පොංගල් දවසේ ජීවිතයේ හැබෑව මතක් කර දෙන උක් ගස | සිළුමිණ

පොංගල් දවසේ ජීවිතයේ හැබෑව මතක් කර දෙන උක් ගස

කහ ලක්ෂ්මී දේවිය වෙනුවෙන්

දෙවැනි දවසේ පොංගල් සමරන්නේ ගව පට්ටියේ

ඉස්සර ඇඳපු කෝලම් වෙනුවට දැන් ස්ටිකර් කෝලම්

යාන්තම් දිය බින්දු වැටෙන දිගු කෙස් වැටියේ ගැසූ පිච්චමල් වැලත්, මොට්ටු තැබූ නළලත් ඇගේ හැඩකාර බව තව තවත් වැඩි කරයි. විචිත්‍ර වර්ණ සාරියෙන් සැරසුණ ඈ පමණක් නොව මඟදිග දුටු දමිල කාන්තාවන් ඒ උදෑසන යමින් සිටියේ ළඟම ඇති කෝවිල වෙතය. කාන්තාවන් කුඩාදරුවන් පමණක් නොව පවුලේ සියලු දෙනාගේම ඒ උදෑසන පළමු රාජකාරිය වී තිබුණේ කෝවිල වෙත යෑමය. කෝවිල වෙත ගොස් පැමිණි ඇතැම් දෙනා නෑ ගම් යමින් සිටියහ. කොළඹ කොටුවේ සිට මෝදර , මට්ටක්කුලිය දෙසට යමින් සිටි අප මේ දකින දසුන සොඳුරු යැයි සිතිණි. ඒ සොඳුරු බව වඩාත් මතු කර පෙන්වූයේ මඟ දෙපස දෙමළ නිවෙස් මෙන්ම , දෙමළ ව්‍යාපාරික ස්ථානවල පිවිසුම් දොරටුව දෙපසින් උක්ගස් බැද ගොක් කොළින් කරන ලද සැරසිලි දැකීමෙනි. ඇතැම් නිවෙසක ඉදිරිපස බිමේ විවිධ රටා ඇඳ තිබිණි.

මේ හැම සොඳුරු දසුනක්ම අප ඇස ගැටුණේ ඉකුත් 15 වැනිදාට යෙදුණ තෛපොංගල් දිනයේදීය.

“ කොටහේන පැත්තේ උක්ගස් මිටි පිටින් ගෙනැල්ලා තියෙනවා විකුණන්න. ඇවිදගෙන ගියොත් කතාවක් හොයාගන්න පුළුවන්.” මිතුරෙකු එසේ පැවැසුවේ දාහතර වැනිදාය. කොහොම නමුත් තෛපොංගල් දා අප වෙනත් ගමනක් යන අතරතුර ඒ ගැන ද සොයා බලන්නට වීමු.

අස්වැන්න නෙළිමේ උත්සවය ලෙසින් දෙමළ ජනතාව ජනවාරි මාසයේදී සමරනු ලබන එම උත්සවයේ පොංගල් යන්නේ තේරුම වන්නේ “උතුරා යෑම හෙවත් පිටාර ගැලීමයි.” මැටි කළයක කිරි උතුරා පිටාර ගලා යෑම සෞභාග්‍යයේ සංකේතයක් ලෙසින් ඔවුහු සලකති. අලුත් මුට්ටියක බත් හකුරු සහ නැවුම් එළකිරි උතුරුවා පිස ගන්නා අතර එයට දුඹුරු සීනි, කජු, වියළි මිදි යොදාගනිමින් රසවත් කරගනිති. අලුත් මුට්ටියේ කිරි උතුරා යන විට සන්ගු යන සංගීත භාණ්ඩය ද වාදනය කරති. එමෙන්ම චාරිත්‍රයක් වශයෙන් පොංගාල් ...පොංගාල් යනුවෙන් ශබ්ද නැඟීමද කරති. ඔවුන් එසේ කරන්නේ නව වසර සෞභාග්‍යවත් වසරක් වේවා යන අදහසිනි. කෙසේ වුවත් හිරුට සහ ස්වාභාව දහමට ස්තුති කිරීම සදහා කරනු ලබන තෛපොංගල් උත්සවය හින්දු සහ දමිළ ජනතාවට විශේෂය. ඉන්දියාවේ මෙන්ම අපේ රටේ දෙමළ ජනතාවද තෛපොංගල් ඉතා ඉහළින් සමරති.

සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ආදි වූ ජාතින් කීපයක්ම බොහෝ සහයෝගයෙන් ජීවත් වන කාකදූපත ප්‍රදේශයේදී අපට හමු වූ සෙල්ලතුරේ යුවළ ඔවුන්ගේ කෝවිල ඉදිරිපිට දී තෛපොංගල් දා උදෑසන අප පිළිගත්තේ බොහෝ ආදරයෙනි.

කෙසෙල් ගස් සිටුවා, උක්ගස් සිටුවා, ගොක් කොළ මෝස්තරයෙන් සරසා තිබූ කෝවිල ඉදිරිපිට කෝලම් රටා ඇඳ තිබිණි. දෙවියන් වැඳිමටද කෝවිලේ සාමිගේ ආශිර්වාදය ලැබීමට ද තරුණ තරුණියෝ වැඩිහිටියෝ මෙන්ම කුඩා දරුවෝද ඒ උදෑසන කෝවිල වෙත පැමිණෙමින් සිටියහ.

“අස්වැන්න නෙළා ගෙනාවට පස්සේ තමයි උත්සවය ගන්නේ. ඉර පායන කොට තමයි උත්සවය ආරම්භ කරන්නේ. එළඟිතෙල් පහන් පත්තු කරලා, කැවුම් හදලා, පලතුරු තියලා දෙවියන් සඳහා පුජා කරලා දෙවියන්ට ස්තුති කරනවා. උක්ගස් දෙපැත්තෙන් තියන්නේ ඒක ජීවිතය ගැන කියා දෙන පාඩමක්. ජීවිතේ ආරම්භය සැපතක් නැහැ. බොහෝ කම්කටොලු තියෙනවා. නමුත් ඒ කරදර ඉවර වෙලා ටිකෙන් ටික ජීවිතේ සාර්ථක කරගන්නවා. ජීවිතෙත් හරියට උක්ගහ වගෙයි. උක් ගසේ කොළ තියෙන හරිය කිසිම රහක් නැහැ. ටිකෙන් ටික තමයි උක් ගස රස . ගහේ මැද හරියට මුල හරියට යනකොට තමයි උක් ගස රස. ජීවිතය තමයි උක් ගසෙන් සංකේතවත් කරන්නේ. කහ ගස් භාවිතා කරන්නේ ලක්ෂ්මි දේවිය වෙනුවෙන්. ඒ වගේම කහ, ඉඟුරු කියන්නේ විෂබීජ නාශකයක්.

නිවෙස ඉදිරියේ හැමදාම කෝලම් රටා යොදනවා. ඒ කෝලම් කරන්නේ සහල් පිටිවලින්. කෘමි සතුන් වෙනුවෙන් ඒ දේ කරන්නේ. මම අවුරුදු තුනේ ඉඳලා මගේ සීයා එක්ක කෝලම් අඳින්න පුරුදු වුණා. එකේ සිට එක්දහස් ගණන් දක්වා තිත් තියන්න පුළුවන්. කෝලම් පොඩ්ඩක්වත් වරද්දන්නේ නැතිව කරන්න ඕනෑ. දැන් නම් කෝලම් ස්ටිකර් එක තියෙනවා අලවන්න පුළුවන්.”

අගිලා සෙල්ලතුරේ මාතාව පවසන්නට වූයේ අප නොදන්නා කතාය. ඇගේ ස්වාමි පුරුෂයා වන ටී සෙල්ලතුරේ සාමි කෝවිල පැමිණි බැතිමතුන්ට ආශිර්වාද කරන්නට විය.

ඔවුහු වසර තිහක් තිස්සේ එම කෝවිල් පවත්වාගෙන යති.

“මෙහෙ දහම්පාසලක් පැවැත්වෙනවා. සිකුරාදා රෑට. ළමයි අනූවක් විතර ඉගෙන ගන්න එනවා. මගේ දරුවොත් මෙහෙ ආවා. පුතා විවාහ වුණා. මේ ඉන්නේ ඔහු සහ ඔහුගේ බිරිය. අපි කෝවිල වඳින්න ආවා.”

නාගේෂ්වරන් පවසන්ට වූයේ අගිලා අම්මා විසින් ගෙනැත් දුන් තල මිශ්‍ර කර සාදන ලද කැවිලි විශේෂයක් රස විඳින අතරේය.

අතීතයේ ගොවි ජනතාවට පමණක් මේ උත්සවය සීමා වුවද දැන් සැවොම පොංගල් දිනය සමරති.

“ යාපනේ මේ උත්සවය මහා ඉහළින් කරනවා. පළමු වැනි දිනයේ ඔවුන් කිරි උතුරවා පොංගල් බත සාදන්නේ නිවෙසේ. දෙවැනි දවසෙත් පොංගල් සමරනවා. ඒ සමරන්නේ ගවපට්ටියේ. යාපනයේ ගොවියන් ගවයාට පුදුමාකාර ලෙස ආදරෙයි. හොඳින් සලකනවා. ගවයාගෙන් කිරි, මීකිරි, එළඟිතෙල්, ගොම සහ මුත්‍ර ලැබෙනවා. ඒකාලේ ගෙවල්වල බිමට ගෑවේ ගොම.

ඒ වගේම තමයි ගව මුත්‍ර සහ ගොම කියන්නේ පොහොර. රතු ලූනු ගොවියෝ ගොවිතැන් කළේ පොහොර ගහලා නෙමෙයි ගොම ගවමුත්‍ර දාලා. ගවයාගෙන් බොහෝ දේ ලැබෙන නිසයි ඔවුන් ගවයාට ඒතරම් ආදරෙයි. ගවයා සරසලා මල්මාලා දාලා ගවපට්ටියේ කිරිඋතුරවලා ඒ චාරිත්‍රය කරනවා. නමුත් අද වන විට නම් මේවා තරමක් දුරට බැහැර වුණත් මේ චාරිත්‍ර බොහෝම ඉහළින් සමරන අය අප අතර ඉන්නවා. ”

තිරනකරන් පුවත් පතේ ප්‍රවෘත්ති කර්තෘ අශෝක් කුමාර් අතීත කතා කියමින් තෛපොංගල් යන්න පහදා දෙමින් පැවැසීය.

පොංගල් දා උදෑසන මට්ටක්කුලිය, මෝදර ආදි ප්‍රදේශ පසු කරමින් පැමිණි අප කොටහේන හන්දියට පැමිණියෙමු. පෙරදා පාරේ එක පෙළට අලුත් වළං මුට්ටි ආදිය මෙන්ම අඹ කොළ අතු , ගොක් අතු, ගොස් සැරසිලි, උක් ගස්, කහ ඉඟුරු විකුණන්නට තිබුණ ද ඒ කිසිවක් එහි නොවීය. මාර්ග තදබදය වෙනදාට වඩා අඩුය. නමුදු විසිතුරු ඇඳුමින් සැරසුණු තරුණියන්, පවුල් සාමාජිකයන් කෝවිල් යනවා මෙන්ම නෑදෑ ගමන් යනු ද දැකිය හැකි විය. අපි ඒ පාරේ බොහෝ දුර ගියෙමු. උක්ගස් විකුණන්නන් කිසිවෙකු නැත.

යළිත් කොටහේන හන්දියට පැමිණි අපට දකින්නට ලැබුණේ කහ, ඉඟුරුගස්, ගොක්කොළ, උක්ගස් කිහිපයක් තබාගෙන සිටින වෙළෙන්දෙකි.

“ මම ආවේ නුවර ඉඳලා. උක්ගස් ගෙනාවේ අම්පාර පැත්තෙන්. උක් ගස් ජෝඩුව විකුණුවේ රුපියල් දෙසිය ගානේ. අද නම් රුපියල් සීයටවත් විකුණාගන්න බැහැ. රටා දාපු ගොක්කොළ දහයක් රුපියල් සියයයි. අඹ කොළ නම් රුපියල් පනහටත් විකුණනවා. ඉස්සර වගේ නෙමෙයි දැන් හැමෝම වගේ බට්ටා ලොරියේ පටවාගෙන එනවා. ඒ ගොල්ලෝ තැන් තැනවල තියලා විකුණනවා. එහෙම නැත්නම් තොග පිටින්ම විකුණලා යනවා. මෙදා පාර මම මෙතැනට එනකොට ප්‍රමාද වුණා. කහ තොගයක් ගත්තේ රුපියල් හයදාහකට. ඒත් තව ටිකක් ඉතිරියි. දැන් මේවායෙන් වැඩක් නැහැ. මේ ඔක්කෝම කුණු ගොඩට විසි කරලා යනවා.” සින්නතම්බි පවසන්නට විය.

ඔහුගේ මුහුණු ඇත්තේ දුක් පෙනුමකි. අනෙක් මිනිසුන් වෙනුවෙන් සතුට රැගෙන ආවද ඔහුට අලුත් අවුරුද්ද සමරන්නට ගෙදර රැඳෙන්නට අවස්ථාවක් නැති විය. ඒ අඹුදරුවන් පෝෂණය කිරීම සඳහා මිල මුදල් සොයන්නට පැමිණි බැවිනි. වසර තිහක් තිස්සේ කොළඹ කොටහේන ප්‍රදේශයේ පුංචි පුංචි බිස්නස් කරන සුරේෂ් කුමාර් කොළඹට පැමිණියේ අවුරුදු පහළොවේදීය.

“ මම ගෙදරින් හිත් අමනාප වෙලා ආවේ. කඩයක වැඩ කළා. පොංගල් දවසට කලින් දවසේ මමත් උක්ගස් එක්ක හැමදේම විකුණනවා. යාළුවොත් මල්ලිත් ඒ දේවල් බලාගන්නවා. මම හැමෝටම උදව් කරනවා. මට මෙහෙන් ඉන්න තැනක් නැහැ. යාළුවෝ එක්ක ඉන්නේ. හැමෝම මා එක්ක හොඳයි. උක්ගස් විකුණුවාම හොඳ ආදායමක් ගන්න පුළුවන්. ඊයේ රෑ වන තුරු වෙළෙන්දෝ හිටියා. අද කවුරුවත් නැහැ. එත් ඉස්සර වගෙ දැන් ගොඩක් අය එන්නේ නෑ. බිස්නස් තියෙන්නේ පොංගල් දවසට කලින් දවසේ.” සුරේෂ් කියන්නට වූයේ ඔහු ලද අත්දැකීම්ය.

හැමදාම නත්තල් නෑ ... හැමදාම අවුරදු නෑ .. සමාජයේ අය කියනු අප අසා ඇත. උක්ගස් කහ වළං මුට්ටි විකුණන්නන්ගේ කතා අසන විට අවසානයේ සිතුණේ “හැමදාම පොංගල් නෑ” කියාය.

(විශේෂ ස්තූතිය ප්‍රවීණ ලේඛිකා අනුල ද සිල්වා මහත්මියට)

ඡායාරූප - රුවන්ද සිල්වා

සමන්ත වීරසිරි

 

Comments