චැනල් 4 පුස් වෙඩි | සිළුමිණ

චැනල් 4 පුස් වෙඩි

මිනිසුන් විවිධ සුවඳට ඇබ්බැහි වීමේ රෝගයක් තිබේ. සමහරු පෙට්‍රල් සුවඳට ප්‍රිය කරති. එවැනි අය පීරිසියකට පෙට්‍රල් වත්කරගෙන එහි සුවඳ උරමින් කාලය ගත කරති. මීට අවුරුදු හතරකට පෙර පුපුරා ගිය පාස්කු බෝම්බය නිසා හටගත් වෙඩි බෙහෙත් ගඳ සහ පිලිස්සුණු මිනී මස් ගඳ සුවඳ කරමින් ආතල් ගන්නා පිරිසක් මේ රටේ ද පිට රටවල ද ජීවත් වෙති. මෙවැනි ආතල් එහකට පුරුදු වූ මාධ්‍ය ආයතනයක් ලෙස එංගලන්තයේ චැනල් 4 රූපවාහිනිය හඳුන්වා දිය හැකිය.

මීට අවුරුදු 40කට පමණ පෙර එක්සත් රාජධානියේදී පටන් ගන්නා ලද චැනල් 4 රූපවාහිනී ආයතනය වඩාත් ප්‍රසිද්ධ වන්නේ බේකරිකාරයන්ගේ පාන් පිලිස්සීමේ තරගයක් වූ The Great British Bake Off නමැති සූප ශාස්ත්‍ර වැඩසටහන නිසාය. එවැනි වැඩසටහන් හැරෙන්නට ජාත්‍යන්තර දේශපාලනය, ජාත්‍යන්තර ත්‍රස්තවාදය වැනි වැඩසටහන් තබා රතිඤ්ඤා නිෂ්පාදනය හෝ මල්වෙඩි සංදර්ශන පිළිබඳ වැඩසටහනක්වත් ඔවුන් ප්‍රචාරය කරන්නේ නැත. එයට ප්‍රමුඛ හේතුව නම් සූප ශාස්ත්‍රයට කැමැති ප්‍රේක්ෂක පිරිසක් හැර සමාජ සිදුවීම්වලට සංවේදීතාවක් දක්වන ප්‍රේක්ෂක පිරිසක් චැනල් 4 රූපවාහිනියට නැති වීමය.

එහෙත් ලංකාවේ පාස්කු බෝම්බය පිපිරීමෙන් පසු හැම අවුරුද්දකම ඒ පිළිබඳ ඒ ගැන වාර්තා චිත්‍රපටියක් හදා ප්‍රදර්ශනය කිරීමට ඔවුහු පුරුදුව සිටිති. ඔවුන් ඒ වැඩසටහන ප්‍රචාරය කරන්නේ ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමුළුව හෝ ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙන අවස්ථාවේදීය. මෙවර ද එක්සත් ජාතීන්ගේ සමුළුව පැවැත්වීමට සති දෙක තුනකට පමණ පෙර සිට ඔවුහු පාස්කු බෝම්බය ගැන අලුත් වැඩසටහනක් ප්‍රචාරය කිරීමට පටන්ගෙන ඇත. චැනල් 4 රූපවාහිනිය මෙය කරන්නේ පාර්ශ්ව දෙකකින් මුදල් ලබාගෙන බවට සැකයක් පවතී. (මෙය සැකයක් පමණි. එසේ නොවේ නම් අපගේ එම සැකය ඉල්ලා අස්කරගනු ලැබේ) ඉන් පළමුවන පාර්ශ්වය වන්නේ එක්සත් රාජධානිය ඇතුළු වෙනත් රටවල සිටින ශ්‍රී ලංකාවට විරුද්ධ මත දරන කොටස්ය. ඔවුන් අතර දෙමළ සහ සිංහල ඩයස්පෝරාවන් සිටින්නට පුළුවන. ඊට අමතරව පාස්කු බෝම්බයෙන් හානියට පත් යුරෝපීය කතෝලික ජනතාව චැනල් 4 ව්‍යාපෘතියට fund කරන දෙවැනි පාර්ශ්වය වීමට ඉඩ තිබේ. ලංකාවට විරුද්ධ මත දරන පුද්ගලයන් ලක්ෂයක් පිටරටවල වෙසෙත් නම් ඉන් එක් අයකුගෙන් පවුම් දහය බැගින් ගත්තත් එතැන පවුම් මිලියනයකි. පවුමක් යනු ලංකාවේ රුපියල්වලින් හාරසීයකි. එසේ නම් හාරසීයේ ඒවා මිලියනයකින් කොපමණ දෙයක් කළ හැකි ද?

චැනල් 4 ආයතනය මඟින් නිකුත් කර ඇති අලුත්ම වීඩියෝ මඟින් තහවුරු කරන්නේ යහපාලන යුගයේ අවසන් කොටසේදී ලංකාවේ ආරක්ෂක තත්ත්වය හොඳටම බංකොලොත් වී ඇති බව ජනතාවට ඒත්තු ගැන්වීම පිණිස රාජපක්ෂලා විසින් මෙම බෝම්බය පුපුරුවන ලද බවය. මේ සඳහා සාක්ෂි වශයෙන් හම්සා අසාඩ් මව්ලානා නමැති අයගේ ප්‍රකාශයක් යොදාගෙන තිබේ. අසාඩ් මව්ලානා යනු මෙයට කලකට පෙර පිල්ලෙයාන්ගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ තැනැත්තාය. ගිය වතාවේ චැනල් 4 රූපවාහිනිය මඟින් සාදන ලද පාස්කු බෝම්බ චිත්‍රපටියේදි සාක්ෂි දුන් වානි කුමාර් (ඇයට නම් හතරක් තිබේ. වෛද්‍ය තමිල්වානි, තමිල්වානි කුමාර්, දමිල්වානි ඥානකුමාර් සහ වානි කුමාර් මේ නම් හතර වේ) නමැති කාන්තාව කියූ කතාවට වැඩි යමක් මෙහි තිබේ.

එවකට බුද්ධි ප්‍රධානියාව සිටි මේජර් ජෙනරල් සුරේෂ් සලේ මේ පිපිරවීම සංවිධානය කිරීමට කෙළින්ම එකතු වූ බවත් මරාගෙන මැරුණු බෝම්බකරුවන් වූ සහරාන් ඇතුළු පිරිස සමඟ තමා සාකච්ඡා කළ බවත් ඔහු සඳහන් කර තිබේ. මෙහිදී වැදගත් ගැටලුවක් පැන නඟී. ඉන් පළමුවැන්න නම් පාස්කු බෝම්බය පුපුරන කාලයේදී සුරේෂ් සලේ ලංකාවේ හිටියේ නැත. ඔහු සිටියේ මැලේසියාවේය. දෙවන කාරණය වන්නේ මෙයට පෙර මේ පිළිබඳ කිසිවක් ලක් රජයට හෝ අපරාධ පරීක්ෂකයන්ට කීමට අසාඩ් මව්ලානා අසමත් වූයේ මන්ද යන්නය. පාස්කු බෝම්බය පුපුරා ඉතාම කෙටි කාලයක් තුළ එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කොමිසමක් පත්කරන ලදී. අසාඩ් මව්ලානා අවංක හා සත්‍යවාදී මිනිසකු නම් අද චැනල් 4 නාළිකාවට කියන දේ එදා පාස්කු කොමිසම ඉදිරියේදී කිව යුතුව තිබිණ. මෙසේ නොකිරීමෙන් හැඟෙන්නේ කිසියම් පිරිසක් විසින් අසාඩ් මව්ලානා හසුරුවන ලද බවය.

ප්‍රභාකරන්ගේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් බෝම්බ පුපුරුවා ගත්තේ ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ ඊළඟ පරම්පරාවට ඊළමක් ලැබේය යන අවංක චේතනාවෙනි. ඒ චේතනාවට අප විරුද්ධ වුව ද ඔවුන්ගේ පැත්තෙන් බලන කල විශාල පරිත්‍යාගයකි. එහෙත් සහරාන්ගේ මරාගෙන මැරෙන ක්‍රියාවලියෙන් කාත්තන්කුඩිය ඉස්ලාම් රාජ්‍යයක් බවට පත්කිරීමේ න්‍යාය පත්‍රයක් කවදාවත් තිබුණේ නැත. මේ රටේ සිටින ඉස්ලාමීය සහෝදරවරු කවදාවත් වෙනම රටක් ඉල්ලා සිටියේ ද නැත. එබැවින් සිංහල බෞද්ධයකුගේ දේශපාලන ජයග්‍රහණය වෙනුවෙන් සහරාන් ඇතුළු කණ්ඩායම පෙලඹවීමට හැකිවන්නේ ද නැත. සහරාන් මූලධර්මවාදී පිස්සකු බව අපි ද පිළිගනිමු. එහෙත් රාජපක්ෂ පවුලට බලය ලබාදීම සඳහා මරාගෙන මැරෙන පිස්සුවක් ඔහුට තිබුණේ නැති බව අපගේ වැටහීමය.

ලංකාව අරාජික කිරීමේ න්‍යාය පත්‍රයක් ජාත්‍යන්තර මට්ටමේ තිබේ. මේ රට දේශපාලනික සහ යුද්ධමය මර්මස්ථානයකි. මේ රටේ භූගෝලීය පිහිටීමට අනුව, මෙය හැසිරවිය හැකි විදේශ බලවේගයකට මෙහි සිට ඕනෑම සෙල්ලමක් දැමිය හැකිය. අරගලය ද එවැනි රූකඩ නැටවිල්ලකි. අරගලය දුරදිග ගියේ නම් මේ රට රූකඩ රාජ්‍යයක් වීමට ඉඩ තිබිණ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ ගහන ආර්ථික ගේම තව අවුරුදු දහයක් එක දිගට ගැසුවොත් කිසිදු රටක අතකොලුවක් නොවී ගොඩඒමට අපට පුළුවන.

Comments