දියවන්නා සන්නිය | සිළුමිණ

දියවන්නා සන්නිය

සාමාන්‍යයෙන්, පාර්ලිමේන්තුව හඳුන්වනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මහා මන්දිරය හෝ මර්මස්ථානය ලෙසය. දැන් දැන් මේවා විහිළු කෑලි වෙමින් තිබේ. තමන්ට එහා පැත්තේ සිටින මන්ත්‍රීට තඩි බෑමට තවත් මන්ත්‍රී කෙ‍ෙනකුට පාර්ලිමේන්තුව තුළ නිදහසක් තිබේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදයේ මහා මන්දිරය ලෙස හැඳින්විය හැකිද? එක් මන්ත්‍රී කෙ‍ෙනකුට මිරිස් කුඩු ගැසීමට තවත් මන්ත්‍රී කෙ‍ෙනකුට හැකි නම් එතැන ප්‍රජාතන්ත්‍රවාදයේ මර්මස්ථානය විය හැකිද?

මීට දින කිහිපයකට පෙර මේ රටේ නිදහසේ මර්මස්ථාන මන්දිරය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙ‍ෙනකු ප්‍රචණ්ඩ ලෙස හැසිරීම නිසා එම දෙදෙනාට පාර්ලිමේන්තුවට පැමිණීම දවසකට තහනම් කරන ලදී. මෙහිදී විය යුත්තේ මීළඟ ඡන්දයේදී එම මන්ත්‍රීවරුන් දෙදෙනා පාර්ලිමේන්තු යාම සදහටම තහනම් කිරීමට ඡන්ද දායකයන් පියවර ගැනීමය. එහෙත් එය එසේ සිදුවන්නේ නැත. කිසියම් මහජන නියෝජිතයකු පාර්ලිමේන්තුව තුළ නැටුවත් එම නැටිල්ල පාර්ලිමේන්තුවෙන් පිටත තිබෙන ඔහුගේ ඡන්ද පදනමට බලපෑමක් කරන්නේ නැත. මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්ද පදනමට සදාචාර සාධකය කිසිසේත්ම වැදගත් නොවන අතර ආර්ථික සාධකය පමණක් බොහෝ දුරට වැදගත් වේ. ඡන්ද දායකයාට අසනීපයක් වූ විට මන්ත්‍රීතුමා සල්ලි දෙන්නේ නම්, ඡන්ද දායකයාගේ දුව ලොකු ළම­‍ෙයකු වූ විට මන්ත්‍රීතුමා එම පාටියට සහභාගී වෙන්නේ නම් හෝ ඡන්ද දායකයාගේ පවුලේ අ‍ෙයකු පොලිසියට හසු වූ විට පොලිසියට කතා කර විත්තිකරු කූඩුවෙන් එළියට ගන්නේ නම් එතුමාගේ ඡන්ද පදනම සුරැකිව පවතී. එමඟින් හැඟී යන්නේ මේ රටේ පාර්ලිමේන්තුවේ දේශපාලනය සහ භූමියේ දේශපාලනය එකිනෙකට කිසිසේත්ම සම්බන්ධයක් නැති බවය.

පක්ෂ දෙකක දෙදෙනෙක් කලහකාරී ලෙස හැසිරෙනු දැකීම පෘථග්ජන ඡන්ද දායකයාට ගෙන දෙන්නේ ආතල් එකකි. මේ ආතල් එක ලෝකයේ හැම පාර්ලිමේන්තුවකම දකින්න ලැබේ. නමුත් එය එසේ නොවිය යුතුය. පාර්ලිමේන්තුව යනු ජනතාවගේ දෙවොලක් විය යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එහි දෙවිවරු ලෙස වැඩ වාසය කළ යුතුය. ලංකාවේ පාර්ලිමේන්තුව එහි ඉතිහාසයේ සිට ගහ මරා ගත්තේය. 1948 මෙරට දී ආරම්භ වුණු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මුල කොටසේදී මන්ත්‍රීවරු සභාගර්භය තුළ ගුටි කෙළ ගත්තේ නැත. ඒ වෙනුවට ඔවුහු පාර්ලිමේන්තු කොරිඩෝව දිගේ ගුටිබැට හුවමාරු කර ගත්හ.

මෙවැනි ආරවුලක් එක්දහස් නවසිය පනස් ගණන්වල මුල හරියේදී පිලිප් ගුණවර්ධනගේ මන්ත්‍රීවරුන් සහ ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ මන්ත්‍රීවරුන් අතර පාර්ලිමේන්තු කොරිඩෝවකදී ඇති විය. ඉන් අනතුරුව 1956 දී මැද කොළඹ මන්ත්‍රීවරයකු වූ එම්. එස්. තේමිස් සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල අතර අර්ධ ගුටි කෙළියක් ඇති විය. එයට හේතුව ආමන්ත්‍රණ ප්‍රශ්නයකි. වාමාංශිකයකු වූ එම්. එස්. තේමිස් විසින් ශ්‍රීමත් ජෝන් කොතලාවලට “හලෝ ජෝන්” යනුවෙන් ආමන්ත්‍රණය කරන ලදී. මුළු ජීවිතයම වලව්කාරයකු වූ ශ්‍රීමත් ජෝන් කොතලාවලට සියලු දෙනාම ආමන්ත්‍රණය කරන ලද්දේ “සර් ජෝන් යනුවෙනි” එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක පවා ඔහුට සර් ජෝන් කීමට පරෙස්සම් විය. එම්. එස්. තේමිස් මන්ත්‍රීවරයා “හලෝ ජෝන්” යනුවෙන් ආමන්ත්‍රණය කිරීමත් සමඟම ජෝන් කොතලාවල ක්‍රියාත්මක වූ අතර ඔහු තේමිස්ගේ බෙල්ලෙන් අල්ලා බිත්තියට තද කරගෙන සිටියේය. 1965 – 1970 අතර කාලයේ පැවති ඩඩ්ලි සේනානායක ආණ්ඩුවේ කට්ටිය ද පාර්ලිමේන්තුව තුළදී ප්‍රතිපක්ෂය සමඟ මිනී මරා ගත්හ. වරක්, රඹුක්කන මන්ත්‍රී අශෝක කරුණාරත්න සහ වලපනේ මන්ත්‍රී පී. බී. එම්. හේරත් අතර 'කුලය' සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී හටගත් ආරවුලක් ගුටි කෙළියක් ආසන්නයේදී නැවතිණි.

ඊට පෙර බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් ඩඩ්ලි සේනානායකගේ යූ. එන්. පී. මන්ත්‍රීවරුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සේනානායකත් ගුටි ඇන ගන්නට සූදානම් වූහ. 1974 දී සමගි පෙරමුණ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එම ආණ්ඩුවේ ඇමතිවරුන් දෙදනකු වූ ඩබ්ලිව්. පී. ජී. ආරියදාස සහ එස්. කේ. කේ. සූරියආරච්චි‍ එකිනෙකා මරා ගැනීමට ගොස් නොමැරී බේරුණාහ. මේ ක්‍රියාවලියේ සදාචාර විරෝධී සහ කැතම නාඩගම නැටුවේ අද විකාර කියවන මර්වින් සිල්වාය. ඔහු කොළොන්නාවේ සුමංගල හාමුදුරුවන්ගේ ගෙල ප්‍රදේශය කරකැවීය. ඒ දෙදෙනාම ඒ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුය.

ලෝක පාර්ලිමේන්තු ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 930 දී අයිස්ලන්තයෙන් පටන් ගනී. මේ වනවිට ඒ රටේ පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල අවුරුදු 1,100ක් පමණ පැරණිය. එය නිතර නිතර අලුත්වැඩියා කෙරුණු ගොඩනැඟිල්ලකි. ලෝකයේ දෙවැනි පාර්ලිමේන්තුව ක්‍රිස්තු වර්ෂ 935 දී ස්කැන්ඩිනේවියානු ප්‍රදේශයට අයත් ෆැරෝ දූපතේදී ඉදි විය. එකල එය වෙනම රටකි. අද ඒ රටත් නැත; එම පාර්ලිමේන්තුවත් නැත. හැබැයි දූපත පමණක් ඉතිරිව ඇත. අවුරුදු දාහක් පරණ පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලක් මෑන් දූපතේ ද තිබේ. බ්‍රිතාන්‍යයේ පළමු පාර්ලිමේන්තුව ඉදි වෙන්නේ එක්දහස් දෙසිය ගණන්වලදීය. පාර්ලිමේන්තුව නමැති ප්‍රජාතන්ත්‍රවාදී සාධකයේ භෞතික ගමන් මග කොතරම් පැරණි වුව ද එහි සන්දර්භයට අයත් ආධ්‍යාත්මික පරම්පරාව හෙවත් මන්ත්‍රීවරු අදටත් ඉන්නේ අමුඩ ගහගෙනය. හැබැයි අමුඩ නැතිව සිටීමට ඔවුහු වඩාත් ප්‍රිය කරති. පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල භෞතික වශයෙන් කොතරම් අලුත්වැඩියා කළ ද, අති නවීන කළ ද මනුෂ්‍යයා වෙනස් වන්නේ නැත. ඔහු තවමත් ඉන්නේ කැලයෙන් එළියට ආ ස්වරූපයෙනි.

මණික් සන්ද්‍රගර නමැති චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලදී කොළඹ සන්නිය යනුවෙන් චිත්‍රපටයක් හැදුවේය. දුර බැහැර පළාතක ගැමි පවුලක් හදිසියේම ලැබුණු මැණිකක් විකුණා කොළඹින් ගෙයක් මිලට ගෙන පදිංචියට විත් නටන නාඩගම මේ චිත්‍රපටියේ එයි. කොළඹට ආ සැණින් ගැමියා නාගරිකයකු වන්නේ නැත. කොළඹින් ගෙයක් ගත් මැණික්කාරයා බලහත්කාරයෙන් නාගරිකයකු වීමට තැත් කරයි. ගෙදර නාන කාමරයේ ඇති කොමෝඩ් එකෙන් කළ යුත්තේ කුමක් දැයි නොදන්නා හෙතෙම එයට වතුර පුරවා මූණ හෝදයි. එම පවුලේ තව එකෙක් පස්ස හේදීමට භාවිත කළ යුතු බිඩ ෂවර් (Bidet shower) එකෙන් ස්නානය කරයි. ඒ ආකාරයෙන් අපේ ඇතැම් දේශපාලඥයා තවමත් වෙනස්වී නැත. ඔහු ඉන්නේ පටන්ගත් තැනමය. එසේම තවත් වැදගත් යමක් කියමු. මේ කතුවැකියෙන් කිසිදු මන්ත්‍රී වරප්‍රසාදයක් කැඩෙන්නේ නැත. මෙය හොඳට නීතිය ගැන බලා ලියන ලද්දකි.

Comments