කසළ දේශපාලනයේ දුප්පත්කම | සිළුමිණ

කසළ දේශපාලනයේ දුප්පත්කම

තමන්ගේ කසළ නිසි පිළිවෙළට බැහැර කිරීම සම්බන්ධයෙන් ලාංකික සමාජයට ඇත්තේ දුප්පත් අවබෝධයකි. එය තම සන්තකයෙන් බැහැර කරගත් විට ප්‍රශ්නය විස‍ෙඳ් යැයි ඔවුහු සිතති. ප්‍රායෝගිකව බොහෝ අය කරන්නේ තමන් සතු කසළ අනුන් සතු කිරීමයි. එය කසළ බැහැර කිරීමේ ආත්මාර්ථකාමීම විසඳුුම යැයි කිව හැකිය. පුද්ගල චරිතයන්ගේ ආකල්ප එසේ ගොඩනැංවෙනවිට සමාජ ආකල්ප පදනම් වන්නේ ද ඒ මත ය.

සති දෙකකට පමණ පෙර කොළඹ ආ මම බොහෝ වෙහෙස මහන්සි වී බසයකට ගොඩ නැගු‍ෙණ් නිවෙසට ඒමට ය. පැය තුනක පමණ ගමනක් නිසා පිපාසාවට ජල බෝතලයක් ද හැපීමට කඩල පැකට් එකක් ද මිල දී ගතිමි. ඒවා පාරිභෝජනය කිරීමෙන් පසුව හිස් බෝතලය ද දවටනය ද මගේ බෑගයට දමා ගතිමි.

මා අසල අසුනේ සිටියේ ජැන්ඩියට ඇඳගත් වයස විසිහයක පමණ තරුණයෙකි. ඔහු ඉරිගු කරලක් මිලට ගෙන එය ආහාරයට ගැනීමෙන් පසුව එහි ඉතිරිය මගේ මූණ අසලින් වීසී කළේ මහ මගට ය. මඳක් කේන්ති ගිය මා ක්ෂණිකව මාර්ගය දෙසත් ඔහු දෙසත් බැලූ විට ඔහු උජාරුවෙන් අහක බලා ගත්තේ ය.

තමන්ගේ කසළ නිසි පිළිවෙළට බැහැර කිරීම සම්බන්ධයෙන් ලාංකික සමාජයට ඇත්තේ දුප්පත් අවබෝධයකි. එය තම සන්තකයෙන් බැහැර කරගත්විට ප්‍රශ්නය විසදේ යැයි ඔවුහු සිතති. ප්‍රායෝගිකව බොහෝ අය කරන්නේ තමන් සතු කසළ අනුන් සතු කිරීමයි. එය කසල බැහැර කිරීමේ ආත්මාර්ථකාමීම විසඳුම යැයි කිව හැකිය. පුද්ගල චරිතයන්ගේ ආකල්ප එසේ ගොඩනැංවෙනවිට සමාජ ආකල්ප පදනම් වන්නේ ද ඒ මත ය. එනම් කසළ ප්‍රශ්නය සම්බන්ධයෙන් සමාජය හෝ රජය හෝ සංවේදීව නොසිටීමයි.

ආණ්ඩු මාරු කර ගැනීමේ නිමිත්ත

කොටි සංවිධානය විසින් ඉහළට ඔසොවා තබන ලද දෙමළ ජාතිකවාදයේ හෙවනැලි රාජ්‍යය නිසා ලාංකික දේශපාලන දකුණ තුළ තීරණාත්මක වූයේ ජාතික රාජ්‍යයේ පැවැත්මට අදාළ ආරක්ෂණවාදී සටන් පාඨයි. ඒ අනුව ඒකීය රටක්, බෙදුම්වාදය පරාජය කිරීම, දේශප්‍රේමය, විධායක ජනාධිපති ක්‍රමය හා ත්‍රස්තවාදය මුළුනුපුටා දැමීම වැනි සංකල්ප සමාජ කතිකාවේ ඉස්මත්තට පැමිණුණි. ප්‍රධාන පෙළේ ජාතික මැතිවරණ කාල සීමාව තුළ දී ද සමාජයේ දනන් තුඩ තුඩ රැව් දුන්නේ එකී සංකල්පයන්ට අදාළ මතවාදයන් ය.

බොහෝ අය ඒකීය රාජ්‍යක්‍රමය වෙනුවෙන් තම පරමාධිපත්‍යම ඡන්ද බලය පාවිච්චි කරමින් පොදු මගී ප්‍රවාහන බස් රථයේ ගියේ අළු දූවිලි බවට පත්වෙමිනි. බෙදුම්වාදය පරාජය කිරීමට ඡන්දය දීමට ඇවිදගෙන ගියේ වාරිමාර්ගයන් බවට පත්ව තිබූ මහා මාර්ගයෙනි.

තම දරුවාගේ අධ්‍යාපන වියදමට ගිනි පොලියට ණය ගත්තේ බටහිර කුමන්ත්‍රණ පරාජය කිරීමේ සටන් පාඨ දෙදරවමිනි. එහෙත් සැප පහසු මගී බස් රථයක්, ගුණාත්මක මහා මාර්ග හා අධ්‍යාපනයේ අයිතිය වැනි දේ සමාජයට සංවේදී ප්‍රශ්න නොවිය. එසේම උඩරට කදු නාය යෑමෙන්, හමුදා කදවුරු පිපිරීමෙන් සිදුවූ ඛේදවාචකයන්ට ද සමාජය සංවේදී නොවීය. ජීවන ගමන යෑමේ දී තම ජීවිතය යහපත් කර ගැනීම සඳහා දායකවන පරිසර තත්ත්වයන් වැඩි දියුණු කර ගැනීම සදහා මේ කිසිවෙක් උනන්දු නොවූහ. ඊට හේතුව වූයේ දෙමළ ජාතිකවාදය සමාජය තුළ ඉස්මත්තට ඒමයි.

දෙමළ ජාතිකවාදය තුළින් තම අනෙකා සෙවීම

එල්ටීටීඊ සංවිධානය ප්‍රකාශයට පත් කළ දෙමළ ජාතිකවාදයේ හැඩවලට මුහුණ දෙන්නට ගොස් දේශපාලන දකුණේ සමාජය අමතක කර ගත්තේ ජීවත්වීමට අවශ්‍ය යහපත් පරිසරය යළි සකසා ගැනීමයි. ඒ නිසා පාරිසරික විනාශ මෙන්ම මානුෂික විනාසයන් ද අවම කර ගැනීමට හෝ තිබූ ඉඩකඩ එනිසාතුනී වුණි. එහෙත් කොටි සංවිධානයෙන් තම අනෙකා සෙවීමට දකුණේ සමාජය යොමු වෙද්දී ප්‍රාග්ධනය ගෝලීයකරණය තම ගමන් මග කෙටි කර ගත්තේ නැත. ජනාකීර්ණවීම හෙවත් ජනයා අගනගරයට සංකේන්ද්‍ර ගතවීම දිගින් දිගටම සිදුවුණි. එහි ප්‍රතිඵලය වූයේ කසළ නිෂ්පාදනය ඉහළ යෑමයි. ධනේශ්වර සංවර්ධනය වේගවත් වන විට එහි අතුරු ප්‍රතිඵලයක් වන්නේ කසළ නිෂ්පාදනය වීමයි. එසේ කසළ නිෂ්පාදනය වීම තාර්කික ක්‍රියාවලියකි. එහෙත් ගැටලුව වන්නේ නිෂ්පාදනය වන කසළ ප්‍රතිචක්‍රීකරණය කර ගැනීම සදහා ශක්තියක් නොවීමයි. තම දේශපාලන අනෙකා දෙමළා තුළ සොයන්නට යෑම නිසා මේ ශක්තිය තවත් පිරිහුණි.

ධනවත් පන්තිය බලවත් වී ධනපති පන්තිය දුර්වල වීම

1978 දී ලාංකික සමාජයේ සිදුවූයේ ඇත්ත වශයෙන්ම සිදුවිය යුතු සමාජ ප්‍රතිසංස්කරණයකි. එය 1815 දී ඉංග්‍රීසි අධිරාජ්‍යවාදය ලාංකික සමාජයේ ඇති කළ ප්‍රතිසංස්කරණයන් හා ඒකමතික වේ. එහෙත් ඉංග්‍රීසීන් මෙරට සමාජයේ රිද්මය තේරුම් නොගෙන කටයුතු කළ අයුරින්ම1978 ප්‍රතිසංස්කරණයන් මගින් ද මෙරට සමාජයේ රිද්මයට බලපෑම් කළේය.

ඒ නිසා එය සමාජයේ ආකෘතියට මෙන්ම සමාජයක් පදනම් වන හර පද්ධතියට ද කළ බලපෑම බරපතල ය. 1978 සමාජ ප්‍රතිසංස්කරණයන් ධනේශ්වර ඉතිහාසයේ ‍ෙඑතිහාසික ප්‍රගමනයේ ප්‍රතිඵලයකි. ඒ නිසා එය වැළැක්විය නොහැක්කක් වුවත් ලාංකික සමාජයේ ධනේශ්වර සංවර්ධනයේ ප්‍රමිතීන්ට අනුව සිදුකළ යුතුව තිබූ ප්‍රතිසංස්කරණයක් බව නොරහසකි. කිසියම් හෝ හේතුවක් නිසා ලාංකික ධනේශ්වර පන්තිය 1978 ප්‍රතිසංස්කරණයන් හදුන්වා දුන්නේ එවැනි ප්‍රමිතියකින් නොවේ.

ධනේශ්වර පන්ති කතිකාවකින් තොරව සිදු කළ ඒ ප්‍රතිසංස්කරණයන් නිසා ලාංකික සමාජයේ පවුරු පදනවලට සිදුවූ හානිය අතිමහත් ය.

මේ හානියේ බරපතළම සාධකය වන්නේ සමාජයේ පන්ති ස්තරයට සිදුවූ හානියයි. ඒ නිසා සම්ප්‍රදායි ධනපති හා පීඩිත පන්තිය ආකෘතිමව වෙනස් වී ඒවාට ලූම්පන් ස්වරූපයක් ලැබුණි. එසේම අතිවිශාල මධ්‍යම පන්තියක් ද නිර්මාණය වුණි.

ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගේ අයහපත් බලපෑම නිසා බිහිවූ ලූම්පන් ස්තරය මෙන්ම නව මධ්‍යම පන්තිය ද සමාජ සංවර්ධනයේ දී කිසියම් ම හෝ දායකත්වයක් දරන්නේ නැත. එහෙත් මෙම පන්ති ස්තරයන් සමාජ ප්‍රගමනයට කරන්නා වූ හානිය බරපතළය. ප්‍රශ්නකාරී තත්ත්වයන් මැද වුවත් ලාංකික පාලක පන්තියේ ආධිපත්‍ය පැවතුණේ සම්ප්‍රයදායි ධනේශ්වර පන්තිය මත වුවත් 2005 දී පාලක පන්තියේ ආධිපත්‍ය ලූම්පන් ධනේශ්වරයේ ආධිපත්‍යයට නතු වුණි.

ඇත්ත වශයෙන්ම එය ලූම්පන් වෙඳ අරමුණකින් යුත් ධනය ඇති පන්තියක් මිස ධනපති පන්තියක් නොවේ.

ධනපති මුහුණකින් යුත් ශරීර හැඩරුවක් ඊට තියෙන්නට පුළුවන් වුවත් එහි මොළය ක්‍රියා කරන්නේ සම්භාව්‍ය ධනපති අර්ථයෙන් නොවේ. එය මුළුමනින්ම කොල්ලකාරී අරමුණුවලින් යුත් ස්වාර්ථයම ප්‍රාර්ථනා කරන්නා වූ අවස්ථාවාදී එකතුවකි. ලාංකික රාජ්‍යයේ බලය ධනපති පන්තියෙන් ගිලිහී ධනය ඇති මුත් කොල්ලකාරී අරමුණු වලින් යුත් පාදඩ ස්තරයකට හිමිවීම එතිහාසිකව සිදුවූ බරපතළ වැරැද්දකි. මේ නිසා ධනේශ්වර සංවර්ධනයට කිසිම ප්‍රතිලාභයක් අත් වන්නේ නැත.

පන්ති ව්‍යුහය වෙනස් වේ

මේ තත්ත්වයට සමාන්තරව සමාජයේ ආධිපත්‍ය අතර මැදි ස්ථරයටත් ලූම්පන් පීඩිත පන්තියටත් නතුවීම රාජ්‍යයේ ස්වරූපය තවදුරටත් වෙනස් කිරීමට හේතු වුණි. ඒ නිසා පාලක පන්තියේ හැසිරීම් පාලිත පන්තියට බරපතළ නොවූ අතර පාලිත පන්තියේ හැසිරීම පාලක පන්තියට බරපතළ නොවුණි.

පාලක හා පාලිත පන්තීන් දෙකෙහිම පන්ති ස්වරූපය වෙනස් වීම නිසා ඒ පන්තීන් දෙකම කටයුතු කළේ අවස්ථාවාදී කොල්ලකාරී අරමුණු වලින් මිස සමාජ වගකීමක් දරන්නා වූ බරපතළ පන්ති අරමුණකින් නොවේ.

ඒ නිසා ලාංකික පාලක පන්තිය මෙන්ම පාලිත පන්තිය ද කොයි ආකාරයේ විසුළු ආඛ්‍යානයන් දැක්වුවද ඒවා තවමත් බරපතළ සංවේදී කාරණාවන් බවට පත්වී නොමැත.

මේ වනවිට ලාංකික සමාජයේ පාලක පන්තිය ශක්තිමත් නිර්මාණශීලී පදනම් පවුරු වලින් සමන්විත නොවේ. ඒ නිසා සමාජ ව්‍යසනයකට හෝ සමාජ ප්‍රශ්නයකට හෝ මුහුණදෙන ආකාරය සංකීර්ණ හැඩතලවලින් යුක්ත වේ.

එහි අවසන් ගති ලක්ෂණය බවට පත්ව ඇත්තේ සමාජයක් වශයෙන් අසමත්කම ශක්තිමත් වීමයි. ජවසම්පන්න සමාජයක් මුහුණදෙන සමාජ ප්‍රශ්නයන්ට ඒ ලෙසම මුහුණදෙන්නට පෞරුෂවත් නොවූ සමාජයකට නොහැකිය. එනිසා ප්‍රශ්නය ස්ථිරසාරව විසඳා ගැනීමට ශක්තිමත් පෞරුෂයක් ලාංකික සමාජයට නැත.

කේ.ජී.පිලිප් ශාන්ත

Comments