතර. මට එතන හිටපු මැති ඇම­ැතිවරුන් කිහිප දෙනෙක්ම කිවුවා. එළියට යන්න එපා කියලා. ඒත් මං එන්න ආවා. අරලියගහ මන්දිරය එහා පැත්තේ එක පැත්තක තියෙන්නේ කොල්ලුපිටිය පොලිසීය. එතන තාප්පේ අඩි 12කට වඩා උසයි. මං කොහොම හරි ට්‍රයි කරලා බඩ ගාගෙන තාප්පයට නැඟලා එතනින් පොලිසීයට ගිහිල්ලා පොලිසිය ඇතුළෙන් එළියට ගියේ. පොලිසියට ඉස්සරහ හිටපු අරගලකාරයෝ හිතුවේ මං පොලිසිය පැත්තේ ඉඳලා එන අරගලකාරයෙක් හැටියට. මං සිගරට් එකක් ගහගෙන ගියේ. මඟදී අරගලකාරයෙක් සිගරට් එක ඉල්ල ගත්තා. සැකයක් ඇතිවුණේ නැහැ.

මං එළියට ගියා. හැබැයි ‍මගේ ආරක්ෂාවට තිබුණු පිස්තෝලයත් ඉණේ ගහගෙන ෂර්ට් එක උඩට දාගෙන හිටියේ. “ යනුවෙන් සිනහවෙමින් පැවසුවේ ගයාශාන් නවනන්දන මන්ත්‍රීවරයාය.

බන්දුලගේ මඩකලපු වැඩට පිල්ලෙයාන්ගෙන් බර

“නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ සියලුම පළාත්වල සංවර්ධනය ඇන හිට තිබෙන්නේ විදේශීය ණය ගෙවීම ප්‍රතිව්‍යුහගත කරගන්නා තුරුය” යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණගාරයේදී පැවැත්වුණු අවස්ථාවේ ඊට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටි‍යේය.

“මඩකලපුවේ සිට යාපනය දක්වා නව දුම්රියක් යොදවන ලෙසද විශාල ඉල්ලුමක් පවතිනවා. ඉන්දියානු රජය සමඟ සාකච්ජා කරමින් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඉදිරියේදී දුම්රිය කිහිපයක් මෙරටට ලබා ගැනීමේ සාකච්ජා සිදු වෙමින් පවතිනවා. එම සාකච්ජා සාර්ථක වුවහොත් ඉදිරි වසර තුළ මෙම ප්‍රදේශයේ ජතනාවගේ ඉල්ලීම්ද ඉටු කිරීමට හැකි වනු ඇති බව මම විශ්වාස කරනවා.“

මඩකලපු දිස්ත්‍රික් කමිටු සභාපති ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය ඇමැති සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් මෙම කමිටු රැස්වීම් පැවැත්වීමට විශාල පරිශ්‍රමයක් දරා තිබුණි. ඔහු ඉතා සංවිධානාත්මකව ක්‍රමානුකූලව රජය වෙනුවෙන් එම පළාතේම ඉහළම කැපවීමකින් කටයුතු කරන දේශපාලකයකු බව එහිදී සනාථ විය.

විශ්වාසභංගයේ අරමුණු සජිත් එළියට දායි

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංගය පසුගියදා වැඩි ඡන්ද 40 කින් පරාජයට පත්විය. ඊට පෙර මේ පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

"මේ විශ්වාසභංගය දිනුවත් පැරදුණත් ආණ්ඩුව පරාදයි" එහෙම කීවේ ගයන්ත ය.

"හැමෝම දන්නවා,සෞඛ්‍ය අමාත්‍යාංශය මොන තරම් දූෂිත ද කියලා.“ මරික්කාර් කීවේය.

සජිත් විපක්ෂ නායක ධුරය භාරගත් දිනයේ සිට කටයුතු කළේ සාම්ප්‍රදායික විපක්ෂ නායකයෙකු ලෙස නොවේ. හෙතෙම සක්වල වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි පාසල්වලට බස් රථ, ස්මාර්ට් පන්ති කාමර, පරිගණක විද්‍යාගාර ලබා දුන්නේය. හුස්ම වැඩසටහන යටතේ ග්‍රාමීය රෝහල්වලට වෛද්‍ය උපකරණ, ඖෂධ ලබා දුන්නේය.

එපමණක් නොව ගම්වල ඇවිදිද්දී විවිධ ජන කොටස් හා වෘත්තිකයන් මුහුණ දෙන ප්‍රශ්න පාර්ලිමේන්තුවේ කතාකොට ඒවාට ආණ්ඩුවේ අවධානය යොමු කරවීමට පියවර ගත්තේය. ඒවාට විසඳුම් ලබා දුන්නේය. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27/2 යටතේ තමන්ට හිමි කාලයෙන් රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න කතා කළේය. 27/2 යනුවෙන් වගන්තියක් ඇති බව රටේ ජනතාව දැනගත්තේද සජිත්ගේ මේ ප්‍රශ්න කිරීම මුල්කරගෙනය.

මේ නිසා පසුගිය සතියේ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක් ගොස් ජනාධිපතිවරයාට පැමිණිලි කරමින් කියා සිටියේ සජිත් උදේ වරුවේ පාර්ලිමේන්වේ 27/2 ස්ථාවර නියෝග යටතේ වැඩකට නැති කතා කියමින් කාලය කාදමන බවය. එහෙත් මේ තත්ත්වය සජිත් මායිම් කළේ නැත.

ප්‍රශ්න වැලකට වජිරගෙන් විසඳුම්

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සෑම සතියකම සඳුදා දිනය වෙන්කර තිබුණේ තම පක්ෂයේ පාක්ෂිකයින් මුණ ගැසී ඔවුන්ට ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කොට ඒවාට ලබාදිය හැකි විසඳුම් ලබාදීම වෙනුවෙන්ය.

ඒ ආකාරයට මෙම සතියේත් සඳුදා දින උදෑසනම වජිර සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණියේ පාක්ෂිකයින්ගේ ගැටලු විසඳා දීමටය. වජිර සිරිකොතට පැමිණෙන විටත් පාක්ෂිකයින් විශාල ප්‍රමාණයක් වජිර පැමිණෙන තුරු මඟ බලා සිටියේය.

මේ පිරිසට අමතරව තවත් පිරිසක් වජිර මුණගැසීමට පැමිණ සිටියහ. ඒ එක්සත් ජාතික පක්ෂයේම ක්‍රියාකාරීන් පිරිසක්ය. ඔවුන්ට පුද්ගලික ගැටලු නොමැති වුවත් ඔවුන්ට වජිර සමඟ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවත්, ජනාධිපතිතුමා රට ගොඩගැනීම වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ සාර්ථකත්වය පිළිබඳවත් දැනගැනීමට අවශ්‍ය විය. 

මහජන හමුවෙන් පසුව වජිර මේ පිරිසට සිය කාර්යාල කාමරය තුළට පැමිණෙන ලෙස ආරාධනා කළේය.

“කොහොමද ඉතින්, වජිර පිරිසගෙන් ඇසීය.

“හොඳයි සර්” පිරිසෙන් එක් අයෙක් පිළිතුරු දුන්නේය.

ඉන් අනතුරුව මේ අයගේ සාකච්ඡාව ආරම්භ කළ අතර ඔවුන්ට මතු වී තිබූ ප්‍රශ්න රාශියකට වජිර සාර්ථක පැහැදිලි කිරීම් කළේය.

අසංකගෙන් සජබට රිටන් එකක්

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න සහ සමගි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් පසුගිය දිනක සිදුවුයේ විපක්ෂ නායක කාර්යාලයේදීය.

මෙම හමුව පිළිබඳව සජබ මාධ්‍යවලට දැනුම් දී තිබුණේ එහිදී අසංක නවරත්න මන්ත්‍රීවරයා ඔවුනට සහාය දක්වන්නට සූදානම් බවට මතයක් සමාජගත වන ආකාරයටය.

නමුත් අසංක නවරත්න මන්ත්‍රීවරයා පසුදිනම මාධ්‍ය හමුවක් කැඳවමින් තමන් සජබ සමඟ එක්වූ බවට විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය කණ්ඩායම හෝ එහි මාධ්‍යවේදියකු බාල ගණයේ ප්‍රවෘත්ති මවා පළ කර තිබුණු බව ප්‍රකාශ කළේය.

සජබ මන්ත්‍රිවරුන් එහා මෙහාවීම වළක්වා ගැනීමේ අරමුණින් තමන් ඔවුන් සමඟ එක්වූ බව පෙන්වීමට එහි ඇතැමුනට වුවමනාවී තිබූ බව එමඟින් පැහැදිලි වූ බවද මන්ත්‍රීවරයා කීවේය.

මෙවැනි බාල ගණයේ දේශපාලන ව්‍යාපෘතිවලට මහජන පක්ෂය හසු නොවන බවත් එවැනි බාල ගණයේ පුවත් මැවීමෙන් විපක්ෂ නායකවරයාට කිසිදු බලවේගයක් සෑදීමට නොහැකි වන බව ද නවරත්න මහතා ප්‍රතිචාර දක්වමින් කීවේය.

අරගලය හා චැනල් 4 ගැන අජිත් රාජපක්ෂගෙන් හෙළිදරව්වක්

“චැනල් 4 නාලිකාව එදා ඉඳලම කටයුතු කළේ අපේ රටට විරුද්ධව. අපේ රටේ ඒකීයභාවයට, ජාතික ආරක්ෂාවට, සංහිදියාවට පහර ගහන්න තමයි චැනල් 4 නිතරම කටයුතු කළේ. එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් සැසිවාරය එනකොට හැමදාම චැනල් 4 මේ වැඩේ කරනවා.

ගෝල්ෆේස් අරගලය තිබුණු වෙලාවේ චැනල් 4 එකෙන් අරගලයට ලොකු ප්‍රසිද්ධියක් දීලා තිබුණා. ඒකෙන්ම පේනවා චැනල් 4 එකේ අරමුණු සහ අරගලයේ අරමුණු අතර වෙනසක් නැහැ කියලා." යනුවෙන් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාශ කළේය.

Comments