එතැන අපූරු ලෝක­යක් | සිළුමිණ

එතැන අපූරු ලෝක­යක්

දෙවැනි ලෝක යුද්ධය මුළු මිහිතලයම පාහේ යුද පිටියක් කරමින් මෙතෙක් ලොව විශාලතම මිනිස් සංහාරය සිදුවූ ව්‍යසනය වේ. ඒ සමයේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති අප රටට ද එම ව්‍යසනයේ බලපෑම් ඇතිවිය. කොළඹට ජපනුන්ගේ බෝම්බ වරුෂා පතිත වීම්ද එදා සිදුවිය. දෙවන ලෝක යුද්ධය අවසානයේ ඇමෙරිකාවේ වොෂින්ටන්හි පැවැති දිවා භෝජන සංග්‍රහයකදී මාධ්‍යවේදියකු නැඟු පැනයකට පිළිතුරු දුන් එවකට බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා වූ වින්ස්ටන්ට් චර්චිල් මෙසේ පවසා තිබිණි. දෙවන ලෝක යුද්ධයේ බිහිසුණුම මොහොත ලෙස 1942 අප්‍රේල් 09 වැනිදා ත්‍රිකුණාමල වරායට සහ හර්මෙස් නෞකාව ඇතුළු නාවික යාත්‍රා රැසකට පහර දී විනාශ කිරීම සඳහන් කළ හැකි බවයි.

1942 අප්‍රේල් 09 වැනිදා මේ කියන හර්මේස් යාත්‍රා කරමින් තිබුණේ මෙරට සිට මාලදිවයින බලාය.

හර්මෙස් HMS - (Her Majestic Service - හර් මැජෙස්ටික් සර්විස්) නොහොත් “මහ රැජනගේ සේවය පිණිසයි” නෞකාව 1918 වර්ෂයේදී නිපදවූ බ්‍රිතාන්‍යය රාජකීය නාවික හමුදාවට අයත් යුද නෞකාවකි. මීටර් 182ක් දිග ටොන් 11085ක බරැති හෝස් පවර් 40000ක එන්ජින් ධාරිතාවකින් සමන්විතය. කාර්ය මණ්ඩලය 707ක්ගෙන් යුත් පැයට නාවික සැතපුම් 25ක පමණ වේගයකින් ගමන් කළ හර්මෙස්, ගුවන් යානා 20ක් පමණ බැස්සවිය හැකි අංගණයක් සහිත ලොව ප්‍රථම නෞකාව වේ. 1942 අප්‍රේල් 09 වැනිදා හරියටම වේලාව පෙරවරු 10.35 ට පමණ ජපන් ගුවන් යානා 80ක් 90ක් අතර ප්‍රමාණයකින් අධිබලැති බෝම්බ වරුෂාවක් පතිතකොට පැය භාගයක් වැනි කෙටි කාලයක් තුළදී ඒ සද්දන්ත නෞකාව කාර්ය මණ්ඩලයේ 707න් 302කට මරු කැඳවමින් මඩකළපුවට නුදුරු ගැඹුරු මුහුදු පතුළට කිඳා බැස්සේය.

එම නෞකාවේ ඛේදවාචකය කාලයාගේ ඇවෑමෙන් එම පෙදෙස්වල පසුකාලීනව පැවැති යුද වාතාවරණයත් සමඟ ජනයාගේ මතකයෙන් ගිලිහී ගිය බවක් පෙනේ. එහෙත් එදා හර්මෙස් නෞකාවට සිදුවූ විපත සියැසින් දුටු සාක්ෂියක් තවමත් ඉතිරි වී තිබේ.

මඩකළපුවේ වෙසෙන 91 වියැති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ප්‍රින්ස් කාසිනාදර් මහතා එදා එම ඛේදවාචකය සියැසින් දකින විට පසුවූයේ 16 වියෙහිය. එම බිහිසුණු සිදුවීමේ මතකය කාසිනාදර් මහතා අවදි කළේ මෙසේය.

“එතකොට මට වයස අවුරුදු 16යි. මට මතක විදිහට මං හිටියේ ඒ වෙලාවෙ මඩකළපුවේ කොටුව උඩ. අපේ තාත්තා ඒ දවස්වල මඩකළපුවේ කච්චේරියේ මුඩ්ලියර් හැටියට සේවය කළේ. හරියටම වෙලාව උදේ 10.35ට විතර ඇති. ගුවන් යානා සීයක් විතර ආවා. ඇවිල්ලා බෝම්බ වරුෂාවක් දැම්මා. මං හිතන්නෙ බෝම්බ පනහක් හැටක් විතර දැම්මා. කොහොමහරි මං ඉන්න හරියට ඈතට පෙනුණා ඔය කියන නැව ගිනිගෙන ගිලෙනවා. පැය භාගයක් විතර යනකොට නැව සම්පූර්ණයෙන්ම ගිලිලා සියල්ලම ඉවර වුණා” ඔහු අතීත මතකය ආවර්ජනය කරමින් පවසන අතරේ නැව ගිලී දින තුනකට පසුව මඩකළපුවේ නාවල්ලඩි වෙරළට ගොඩගැසූ මියගිය එල්. පී. ලුවිස් හා ආර්. බී. බැචර් යන අයගේ සිරුරු සමඟ තවත් සිරුරක් තම පියා විසින් ත්‍රිකුණාමල පොදුරාජ්‍ය සුසාන භූමියේදී භූමිදාන කළ බව ද කීවේය.

මින් නැවේ කාර්ය මණ්ඩලයේ 302ක් මියගිය අතර ඉතිරි වූ පිරිස ‘විටා’ නමැති හොස්පිට්ල් නෞකාවෙන් බේරාගෙන ඇත. එසේම 23 දෙනෙක් කිලෝමීටර් අටහමාරක් දුරැති මඩකළපු ප්‍රදීපාගාරය අසලට පිහිනා බේරි ඇති බව සඳහන් වේ.

හර්මෙස් ඛේදවාචකය අතීතයට යද්දී ඒ ගැන කන වැකුණු කිමිදුම් උපදේශකයකු ලෙස කටයුතු කරන ෆිලිෂියන් ප්‍රනාන්දු මහතා 2012 අප්‍රේල් 09 වැනිදා සිට සෑම අප්‍රේල් 09 වැනිදාවකම තම පුත්‍රයා වන ශෂාන් සමඟ හර්මෙස් නෞකාවේ සුන්බුන් සොයා කිමිදෙමින් එහි මියගිය අය වෙනුවෙන් සුදු අරලිය මල් කලඹක් තබා ගරු බුහුමන් දක්වති. ‍ෆිලිෂියන් පසුගිය අප්‍රේල් 09 වැනිදාත් හර්මෙස් නෞකාවේ ඛේදවාචකයට වසර 75ක් සපිරීම නිමිතිකොට එසේ කිමිදී සුදු අරලිය මල් තැබුවේය.

ෆිලිෂියන් මහතාගේ පදිංචිය මීගමුවේය. හර්මෙස් නෞකාව ගැන තමා මුලින්ම දැනගත් අන්දම ඔහු අප හා විස්තර කළේය.

“මුලින්ම මට මේ නෞකාව ගැන අහන්න ලැබුණේ 1997දී ලංකා සංචාරක මණ්ඩලයේ පාඨමාලාවක් හදාරනකොට එවකට එහි අධ්‍යක්ෂ ජනරාල් වූ පී. ටී. පෙරේරා මහතාගෙන්. පස්සේ මේ ගැන සොයලා බැලුවා. එතැන්දි මට අපේ මීගමුවේ ඉන්න මිරැන්ඩා කියන කිමිදුම්කරුවෙක්ගෙන් මෙහි තොරතුරු දැනගන්න ලැබුණා. ඔහුත් කාලයකට ඉස්සර මෙතනට කිමිදිලා තියෙනවා. ඒත් ඔහු නෞකාව තියෙන තැන නිශ්චිතව දන්නෙ නෑ. මොකද ඔහු රැගෙන ගොස් තියෙන්නෙ ධීවරයෝ පිරිසක්.”

ඉන්පසුව 2001 වර්ෂයේ පැවැති සාම ගිවිසුම් කාලයේ මඩකළපුව ප්‍රමුඛ නැ‍ඟෙනහිර පළාතට සේන්දු වූ ෆිලිෂියන් නෞකාව සෙවීම සඳහා කිමිදීමට පටන්ගෙන තිබේ.

“ඊට පස්සෙ මං මේක තියෙන්නෙ නැ‍ඟෙනහිර පළාතේ නිසා පනිච්චන්කර්නි, මාන්කර්නි, කල්මුණේ, කෝමාරි වගේ පෙදෙස්වලට නුදුරු මුහුදේ කිමිදිලා ගවේෂණය කරන්න හිතුවා. ඒ හැම තැනකදීම වගේ මට ලෝක යුදධයේදී විනාශ වුණු නාවික යාත්‍රා හමුවුණා. ඒත් මං හෙව්ව මේ හර්මෙස් නෞකාවේ සුන්බුන්නම් නොවේ” එසේ කිමිදී හර්මෙස් නෞකාව සෙවීමෙන් හෙම්බත්ව සිටි මොහොතක තමාට ටක්කෙටම නෞකාව තිබෙන ඉසව්ව සොයා ගැනීමට පොටක් පෑදී ඇත.

“මගේ සහෝදරයා වූ සුරේෂ් ප්‍රනාන්දු ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් කෙනෙක් වශයෙන් ඔය කාලේ හිටියේ. ඔහු කොතලාවල ඇකඩමියේ එම්එස්සී එකක් කරන්න ගියා. ඒකට ඇවිල්ලා තියෙනවා නාවික හමුදාවේ නිලධාරියෙකුත්. ඔහු කමාන්ඩර් ක්‍රිෂ්ටි ජයවර්ධන. මේ කාලේ වෙනකොට මං සෑහෙන පිරිසකගෙන් නෞකාව තියෙන තැන විස්තර අසමින් ඒ ගැන සොයමින් සිටියේ. නමුත් කිසිම කෙනෙක් නිසි තැනක් හරියට දැනන් හිටියේ නෑ.”

එහෙත් ෆිලිෂියන්ට කමාන්ඩර් ක්‍රිෂ්ටි ජයවර්ධනගෙන් නෞකාව සැඟවී තිබෙන තැනට ගොඩබිම් ස්ථානවල සිට තිබෙන දුර අංශක, කෝණ තිතටම සංඛ්‍යා ලේඛන සහිතව දැනගැනීමට හැකිවී තිබේ.

“මෙහෙමයි ක්‍රිෂ්ටිට මේක ගැන දැනගන්න ලැබිලා තියෙන්නෙ එයාට පවරපු රාජකාරි කටයුත්තක් නිසා. මේ නෞකාවේ නිල ඡායාරූප ශිල්පියා හැටියට රාජකාරි කරලා තියෙන්නෙ චාල්ස් මෝගන් නමැත්තෙක්. ඔහු පසු කාලයේදී එංගලන්තයේ ජීවත්ව සිටිද්දී ඉල්ලීමක් කරලා තියෙනවා එයා මිය ගියදාක භෂ්මාවශේෂ ගෙන ගොස් නෞකාව තිබෙන තැනට දාන්න කියලා”

ඒ අනුව චාල්ස් මියගිය පසුව 1986 දී පමණ ඔහුගේ පුත් රෙක්ස් මෝගන් භෂ්මාවශේෂ රැගෙන ලංකාවට පැමිණ තිබේ. ඒ එම භෂ්මාවශේෂ හර්මෙස් සුන්බුන් අතර තැන්පත් කිරීමටයි. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් උදවු පතා ඇති අතර රෙක්ස් හට සහාය වීමට නාවික හමුදාව එම රාජකාරිය කමාන්ඩර් ක්‍රිෂ්ටි ජයවර්ධනට පවරා ඇත.

ක්‍රිෂ්ටිගේ හෝඩුවාව මත නෞකාව සෙවීමට කිමිදීමට සූදානම් වන මොහොතේ හර්මෙස් ඛේදවාචකය එදා සියැසින් දුටු කාසිනාදන් මහතා පසු කාලයේදී ඒ ගැන ලියූ ලියකියවිලි ෆිලිෂියන්ට ලැබී ඇත. පසුව කාසිනාදර් මහතා මුණ ගැසී තමා කිමිදීමට නියමිත ඉසව්ව ගැන පැවසූ විට ඒ මහතා එම ස්ථානයේ තිබෙනුයේ හර්මෙස් නෞකාව බව සනාථ කළේය. අනතුරුව නෞකාව සමීපයට නැංගුරම් සහිත බෝට්ටුවකින් ගොස් ඇති ෆිලිෂියන් එතැන් සිට මීටර් 60ක් පමණ ගැඹුරු මුහුදේ කිමිදී හර්මෙස් සුන්බුන් අසලට ළඟා වී ඇත.

2001 වර්ෂයේ මුල්ම වතාවට හර්මෙස් නෞකාවේ සුන්බුන් අතර සැරිසැරූ ඔහු මේ වන විට 800 වතාවකට වැඩි අවස්ථාවක් එම ගැඹුරු මුහුදේ කිමිදී ඇත. මීටර් 45ක පමණ ගැඹුරක සිට මීටර් 60 දක්වා අධික ගැඹුරකට විහිදී තිබෙන හර්මෙස් නෞකාවේ සුන්බුන් අතර දක්නට ලැබෙන දේ ගැන ද ෆිලිෂියන් අප හා පැවසීය.

“නෞකාවේ අඩි 120ක් පමණ දිග බ‍ඳේ කොටසක් දක්නට තිබෙනවා. ඒ ජනේලයකින් එළියක් ගහලා බැලුවාම මිනිස් ඇටකටු කෑලි එහෙමත් පේන්න තියෙනවා. ඇත්තටම මෙතන අද ජාත්‍යන්තර සොහොන් පිටියක්. මෙතන අපි ආරක්ෂා කරගත යුතුයි. ඓතිහාසික තැනක්. තව කාලතුවක්කු උණ්ඩ වගේම කාලතුවක්කු කෑලි වගේ නොයෙකුත් ආයුධ කෑලි තියෙනවා. ඒ වගේමයි මෙතන හැදිලා තියෙන කොරල් පරය. මං ලෝකයේ මූදු පතුලවල් තුන්-හාරදාහක විතර කිමිදිලා තියෙනවා. ඒත් ඒ කිසිම තැනකදී දැක්කෙ නෑ මේ වගේ මාළු කන්දරාවක් ඉන්න තැනක්. මාළු වර්ග දහස් ගණනක් සැරිසරනවා. මට මෙතන සොයා ගැනීමේදී මේ අධික මාළු ප්‍රමාණයත් ඉවහල් වුණා. මං ගමන් කළේ ඒ මාළු පීනන දිශාවටයි.”

1942 අප්‍රේල් 09 වැනිදා උදේ 6.45ට ත්‍රිකුණාමල වරායෙන් ගමන් අරඹා ඩැන් දූපත කරා යන ගමනේදී මේ බිහිසුණු ඛේදවාචකයට ගොදුරු වූ හර්මෙස් නෞකාවට අරලිය මල් කලඹක් තැබීමට හේතු වූ කතාව 58 හැවිරිදි ෆිලිෂියන් විස්තර කළේය.

“මේකේ බේරුණු හාරසීය දෙනයි මියගිය අයගේ ඥාතින් එක්වී හර්මෙස් සර්වයිවල් ඇසෝසියේෂන් (හර්මෙස් ජීවත්ව සිටින්නන්ගේ සංවිධානය) කියලා සංවිධානයක් පිහිටුවාගෙන තියෙනවා බ්‍රිතාන්‍යයේදී. 2012 වර්ෂයේ දවසක් නෞකාවේ සිටි ජීවත්ව සිටින්නෙක්ගේ දියණියක වූ ලෙස්ලි හාකර් නමැත්තිය දවසක් මට ඊමේල් පණිවිඩයක් එවලා තිබුණා. එයාගේ තාත්තා මේකේ අනතුර වන විට සිටි කෙනෙක්ගෙන් දැනට ජීවත්ව සිටින අයෙක්. තාත්තාගේ කතාව ඔබට වටිනවානම් මං එය ඔබට එවන්නම් කියලා. පස්සෙ මං ඒ කතාව ගෙන්වගත්තා. ඊට ටික දිනකට පසුව ඇය නැවතත් මට කතා කරලා කිව්වා. මෙය ස්මරණය කරන අප්‍රේල් 09 වැනිදාට හර්මෙස් සුන්බුන් අතර මල් කලඹක් තැන්පත් කරන්න පුළුවන්ද, ඒකට යන වියදම අපි එවන්නම් කියලා. අපි ඒක බොහෝම කැමැත්තෙන් කළා. නමුත් සතපහක් ඒ වෙනුවෙන් ලබාගත්තෙ නෑ. එදා තමයි පළමු වතාවට මල් කලඹක් තියන්න මගේ පුතා ශෂාන් සමඟ ගියේ. එදා පටන් අපි දෙන්නා සෑම වර්ෂයකම අප්‍රේල් 09 වැනිදාට මල් කලඹක් තියන්න කිමිදෙනවා.” ඊට අමතරව 2015 වසරේදී බ්‍රිතාන්‍යයන් එවූ ඔවුන්ගේ ධජයක්ද මෙහි තැන්පත් කර ඇත. ඇයි මේ අරලිය මල්ම තැන්පත් කිරීමට හේතුව... මගෙන් පැනයකි.

“මෙහෙමයි අපිට වුවමනා වෙලා තිබුණේ මේ ඉල්ලීමට ඉතාම හොඳ ප්‍රතිචාරයක් දක්වමින් ඒ මියගිය අයට හොඳ ගරුබුහුමන් දක්වන්න. අපි මේ සඳහා තෝරගන්න මල් වර්ගය ගැන හිතමින් ඉන්නකොටයි අපට හිතුණේ අරලිය මල් ගැන. අරලිය මල් කියන්නෙ ඉතින් ‘පන්සලේ මල්’නේ. ඒ පූජනීය බවත් සමඟ එහි තිබෙන සුදුපාට සුපිරිසුදු බව නිසා එවන් පූජනීය මලකින් මේ මියගිය අයට උපහාර දැක්වුවහොත් හොඳයි කියලා අපි හිතුවා. නැතුව වෙන කිසිම දෙයක් ඒකට ගෑවිලා නෑ.” මාර්තු සිට සැප්තැම්බර් දක්වා කාලය තුළදී මේ ස්ථානයේ කිමිදීමට බොහෝ විදේශීය රටවලින් පැමිණෙන බව කියන ෆිලිෂියන් එහි තිබෙන අධික ගැඹුර නිසාවෙන් මනා පළපුරුද්දක් සහිත තාක්ෂණයෙන් පිරිපුන් අයට පමණක් එහි කිමිදීමට හැකි බව පවසයි.

“ලොකුම බාධාව මෙතැන තිබෙන අධික ගැඹුර. ඒ නිසා විශේෂ වායු වර්ග අවශ්‍යයි කිමිදීමට. ඒවා ටිකක් මිල අධිකයි. වර්තමානයේ ලෝකයේ ඉන්න කිමිදුම්කරුවන්ගේ සිහිනයක් මෙතැන කිමිදීම. කිමිදීමට හැකියාවක් තිබුණට වැඩක් නෑ තාක්ෂණය ගැන දැනුමකුත් අවශ්‍යයි මෙවැනි අධික ගැඹුරක කිමිදීමට. මොකද මීටර් 40ට වඩා ගැඹුරක කිමිදීමට විශේෂ වායු වර්ග මිශ්‍ර කරගත යුතුයි. ඒකට තමයි තාක්ෂණික දැනුම අවශ්‍ය වෙන්නෙ.” ඒ පිළිබඳව සෑම කිමිදුම්කරුවෙක්ම දැනුම්වත් නොමැති බව පවසන ෆ්‍රිලිෂියන්,තමා මෙන්ම බිරිය රේණුකා සහ පුතු ශෂාන්ද මේ ස්ථානයේ කිමිදෙන බව පැවැසුවේය.

ලාංකිකයන් ද ඉඳ-හිට මෙහි කිමිදීමට පැමිණෙන බව වාර්තා වේ. ඒ අතර හර්මෙස් ඛේදවාචකයේ දසුන් සේම එහි අසිරිය නැරැඹීමට කිමිදුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද සිටී. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාය.

“මං හිතන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියට මෙතැන දැකබලා ගත්ත එකම කෙනා මම වෙන්න ඇති. පොඩි කාලේ ඉඳලම මං ආසයි කිමිදීමට. මම ටෙක්නිකල් ඩයිවින් පිළිබඳ කෝස් එකක් කළා. කොහොමටත් මේ නෞකාව තියෙන තැන වගේ අධික ගැඹුරක කිමිදීමට තාක්ෂණික කිමිදීම ගැන දැනන් සිටිය යුතුයි.

මං ඒ ගැන ප්‍රගුණ කළා. මොකද කිමිදීමට දැනගත්තට වැඩක් නෑ ඒ පිළිබඳ තාක්ෂණයත් දැනගෙන සිටිය යුතුයි. මෙතන මං හතර වතාවක් කිමිදුණා. මුලින් 2014 වර්ෂයේ කිමිදුණේ. අවසානයට ගිය වසරේ හර්මෙස් නැරැඹීමට කිමිදුණා. එතැන අපූරු ලෝකයක් නිර්මාණය වෙලා තියෙන්නෙ. පුදුම ලස්සනක් තියෙන්නෙ. මං ඒ සුන්බුන් අතරේ හුඟක් තැන්වල සැරිසරුවා. නැව ඇතුළටත් ගියා. ඒ කිමිදුණු හැම වතාවේම පැය භාගයක් විතර ඉඳලා ආවේ. නැවතත් මේ අවුරුද්දෙ නෞකාව නැරැඹීමට යාමට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම ෆිලිෂියන් ප්‍රනාන්දු එම ඓතිහාසික ස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන් ලොකු දෙයක් කරනවා. 

Comments