තණ්හාවත් සමඟ තොවිල් නැටීම | සිළුමිණ

තණ්හාවත් සමඟ තොවිල් නැටීම

සුනිල් අය්යේ..... අපේ ඉඩම මැනලා, අය්යලා දෙන්නට බෙදල දෙන්න ඕන.....” සුදු දවසක් මට කීවේ ය. මම සුදුගේ ඉල්ලීම ඉටු කළෙමි. ඇස් දෙක ම නොපෙනුණ ද ඉඩම බෙදන අයුරු වැලි පොළොව මත ඇඟිල්ලෙන් ඇඳ සුදු මට පෙන්වූයේ ය.

මා මිනින්දෝරුවරයෙකු වූයේ මීට තිස් වසරකට පෙරදී ය. ඒ රැකියාව මගේ භද්‍ර යෞවනය විසින් සෙනෙහසින් වැළඳ ගත්තකි.

මා කුඩා කාලයේ දී දිනක් මිනින්දෝරු මහතෙක් පැමිණ අපේ මහ ගෙදර පිහිටි අපේ කඩය මැන්නේ ය. ඒ මිනින්දෝරු මහතා රතු, උස, සිහින් දේහයකින් යුතු අයෙක් විය. පසු කාලයේ ඔහුව මා විසින් හඳුනා ගනු ලැබුවේ ඩී. වීරසේකර මිනින්දෝරු මහතා ලෙස ය. ඔහු පැමිණි කලු මයිනර් කාර් රථයේ උඩ “හුඞ් රැක්” එකේ රතු සහ සුදු පැහැයෙන් වර්ණ ගැන්වූ මැනුම් රිටි කිහිපයක් ගැට ගසා තිබිණි. සරම් කැහිපොට ගසා ගත් කම්කරුවෝ දෙදෙනෙක් වානේ දම්වැලක් පාර දිගේ අදිමින් සිටියහ. එය සුවිශේෂ දසුනක් වූවා මිස , ආසාවක් නොවීය. නමුත් එය මගේ කුඩා අවධියේ නොමැකෙන මතකයක් වූයේ නිරායාසයෙනි. මුස්ලිම් මිනිසුන් ද විශාල ප්‍රමාණයක් ජීවත් වූ ඒ අපේ ගම, ගාල්ල නගරයට නුදුරු ගිංතොට, විදානගොඩය. එය ඇත්තට ම සුන්දර ගම්මානයකි.

මා පෙර කී කතාවට අදාල නොවෙතත් මා මිනින්දෝරුවරයකු වීමද අපූරු කතාවකි. කිසිදා කිසිවිටෙක නොසිතූ එය අහම්බයකි.

මගේ පළමු ක්‍ෂේත්‍ර පත්වීම සියඹලාණ්ඩුව ප්‍රදේශයට ය. මගේ පළමු මැනීම වූයේ සියඹලාණ්ඩුවට නුදුරු තඹලකණ්ඩිය වැව මැනීම ය. රත්න ශ්‍රී විජේසිංහයන් “බිම්බරක් සෙනඟ ගැවසුණු චන්‍ද්‍ර සූර්යයා ඉපදුණු- ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ” ගීතය ලියා ගුණදාස කපුගේට දුන්නේ සියඹලාණ්ඩුවේ දී ය. රත්න ශ්‍රී සියඹලාණ්ඩුවට ඉඳහිට ආයේ ඔහුගේ නංගී සියඹලාණ්ඩුවේ ගුරුවරියක ලෙස සේවය කළ නිසා ය.

ඔය ආකාරයට මම මගේ යෞවන කාලය තුළ සියඹලාණ්ඩුවේ ඉඩම් මැනීමේ යෙදී සිටියෙමි. හවසට පිඹුරු වැඩ සහ කාර්යාල කටයුතු කළේ මගේ කඳවුරේ සිට ය. මේ අතර සවස් යාමයේ එක්තරා කුඩා ළමයෙක් පාසැල් හමාර වීමෙන් පසු නිතර නිතර කඳවුරට එන්නට පුරුදු වී සිටියේ ය. ඔහු නමින් පොඩි රාළහාමි ය. පාසල් නිවාඩු කාලයේ දී ඉඳහිට මා සමඟ ඉඩම් මැනීමට ද මේ පාසැල් සිසුවා පැමිණියේ ය.

“අය්යේ, මටත් ආසයි මිනින්දෝරුවෙක් වෙන්න......මිනින්දෝරුවෙක් වෙන්න ත්‍රිකෝණමිතිය උවමනාද?”

මිනින්දෝරුකමට වහ වැටී සිටි පාසැල් ළමයා මගෙන් ඇසුවේ ය.

“ඔව්! මල්ලී....ඔයාටත් පුලුවනි මිනින්දෝරුවෙක් වෙන්න........ඒකට ත්‍රිකෝණමිතියත් උවමනායි” මම කීවෙමි.

නමුත් මේ මල්ලී හොඳට ගණිතය ඉගෙනගත් නමුදු කිසිදා මිනින්දෝරුවෙකු වූයේ නැත. ඔහු සියඹලාණ්ඩුවේ පාසැලෙන් විභාගය සමත් වී පේරාදෙණිය සරසවියේ ගණිත අංශයේ කථීචාර්යවරයෙකු වූවේ ය. දැන් යුරෝපා විශ්ව විද්‍යාල කිහිපයකම අභ්‍යාවකාශ විද්‍යාව පිළිබඳ ව මහාචාර්යවරයෙකු වන ඔහු අතිදක්‍ෂ ගණිතඥයෙක් විය. ත්‍රිකෝණමිතිය ගැන මගෙන් අසා දැන ගත් ඒ උනන්දු ළමයා ඊයේ පෙරේදා දිනක මට යළිත් සියඹලාණ්ඩුවේ දී ම හමු විය. රැයක් පුරාම අල්ලාප සල්ලාපයක යෙදුණු මේ මහාචාර්යවරයා මට කීවේ “අය්යා ඒ දවස් වල වැඩ කරන විදිය බලං ඉඳලා..........මටත් හරිම ආසාවක් තිබුණෙ සර්වේයර් (මිනින්දෝරුවරයෙකු) කෙනෙක් වෙන්න. මතකද මම අය්යාගෙන් ත්‍රිකෝණමිතිය ගැන අහනවා........” ඔහු නිහතමානීව අතීතය මතක් කළේය.

ගෙවුණ කාලය තුළ රැකියාව හේතු කොට ගෙන, මම රට පුරා ඇවිද්දෙමි. අව්ව, වැස්ස, සුළඟ, දහඩිය මගේ රැකියාවේ මිතුරෝ වූහ. බත් පත කෑවේ සමහර විට ගලක් උඩ සිට ය. නැත්නම් ගහක් උඩ සිට ය. මා මේ ලියන සෑම වචනයකට ම එක කතාවක්- බැගින් ලියන්නට හැකි තරමට අත් දැකීම් ලැබුණේ ඒ අනුවය.

මා සමඟ ගමේ එකට සෙල්ලම් කළ සුදුගේ ඇස් දෙක පසුව නොපෙනී ගියේ ය. සුදු ජීවත් වූයේ අපේ ගමේ වෙල් යායට එපිට පිහිටි පොල්දූවේ ය. අපි සමඟ දවාලට සෙල්ලම් කරන සුදු රෑ බෝ වූ විට වෙල් යාය මැදින් ගෙදර යන්නේ හුළු අත්තක් දල්වා ගෙන ය. ලොව දිනූ සිත්තරාවිය ලෙසට විරුදාවලිය ලත් සිබිල් වෙත්තසිංහ මහත්මියගේ පොත්පත් වල එන සියලු චරිත අපේ ගමේ ජීවත් වූහ. ඒ සිබිල් නැන්දාගේ ගමත් අපේ ගමත් ගිංතොට ම වූ නිසා ය.

“සුනිල් අය්යේ..... අපේ ඉඩම මැනලා, අය්යලා දෙන්නට බෙදල දෙන්න ඕන.....” සුදු දවසක් මට කීවේ ය.

මම සුදුගේ ඉල්ලීම ඉටු කළෙමි. ඇස් දෙක ම නොපෙණුන ද ඉඩම බෙදන අයුරු වැලි පොළොව මත ඇඟිල්ලෙන් ඇඳ සුදු මට පෙන්වූයේ ය.

“ හතරේ පංතියෙ දි තමයි මගේ ඇස් පෙනීම අඩුවෙන්න ගත්තේ, රත්මලානේ අන්ධ විද්‍යාලයට අපේ අම්මලා මා දැම්මා නම් මට මෙහෙම වෙන්නේ නැහැ.....” සුදු මට කීවේය.

මම තිස් අවුරුද්දක් පුරා සෑම තරාතිරමක ම මිනිසුන්ගේ ඉඩම් මැන්නෙමි.

ඉඩම් මැනීම “තණ්හාවත් එක්ක තොවිල් නැටීමක්” ලෙසට මට වැටහුණේ මේ කාලය තුලය.

“මේ අඟලක් දෙකක් වැඩියෙන් අරගෙන මොකටද? අපි මැරෙන මිනිස්සුනේ” තණ්හාකාරයා සෑම විට ම මිනින්දෝරුවරයාට කියන්නේ ය.

වරක් මම මායිම් ආරවුලක් විසඳීමට ඉඩමක් මැන්නෙමි. යාබද ඉඩමෙන් අල්ලා ගෙන, වැසිකිළියක් තැනූ කටකාර කාන්තාව මට ද ඉඩමට නොඑන්නට දෙන සෙයකි. ඉඩම මැන පැයකින් විතර පසු, මම නියම මායිම පොළොවේ පිහිටුයෙමි. ඇයගේ වැසිකිළිය නියම ඉඩම පැත්තට ගියේ ය. කට සැර කාන්තාවගේ කට සැර තවත් වැඩි වන්නට විය. අනෙක් ඉඩමේ අයිතිකරු කට සැර කාන්තාව වෙත පැන, කට පොඩි වෙන්නට ගැසුවේ ය. කටින් ලේ හැළුණේ ය. අනෙක් පසුපස ඉඩමේ හිමිකරු මාගේ මිතුරෙකි. මිතුරා පොලීසියේ උසස් නිලයක් දරන්නේ ය. ඇස් ඉදිරියේ දුටු මේ ජවනිකාව දැක, මගේ කනට ළං වී ඔහු ඇසුවේ “මචං....අපේ නැන්දම්මාටත් මේ වගේ ඉඩමක් මැනලා දෙන්න බැරිදැ ?” කියා ය.

බලයලත් මිනින්දෝරු 
සුනිල් කුසුම්සිරි

Comments