ගීකි­යන කන්දේ පුංචි සිරි­පාද විහා­ර­ස්ථා­නය | සිළුමිණ

ගීකි­යන කන්දේ පුංචි සිරි­පාද විහා­ර­ස්ථා­නය

ඇඹිලිපිටිය - රත්නපුර ප්‍රධාන මාර්ගයට මුහුණලා ඉදිකරන ලද නව නිර්මාණයක් වූ පල්ලෙබැද්ද - කොස්වැටිය ගීකියන කන්දේ සමනළ පුදබිමට හිමි වන්නේ මෑත ඉතිහාසයේ ඉදිකරන ලද විහාර කර්මාන්ත අතර අද්විතීය ස්ථානයකි.

අඩි තුන්සීයක් පමණ උසැති මහා කළුගලින් ද සමන්විත මෙම කඳුවැටිය සම්බන්ධ කරගනිමින් කඳු මුදුනේ ඉදිකරන ලද තෙමහල් බුද්ධ මන්දිරයේ ඉහළ මාලයේ පිහිටුවන ලද ශ්‍රීපාද පත්මය නිසා මෙම පින්බිම පුංචි සිරිපාදය නමින්ද මේ වන විට ප්‍රචලිත වී ඇත.

කඳු මුදුනේ ඉදිකරන ලද දහඅට රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ, අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ හා ශ්‍රාවිකාවන්, පියගැට පෙළ, අටවිසි සමාධි ප්‍රතිමා වහන්සේලා ඇතුළු මේ වන විට ඉදිකර ඇති නිර්මාණ රැසකින් සමන්විත මෙම පුදබිම දකින ඕනෑම අයෙකු මෙය නව විස්මිත නිර්මාණයක් බව කියනු නොඅනුමානය.

මෙම පුදබිමේ තොරතුරු විහාරාධිපති ශාස්ත්‍රවේදී විශ්‍රාමලත් විදුහල්පති මහගම සුමන හිමියන් ප්‍රකාශ කළේ මේ අයුරිනි.

" මගේ ගුරු දේවයාණන් වහන්සේ වන කුඹුරුගමුවේ පඤ්ඤාසාර නාහිමියන් 1960 වසරේ විහාරාධිපතීන් වහන්සේ ලෙස මෙම විහාරස්ථානය ඉතා කුඩාවට ගොඩනැඟුවා.

එවකට ප්‍රදේශයේ දුප්පත් දායක දායිකාවන් උන්වහන්සේට උදවු කළා. එතැන් පටන් උන්වහන්සේ අවුරුදු 45ක් පමණ උන්වහන්සේට තිබූ ශක්තිය හැටියට දියුණු කළා. නාහිමියන්ගේ අපවත්වීමත් සමඟ මම විහාරාධිපති තනතුරට පත්වෙලා දැනට අවුරුදු 10ක් පමණ වෙනවා.

කුඩා අවදියේ ඉඳලම මගේ හිතේ තිබුණා මේ ස්ථානය නව නිර්මාණ එක්කරමින් දියුණු කරන්න. ඒ අදහස දායක දායිකාවන්ගේ පරිත්‍යාගයෙන් පළමු අදියර ගොඩනැඟුණා. ඒ සඳහා රුපියල් කෝටි 15ක් පමණ වැය කළා. අද වන විට මෙම පුදබිමට පොහොය දිනට දහස් ගණනක් ජනතාව එනවා. සාමාන්‍ය දිනකටත් සිය ගණනක් ජනතාව එනවා. ඒ එන හැම දෙනාම උදවු කරනවා. ඒ නිසා මට හරිම සතුටක් දැනෙන්නෙ.

මෙහි දෙවන පියවර ලෙස දැනටමත් වැඩ ආරම්භ කරලයි තියෙන්නෙ. එහිදී නව ශෛලමය සැතපෙන බුද්ධ ප්‍රතිමාව, නව චෛත්‍ය, පිවිසුම් වාහල්කඩ, තොරණ ඇතුළු නිර්මාණ ඉදිකරනවා. මේ ඉතිරි නිර්මාණ නිම කරන්නටත් විශාල මුදලක් වැය වෙනවා. ඒ නිසා එම කටයුතු නිම කරන්නට බෞද්ධ ජනතාව සහ රජය මඟින් ආධාර කළොත් සබරගමුව නව විස්මිත නිර්මාණ රැසකින් නිම වූ මහා පුදබිමක් ගොඩනඟන්නට හැකි වෙනවා නොඅනුමානයි. ඒ සඳහා අවශ්‍ය මුදලින් හා ද්‍රව්‍යාධාර ලබා දෙන්නැයි පිං කැමැති හැම දෙනාගෙන්ම මම කාරුණිකව ඉල්ලනවා"

මුදල් ආධාර පල්ලෙබැද්ද මහජන බැංකුවේ ගිණුම් අංක 349-2-001-6-0012502 ට බැර කරන ලෙසත් අවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා දුරකථන අංක 0452241093 සහ 0724663352 ඔස්සේ විමසිය හැකි බවත් විහාරාධිපති මහගම සුමන හිමි වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

Comments