අලුයම සිහිනෙන් උගත් පාඩම් සාහිත්‍ය අටුවාව | සිළුමිණ

අලුයම සිහිනෙන් උගත් පාඩම් සාහිත්‍ය අටුවාව

යුද්ධයකදී දරුණුම අභියෝගයට ලක් වන්නේ මනුෂ්‍යත්වය යි...

යුද සාහිත්‍යය ඔස්සේ යුග යුග පුරා පෙරී එන මනුෂ්‍යත්වයේ නින්නාදය එසේ කැටි කරමි. මෙය නැවත සිහිපත් වූයේ තමලිනීගේ “අලුයම් සිහින” කෙටිකතා සරණිය කියැවීමෙනි. තමලිනී ජීවතුන් අතර නොමැත. ඇය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන අංශයේ නායිකාව ලෙස කටයුතු කළා ය. වෙල්ලමුලික්කාල් අවසන් මෙහෙයුමෙන් පසුව හමුදාවට බාර වූ ඈ කෙටිකලක් සිරගත ව සිට පුනරුත්ථාපන කඳවුරකින් නිදහස ලැබූ මුත් පිළිකා රෝගය ඇගේ දිවි ගමන කෙටි කිරීමට හරස් විය. රෝගිනියක ලෙස මහරගම ‍අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් ඇය ලියූ ජීවන අත්දැකීම් සමුදාය ‘තියුණු අසිපතක සෙවණ යට” මැයෙන් සිංහලට පරිවර්තනය කළේ යාපනය විශ්වවිද්‍යාලයේ සමිනාදන් විමල් කථිකාචාර්යවරයා ය.

‘අලුයම් සිහින’ මැයෙන් ජී.ජී. සරත් ආනන්ද සහ ලරීනා අබ්දුල් හක් විසින් සිංහල බසට නගා ඇත්තේ තමලිනී ලියූ කෙ‍ටිකතා ය.

‘තමලිනි’ නමින් සිංහල සමාජය හඳුනන සුබ්‍රමානියම් සිවකාමිගේ උපන්ගම පරන්තන් ය. 1972 දී උපන් ඇය 1991 දී එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ වූයේ තමන් අකුරු කරන පාසලට වැටෙන ගුවන් බෝම්බවලින් සහෝදර සිසු සිසුවියන් මියැදෙනා පසුබිමක ය. පුනරුත්ථාපන අවධියෙන් පසු ව ඇයට ජීවත්වීමට ලැබී ඇත්තේ දෙවසරක කාලයකි. පිළිකා මාරයා පැරැද්දවීමේ හැකියාව ඇයට නොවී ය. එසේ වුව ද රෝ දුකින් පීඩා විඳිමින් දෑසෙහි කඳුළු පිස දමමින් ඇය තම අතීතය හාරා බලන සිදුවීම් සටහන් තැබුවා ය, නිර්මාණකරණයෙහි යෙදුණා ය.

මේ කෙටිකතා එහි මාහැඟි ඵලය යි. සුදර්ශනී, මගේ පුතා ඇවිල්ලා, හිරු මුවාව, වැසි කල්හි රැයක්, අලුයම් සිහිනය සහ භාග්‍යම්මා යනාදී කෙටිකතා මේ කෘතියෙහි ඇතුළත් වේ. මේ කෙටිකතා කියවන විට හැඟී යන්නේ තමා තුළ තමා කියැවීමේ උපේක්ෂා ගුණය ඇය වගා කරගෙන ඇති බව ය. ඒ සඳහා අවැසි සූක්ෂ්මාත්මතා ගුණය ඈ සතු වූ බව පෙනේ. ළදැරියක ලෙස ජීවත්වූ යුද්ධයේ භීෂණයේ ඇලළී ගිය පරිසරයෙහි එකම ගැලවුම ලෙස ඇයට පෙනී ගියේ එල්.ටී.ටී.‍ඊ. සංවිධානයට බැඳීම ය.

එසේ වුව ද එල්.ටී.ටී.ඊ. සෙබළියක සමඟ ගත කරන දිවියෙහිදී ඇයට පෙනී ගියේ එකම කලිසම අණ්ඩ දමා නොසෝදා හොඳ පිට හා කණපිට මාරු කරමින් අඳින යෞවනියන්ගේ ආත්මීය වේදනාව ය.

කිසිදු ප්‍රවාහයකට ආසක්ත නොවෙමින් දුරස්තව ජීවිතය නිරීක්ෂණය කිරීමේ ගුණය ඈ සතුව තිබිණ. එය සාහිත්‍යකරණයෙහි යෙදෙන්නකු හට තිබිය යුතු අගනා ගුණයකි. සටන්කාමිනියගේ භූමිකාව සාහිත්‍යකාරියකගේ භූමිකාවට මාරු ව‍ූ මොහොතෙහි එම ගුණය ඇගේ ලේඛනයෙහි ප්‍රභාන්විත ලක්ෂණයක් බවට පත්විය. අනෙක් වැදගත් ලක්ෂණය වන්නේ සිංහල හා දෙමළ වශයෙන් ජනවාර්ගිකත්වයෙන් ඔබ්බට ගිය මානව බන්ධුතාවන්හි ගම්භීරත්වය විනිවිද දැකීමේ අවංක බවක් ලේඛිකාවට තිබීම ය.

මේ කෘතියෙහි සුදර්ශනී මැයෙන් එන කෙටිකතාව කුඩු ඉරීමේ ඇබ්බැහිකම ඇති වන සුදර්ශනී නම් සිංහල තරුණියගේ ජීවන චර්යාව සිරගතව සිටින දෙමළ තරුණියකගේ දෘෂ්ටි කෝණයෙන් විමසා බැලීමකි. මේ දෙමළ තරුණිය තමලිනී ම විය හැකි වුව ද එය නොදැන වුව ද සාහිත්‍ය කෘතියක් හැටියට එය කියවීමේ හැකියාව පවතී. දෙමළ හෝ සිංහල වාර්ගික භාවයට වඩා එහි කැපී පෙනෙන්නේ ස්ත්‍රී භාවය පිළිබඳ ඇගේ සංවේදීත්වය යි. මේ ලක්ෂණය මගේ පුතා ඇවිල්ලා කතාවෙහි ද කැපී පෙනේ.

යුද්ධයේ පාර්ශ්වකරුවකු වීම හෝ නොවීම නිසා තම පුතු සොයා යන මවුවරුන්ගේ ශෝකාලාපය පොදු සත්තාවකි.

යොවුන් වියෙහි දී සටන්කාමීන්ට එක් වූ තම පුතු කාර්තිගේසු සොයා යන භාග්‍යම්මාගේ ජීවන අත්දැකීම් එවැන්නකි.

තමලිනී කෙටිකතා විෂය අභ්‍යාස කරමින් සිටි තැනැත්තියක බව මේ කෙටිකතා සාක්ෂි දරයි. කුමරන් දෙමළ තරුණයෙකි. එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකි. කුමාර සිංහල තරුණයෙකි.‍ හමුදා සෙබළෙකි. සෙබළා මිය යයි. කුමරන් ආබාධිතයකු ලෙස කුමාරගේ මවට හමුවෙයි. ඇය ඔහු තම පුතු ලෙස බාරගනී.

මේ සිදුවීම ජනප්‍රිය නවකතා හා ටෙලිනාට්‍යවල අභව්‍ය සිදුවීම් සමඟ සසැඳීමට ඇතැමෙකු පෙලඹෙනු ඇත. එසේ වුව ද මේ ජීවන විත්තිය හින්දු - මුස්ලිම් අරගලය වෙනුවට සංහිඳියාව වෙනුවෙන් ජීවිතය දුන් ගාන්ධිගේ චින්තාව සිහිපත් කරයි. එනම් වෛරයට පාත්‍ර වන පුද්ගලයා ආදරය ලැබිය යුත්තා වීමේ සත්තාවයි. මාතෘ ධාතුව සහ දාරක සෙනෙහස ජාති, වර්ණ ඉක්මවා යන සනාතනික සත්තාවක් බව මේ කතාව කියාදෙයි.

තමලිනිගේ කෙටිකතා සමුච්චය සංක්‍රාන්තික යුක්තිය ඉෂ්ට නොවීමේ විළි රුදාවෙන් පෙළෙන පශ්චාත් යුද සමයේ ශ්‍රී ලාංකිකයන්ගේ චින්තනයට ආලෝක ධාරාවක් හෙළ යි. ඊනියා රණවිරු වන්දනාව, ව්‍යාජ දේශප්‍රේමය හා බුද්ධාගම රැකගැනීමේ උද්‍යෝග පාඨ වෙනුවට බිඳී ගිය තුවාල වූ හදවත් සුවපත් කිරීමේ අවශ්‍යතාව යළි අවධාරණය කරයි‍.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් ක්‍රියාත්මක ව‍ූ උගත් පාඩම් හා ප්‍රති සන්ධාන කොමිසම මෙසේ කියයි.

“ගැටුමේ ප්‍රධාන ප්‍රහාරයට ගොදුරු වී ඇත්තේ ස්ත්‍රීන්, ළමයින් හා මහල්ලන් ය. බොහෝ ස්ත්‍රීන්ගේ ස්වාමි පුරුෂයන් අහිමි වී ඇත‍. එවන් දුෂ්කරතා මැද ඔවුහු මවුපියන් රැක බලා ගනිති. ඔවුනට සුරක්ෂිතභාවය හා මානව ගරුත්වය සහතික කිරීමට ක්‍රියා කළ යුතු ය.” මේ නිර්දේශ ක්‍රියාත්මක වූයේ නැත. යුද්ධයෙන් පසුව ස්ත්‍රී මූලික කුටුම්බ සැට දහසකගේ සුබ සාධනය එකල සිටම නොසලකා හරිනු ලැබූ විෂයයක් විය. දෙමළ සහ සිංහල සාහිත්‍ය කෘති අන්‍යොන්‍ය භාෂාවලින් පළ කොට පාසල් දරුවන්ගේ සිට විවිධ සංස්කෘතීන් ගැන අවබෝධයක් හා සංවේදීතාවක් ඇති කිරීම ඉතා වැදගත් බව ද උගත් පාඩම් කොමිසම අවධාරණය කරයි.

කරුණු එසේ වුව ද යුද ජයග්‍රහණය සිංහල ජනතාවගේ ජයග්‍රහණයක් ලෙස උදම් අනමින් බහු වාර්ගික බහු සංස්කෘතික සමාජයක සිංහල මහෝත්තමාවාදය දේශපාලන දෘෂ්ටිවාදය බවට පත් කෙරිණ. එහි ප්‍රතිඵලය ලෙස පාලන බලය වෙනස් කිරීමට පීඩාවට පත් මහජනයා කටයුතු කළේ ය.

උගත් පාඩම් කොමිසමෙන් පසු ව නව පාලනය යටතේ ප්‍රවිචාරණ බළකායක් පිහිටුවනු ලැබීය. සංහිඳියා කොමිසමක් ද යෝජිත ය. මේ සියල්ලෙහි අරමුණ විවිධත්වය ඉවසන, අන්‍යොන්‍ය ගරුත්වය අගයන සමාජයකි. තමලිනීගේ අලුයම් සිහිනය කෘතිය එබඳු සමාජයක් නිර්මාණය කිරීමේ පරමාධ්‍යාශය කරා පොලඹවනසුලු අතිශය අව්‍යාජ සාහිත්‍ය ප්‍රකාශනයක් බව කීම යුක්ති යුක්ත ය.

Comments