මඟ වැරදුණු සමාජවාදය හා වහල් සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය | සිළුමිණ

මඟ වැරදුණු සමාජවාදය හා වහල් සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය

 අමෙරිකානු මහ බැංකුව නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත්වලින් වැඩි ප්‍රමාණයක් මිල දී ගනු ලැබ ඇත්තේ චීන ජාතික ව්‍යාපාරිකයන් හෝ චීන ධනවතුන් හෝ විසිනි. චීනයෙන් ආයෝජනය වී ඇති මේ මුදල් ප්‍රමාණය යම් අවස්ථාවක එක විට ඉල්ලා සිටිය හොත් අමෙරිකානු ආර්ථිකය කඩා වැටෙන්නට එය ම ප්‍රමාණවත් බව ද පැවසේ. 'සමාජවාදි' පිලේ චීනය 'ධනවාදි' ආර්ථිකය තුළ හිමි කර ගෙන සිටින ප්‍රබල ස්ථානය ගැන පැහැදිලි කරන්නට තවත් නිදසුන් අවශ්‍ය නො වේ. මේ ගැන සිහිපත් කරන්නට විශේෂ හේතුවක් තිබේ. කුහක දේශපාලනය ප්‍රධාන කොට ගත්, ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන ආපස්සට අදින බලවේග විසින් 'සයිටම් ප්‍රශ්නය' අල්ලා ගෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදි නිදහස වල්බූරු නිදහසක් බවට පත් කර ගනු ලැබීම ඒ හේතුව යි.

මේ සමඟ තවත් කරුණු ගණනාවක් අතින් චීන කතාව ශ්‍රී ලංකාවට අද වැදගත් වෙයි. පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩාපැන කලබල කළ, රාජ්‍ය දේපළවලට පවා හානි කළ, මෙරට 'විශ්වවිද්‍යාල ශිෂ්‍ය අරගලය' වැනි දේශපාලන 'අතකොළු' සම්බන්ධයෙන් සමාජවාදි චීනය ගත් ක්‍රියාමාර්ග ද ඒ කරුණු අතර වෙයි.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත්විජිතයෙන් නිදහස ලබන කාලයේ චීනය ද සිය මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කර ගන්නා අතර, ඔවුන් සතු ඒ අතීතය දරිද්‍රතාවේ කතාවලින් පිරී පවතියි. චීනයේ ජනගහනයට අනුව එරට මෙසේ නැඟී සිටීම මුල දී සෙසු ලෝකයා විශ්වාස නොකළ තරම් ය. ශ්‍රී ලංකාවට තම ඉදිරිය සරු සාර කර ගැනීමට තිබුණු අවස්ථා සාපේක්ෂ ව ගත් කල චීනයට තිබුණු අවස්ථාවලට වඩා වැඩි ය. දෙරට අතර විශාලත්වයේ ප්‍රමාණය හා ජනගහනයේ අඩු වැඩි බව ප්‍රධාන සාධකයකි. එහෙත් දශක හතකට පමණ පසු - එනම්: අද - ශ්‍රී ලංකාව ද චීනයේ ණයකාරයෙකි. එදා ශ්‍රී ලංකාවට හරිපාර මඟහැරී ගියේ ය. චීනය තම ආර්ථික සමෘද්ධියට ළඟා වූයේ අරගලකාරි මාවතකින් වුව ද දැන් චීනයට ඉතිරි කර ගත් වත්කමක් තිබේ. අරගලය ප්‍රතිඵල දායක වී ඇත. එනම්: චීනයට හරිපාර මඟඇරුණේ නැත.

ශ්‍රී ලංකාවට හරිපාර මඟහැරී යෑමේ වගකීම සමකාලීන ආණ්ඩු පිට ම පැටවීම සාධාරණ නො වේ. ඒ, ඒ ආණ්ඩු විසින් කරන ලද වැරදි නිදොස් කරන්නට නො ව; ආණ්ඩු බලයට පත් කරන ජනතාවට ද වගකීමක් ඇති බව සිහිපත් කළ යුතු බැවිනි. 'සයිටම් ප්‍රශ්නය' හා අවස්ථාවාදී දේශපාලනය විසින් උසිගන්වනු ලබන එවැනි දෑ රට ආපස්සට ඇද තබන්නට හේතු වූ අයුරු මෙරට ශිෂ්‍ය අරගලයේ ඉතිහාස කතාව යි. ළඟපාතක විසඳුමක් නොපෙනෙන අර්බුදයක දී කළ යුතු හොඳ ම පිළියම හිතට එකඟ ව අර්බුදය ඇති වීමට තමා තුළ ඇති හේතුව දෙස හැරී බැලීම යි. දුප්පතාගෙන් ගත් බදුවලින් නිදහස් අධ්‍යාපනයට කළ වියදම මහා නාස්තියක් බව එවිට පෙනී නොයනවා නම් දහස් ගණනකින් තේරී උසස් අධ්‍යාපනයට පිවිසෙන කණ්ඩායමක නොහික්මුණු ස්වරූපය ම ඒ අවබෝධය සඳහා සෑහේ. තව ද: නොකා නොබී වියදම් කළ දෙමවුපියන් තවත් ගින්නකට ඇද දමමින් නිදහස් අධ්‍යාපනයේ සුපිරි තරු දේශපාලන අතකොළු බවට පත් ව සිටීම ම ඒ අවබෝධය පිණිස සෑහේ. ඒ මෙරට ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසයයි.

ඩෙං ෂියාඕ පිං (1983 - 1990) චීනයේ රාජ්‍ය නායකයා ලෙස දියත් කළ ආර්ථික ප්‍රතිසංස්කරණ එරට වත්මන් ආර්ථික සමෘද්ධිය කෙරෙහි තීරණාත්මක ව බලපෑ බව ප්‍රකාශ වෙයි. එකල චීන පරිපාලනයට බලපෑම් කරන්නට තරම් වැඩී ගිය එරට ශිෂ්‍ය අරගලය ඩෙං ෂියාඕ පිං විසින් දැඩි මර්දනයකට හසු නොකරන්නට නූතනය සමඟ චීනයට නැඟිටීමක් නැති බව ද ඒ සමඟ ප්‍රකාශ වෙයි. සමාජවාදී චීනයට ධනවාදි ආයෝජන අවශ්‍ය නැතැයි යන ඉල්ලීම ද චීන ශිෂ්‍ය විරෝධයට පදනම් වූ බව පැවසේ (ශ්‍රී ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය නැතැ යි කියන අයුරිනි). චීනය ආර්ථික ව ලෝකය ඉදිරියට ගෙනා ඩෙං ෂියාඕ පිං නමැති සමාජවාදී නායකයා චීන ශිෂ්‍ය ව්‍යාපාරයේ එවැනි ඉල්ලීම් දුටුවේ රට ආපස්සට ඇද දමන්නක් ලෙසිනි. චීනයේ ඉදිරි ගමනට හරස් කැපූ බලවේගවල අතකොළුවක් බවට පත් බවට චෝදනා ලද චීන ශිෂ්‍ය ව්‍යාපාරය අවසානයේ මර්දනය කෙරුණේ, රතු බලකොටුව හෙවත් තියැන්අන්මෙන් චතුරශ්‍රයේ දී සිය ගණනක් ශිෂ්‍යයන් වෙඩි තබා ඝාතනය කරමිනි. ජන ඝාතනය කිසි විටෙක අනුමත කළ නොහැකි යි. එවැනි ක්‍රියා ප්‍රජාතන්ත්‍රවාදි පාලනයකට සුදුසු නො වේ යැ යි එක් පැත්තකින් තර්ක කෙරෙන විට ප්‍රජාතන්ත්‍රවාදි නිදහස ප්‍රතිඵලදායක වන්නේ හිතන්නට හැකි සමාජයකට බව තව පැත්තකින් තර්ක කෙරේ. ලෝකයා එසේ තර්ක කරමින් සිටින අතරවාරයේ ධනවාදි අමෙරිකාවට චීනයට ණය වන්නට සිදු විණ.

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවන්නේ දැවන්ත අරගලයක් මැදිනි. ශ්‍රී ලංකාව සිය නිදහස ලබා ගත්තේ අරගලවලින් තොර ව බවත්, එ් නිසා ලද නිදහසේ වටිනාකම ජනසමාජයට නොහැඟුණු බවත් අදටත් පැවසේ. එහෙත් එදා සිට මේ දක්වා ම ගණන් බැලුවොත් රටට ඉතිරි ව ඇත්තේ අරගල පිරි, ප්‍රතිඵල නැති ඉතිහාසයකි. අරගලවලට පොලඹවනසුලු දේශපාලනයක් සහිත චීනය අනවශ්‍ය තැනට අරගලයට ඉඩ තැබුවේ නැත. අරගලයට වුව ද රට වෙනුවෙන් ඉලක්කයක්, ප්‍රතිපත්තියක් අවශ්‍ය බව යි, ශිෂ්‍ය ව්‍යාපාරය දැඩි මර්දනයකට ලක් කළ චීන කතාවෙන් පැහැදිලි වන්නේ.

ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය අරගලය අධ්‍යාපනයට හෝ රටේ අනාගතයට හෝ අත් කර දුන් වටිනා ප්‍රතිඵලය තවමත් ප්‍රශ්නාර්ථයකි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩාවැදීම සාධාරණීකරණය කරමින් ඩෙංගු වසංගතයෙන් රට ම රෝගි වූ සමයක, වැඩවර්ජන කැඳවන වෛද්‍ය වෘත්තිකයන්ට, තමන් ලද නිදහස් අධ්‍යාපනයට කෘතගුණ සලකනු වස්, අඩු ම තරමින් විශ්වාසදායි සෞඛ්‍ය සේවයක් මෙරට සමාජගත කරන්නට නොහැකි විණි. කුහකකමට දේශපාලන වටිනාකම් සපයන අවස්ථාවාදි දේශපාලනයේ අතකොළු බවට පත් නොවී, නිදහසේ හිතන්නටවත් නිදහස් අධ්‍යාපනයේ සුපිරි තරුවලට නොහැකි වී තිබීම මෙතෙක් ආ ගමනේ ප්‍රතිඵලය බින්දුව බව සනාථ කරයි.

මහජනතාව ආණ්ඩුවකින් බලාපොරොත්තු වන, ආණ්ඩුවක් විසින් නොපිරිහෙළා ඉටු කළ යුතු, සාධාරණ අවශ්‍යතා හෝ මූලික අවශ්‍යතා හෝ තිබේ. පෙනිපෙනීම රට ආපස්සට අදින අවස්ථාවාදි දේශපාලනයට ඉඩ තබා හෝ, එහි අතකොළු බවට පත් ශිෂ්‍ය ව්‍යාපාරවලට ශිෂ්‍යයන් ලෙස ම සැලකීමෙන් හෝ වෛද්‍ය වැඩවර්ජන වැනි වෘත්තීය වගකීම් පැහැර හැරීම නිසා හෝ ජනතාව වෙනුවෙන් තම වගකීම මඟහැරුණු බව ආණ්ඩුවකට ප්‍රකාශ කළ නොහැකි ය. අනෙකා පෙළන, හිංසාවට පත් කරන මේ අරගල දරුණු වීම කෙරෙහි ප්‍රජාතන්ත්‍රවාදි නිදහස ද හේතු වී ඇති බව පවුල් පාලනයකට රට යට වූ වහල් වටපිටාවක දී මෙවැනි අරගල මතු නොවීමෙන් සනාථ වෙයි. ප්‍රජාතන්ත්‍රවාදි නිදහස ප්‍රතිඵලදායක වන්නේ හිතන්නට හැකි සමාජයක දී මිස, වහල් මානසිකත්වයක් සහිත සමාජයක දී නො වේ. 

Comments