කෙල්ලන්ට කරන්න බැරි දෙයක් නෑ | සිළුමිණ

කෙල්ලන්ට කරන්න බැරි දෙයක් නෑ

 තිරසර සංවර්ධනයට තරුණ නායකත්වය

 ගමට පාලම සමඟ නාන තොටුපළකුත්

‘අහසේ මෙන්ම වැල්ලේද මාලිගා තනන්නට එපා‘ යැයි 'කීමට' කියනු ලැබේ. එහෙත් මනෝවිද්‍යාත්මක මතයක් වන්නේ කවදා හෝ පරමාර්ථයක් ජය ගන්නට නම් සිහින මැවිය යුතු බවයි. මේ කතාවට ප්‍රස්තුතය සපයන්නේ මාලිගාවක් නොවේ; එය පාලමකි. ඇතැමුන් කඳුළු අතර ළතවන මොහොතක උතුම් පොදු පරමාර්ථයක් වෙනුවෙන් මිනිස්කමේ නාමයෙන් කඳුළු අතර සිහින සොයා ගිය මේ දිරිය යෞවනියන් අපට හමු වන්නේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හප්පිටිය, මැණිකාවිට ගම්මානයේදීය.

නෙළුව මැණිකාවිට සැබැවින්ම සුන්දර ගම්මානයකි. ගලා යන ඇළ-දොළ දියදහරාවන් හා සොබාදහමෙන් සුන්දර වූ මෙන්ම අනේකවිධ දුක්ඛදෝමනස්සයන් අතර ජන ජීවිතය දෝලනය වන මේ ගම්මානයේ මිනිස්සු රටට බරක් නොවී තම ජීවිත ගැටගසා ගනිති. අගනුවරින් බොහෝ දුරබැහැර පිහිටි හප්පිටිය ගම්මානයේ ගමනාගමන දුෂ්කරතාවන්ගෙන් පෙළුණු ජනතාවගේ ප්‍රමුඛතම ප්‍රශ්නයට විසැඳුමක් ගෙන ආවේ ගමේම තරුණියෝ තිදෙනෙකි. ඒ අනුව හප්පිටිය, මැණිකාවිට ගම්මානයට 'රිදී තරු පාලම' ඉදි කර දුන් ඒ ආදර්ශවත් තරුණියෝ නම් දිල්කි මධුෂාණි සේනානායක, කේ.ජී. සඳුනි ළහිරුකා සහ බී.එල්.ජී. නිලුෂිකා ය.

ඒ තනිවම නොවේ ගමේ ප්‍රජා සහභාගිත්වයද ඇතිවය. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමන්ගේ මඟ පෙන්වීම අනුව ජාතික තරුණ සේවා සභාව හා අයි.ටී.එන් රූපවාහිනිය එක්ව ක්‍රියාත්මක කළ Youth with Talent වැඩ සටහන යටතේ හොඳම ව්‍යාපෘතියට හිමි මුදල් තිළිණය දිනා ගැනීමට මෙම ව්‍යාපෘතිය සමත් විය.

ජාතීන් ලෙසින් පමණක් නොව එකම ගමක වැසියන් වුව බෙදී වෙන්ව නොසිට ජාති ආගම් භේදවලින් තොරව පක්ෂ දේශපාලනයෙන් තොරව ගමේ දියුණුව සංවර්ධනය වෙනුවෙන් පෙරමුණ ගෙන කටයුතු කිරීමට තරුණ පරපුර දායක කර ගැනීම රජයේ සංකල්පයයි. රටේ සංහිඳියාව ඇතිකිරීමේ මෙන්ම ගම් මට්මින් සංවර්ධනය කරා යන ගමනේදි රටේ තරුණ තරුණියන්ගේ නායකත්වය මෙන්ම ප්‍රජා සහයෝගය ලබා ගනිමින් සියල්ලන්ම එකට එක්වී සංවර්ධනය කරා මෙහෙයවීම අගමැතිතුමා ගේ අරමුණය. එය ක්‍රියාත්මක කිරිමේ ප්‍රථම අදියර Youth With Talent ව්‍යාපෘතියයි.

රටටම ආදර්ශයක් ලබා දුන් 'රිදී තරු පාලම' ව්‍යාපෘතිය නිමවීමෙන් පසු එය නිරීක්ෂණය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා එක් වූයේ ගයන්ත කරුණාතිලක, වජිර අ‍බේවර්ධන, සාගල රත්නායක අමාත්‍යවරුන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි ඇතුළු ප්‍රදේශයේ දේශපාලනඥයන් රැසක් හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්දික වැලිඅංගේ මහත්වරුන් ද සමඟිනි.

“රිදී තරු පාලමේ” කථා නායිකාව වන්නේ දිල්කි මධුෂානිය. දෑසෙන් වැටෙන කඳුළක් පිසදමමින් ඇය මෙසේ හඬ අවදි කළේ ජීවිතයේ සිහිනයක් සැබෑ කරගත් දිරිය කාන්තාවක ලෙසිනි.

“ඡන්ද කාලයේදී ගමට ආව-ගිය දේශපාලනඥයන් මේ පාලම හදලා දෙනවා කියලා යනවා. හරියට ඒ පො‍රොන්දුත් ගලා යන මේ දියදහරාව වගේ සේදී යනවා. මා හිතුවේ මේ පාලම අපේ ජීවිත කාලේදී හැදෙන එකක් නැහැ කියලා. ඒ නිසාම අපටත් සිහිනයක් තිබුණා මේ පාලම කොහොමහරි හදන්න. 2004 දී මගේ පියා අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන්නා. ඒ අවාසනාවන්ත දිනය මට අද වගේ මතකයි. ගංවතුරින් ගම්මානයම යට වෙලා තිබුණේ. පාලමේ ඒ දණ්ඩෙන් යමින් සිටිය තාත්තා ඒ දණ්ඩෙන් වැටිල මිය ගියා. මගේ පියා මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම තවත් කෙනෙකුට අත් නොවෙන්න මේ පාලම හදන්න මටත් සිහිනයක් තිබුණා. ඒ සිහිනය සැබෑකර ගැනීමේ අරමුණින් ජාතික තරුණ සේවා සභාවේ Youth with Talent ව්‍යාපෘතිය යටතේ ‍මේ පාලම හදන්න ව්‍යාපෘතියක් ඉදිරිපත් කළා. ව්‍යාපෘති කිහිපය අතරින් මෙය තෝරාගත්තා. ජාතික තරුණ සේවා සභාවෙන් ලැබෙන්නේ හැත්තෑ පන්දහසක මුදලක් පමණයි. රුපියල් ලක්ෂ 20ක් හොයන එක අභියෝගයක් වුණා.

“අපේ යෞවන සමාජයේ වැඩි පිරිසක් කාන්තාවෝ. සහභාගි වූ පිරිසකගෙන් මුල් රැස්වීමේදී ලක්ෂ 3ක් විතර ලබා දෙන්න එකඟ වුණත් ඇතැමකු ඒ මුදල් ලබා දුන්නෙ නැහැ. එහෙත් මුදලින් වගේම ශ්‍රමයෙන් මිනිසුන්ගේ සහාය ලබා ගන්න දැඩි වෙහෙසක් ගත්තා.‍ මේ කාර්යයට නායකත්වය ගත්තේ කාන්තාවන් පිරිසක්. අපේ වෑයම සාර්ථක වුණා. පාලම විතරක් නොවෙයි, දැන් මේ ගම්මානයේ මිනිසුන්ට නාන්න තොටුපළකුත් හදලා තියෙනවා. මැණිකාවිට හරහා ගලා බසින දෙල්ලව වැව ගිං ගඟට වැටෙන ජල මාර්ගය හරස් කරලයි. පාලම ඉදි කරලා තියෙන්නේ. මෙය අඩි 65ක් දිගයි. පළල අඩි 6.5ක්. මේ කාර්යයන් කරගෙන යන කොට ප්‍රාදේශීය දේශපාලනඥයන්, පරිත්‍යාගශීලීන් බොහෝ දෙනකුගේ උදවු ලැබුණා.”

තම ගමට පාලමක් තනා දුන් ගමේ තරුණ පිරිස පිළිබඳ එගම පදිංචි එච්.කේ. ලීලාවතී මහත්මියට ඇත්තේ දැඩි ආඩම්බරයකි.

“අප හිතුවේ නැහැ අප ජීවත්ව සිටින කාලයක මේ පාලම හැදේවි කියලා. මේ ගම්මානය බොහෝ අවස්ථාවලදී ගංවතුරට මුහුණ දෙනවා. පීඩාවට පත් වන්නේ මේ ගම්මානයට එන්න පාලමක් නැති නිසා. මේ නිසා අපේ ගම තනි වෙලා තිබුණෙ. ලෙඩක් දුකක් හැදුණොත් ඉස්පිරිතාලෙකට යන්න එන්න අමාරුයි. ගංවතුර කාලයේ අප දින ගණනාවක් කොටු වෙලා ඉන්නවා. මේ යෞවන සමාජයේ තරුණ පිරිසගේ උත්සාහයෙන් ගමට අලුත් ඉරක් පායලා තියෙනවා.” යැයි ඇය පවසන්නීය.

“මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී බොහෝ අත්දැකීම් මට ලැබුණා. වඩුවැඩ, මේසන් වැඩවලට පවා හුරු වෙන්න මට සිදු වුණා. මුලදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට දැඩි වෙහෙසක් ගන්න වුණා. යෞවන සමාජයේ කාන්තාවන් පිරිසක් නායකත්වය ගැනීම මේ ව්‍යාපෘතියේ තිබුණ විශේෂත්වයක්. හිත ඇත් නම් බොහෝ දේ කළ හැකි බව තේරුම් ගැනීම අපේ ව්‍යාපෘතියේ සාර්ථකත්වයට හේතුවයි.” නෙළුව තරුණ සේවා නිලධාරී ඩබ්.සී. දීපලාල් මහතා පැවසුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී ජානක ගුණසිංහ මහතා ඇතුළු බොහෝ දෙනාගේ දායකත්වය හා මඟපෙන්වීම ද සිහිපත් කරමිනි.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් නිතිඥ එරන්දික වැලිඅංගේ මහතා ද රන්තරු පාලම නිරීක්ෂණය සඳහා එක්ව සිටියේය.

“මරු කපොල්ලකින් එතෙර වූ ගම්වැසියන්ට අද හොඳ පාලමක් ලැබී තිබෙනවා. ඇතැමුන් තම ජීවිතයේ දුක්ඛදෝමනස්සයන් තුළ ජීවිත කාලයේම හඬාවැටෙද්දී 'දිල්කි' නමැති මේ දිරිය යෞවනිය ඇතුළු තරුණියන් පිරිස රටටම ආදර්ශයක් ලබා දී තිබෙනවා. මේ විදියට ගම්මාන සංවර්ධනය කිරීමට තරුණ ශක්තිය යොදවන්න පුළුවන් නම් රටක් ඉදිරියට යනවා. බොහෝ දියුණු රටවල් අතරට අපටත් යන්න පුළුවන්කම ඒ තුළින් ලැබේවි.“

ගංවතුර දෝරේ ගලා යන විට හප්පිටිය, මැණිකාවිට ගම්මානයේ මිනිසුන්ට මින් පසුව දෑසින් කඳුළු ගලා එන්නේ නැත. ඔවුන්ට දැන් කිසිදු බියක් නැතිව දෙගම් යා කරන පාලමෙන් එතෙර විය හැකිය.

තම උපන් ගමට අභිමානයක් ගෙන ආ දිල්කි ඇතුළු මේ 'රිදීතරු යෞවන සමාජය' ගමට ආඩම්බරකි: රටටම ආදර්ශයකි. 

Comments