ඩයිනෝසරයකුගේ නික්ම යෑම | සිළුමිණ

ඩයිනෝසරයකුගේ නික්ම යෑම

පසුවූ දරුණු සෞඛ්‍ය තත්වය හේතුවෙන් කොයි මොහොතේ හෝ ඔහු නික්ම යන බව දැන සිටියද එතරම් දැන සිටි නික්ම යාම ප්‍රකාශයට පත්වූ අවස්ථාවේදී එය දරා ගැනීම කෙසේවත් පහසු වූයේ නැති. ඊට හේතුවක් තිබිණි. ඒ නික්ම යන්නේ හුදු පුද්ගලයකු පමණක් නොව එක් යුගයක්ම බව ඉඳුරාම සහතික බැවිනි. සැබැවින්ම නික්ම ගියේ ජයලත් මනෝරත්න නම් කලාකරුවා පමණක් නොවේ. ඔහු සමග ලාංකීය කලා ක්ෂේත්‍රයෙහි පදාසයක්ම නාය ගොසිනි.

ශාස්ත්‍රාලීය අධ්‍යාපනය, සමාජ ජීවිතය, එදිරිවීර සරත්චන්ද්‍ර වැනි විශිෂ්ටයන්ගේ ඇසුර තාක්ෂණය මෙන්ම සාහිත්‍යය සාහිත්‍ය ඇතුළු බොහෝ ක්ෂේත්‍රයන් වෙතින් පෝෂණය ලද්දාවූද, දේශපාලනය නම් ගොහොරුවෙහි ලද අත්දැකීම් තුළින් එහි ජරාජීර්ණ ස්වභාවය කෙටි කලකින්ම වටහාගෙන ඇසිල්ලෙන් ඒ හැරපියා, කවර වරදාන පිරිනැමීමට යෝජනා වූවද එහි නොඇලී ස්වකීය ස්වාධීනත්වය ආරක්ෂා කරගත්තාවූද ජයලත් මනෝරත්න නම් කලාකරුවා සිය දිවිසැරිය හමාර කළේ ලංකාව වැනි පාදඩයන්ට ඇරුණ දේශයක නිර්මාණකරුවකුගේ ජීවිතය කෙතරම් අසීරුවෙන් වුවද ස්වාධිනව පවත්වා ගැනීමේ පාඩම නිහඬවම කියා දෙමිනි. අනූ හතරේ දේශපාලන පෙරලියෙන් පසුව ජයලත් මනෝරත්න නම් විශිෂ්ටයා අපට හමුවූයේ වේදිකාවේ සහ තිරයේදී මිස දේශපාලන සාද කතාලතාවන්හිදී නොවේ. ගැඹුරු දේශපාලන න්‍යායාත්මක දැනුමකට වඩා ව්‍යවහාර බුද්ධියෙන් පක්ෂ දේශපාලනය, පොදු වැසිකිලිය, සහ මීතොටමුල් කුණු කන්ද යනු ගඳ පිටකරනා තැන බව වටහාගත් ඔහු අතිශය ළගන්නා එසේම සියුම් උපහාසයක් රැඳි මදහසින් ඉන් බැහැර වී දේශපාලකයන් පිලිබඳ මතක නොරඳනා සිත්හී නිබඳවම ලැගුම් ගත්තේ පුද්ගලිකව දැන නොදැන සිටි කාටත් සමීපතමයකු වෙමිනි. සරත්චන්ද්‍රගේ ශෛලිගත නාට්‍යයන්හී ප්‍රමුඛ හවුල්කරුවකු වුවද එහි සිරව නොසිට සුවිශිෂ්ට රංගධරයකු ලෙස වේදිකාව සහ රිදී තිරය පුරා සිය ආධිපත්‍යය පැතිරවීමට ඔහුට හැකියාව තිබිණි. වේදිකාව එක මිටට ගත් ඔහු රූපවාහිණියද ආක්‍රමණය කළේ අතිශය ගැඹුරු චරිත රංගනයේ ලා සමත්කම විදහා පාමින් සකිසඳ එළියෙස් වැනි නාට්‍යයක කළ රඟපෑම හරහා හාස්‍යය මතුනොව චරිතයක ඉතා සියුම් පාර්ශවයන් ඉස්මතු කරන්නේ කෙසේද යන්න මැනවින් විදහා දැක්වීය.

මනෝරත්නයන් තුළ වූ ඉතාම වටිනා ගුණයක් වූයේ ඇසුරෙහි දී දක්වන ලද අව්‍යාජ ගුණයයි. මධුවිතක ඇසුරෙහි ගෙවී යන්නේ ඕපාදූප පිරි හෝරා කිහිපයක් නොව දිවිය සරු කරනා දැනුම් සම්භාරයක් මුදා හැරීමක් බව ඔප්පු කිරීමට සමත් කලා ලොවේ අවසන් ඩයිනෝසරයන් අතර ජයලත් මනෝරත්න ඉහලින්ම කැපී පෙනුන චරිතයකි. ඔහු සමග සාහිත්‍ය කලා කටයුතු කිහිපයකදී එක වේදිකාවෙහි සිටින්නට ලැබුණ අවස්ථාවල ඔහු වෙතින් පලවූ අව්‍යාජත්වයත් අනෙකා වෙත දක්වන අවධානය සහ සහයත් සලකන කළ මනෝරත්න යනු මානව සම්බන්ධතා විෂයෙහිද විශිෂ්ටයකු බව මා දුටුවේ වරක් දෙවරක් නොවේ. කෙසේ වෙතත් ලංකාව යනු එහි පස පෝෂණය කළ විශිෂ්ටයන් හඳුනාගන්නා හෝ ඔවුන්ට සලකන බිම්කඩක් නොවේ. එහෙයින් අන් බොහෝ විශිෂ්ටයන් මෙන්ම ඔහුද ඉක්මනින් අමතක කරදමා සමාජය යයි අප හඳුන්වන මේ පල් වලෙහි හඬපටි ඇතුළු පාදඩ දේශපාලනය ඉදිරියේදීත් වේදිකාව අරා සිටිනු අපට දක්නට ලැබෙනු ඇත්තේය. වර්තමාන කලා ක්ෂේත්‍රය යනු ආවෝ ගියෝ රංචුවලින් පිරි ආවාටයකි. එහි තවමත් රැඳෙමින් හරවත් යමක් කිරීම පිණිස තම පුද්ගලික ජීවිතය උගසට තබමින් අන්ත දුෂ්කර සමයන් ගෙවනා සීමිත පිරිසට මනෝ වැන්නකුගේ නික්ම යාම තදින්ම දැනෙනු නියතය. පතිරාජයන් නික්ම ගියේ ඔහු වැනි දහස් ගණනක් ඇවැසි සමයකය. මනෝ නික්ම යන්නේද ඒ හිදැස එහෙමම ඉතිරිව තබා යයි කීම නිවැරදිය.

ජයලත් මනෝරත්නයන්ගේ වියොවින් වූ මහත් පාඩුව පිලිබඳව බොහෝ දෑ ලියවෙන මේ මොහොතේ ඔහුගේ සමකාලීනයන්, මෙන්ම ඔහුගෙන් පසුව ක්ෂේත්‍රයට අවතීර්ණ වූවන්ටද සිය උරමත පැටවෙනා බර පොදියෙහි තරම වැටහී යා යුතුය. අද දවසේදී අපේ කළා ක්ෂේත්‍රය පවතින්නේ එඬරු ගස් අතර අරටුවෙන් පිරි ගස් මතුවිය යුතු තත්වයකය. කලාකරුවකු ලෙස තම වගකීම ඉටු කිරීම වෙනුවට දේශපාලන වරදාන පසුපස හඹා යමින් විවිධ අගතීන්හී ගොදුරු බවට පත් බොහෝ කලාකරුවන් මේවන විටත් සිටිනුයේ චලනය වන මල කඳන් පරිද්දෙනි. එහෙයින්ම මනෝරත්න වැන්නකු ගේ වියොවින් වන පාඩුව පිරිමසාලිය හැක්කේ ඔහුගේ අහිමිවීම වෙනුවෙන් වලැපීමටත් වඩා ඔහු කලාකරුවකු ලෙස ඉටු කළ කාර්යභාරය අවධානයට ලක් කරමින් ඔළුවෙන් සිටවන ලද කලාකරු භූමිකාව දෙපයින් සිටුවීමට අරගල කිරීම තුළිනි.

මිනිසකු මනුෂ්‍ය ජීවිතයෙහි යහපත උදෙසා යම් අරමුණක් වෙනුවෙන් පෙනී සිටිය යුතු යයි විශ්වාස කළ ජයලත් මනෝරත්න සිය අවසන් මොහොත දක්වාම ඒ වෙනුවෙන් වැඩ කළ බවට ඔහු ඇසුරු කළ සියල්ලෝම සාක්ෂි දරන බව නිසැකය. මා පුද්ගලිකවම විශ්වාස කරනා ආකාරයට ස්වතන්ත්‍ර නාට්‍ය නිෂ්පාදනයේදී ගැමි සෞන්දර්යය කෙරේ වූ විශ්වාසය , අතීතකාමීබව වැනි හේතු මෙන්ම දේශපාලනයේ ජරාජීර්ණබව ග්‍රහණයට දරන ලද තැතෙහිද යම් සීමාවන් හේතුවෙන් ඔහුගේ ස්වතන්ත්‍ර නාට්‍යයන් එක්තරා ආකාරයක කොටුවූ බවක් පල කළද තලමල පිපිලා වැනි නාට්‍යයකදී ඔහු ඒ සීමාවන් ඉක්මවා යාමේ සිය හැකියාවද ප්‍රකට කළේය.

රංගධරයකු වශයෙන් ජයලත් මනෝරත්නයන් වේදිකාව මත පෑ විවිධ පෙළහර අදාල ක්ෂේත්‍රයෙහි නිපුණයකුවීමට අපේක්ෂා කරනා නවකයන්ට සරසවි පාඨමාලාවක් වැනිය. අතිශය ප්‍රතිභාසම්පන්න රංගධරයකු වූ විජය නන්දසිරි පසුකාලීනව කලා ක්ෂේත්‍රයෙහි ප්‍රහසන නළුවකු ලෙස සීමාවෙද්දී ඔහු තුළ එතෙක් සිටි ගැඹුරු ශිල්පියා දියව යන ආකරය අපට බලා සිටින්නට සිදුවිණි. එහෙත් අතිශය දැනුවත් භාවිතාවක සිටි ජයලත් මනෝරත්න එම ඛේදය අත්කර නොගත්තා පමණක් නොව හාස්‍යජනක චරිත මෙන්ම ගැඹුරු චරිතද එකසේ ග්‍රහණය කරගනිමින් ඒ අතරම හාස්‍යෝත්පාදක චරිතයන්හිද ගැඹුර මනාව මතුකරලීමට සමත්වූවේය.

මනෝරත්නයන් වරෙක පේරාදෙණිය සරසවියෙහි වල පිලිබඳව එක් සඳහනක් කළේය. ඒ එකල පේරාදෙණියෙහි වලේ නාට්‍යයක් හූවක් නොලබා ප්‍රදර්ශණය කළ හැකි නම් එය මුලු ලංකාවෙහිම සාර්ථක වන බවයි. ඔහු ව්‍යංගයෙන් කීවේ පේරාදෙණියෙහි වල යනු එකල නාට්‍යය සම්බන්ධයෙන් හොඳම විචාරකයන් සිටි ස්ථානය යන්නයි. මනෝරත්න අයත් වනුයේ වලෙහි පමණක් නොව සමස්ත රටෙහිම විවිධ ප්‍රෙක්ෂාගාරයන් සිය රංග ප්‍රතිභාවෙන් එකසේ ග්‍රහණයට ගත් අග්‍රගණ්‍ය රංගධරයකු ලෙසටය. ඉදින් මනෝරත්නයන් ගේ අභාවය හමුවෙහි ඔහුට පුද දිය හැකි හොඳම උපහාරය වන්නේ ඔහු අගයා එසැනින් තමන් මේ ගොහොරුවට අනුගත වීම වෙනුවට ඔහු ගිය මගෙහි එක් සැතපුමක් හෝ යාමට අවංක උත්සාහයක් දැරීමය.

 

Comments