පෙරළිකාර යුරේනස් ලෝක යුද්ධයකට අත වනයිද | සිළුමිණ

පෙරළිකාර යුරේනස් ලෝක යුද්ධයකට අත වනයිද

ග්‍රහලොව සිටින ප්‍රබලත ම පෙරළිකාරයා යුරේනස් ය. පෘථිවියේ සමාජ දේශපාලන සහ විද්‍යා තාක්ෂණ විප්ලව හට ගැනීම කෙරෙහි යුරේනස්ගේ ඍජු සම්බන්ධයක් පවතී. ඊටත් වඩා ලෝක පරිමාණ යුද්ධ නිර්මාණය කිරීමට සහ ඒවායේ ජය පරාජය තීරණය කිරීමට මේ ග්‍රහයාගේ පිහිටීම තීරණාත්මක වී තිබෙන බවට ලෝක ඉතිහාසයේ සාක්ෂි එමට ය.

1942 දෙවැනි ලෝක යුද සමයේදී බලවත් ජර්මන් නාසි හමුදාව විසින් සෝවියට් දේශය හෙවත් රුසියාව ආක්‍රමණය කළ අතර තම රට සහ සමාජවාදී විප්ලවය ආරක්ෂා කැර ගැනීමට සෝවියට් රතු හමුදාව විසින් අනුගමනය කරන ලද්දේ ලොව මවිත කරවන යුද උපායකි. සතුරු ආක්‍රමණිකයාට නිදහසේ රට තුළට පිවිසීමට ඉඩහළ අතර ඔවුන් එකී රහසිගත මෙහෙයුම නම් කෙළේ ඔපරේෂන් යුරේනස් යනුවෙනි.

1942 නොවැම්බර් 19 සිට 23 දක්වා වූ දින කිහිපය මුළු ලෝකයට ම තීරණාත්මක විය. මේ සටනින් හිට්ලර්ගේ නාසි හමුදාව ජය ගත්තේ නම් ලෝක ඉතිහාසය මීට වඩා බෙහෙවින් ම වෙනස් වීම නො වැළැක්විය හැකිව තිබිණ. ඒ වනවිට පැවති ග්‍රහ චලිතය අනුව යුරේනස් අංශක 09.43 සහ සෙනසුරු අංශක 16.54 ලෙස වෘෂභ රාශියේ සංයෝගව සිටි අතර ජර්මන් හමුදාව අන්ත අසරණ කරමින් රතු හමුදාවේ යුරේනස් මෙහෙයුම යුද්ධයෙන් විජයග්‍රහණය කෙළේ ය.

මේ සටන නිමාවන විටත් යුරේනස් ගිනි මර්මස්ථානයක සිටි අතර සෙනසුරු වායු මර්මස්ථානයක සිටි හෙයින් ජයග්‍රාහී සෝවියට් රතු හමුදාව ඉන් නො නැනවතී සටන වඩාත් වේගයෙන් ඉදිරියට ගෙන ගිය අතර ජර්මන් භූමියේදී ම සහමුලින් ම හිට්ලර් පරාජයට පත් කරන තුරුම සටන අත හැරියේ නැත.

1914 ජූලි 28 දා සිට 1918 නොවැම්බර් 11 දක්වා වූ කාලයේ පළමුවැනි ලෝක යුද්ධය හට ගත්තේ ය. සංග්‍රාමය ආරම්භ කෙරෙන විට සෙනසුරු මිථුනයේ ද යුරේනස් මකරයේ ද සිටි මුත් එය අවසන්වන විට යුරේනස් කුම්භ රශියේ අංශක 01.05 ද සෙනසුරු සිංහ රාශියේ අංශක 04.46 වශයෙන් විද්‍යමාන විය. මෙහිදීත් ගිනි සහ වායු රාශි දෙකක සිටිමින් සෙනසුරු සහ යුරේනස් අංශක 180 ක දෘෂ්ටි සංයෝගයක් පෙන්වීය. ක්ෂූද්‍ර සූක්ෂ්ම ලෙස බලන විට මෙහිදී පළමු ලෝක යුද්ධයේ ආරම්භය සහ අවසානය යන අවස්ථා දෙකට ම යුරේනස් සහ සෙනසුරු මගින් ගිනි සහ වායු මර්මස්ථාන සම්බන්ධ වී තිබෙන බැව් පැහැදිලි වේ.

පළමු ලෝක යුද්ධය අතරතුරදී 1917 දී රුසියන් විප්ලවය හටගත් අතර එහිදී යුරේනස් පීඩිත කම්කරු ජනයා නියෝජනය කරන සෙනසුරුට හිමි මකර රාශියේ ද සෙනසුරු චින්තනයට අධිපති සඳු හිමි කටක රාශියේ ද සිටි අතර මෙහිදී අදාළ ග්‍රහයන් දෙදෙනා වෙතින් ජල සහ පඨවි බල සංයෝගය ඉතා යහපත් ලෙස විද්‍යමාන කෙරෙන්නේ එය මානව ශිෂ්ටාචාරයේ ප්‍රගතිගාමී සමාජ දේශපාලන විප්ලවයක් බව මොනවට තහවුරු කරමිනි. චින්තනමය විප්ලවයන්ට ජල රාශී තීරණාත්මක වේ.

ප්‍රංශ විප්ලව සමය

ක්‍රිස්තු වර්ෂ 1789 සිට 1799 දක්වා පැවති ප්‍රංශයේ විප්ලව සමයේදී යුරේනස් සහ සෙනසුරු යන ග්‍රහයන් දෙදෙනා ජල සහ පඨවි රාශිවල සිටිමින් එකී සමාජ දේශපාලන විප්ලවයන් සඳහා බලපා ඇති ආකාරය ද මැනවින් පෙනේ. 1799 වන විට යුරේනස් පඨවි රාශියක් වූ කන්‍යාවේ ද සෙනසුරු ජල රාශියක් වූ කටකයේ ද තැන්පත්ව සිටියේ ය. ලෝක ඉතිහාසයේ හටගත් සමාජ දේශපාලන පරිවර්තනයන් සහ විප්ලවයන් සඳහා මේ ග්‍රහයන් දෙදෙනාගේ ජල සහ පඨවි බල සංයෝගය කෙතරම් දුරට බලපා තිබේද යත් එබඳු සංයෝගයක් නොතිබූ අවස්ථාවක හට ගත් එකම සමාජ දේශපාලන පෙරළියක් වත් ඉතිහාස පොත පතේ සඳහන්ව නැත.

 

කාර්මික විප්ලවය

මේ ග්‍රහයා පිළිබඳ අවබෝධය ක්‍රිස්තු පූර්ව 128 ට පෙර කාලයේ පටන් පැවති බවට සාධක තිබෙන මුත් එහි දර්ශන මාත්‍රයක් මුල්වරට දුටු බවට ලිඛිත සාක්ෂි ලැබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1750 - 1769 කාලයේදී බැව් ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥ Pierre Lemonnier සඳහන් කරයි. එහෙත් යුරේනස් සොයා ගැනීම නිල වශයෙන් ලෝකයේ අවධානයට ලක්වන්නට ගත්තේ 1781 මාර්තු 13 දා විලියම් හර්ෂල් විසින් කරන ලද ප්‍රකාශයකිනි.

මුලදී බටහිර ජ්‍යොතිෂවේදීන් විසින් මේ ග්‍රහයා හර්ෂල් ලෙස හඳුන්වනු ලැබූවත් පසුව එහි නම යුරේනස් ලෙස ව්‍යවහාර කෙරිණි. ග්‍රීක පුරාවෘත්තයක එන අහසට අධිපති Ouranos දෙවියා යුරේනස් ලෙස මේ ග්‍රහයාට ආදේශ කෙරිණ. පෙරදිග ජ්‍යොතිෂය ද ඊට පෙර මේ ග්‍රහයා වරුණ ලෙස නම් කැර තිබිණ. කෙසේ නමුත් යුරේනස්ගේ දර්ශන මාත්‍රයක් මුලින් ම දුටු අවස්ථාව ලෙස සැලකෙන ක්‍රී. ව.1750 න් පසුව සිදු වූයේ කුමක්දැයි බලමු. 1760 වසරේදී කාර්මික විප්ලවයට පසුබිම සකස් විය.

අද පවතින කාර්මීකරණය සහ තාක්ෂණික යන්ත්‍රෝපකරණ නිර්මාණය වන්නට ගත්තේ කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් වශයෙනි. ඉන් අනතුරුව විද්‍යා තාක්ෂණ - සමාජ දේශපාලන පෙරළි ගණනාවක් ලෝක පරිමාණයෙන් සිදු වූ අතර ඒ විප්ලව සහ යුරේනස්ගේ 7 X 12 = 84 ග්‍රහ චලිතය අනුව ලෝකයේ මහ පෙරළි හට ගන්නා අයුරු පෙනේ. එනම් යුරේනස් එක් රාශියක වසර 7 ක් ගත කරයි. ඒ අනුව වසර 7 න් 7 ට එක් එක් රාශිය තුළදී ඔහු විසින් නිවේදනය කරන බලපෑම වෙනස් වේ. දෙවනුව රාශි දොළොස වටා ගමන් කිරීමට ඔහුට ගතවන කාලය වසර 84 කි. ඒ අනුව වසර 84 න් 84 ට වෙනස් ම විපාක ගෙන දෙයි.

දෙවියා අහසට අධිපති

වර්ෂ 1789 දී Martin Heinrich Klaproth, විසින් අලුත් ම මූලද්‍රව්‍යයක් සොයා ගන්නා ලද අතර එය යුරේනියම් ලෙස නම් කෙළේ ය. පසුව අලුතින් ම සොයා ගත් ග්‍රහයා ද ඒ අනුව යමින් යුරේනස් ලෙස නම් කෙරිණ. ඒ කෙතරම් දෛවෝපගත සිද්ධියක් ද යත් යුරේනස් මතුවීමෙන් පසු යුරේනියම් සොයා ගත්තා සේම යුරේනියම් නිසා බලශක්ති ක්ෂේත්‍රයේ විපුල වර්ධනයකට මග පෑදිණ. යුරේනස් විදුලි බලය සහ න්‍යෂ්ටික තාක්ෂණය පිළිබඳ නියමුවා ලෙස ජ්‍යොතිෂයේදී සැළකෙයි.

තිබෙන්නා වූ දෙය මහා පරිමාණයෙන් වෙනස් කිරීම හෝ අලුත් ම පරිවර්තනයන් ඇති කිරීම යුරේනස්ගේ මූලික කාර්‍ය භාරය වේ. ඔහු ග්‍රහලොව විප්ලවකාරයා වන්නේ ඒ අනුවය. බොහෝ විට සෙනසුරු සහ බ්‍රහස්පති යන ග්‍රහයන් දෙදෙනා යුරේනස්ගේ කටයුතු කෙරෙහි මනා අනුග්‍රහයක් දක්වන බවත් පෙනී යයි. ලෝක පරිමාණ විප්ලව හෝ යුද්ධ හෝ ඇති කිරීමට යුරේනස්ට ඇති බලය පුදුම සහගත බව ලෝක ඉතිහාසය ම සාක්ෂියකි.

2017 සිට 2024 දක්වා වූ සත් වසරක කාල පරිච්ජේදය මේෂ යුරේනස් කාලය ලෙස හැඳින්විය හැකිය. 2024 සිට 2031 දක්වා එන වෘෂභ යුරේනස් කාලයේදී ලෝකය අලුත් ම මුහුණුවරකින් අලුත් ම පාලන ක්‍රමයකින් සහ අලුත් ම විද්‍යා තාක්ෂණ ක්‍රමයකින් පොහොසත් වේ. සංඛ්‍යාත්මකව ගත් කළ පරමාණු බෝම්බය සහ න්‍යෂ්ටික අවි පිළිබඳ කළල අවස්ථාවට හරියට ම ශත වර්ෂය සැපිරෙන්නේ 2031 හෙවත් වෘෂභ යුරේනස් අවසාන අංශකයේදී ය. අනාගත ලෝකයට වුවමනා අයුරින් ලෝක නායකයන් සහ විද්වතුන් බිහි කිරීම ඉතිහාසය සතු අසම සම බලයකි. එය ක්‍රියාවට නගන්නේ සෙනසුරුගේ මුත්තා ලෙස සැලකෙන ග්‍රහලොව කෙළවර සිටින යුරේනස් ය. ඩොනල්ඩ් ට්‍රම්ප් එසේ යුරේනස් විසින් නිර්මාණය කැර දුන් චරිතයකි.

යුරේනියන් සහ නෙප්චූනියන් මිනිස්සු

ගැහැනු සහ පිරිමි නොයෙක් නොයෙක් ආකාරයට වර්ග කිරීමට පෙරදිග ජ්‍යොතිෂයේ කොතෙකුත් ක්‍රම තිබේ . බටහිර ජ්‍යොතිෂය ද මේ සම්බන්ධයෙන් දෙවැනි නොවේ . යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහයන් දෙදෙනා පදනම් කර ගනිමින් පුද්ගලයන් වර්ග කිරීමට ඔවුන් භාවිතා කරන සිද්ධාන්තය සිත් ගන්නා සුළු ය . ඒ අනුව සියලු පුද්ගලයන් ස්ත්‍රී -පුරුෂ භේදයක් නැතිව යුරේනියන් සහ නෙප්චූනියන් යනුවෙන් දෙ කොටසකට බෙදේ . යුරේනියන් කාණ්ඩය පුරුෂාකාර ය . නෙප්චූනියන් කාණ්ඩය ස්ත්‍රී ගණයට අයත් වේ . පුරුෂ රාශියක තැන්පත් යුරේනස් ඉතා බලවත්ව සිටියදී උපදින පුරුෂයන් අති විශේෂ බලයකින් යුතුවේ. සේනාධිනායකයන් ආඥාදායකයන් සහ දැඩි ගති සහිත රාජ්‍ය නායකයන් බිහි වන්නේ මේ යුරේනියන් කාණ්ඩයෙනි. ඩොනල්ඩ් ට්‍රම්ප් අලුතින් ම බිහි වූ අති විශේෂ යුරේනියන් කාණ්ඩයට අයත් රාජ්‍ය නායකයා ය.

රාශි දොළොස ස්ත්‍රී සහ පුරුෂ වශයෙන් කොටස් දෙකකට බෙදේ . ඒ අනුව මේෂ- මිථුන -සිංහ -තුලා -ධනු -කුම්භ යන රාශි 06 ය පුරුෂ ලිංගිකවන අතර වෘෂභ - කටක - කන්‍යා - වෘශ්චික - මකර - මීන යන රාශි 06 ය ස්ත්‍රී ලිංගික වේ .ග්‍රහයන් ද ස්ත්‍රී -පුරුෂ යනුවෙන් කොටස් දෙකකි . රවි කුජ ගුරු ශනි සහ යුරේනස් පුරුෂ ග්‍රහයන්වන අතර සඳු - සිකුරු -සහ නෙප්චූන් ස්ත්‍රී ලිංගික ග්‍රහයන් වේ . රාහු සහ ප්ලුටෝ පුරුෂ ගණයටත් කේතු ස්ත්‍රී ගණයටත් ගත හැකි අතර බුධ ග්‍රහයා දෙපැත්තට ම වැටෙන මුත් ඔහුගේ නෛසර්ගික ස්වභාවය පුරුෂ ලෙස ගත හැකිය . රවි ප්‍රධාන පුරුෂ ග්‍රහයා වන අතර සඳු ප්‍රධාන ස්ත්‍රී ග්‍රහයා වේ . ග්‍රහ ලොව රජු සහ රැජින ලෙස රවි - සඳු හැඳින්වේ .

කිසියම් පුද්ගලයෙකුගේ කේන්දරයේ ග්‍රහයන් වැඩි දෙනෙකු ස්ත්‍රී රාශිවල සිටින්නේ නම් ඔහු හෝ ඇය නෙප්චූනියන් කාණ්ඩයට වැටේ . එලෙසම ග්‍රහයන් වැඩි දෙනෙකු පුරුෂ රාශිවල සිටින්නේ නම් ඔහු හෝ ඇය යුරේනියන් කාණ්ඩයට අයත්වේ . මේ ක්‍රමයෙන් පැහැදිලි තීරණයක් ගත නොහැකි නම් රවි කුජ සහ සඳු සිකුරු යන ග්‍රහයන් සිව්දෙනා පිළිබඳව අවධානය යොමු කළ යුතු ය .

පිරිමි කේන්දරයක රවි සහ කුජ යන පුරුෂ ග්‍රහයන් දෙදෙනා ස්ත්‍රී රාශිවල සිටී නම් ඔහු වෙතින් බොහෝ සෙයින් ස්ත්‍රීමය කෝමල ගති ලක්ෂණ ප්‍රකට කෙරේ . එසේම කාන්තා කේන්දරයක සඳු සහ සිකුරු යන ස්ත්‍රී ග්‍රහයන් දෙදෙනා පුරුෂ රාශිවල සිටීනම් ඇය වෙතින් පළවන්නේ පුරුෂාකාර ගති පැවතුම් ය . යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහයන් දෙදෙනා ප්‍රතිවිරුද්ධ රාශිවල හෙවත් යුරේනස් ස්ත්‍රී රාශියක සිටීමත් නෙප්චූන් පුරුෂ රාශියක සිටීමත් නිසා මෙවැනි අවස්ථාවල ඒ පැත්තට වැඩි බරක් වැටේ .

ඇත්ත වශයෙන් ම එවැනි පිරිමියෙකු සතුව ස්ත්‍රීමය කෝමල ගති මෙන්ම මෘදු ගතිගුණ ද නිවුනු තැන්පත් ස්වභාවයක් ද පවතින බව ඇත්තකි . නමුත් මේ කිසිම බාහිර ලකුණක් නොපෙන්වා සිටින පරිපූර්ණ නෙප්චූනියන් පිරිමි ද ඕනෑ තරම් සමාජයේ වෙති . සාහිත්‍ය කලා -සංගීතය - චිත්‍ර -සෞන්දර්යය - පමණක් නොව ආගම දර්ශනය ආදී ආධ්‍යාත්මික භාවමය සංවේදනයෙන් ඉතා පොහොසත් පිරිමි උපදින්නේ ම නෙප්චූනියන් කාණ්ඩයෙන් බව ඔබ දන්නවා ද ? කෙටියෙන් කිවහොත් සියුම් හා උසස් මානසික ඒකාග්‍රතාවක් ඇති කැර ගත හැක්කේ ද එවැනි අයට පමණි .හැබැයි මොවුන් සතුව පවතින භයානක ම ලක්ෂණය වන්නේ යම් දෙයකට ඇබ්බැහි වුවහොත් එයින් ගලවාගත නොහැකි වීමය . රෙගී නම් සංගීත ශෛලිය ප්‍රකට කළ සුප්‍රකට ගායක බොබ් මාලේ මේ සඳහා එක් නිදසුනක් පමණි .

යුරේනියන් කාණ්ඩය ඉතා පැහැදිලිව රළු පරළු පිරිමි ලක්ෂණ ම ප්‍රකට කරයි . ස්ත්‍රී පුරුෂ භේදයක් නැතිව ඔවුන් ශාරිරික ශක්තිය සහ ක්‍රියාශීලි ජවය ම පෙන්නුම් කරයි . විධායක- පරිපාලන- හමුදා -පොලීස් -ක්‍රීඩා -ඉංජිනේරු - දේශපාලන -වෙළෙඳ ව්‍යාපාර - ආදී ක්ෂේත්‍රවලින් උසස් සාර්ථකත්වයක් ලැබිය හැක්කේ යුරේනියන් කාණ්ඩයෙන් උපන් අයට පමණි. කෝටිපතියන් - ආඥාදායකයන් - යුද සේනාධීතියන් - දේශපාලන නායකයන් - සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් - ලොව දැවැන්ත විස්මිත නිර්මාණයන් කළ ඉංජිනේරුවන් - අසහාය කාය ශක්තියෙන් පිරිපුන් පුද්ගලයන් යුරේනියන් කාණ්ඩයට අයත්වේ . මේ කාණ්ඩය සතුව පවතින බිහිසුණු ම ලක්ෂණය වන්නේ බලය සහ ධනය කෙරෙහි පවතින සීමාන්තික අරගලය යි . ප්‍රංසයේ චාල්ස් ඩිගෝල් සහ රුසියාවේ ජෝෂප් ස්ටාලින් යුරේනියන් කාණ්ඩයට නිදසුන් දෙකකි .මේ අතරට අලුතින් ම එක්වන චරිතය නම් ඩොනල්ඩ් ට්‍රම්ප් ය.

නෙප්චූනියන් කාණ්ඩයෙන් ආධ්‍යාත්මික ලෝකයත් යුරේනියන් කාණ්ඩයෙන් භෞතික ලෝකයත් නියෝජනය කෙරේ .

 

Comments