තොප්පි බෙදීමෙන් වළකිමු | සිළුමිණ

තොප්පි බෙදීමෙන් වළකිමු

මෙයට අවුරුදු විසි තිස් දහසකට පෙර ගස් උඩ සිටි එක්තරා වානර ප්‍රජාවක් බිමට බැස ශාඛ ප්‍රෝටීන වෙනුවට සත්ත්ව ප්‍රෝටීන අවශෝෂණය කරගැනීමට පුරුදු වී මනුෂ්‍යයන් ලෙස පරිණාමය වූ බව චාල්ස් ඩාවින් කියයි. ඩාවින්ගේ මෙම මතය බැහැර කරන බොහෝදෙනා සිටිය ද අද වන විට මනුෂ්‍ය සංහතියේ ඉදිරි ගමන පිළිබඳ ප්‍රමිතිගත මතය බවට මෙම අදහස පත්ව ඇත. ගහෙන් බහින වානරයා මනුෂ්‍යයා බවට පත් වීමෙන් පසු ශිෂ්ටාචාරයේ ගමන ආරම්භ වේ.

ලෝකයේ මුලටම ශිෂ්ට වූ ප්‍රජාව ලෙස හඳුන්වන්නේ සුමේරියානු ජන ප්‍රජාවය. අවුරුදු හයදාහකට වඩා පරණ සුමේරියානු ශිෂ්ටාචාරය දකුණු මෙසපොතේමියාව මූලික කරගත්තේය. මිනිස්සු ශිෂ්ටාචාරයට පත්වෙද්දී මූලින්ම කළේ තමන්ට අවශ්‍ය ආහාර තමන්ම නිෂ්පාදනය කරගෙන අනුභවයට පුරුදු වීමය. ඊළඟට ඔවුහු රෝදයත්, ගින්දරත් සොයා ගත්හ. එසේ වුව ද ඒ ජනයා ඒ වන විටත් සිටියේ හෙලුවෙනි. මුලදී විලි වසාගැනීම සඳහා සත්ත්ව සම් යොදාගත් ඔවුහු පසුකාලයේදී රෙදි වියාගෙන ඇඳුම් මැසීම දක්වා දියුණු වූහ. මේ කියන කාලයේදී මුදල් නමැති ඒකකය බිහිවී තිබුණේ නැත. ඒ නිසා තම තමන්ට අවශ්‍ය දේ තම තමන්ම නිෂ්පාදනය කරගත්තා විනා වෙන තැනකින් මිලදී ගැනීමක් සිදු වූයේ ද නැත. සමහරවිට ඔවුන් එකිනෙකාගෙන් ණයට ගන්නට ඇත. ඊළඟට මේ මිනිස්සු භාණ්ඩ හුවමාරුවට පුරුදු වූහ. තවත් සහශ්‍රයක පමණ ඇවෑමෙන් මුදල් බිහි වෙයි. මුදල් බිහිවන්නේ සර්පයාගේ බිත්තරයෙන් බවට කියමනක් පවතී. මුදල බිහිවීමත් සමඟම මිනිස්සු වෙ‍ෙළඳාමට පුරුදු විය. එතැන් සිට මේ පුවත්පත කියැවීම දක්වා ශිෂ්ටාචාරය ඉදිරියට යාම පිළිබඳ කතාව ඔබ දනී. එතැන් සිට කතාව මෙසේය;

ලංකාව අද ඉතා දරුණු තත්ත්වයකට මුහුණ පා තිබේ. මේ දුක්බර තත්ත්වයට හේතු වී ඇත්තේ විවිධ විදේශික ආක්‍රමණිකයන් විසින් මේ රට ආක්‍රමණය කර කුරුඳු වතු හදන ගමන්, තේ වතු හදන ගමන්, පාරවල් හදන ගමන්, ගොඩනැගිලි ඉදිකරන ගමන් අපේ ඔලුවද හැදීමය. 1948 දක්වා මේ රටේ ගැමි ජනතාව තමන්ට අවශ්‍ය දේ තමන්ම නිපදවා ගැනීමට පුරුදුව සිටියහ. කුල ධූරාවලිය යනු ඒ නිෂ්පාදන සංස්කෘතියේ එක් අංගයකි. නිෂ්පාදන ආර්ථිකයට දායක වන නිෂ්පාදකයා තමන් නිපදවන භාණ්ඩය අනුව කිසියම් කුලයක රෙජිස්ටර් විය. මේ රටේ කුල විශාල ප්‍රමාණයක් තිබේ. එමඟින් හැඟෙන්නේ නිෂ්පාදන සහ සේවා විශාල ප්‍රමාණයක් මේ රටේ තිබූ බවය. පසු කාලයේදී විවිධ පුද්ගලයන් උසස්කොට තැකීමටත් තවත් අය පහත්කොට තැකීමටත් කුල භේදය යොදා ගන්නා ලදී. එසේ කළෝ වංශවත් ගොබ්බයෝය. රදලයා තමන් තුළ රාජ ලේ ඇති බව කල්පනා කරමින් අත පය පොරවා ගෙන සිට අමුතු චූන් එකක් ගත්තේය. ඔහුට හිමි නින්ද ගම්වල වැඩ කළ ගොවියෝ ද තවත් චූන් එකක් ගත්හ.

කෙසේ වුව ද මේ සියලු චූන් අස්සේ ,මේ රටේ ගම්බද පළාත්වල තිරසර නිෂ්පාදන ආර්ටිකයක් පැවතින. ඒ අතර නගරයේ සිටි එකා යටත්විජිතවාදයට හුරුවී ආණ්ඩුවේ සහනාධාර වලින් ජීවත් වීමට පුරුදු විය. අන්තිමේදී ලංකාව දියුණු වනවිට මුළු රටම නගරයක් බවට පත්ව තිබිණ. එනම් නගරයේ තිබූ නාගරිකත්වය සී.ටී.බී බස්වල සහ කාර්වල නැඟ ඈත ගම්මාන කරා ගමන් කර තිබිණ. සියලු දෙනාම ලිපිකරුවන් වීමට අපේක්ෂා කළ බැවින් කුඹුරක් කෙටීමට එකෙක්වත් ඉතුරු වූයේ නැත. අපිට හාල් පිට රටින් ගෙන්වීමට සිදුවන්නේ මේ නිසාය. ඒ අතර අපට රෙදි විවීම ද අත්හැරිණි. මේ නිසා මුලදී එංගලන්තයෙන් ගෙන්වූ රෙදිත් පසුව චීන පොප්ලින් රෙදිත් ඇඳීමට අපට සිදු විය. 1970 දී jumping fish brand එක සහිත චීන පොප්ලින් යාරයක මිල රුපියල් 2.12ක් විය. ඒ මිලට මේ රට තුළ රෙදි විවීමට බැරිය. ඒ නිසා දේශීය රෙදි පිළි කර්මාන්තය අනාථ භාවයට පත්කරමින් චීන පොප්ලින් ද, නයිලෝන් සහ ටෙරිලින් වැනි කෘත්‍රිම රෙදි ද රජ විය. 1977න් පසු ඒ තැන පොලියෙස්ටර් කොට්න්වලට ලැබිණ. ඒ වන විට පොලියෙස්ටර් කෙන්ද හෙවත් පොලියෙස්ටර් යාන් එක යොදා නූල් හැදීමේ කර්මාන්තය සොයාගෙන අවුරුදු 40ක් පමණ වේ. අපට පොලියෙස්ටර් යාන් එක තිබුණේ නැත. ඒ නිසා රෙද්ද පිටින්ම රටින්ම ගෙන්වන ලදී.

ලංකාවේ වියදම සෑම කල්හිම ජාතික ආදායමට වඩා ඉහළය. මේ බව බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් එක්දහස් අටසිය ගණන්වලදී මැද හරියේදී පමණ අවබෝධ කරගෙන තිබුණි. එහෙත් ඉන්දියාව යටතේ එකම ගිණුමකට දමා ලංකාව ද පාලනය කළ බැවින් බ්‍රිතාන්‍ය ජාතිකයන්ට අපේ රටට යන වියදම එතරම් දැනුණේ නැත. එහෙත් බ්‍රිතාන්‍ය අප අත්හළ වහාම ලංකාවට සුබසාධක රාජ්‍යයක් බවට පත් වීමට සිදු විය. අදායමට වඩා වියදම වැඩි නම් ඉතිරි හරිය කාගෙන් හෝ ඉල්ලා ගත යුතු වෙයි. මේ රට නිදහසින් පසු හැම අවුරුද්දකම මේ ටික කරයි.

ලංකාව සුබසාධන රාජ්‍යයක් බව සාමාන්‍ය ජනයාට නොතේරෙයි. 1977ට පෙර මේ රටේ හාල් පොත් තිබිණ. එම හාල් පොත්වලින් නොමිලේ සහල් ද සහන මිලට කුළු බඩු ද, කරවල ද, ලබාදෙන ලදී. මෙහිදී සහන මිල යන්න විස්තර කළ යුතුය. රුපියල් 10ට විකිණිය යුතු බඩුවක් රුපියල් 5ට විකුණන විට ඉතිරි පහ තම සාක්කුවෙන් ගෙන දැමීමට ආණ්ඩුවට සිදු වෙයි. රජයේ රෝහල් යනු සම්පූර්ණයෙන්ම සහනාධාර තොගයකි. මේ රටේ ප්‍රවාහනය ද සහනාධාරයකි. ආණ්ඩුවේ බස් ගාස්තු සහ දුම්රිය ගාස්තුවලින් ලැබෙන ආදායමට වඩා එම ප්‍රවාහන කටයුතුවලට යන වියදම වැඩි බැවින් හිඟ මුදල් තම සාක්කුවෙන් දැමීමට ආණ්ඩුවට සිදු වේ. මේ හිඟ මුදල ආණ්ඩුව ගෙදරින් ගෙනෙන්නේ නැත. එය ආණ්ඩුව සතුව ඇති මුදල් වලින් පියවීමට සිදු වේ. ආණ්ඩුවට සල්ලි එන්නේ බදු ගෙවන ජනතාවගේ මුදලිනි. එහෙත් මේ රටේ බදු ගෙවිය යුතු ජනතාව කුලෑටි සහ ලජ්ජාශීලී අය නිසා නිතර සැඟව සිටීමට තැත් කරති. එහි ප්‍රතිඵලය වන්නේ නිශ්චිත බදු ආදායම රජයට නොලැබීමය. එවිට අවුරුද්ද අන්තිමේදී අය වැය සමබර කිරීම සඳහා කාගෙන් හෝ ණයට මුදල් ගැනීමට ආණ්ඩුවට සිදු වෙයි.

ලංකාව නිෂ්පාදන රාජ්‍යයක් බවට පත් කළ යුතු බව ලංකා සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය එන්. එම්. පෙරේරා නිතර කීවේය. අපට අවශ්‍ය දේ අපම නිෂ්පාදනය කරගත යුතු බව ඔහුගේ අදහස විය. එහෙත් මේ රටේ සිටින වැඩිදෙනා සහනාධාරයටම පුරුදුවී සිටින බැවින් එය කිරීම දුෂ්කරය. වගා ව්‍යාපාරයක් පටන් ගමුයි ආණ්ඩුව කියන හැම විටකම මිනිසුන් උදලු කරට ගෙන කල්පනා කරන්නේ මේ වගා කටයුත්ත සඳහා ආණ්ඩුවෙන් ලැබෙන භෞතික සපෝර්ට් එක හෙවත් සහනාධාරය කොපමණ විශාල ද යන්නය. එය ලොකු මුදලක් නොවේ නම් මිනිස්සු උදලු බිම තබා කලිසම් ෂර්ට් ඇඳගෙන කඩ මණ්ඩියකට ගොස් දන්නා අඳුනන කෙනකු සමඟ කතා බස් කරමින් කාලය කා දමති.

සුප්‍රකට අර්ථ ශාස්ත්‍රඥ ඩඩ්ලි සියර්ස් වරක් මෙසේ කීවේය. අපි නොමිලේ තොප්පි බෙදීමෙන් වැළකිය යුතුය. එක්කෝ අප ඒවා විකිණිය යුතුය. නැතිනම් තොප්පි හදන අමුද්‍රව්‍ය මිලයට ගෙන තොප්පි හදාගැනීමට ජනතාව දැනුම්වත් කළ යුතුය.

Comments