අතේ සතේ නැතේ නමුත් සතුට උතුරයි ජීවිතේ Astrology for Happy Life | සිළුමිණ

අතේ සතේ නැතේ නමුත් සතුට උතුරයි ජීවිතේ Astrology for Happy Life

1. බ්‍රහ්ම මුහුර්තයෙන් පිබිදෙන්න

ඔබ සුවබර දීඝායු ජීවිතයක් අපේක්ෂා කරන්නේ නම් පාන්දර 04.00 ත් 05.00 ත් අතර කාලයේ අවදිවන්න.උදෑසන 04.00 සහ 06.00 අතර වූ මිනිත්තු 120 තුළ මානසික ඒකාග්‍රතාව උපරිමයට පත්ව තිබෙන හෙයින් කියවීම ලිවීම පාඩම් කිරීම ආදී ශාස්ත්‍රීය කටයුතු සඳහා ඉතා යෝග්‍ය වන්නා සේම පුද්ගලයාගේ මතක ශක්තිය ද ඉතා ප්‍රබලව පවතින හෙයින් ඕනෑම අසීරූ අභ්‍යාසයක් හෝ පාඩමක් හෝ හොඳින්ම මතකයේ රැදෙයි. එමෙන් ම නිර්මාණාත්මක සාහිත්‍ය කටයුතු සඳහා ද ඉහත කාලය ඉතා ප්‍රශස්ත වෙයි. ඊට අමතරව භාවනාව ආගමික වතාවත් ඉටු කිරීම හෝ ශාරීරික ව්‍යායාම් සඳහා ද බ්‍රහ්ම මුහුර්තය අති විශිෂ්ට වෙයි. බ්‍රහ්ම මුහුර්තයෙන් අවදිවන පුද්ගලයා මුළු දවසම ප්‍රබෝධමත්ව ගත කරයි. " .. දහසක් බුදුන් බුදුවන හිමිදිරි පාන්දර .." යනුවෙන් ජනවහරෙහි සඳහන් වන්නේ මේ බ්‍රහ්ම මුහුර්තය යි. ඒ බ්‍රහ්ම මුහුර්තයේදීත් කම්මැලිකමට නිදන පුද්ගලයා පරාජිතයකු බව සඳහන් ය.


2. යම් දෙයක් විශ්වාස කරන්න එයට ගරු කරන්න

ලෝකයට පෙනෙන්නට මවාපාන බොරු පණ්ඩිත තර්ක අත්හරින්න. ඔබට යම් දෙයක් පිළිබඳව ගැඹුරු විශ්වාසයක් තිබිය යුතුය. ඔබ විශ්වාස කරන දෙය ආගම දහම පිරිත් ස්තෝත්‍ර යාඥාව හෝ දෙවියකු මුනිවරයකු හෝ හිරු සඳු තාරකා හෝ පිළිමයක් ගහක් ගලක් හෝ චිත්ත රූපයක් හෝ ආලෝකයක් හෝ විය හැකිය. එසේ ඔබ විශ්වාස කරන දෙය ගෞරවයෙන් ස්මරණය කරන්න. ඒ සඳහා දවසේ මුල්ම විනාඩි කිහිපය වැය කරන්න. ඔබේ විශ්වාසය විසින් මුළු දවස පුරා ඔබ ආරක්ෂා කරනවා පමණක් නොව අදෘශ්‍යමාන ශක්තියක් ද නිරතුරුව ඔබ පසුපසින් පිහිටයි. විශ්වාසය තරම් ඔබට පිහිටවන පරම ඥාතියකු මිතුරකු මිහිපිට නැතැයි කියවෙන්නේ ද ඒ නිසාම යි.


3. තුන් විදිහකට ආහාර ගන්න

උදේ ආහාරය මසුරකු මෙන් තනිව ම භුක්ති විඳින්න. දවල් ආහාරය මිතුරකු සමඟ බෙදා ගන්න. රාත්‍රී ආහාරය හතුරකුට දෙන්න යැයි අපරදිග ජනයා කියති. උදේ ආහාරය රජෙකු මෙන් රජ බොජුනක් ලෙස අනුභව කරන්න. දවල් ආහාරය සිටුවරයකු මෙන් භුක්ති විඳින්න. රාත්‍රී ආහාරය හිඟන්නකු මෙන් දිළිඳු ලෙස ගන්නැයි පෙරදිග වැසියෝ කියති. මේ කියමන් දෙකෙන් ම ඉඟි කෙරෙන්නේ උදෑසන ආහාරය ඉතා වැදගත්වන බව සහ රාත්‍රී ආහාරය එතරම් වැදගත් නොවන බවයි. නිදුක් නිරෝගි ජීවිතයකට මේ උපදෙස නිතිපතා පිළිපදින්නැයි ජ්‍යොතිෂායුර්වේදයේ සඳහන් වෙයි.

 


4. උතුර ඊශාන ගිනිකොණ

ඔබේ ජීවිතයට ඉමහත් බලපෑමක් සිදු කිරීමට උතුර ඊශාන සහ ගිනිකොණ යන ත්‍රිවිධ දිසාවන්ට හැකියාව පවතී. එකී දිසාවන් අනිසි ලෙස භාවිතා කිරීම හෝ එකී දිසාවන් පීඩාවට පත්වීම හෝ නිසා කෙනෙකු නොසිතන තරම් දරුණු උපද්‍රව හටගත හැකිය. උතුර ඊශාන සහ ගිනිකොණ යන දිසාවන්ට හිස පිහිටන ලෙස නිදා ගැනීම කිසිසේත් නොකළ යුතුය. එමෙන් ම එකී දිසාවන්ට අයත් කෝණයේ නිදන ඇඳ ස්ථානගත කිරීම ද නොහොබි. ඊශාන දිසාව ගෙයින් පිටත සහ ගෙයි ඇතුළත යන දෙපැත්තෙන් ම ඉතා පිරිසුදුව නිදහස්ව තිබිය යුතුය. ඊශාන දිසාවේ වැසිකිලි කැසිකිළි අපජලය කුණු කසල තිබෙන්නට ඉඩ හැරීම හෝ එකී දිසාවේ ගිනි දැල්වීම හෝ නොකළ යුතුය.


5. පාට පාට වර්ණ රටා

ඔබේ නිදන කාමරයේ බිත්ති මත තද රතු කළු ආදී තද වර්ණ භාවිතා නොකළ යුතු අතර ඇද ඇතිරිලි සඳහා ද එවැනි අඳුරු තද වර්ණ නොහොබි. සුදු හෝ ලා පැහැති වර්ණ නිදන කාමරයට මෙන්ම ඇඳ ඇතිරිලි සඳහා ද ඉතා යෝග්‍ය වෙයි. එමෙන් ම නිවෙසේ ඇතුළත බිත්ති සහ තිර රෙදි සඳහා ද තද අඳුරු වර්ණ යොදා ගැනීම සුදුසු නොවේ.


6. අතීතය අනාගතය සහ වර්තමානය

අතීතයේදී ඔබ විසින් විඳින ලද පරාජයන් සහ කටුක අත්දැකීම් යළි යළි මෙනෙහි නො කරන්න. එයින් පසුබෑම පමණක් තව දුරටත් උත්සන්න වෙයි. එමෙන් ම මෙතෙක් උදා නොවූ අනාගතය පිළිබඳව අනියත බියක් ඇති කැර ගැනීමෙන් වළකින්න. එයින් ඔබ මුළුමනින්ම දුර්මුඛභාවයට පත් කෙරෙයි. අතීතය සහ අනාගතය ගැන සිතන විට ඔබට වර්තමානය අහිමි වී යයි. වර්තමානය අහිමි වීම යනු ජීවිතය එක තැන නතර වීමකි. කළ යුතු ප්‍රශස්ත ම දෙය නම් වර්තමානයේ උදාවන මොහොත හරි හැටි ග්‍රහණය කැර ගැනීමයි. අතීතයේ ලැබූ පරාජයන් ජයග්‍රහණයන් බවට පෙරළා ගැනීමට පමණක් නොව අනාගතය වඩාත් සුරක්ෂිතභාවයට පත්කැර ගත හැක්කේ ද වර්තමානය තුළ එන සිදුවීම්වලට ඔබ මුහුණ දෙන ආකාරයෙනි.


7. දෛවය සහ අවස්ථාවන්

සෑම සියලු දෙයක් ම සිදුවන්නේ දෛවය නිසා යැයි නො සිතන්න. දෛවය විසින් සිදු කරනු ලබන්නේ ඔබට අවස්ථාවන් නිර්මාණය කැර දීම පමණි. එකී අවස්ථාවන්ට ඔබ මුහුණ දෙන ආකාරය අනුව ජය හෝ පරාජය හෝ සුබ හෝ අසුබ හෝ ඵල විපාක භුක්ති විඳින්නට සිදුවේ. පරමාදර්ශී අර්ථයෙන් ගත්කළ කිසිවක් ම සර්ව සුබවාදී හෝ සර්ව අසුබවාදී හෝ නොවෙයි.


8. සතුරන් සහ වැරදි

සතුරා ගෙන් පළි නොගන්න. එහෙත් කිසිදා ඔහු ඔබට එරෙහිව කළ දේ අමතක නොකරන්න. එකම වරද දෙවරක් නොකිරීමේ කලාව එය බව අවබෝධ කර ගන්න.

 


9. උපදෙස් සහ දැනුම

කෙනෙකු ඉල්ලුවොත් පමණක් උපදෙස් දෙන්න. නො එසේ නම් මුනිවත රකින්න. දන්නා දේ අවශ්‍ය තැනදී පමණක් පෙන්වන්න. නො දන්නා දේ ගැන කතා නො කරන්න. හැකිනම් එය ඉගෙන ගන්න. ඔබ සැබවින් ම දෙයක් නොදන්නා බව දන්නෙහි නම් ඔබට එය පහසුවෙන් උගත හැකිය.


10. දීම සහ ගැනීම

හැම විටම හැකි අයුරින් පරිත්‍යාගශීලීවන්න. එහෙත් අන් අය වෙතින් ඔබට ලැබෙන සෑම දෙයක් ම බාර ගැනීමෙන් වළකින්න. එහෙත් ස්තුතිවන්තභාවය පෙන්වීමට සීමාවක් නැත. 

Comments